අද මේ කාලකණ්‌ණි සුද්දා පව්කාරයාගේ නමින් ලංකාවේ දිය ඇල්ලක්‌ නම් කරලා

කලබල නොවී වමේ සිටින අලියාගේ හිසේ හරි මැදට වෙඩි තබන මෙන් මම වෝර්ට්ලිට කීවෙමි. ඊළඟ මොහොතේ වොට්ලිගේ සහ මගේ වෙඩිවලින් නායකයන් දෙදෙන බිම පතිත වූහ. ඒ සමගම සිදුවූයේ කුමක්දැයි සෙසු අලින්ට සිතාගැනීමටත් පෙර අපි අලි රංචුව වෙත දිව ගියෙමු.

ඒ සමගම පී. බේකර්ගේ වෙඩි පහරින් තවත් අලියකු බිම වැටුණේය. වෙඩි බෙහෙත් දුම කොතරම් ඝනව පැවතියේ ද යත් අපට යාර දෙකකට වඩා දුර නොපෙනිණ. මේ මොහොතේ මේ දුම තුළින් ඇතෙකු අප දෙසට දිව ආවේය. ඒ සමගම මාගේ තුවක්කුවේ වම් කානුවේ වූ වෙඩිල්ල ඌ සොයා ගියේය. දුම් අතරින් දිවගිය මම අවසාන අලියාද බිම දැමුවෙමි.

පළමු වෙඩිල්ල තැබූ මොහොතේ සිට තත්පර තිහක් ඇතුළත අලි පස්දෙනකු මැරුවෙමු.
ශ්‍රී ලංකාවේ අලි දඩයමේ යෙදුණ ආකාරය ගැන 1850 ගණන්වල මෙරට සිටි ඉංජිනේරුවකු, වැවිලිකරුවකු මෙන්ම දඩයක්කාරයකු වූ ද සැමුවෙල් බේකර් 1853 දී ලියා මුද්‍රණයෙන් නිකුත් කළ ඊඩඥ අඪටතඥ චදඤ බඩඥ ඩ්ධභදඤ ඪද ඛිඥරතධද නමැති කෘතියේ එසේ සඳහන් වේ.

c.1880s-big-game-hunting
අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි

1850 මැද භාගය වන විට ශ්‍රී ලංකාව අලි දඩයම්කරුවන්ගේ පාරාදීසයක් වූ බවද ඔහු එම කෘතියේම සඳහන් කරයි.

හැරී ස්ටෝරි නම් සුදු ජාතික දඩයක්කාරයා විසින් 1906 දී ලියා පළකළ ඩ්භදබඪදඨ චදඤ ඉඩධධබඪදඨ ඪද ඛිඥරතධද නමැති කෘතියේ සඳහන් වන්නේ 1840-50 අවුරුදු දහයේදී සුදු දඩයක්කරුවන් විසින් අලි ඇතුන් 5500ක් පමණ මරා දැමූ බවයි. එසේ අලි මරා දමන්නන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට එකල ආණ්ඩුකාරවරයා වූ එමර්සන් ටෙනන්ට් තීරණය කර තිබූ බව හැරී ස්ටෝරිගේ කෘතියේ සඳහන් වේ.

අද දවසේ අලියා යනු ජාතික සම්පතක් ප්‍රවේසමෙන් රැකබලාගත යුතු වස්තුවක් සේ සැලකුවත් ඉහත සඳහන් කළ පරිදි එදා අලි ඇතුන් සංහාරය කිරීමට රට කරවූවන් උනන්දු වී ඇත්තේ ඉතා හානිකර සේ අලි ගහනය ඉහළ ගොස් තිබූ බැවින් බවද පෙරකී කෘතිවල සඳහන් වේ. එහෙත් එය සත්‍යයක් ද යන්න ගැටලුවකි.

අලි සංහාරය කිරීම සඳහා ආණ්ඩුව දැක්වූ උනන්දුව අනුව 1836 දී සිව් දෙනකුගෙන් යුත් සුදු දඩයක්කරුවන්ගේ කණ්ඩායමක් විසින් දින තුනක් වැනි කාලයකදි අලි 106ක් මරා දැමූ බවද හැරී ස්ටෝරිගේ ‍පොතෙහි සඳහන් වේ.

පැරණි වාර්තාවල කියැවෙන අන්දමට එදා 1800 ගණන්වලදී අලි මරා දැමීම සඳහා සුදු දඩයක්කාරයින් අතර තිබි ඇත්තේ තරගයකි. දඩයක්කරුවන්ගේ වීරත්වය, ගාම්භීරත්වය වැඩිවෙන්නේ වැඩි වැඩියෙන් අලි මරාදැමූ තරමට බව එදා ඔවුන් විශ්වාස කළ සෙයකි. එසේම ඔවුන්ගේ විවේකය විනෝදය කරගත්තේ දඩ කෙළියයි.

නුවරඑළිය ප්‍රදේශය සිය දඩබිම කරගත් ශ්‍රීමත් සැමුවෙල් බේකර් සිය කෘතියේ අලි දඩයම පිළිබඳව මෙවන් සටහනක්ද තබන්නේය.

“විවෘත භූමියකදී අලි සොයාගොස් අලියකුට ගිනිබිඳීම අපූරු වැඩකි. අලි වෙඩිතැබිමේදී සෑම වෙඩිල්ලකින්ම අලියකු බිම වැටෙයි. වනය පෙරළගෙන තමාට පහරදීමට එන දැවැන්ත අලියකු වෙඩිපහරකින් බිම දැමීම ලෝකයේ ඇති චමත්කාරම අත්දැකීම්වලින් එකකි. ලොකු උණ්ඩයක් දමා හොඳට කොටනලද වෙඩිල්ලකින් ක්ෂණයකින් අලියකු මස් පර්වතයක් බවට පත්කළ හැකිය.

එම කෘතියේම තවත් තැනක මෙසේ සඳහන් වේ. “මම අලි හයදෙනකුට වෙඩි තැබූ අතර හයදෙනාම මියගොස් සිටියහ. උන්ගේ සිරුරු තැන් තැන්වල වැටී තිබිණි. මැරී වැටී සිටි එක් සතකු ඇතින්නකි. ඇගේ තන බුරුලු කිරෙන් පිරී තිබිණි. දැඩි වෙහෙසින් සහ පිපාසයෙන් සිටි මමත් මගේ සගයා වූ වෝර්ට්ලින් ඇතින්නගේ තන බුරුල්ලට කට තියා කිරි ඉරුවෙමු. අප සමග වූ ස්වදේශිකයෝ එය නීච ක්‍රියාවක් සේ සැලකූහ. ඉවත බලාගත්හ. ඒත් ඒ කිරි එළකිරි මෙන්ම ඉතා රසවත්ය. මගේ තුවක්කුවෙන් නිකුත් වූ උණ්ඩ දෙකකම සලකුණු ඇතින්නගේ නළ‍ලේ එක ළඟම විය.

8317835356_47d25d14cb_z
අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි

“දඩයම ක්‍රීඩාවකැයිද හොඳ දඩයක්කරුවා සතුන් මරා දමනවා මිස උන්ට තුවාල සිදුකර අත්නොහරින බවද, සැමුවෙල් බේකර් තවත් තැනක සඳහන් කළත් ඉහත සිදුවීමෙන් ඔහු ඔහුගේම කියමන නිෂේධනය කර තිබෙන අයුරකි.

කෙසේ වෙතත් එදා රජයේ දිරිගැන්වීම් පරිදි 1840 ගණන්වල මැද භාගය වනවිට කපිතාන් හෙල්වේ නමැත්තා සහ මේජර් ස්කිනර් නමැත්තා එකෙකු අලි හත්සීය බැගින් මරාදමා ඇති අතර මේජර් විලියම් රොජර්ස් නමැත්තා අලි ඇතුන් 1400ක් මරා දමමින් වාර්තාවක්ද තබා ඇත්තේය.

මෙසේ ලංකාවේ දැවැන්තයින් 1400ක් බිම දැමූ රොජර්ස් වයස අවුරුදු 41දී මියගොස් ඇත්තේ හෙණයක් වැදීමෙනි. ඔහුගේ සොහොන නුවරඑළියේ ගොල්ෆ් ක්‍රීඩාංගණය අසල පිහිටා ඇති අතර ඔහුගේ එම සොහොනටද වරින් වර අකුණුසර වැදී ඇති බවද කියැවේ.
ඩබ්ලිව්.ටී. කීබල්ගේ ඕඥචබඥද ඊපචජඬ කෘතියේ සඳහන්වන ආකාරයට මේජර් විලියම් රොජර්ස් මියගොස් ඇත්තේ හපුත‍ලේ තානායම් භූමියේදීය.
රොජර්ස් එවකට බදුල්ල සහකාර ඒජන්තවරයාය. දිස්ත්‍රික් නඩුකාරවරයාය. බදුල්ල ආණ්ඩුවේ ඒජන්තවරයා (දිසාපති) වූයේ සී.ආර්. බුලර්ස්ය. රොජර්ස් සහ බුලර්ස් හපුත‍ලේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදී සිටියදී හදිසියේම අකුණු සහිත මහා වර්ෂාවක් කඩාපාත් වූයේය. එයින් මිදීමට ඔවුන් ගොඩවැදුණේ ළඟම තිබූ හපුත‍ලේ තානායමටය. පිරිස මද වේලාවක් එහි සිටින අතර වැස්ස කමෛන් තුරල් විය. තුරල් වූ වැස්සේ තරම බැලීමට රොජර්ස් එළියට පැමිණියා පමණි. එකවරම පහත්වූ අකුණක් වැදීමෙන් ඔහු එතැනම මියගියේය. එසේ මියයන විට රොජර්ස් තම දෑතේ රැඳුන තුවක්කුවෙන් ලංකා වනාන්තරයේ දැවැන්තයින් 1400ක් දෙනා මරුතුරුලට යවා තිබුණි.

1824 දී විසි හැවිරිදි රොජර්ස් ලංකාවට පැමිණියේ ලංකා රයිෆල් රෙජිමේන්තුවේ දෙවැනි ලුතිනන්වරයකු හැටියටය. ඉංජිනේරු ශිල්පයේද මනා නිපුණතාවක් දැක්වූ රොජර්ස් වැඩිකල් නොගොස්ම කොළඹ නුවර මහා මාර්ගය භාර ප්‍රධාන ඉංජිනේරුවා වූ මේජර් තෝමස් ස්කිනර්ගේ ළඟම මිතුරෙකු මෙන්ම හොඳම සහායකයා බවටද පත්වූයේය.

සිය දක්ෂතා නිසා ඉතාම ඉක්මනින් උසස් තනතුරු ලද ඔහු වයස අවුරුදු හතළිහ වනවිටම බදුල්ල සහකාර දිසාපති හා දිස්ත්‍රික් නඩුකාරයා බවටද පත්වූ අතර තෝමස් ස්කිනර් සමග උඩරට මාර්ග ජාලය සැලසුම් කිරීමේ පුරෝගාමියා බවට පත්වූයේ ද ඔහු බව කියැවේ.

මේ සියලු දේ අතරේම ඔහු සිය විනෝදාංශය කර ගත්තේ දඩකෙළියයි. දඩයමෙනුත් අලි ඇතුන් දඩයම් කිරීම ඔහුගේ වැඩි කැමැත්ත වූ බව කියැවේ. රොජර්ස් තමන් විසින් දඩයම් කරනු ලැබූ අලින්ගේ ඔළු එකතු කිරීමද විනෝදයක් කරගෙන තිබුණු බව කියැවේ.

ඔහුගේ මිදු‍ලේ අලි ඔළු ගණන දවසෙන් දවස වැඩි වූයේය. රැයක් ගෙවී තවත් රැයක් එළඹෙන විට ඒ ඔළු ගොඩට තවත් ඔළු කීපයක් එකතු වෙන බව එකල වතුකාරයන් හා දඩයක්කාරයන් අතර ප්‍රකට කතාවක් විය. කොටින්ම කිවහොත් එකල රටම ප්‍රකට අලි ඝාතකයා ඔහු විය. එසේම “රොජර්ස් දැක්කම අලි ඇත්තු ආපසු හැරී දුවනවා” යනුවෙන් එකල දඩයම ගැන උනන්දු සුද්දන් අතරේ කතාවක් වී යැයි ද කියැවේ.

එකල නුවරඑළියේද ඒ ආශ්‍රිත ප්‍රදේශවලද බහුල වශයෙන් අලි ඇතුන් සිටි අතර රොජර්ස් ගේ අලි දඩයම් පිපාසය එක් ප්‍රදේශයකින් පමණක් සංසිඳුනේ නැත. ඔහු රට පුරාම ඇවිදිමින් අලි දඩයමේ යෙදුන බව කියැවේ. මිනිස් හ¾ඩින් වියරු වැටී අකුණුසර මෙන් හඬ නගාගෙන තමන් ඉදිරියට දිවඑන ඇතෙකුගේ නළලටම වෙඩිතබා බිම දැමීම රොජර්ස්ගේ වැඩි කැමැත්ත බවද කියැවේ.

අලි ඇතුන් එක්දහස් හාරසියයක් මරා දැමූ රොජර්ස්ට අලියකුගෙන් කරදරයක් වී ඇත්තේ ද එක් වතාවක් පමණක් බව ද සඳහන්ය. ඒ හම්බන්තොටදීය. රොජර්ස් අතින් වෙඩිකා වියරු වැටුණු අලියා මරු විකලෙන් දිවැවිත් රොජර්ස්ව හොඬෙන් ගෙන වීසි කළේය. ඔහුගේ දකුණු අත දෙ‍පොළකින් කැඩී ඉළඇට කීපයකටද තුවාල විය. ඔහුගේ ජීවිතයට හානියක් වෙන්නට ප්‍රථම වෙඩි වැදී සිටි අලියාද වැටී මියගියේය. සිහිසුන්ව සිටි රොජර්ස් ගෙදර ආවේ මිතුරන්ගේ කර මතිනි.

පසු කලෙක ඔහු අලි ඝාතනය නතර කරන්නට තීරණය කර තිබේ. ඒත් ඒවනවිටත් ඔහු දැවැන්තයන් රැසක් ඝාතනය කර තිබුණි.

එසේ රටට සම්පතක් වූ දැවැන්තයින් 1400 ක් පමණ හුදු විනෝදය තකා මරා දැමූ රොජර්ස් පෙර සඳහන් කළ පරිදි 1845 ජූලි 07 වැනිදා ඇතෙකු ගුගුරන්නාක් මෙන් වූ අකුණු පහරකින් මියයෑමද ෙදෙවයේ එක්තරා සරදමකි.

image3
බේකර්ස් ඇල්ල

මේ රටේ පහළ වූ විශිෂ්ටතම මානව විද්‍යාඥයකු වූ ද, බළංගොඩ මානවයා සොයා ගැනීමේ ගෞරවයේ හිමිකාරයා වූ ද, මහාචාර්ය පී. ඊ. පී. දැරණියගල අලි වෙදකම ගැන කදිම පොතක්‌ ලියා තිබේ. එතුමා මේ පොතෙහි විස්‌තර කරන පරිදි අලියා යනු ලක්‌ පොළොවෙහි පහළ වී එහිම පරිණාමය වී මහාද්වීප සියල්ල එක රොත්තට තිබූ කාලයේදී ලොව පුරා පැතිර ගිය සතෙකි. මෙයට වසර දෙදහසකට පෙර අලියා වැදගත් අපනයන වස්‌තුවක්‌ විය. ලංකාවෙන් පිටරටට අලි ඇතුන් දහස්‌ ගණනින් යවන ලද අතර ඒ වෙනුවෙන් ඒ කාලයේ සිටි රජවරුන්ට අවශ්‍ය සිල්ක්‌ රෙදි, රන් – රිදී යනාදිය පිටරටින් ගෙන්වන ලද්දේ ය. එකල මේ රටේ හැම තැනකම වනගහනයන් තිබූ අතර ඒ හැම වන ගහනයකම අලි ඇත්තු සිටියහ. සද්දන්ත කුලය ඇතුන් අතර උසස්‌ම කුලය ලෙස හඳුන්වන ලදී. සද්දන්ත යන්නෙහි තේරුම “උස මහත” නොව “දත් හතක්‌ ඇත්තා” යන්න ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමය තුළ ශ්‍රී ලංකාවට පැමිණි බේකර් නමැති කාලකණ්‌ණි සුද්දා විනෝදයට අලින් දහස්‌ ගණනක්‌ වෙඩි තබා මරන ලදී. අද මේ පව්කාරයාගේ නමින් දිය ඇල්ලක්‌ (බේකර්ස්‌ ඇල්ල) නම් කර ඇත. මේ නම වහා වෙනස්‌ කර බේකර්ගේ පව්කාර නම අපේ ඉතිහාසයෙන් මකා දමා එම දිය ඇල්ලට ස්‌වදේශික නමක්‌ යෙදීම රජයේ වගකීම ය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට සිටි සුදු ජාතිකයන් ගණනාවකගේම සොහොන්කොත් නුවරඑළියේ ඇතත් ඒ කිසිදු සොහොන් කොතකට කිසිම දිනක අකුණු පහරක් වැදී නැති බවද නුවරඑළියේ වැසියෝ කියති. එහෙත් දැවැන්තයන් මරා දැමූ උදවියගේ සොහොන් කොත්වලට අදටද හෙණ වදින බව කියැවේ.

Source 1 : උපාලි තිලකරත්න (රිවිර පුවත්පත)
Source 2 : දිවයින පුවත්පත කතුවැකිය
Photos :  අන්තර්ජාලයෙන්

අලුත් දැනුම යාළුවන්ටත් දැනගන්න ශෙයා කරමු