භවයන් දෙකේදීම දියණියගේ අවමංගල්‍යයට සහභාගි වීමට සිදුවූණ මවක්

විවාහයෙන් පසු සුදිරිංග මහතා සහ ඔහුගේ බිරිය පදිංචිව සිටියේ කුලියාපිටිය මහබද්දේගම නිවසකය. ඔවුන්ගේ වැඩිමහල් දියණිය උපත ලැබුවේ 1970 අප්‍රේල් 25 වැනිදාය. නයනා දර්ශනී යනුවෙන් ඇයට නම් තැබිණි. දුව පැන ඇවිදින වයසේ සිටිය දී ඇය මහාමාර්ගයට ගිය විට දී අධික බියක් දක්වන බැව් මවට දක්නට ලැබිණි.

විශේෂයෙන්ම ඇය අධික ලෙස බියපත්වීම සිදුවූයේ මහා මාර්ගයක් හරහා ගමන් කිරීමේදීය. මව සමග පාර හරහා යාමට සිදුවූ විටෙක ඇය මවගේ ඇ​ෙඟ් එල්ලී මව බදාගෙන සිටීම සිරිත වූවාය. මේ අතර ඇය තුළින් දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් විය. එනම් නිදි යහනේ දී භාවනානුයෝගීව සිටින අයුරින් ඇඳ මත හිඳ ගැනීමය. ඇය වැඩි වශයෙන්ම උදේ කාලයේදීත් රාත‍්‍රී කාලයේදීත් ඒ අයුරින් සිටින බැව් දෙමාපියන්ට දක්නට ලැබිණ.

වයස අවුරුදු තුනක් පමණ වන විට නයනාගේ එම හැසිරීම් රටාව දිනෙන් දින වැඩිවිය. දිනක් ඒ අයුරින් ඇඳමත වාඩි වී සිටි දැරිය ඇය අසලට පැමිණි මව ඇමතුවාය. ‘‘අම්මේ මම මෙහෙම ඉන්නකොට මට ඉස්සර හිටපු දිහාව පේනවා’’ යයි කීවාය. සිය දියණිය පවසන්නේ කුමක්ද? මවට ප‍්‍රශ්නයක් මතුවිය.

‘‘ඉස්සර හිටපු දිහාවෙ මොනවද ඔයාට පේන්​ෙන්? යයි මව සිඟිති දියණියගෙන් විමසීමක් කළාය. නිහඬව කල්පනාකාරී වූ දැරිය ‘‘කතරගම හිටපු හැටි’’ යැයි කීවාය. ඒ වන විට කිසි දිනෙක කතරගම ප‍්‍රදේශය පිළිබඳව ශ‍්‍රවණය වීමක් හෝ කතරගම ප‍්‍රදේශයට හෝ ගොස් නොමැති දැරිය එසේ පවසන්නේ ඇයි ද? යන්න නැවත විමසීමට මවට සිතුනි.
‘‘කතරගම හිටපු හැටි මොනවද පේන්නෙ?’’ ඒ පිළිබඳව වැඩි තොරතුරක් දැන ගැනීමට මව නැවතත් ප‍්‍රශ්න කළාය.

‘‘මට තව අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා. තාත්තට කඩයක් තියෙනවා. ඒගොල්ලො ඉන්නෙ කතරගම දේවාලෙ ළඟ. දේවාලෙ ඝන්ඨාරෙ ගහනව ඇහෙනවා’’ දියණියගේ මෙම පිළිතුරෙන් පුදුමයට පත්වූ මව කතරගම ප‍්‍රදේශය ගැන කිසිදු අවබෝධයක් නොමැති දියණිය හෙළි කරන තොරතුරු පිළිබඳව සැමියාට ද පැවසුවාය. තවත් දින කීපයක් ගතවිය. ඇගේ කතරගම ජීවිතය ගැන නැවත නැවත අනාවරණය කරන්නට වූවාය.

‘‘කතරගම මාමා කෙනෙක් ඉන්නවා. ඒ මාමට කියන්නෙ ඩ‍්‍රැයිවර් මාමා. ඒ මාමට ඉන්නෙ කොල්ලොම විතරයි. අපේ ගේ තිබුණෙත් මාමලගෙ ගේ ළඟමයි. දවසක් මම පාර හරහා පැන්නා.

එතකොට මාව කාර් එකක හැපුණා’’ යනුවෙන් ඇගේ මතකයට නැගෙන පෙර භව තොරතුරු කියන්නට වූවාය. එසේ පැවසූ ඇයගේ එකම ඉල්ලීම වූයේ කතරගම යෑමට අවශ්‍ය බවය. ඒ වන විට නයනා සිව්වැනි වියේ පසුවූවාය. දියණියගේ බලවත් ඉල්ලීම නිසා ඇය කතරගමට රැගෙන යාමට දෙමාපියෝ තීරණය කළහ. මේ වන විට ඇයට නිතර නිතර හිසරදයක් ඇතිවන බව ද කියා සිටියාය. ඒ සඳහා ප‍්‍රතිකාර කැරිණි.

දියණිය හෙළි කළ තොරතුරු සටහනක් ද මව විසින් සකසා ගනු ලැබීය. එම සටහන වූයේ 

* කතරගම හිටියා
* අම්මා ඉන්නවා
* තාත්තා ඉන්නවා

* ඒ තාත්තා මහතයි
* ගෙදරට කතරගම දේවාලෙ පේනවා
* කතරගම ඩ‍්‍රැයිවර් මාමා ඉන්නවා

* ඩ‍්‍රැයිවර් මාමාගෙ ගෙදර පිරිමි ළමයි ඉන්නවා
* දේවාලෙ විශාල පොල්තෙල් පහනක් තියෙනවා
* ඝාන්ඨාර හඬ ගෙදරට ඇහෙනවා

* ඩ‍්‍රැයිවර් මාමාට කාර් එකක් තියෙනවා
* පාර හරහා පැන්නා
* එතකොට කාර් එකක හැපුනා

මේ අයුරින් දියණිය හෙළි කළ තොරතුරු අනුව පෙර නිවස සොයා ගැනීමට හැකි ද යන්න බැලීමට දෙමාපියන්ට අවශ්‍ය විය. ඒ සඳහා ඔවුහු දියණිය ද කැටුව 1974 අප්‍රේල් අටවැනිදා කතරගමට ගියහ.
එහිදී ඔවුන් විමසා සිටියේ දැරියක් මෝටර් රථයක හැපී මියගිය කඩයක් හිමි පවුලක් පිළිබඳවය. ඔවුන්ගේ විමසීම් අනුව කතරගම පදිංචිව සිටි කඩ හිමියෙකුව සිටි සුගතදාස නම් යුවළකගේ මියගිය දියණියක් පිළිබඳව ආරංචි ලැබිණි. ඒ අනුව ඔවුහු වෙළෙඳසල වෙත ගියහ. නයනා හෙළි කළ පරිදි එම වෙළෙඳසල පිහිටා තිබුණේ දේවාලයට නුදුරුවය. අනතුරුව පෙර භව නිවසට යෑමට ද ඇයට අවස්ථාව ලැබිණි.

පෙර භවයේ නිවසට ගිය දැරිය මව හඳුනා ගැනීමෙන් පසු එහි තිබූ පෙර භව ඡායාරූපයක්ද හඳුනා ගත්තාය. නිවස හඳුනා ගැනීමෙන් අනතුරුව ඩ‍්‍රැයිවර් මාමා හමුවීමත් ඇගේ පුනර්භව සාධකයේ ප‍්‍රබල සාක්කි බවට පත්විය. නයනා ප‍්‍රකාශ කළ පරිදි පෙර භවයේදී මරණයට පත්වී තිබුණේ ඇය නිවස අසල දී පාර හරහා යන විට දී කාරයක හැපීම නිසාය.
එම දැරියගේ මරණය සිදුවූ අන්දම පිළිබඳව විමර්ශනය කිරීමට අපටද අවස්ථාව ලැබිණි. එහිදී පෙර භවයේ මව ඒ පිළිබඳව අනාවරණය කළේ මෙසේය.

‘‘එදා මට මතකයි. එදා 1963 මැයි පළමු වැනිදා දවල් දෙකට විතර ඇති. දරුවා අපේ ගේ ඉස්සරහා ඉඳල පාරෙන් අනෙක් පැත්තට ගියා. අපි ගෙදර ඉඳන් බලාගෙන හිටියා. පාරෙන් එහා පැත්තෙ කාර් එකක් නවත්තල තිබුණා. ඒ ඩ‍්‍රැයිවර් මාමගෙ කාර් එක. ළමයා පාර හරහා ආවා. ඩ‍්‍රැයිවර් මාමාගෙ කාර් එක නිසා පාරේ ආපු කාර් එක දකින්න නැතිව ඇති. එක පාරටම වේගෙන් ආපු කාර් එකක දරුවා හැපුණා. අපි ඉක්මනට දරුවව අරගෙන රෝහලට ගෙන ගියා. එවිට ළමයා මියගියා. ඒ දරුවව නැවත දකින්න ලැබෙන්න කියල අපි දඹදිව වන්දනාවෙත් ගිහින් ප‍්‍රාර්ථනා කළා’’ යයි පෙර භවයේ මව අප සමග ද හෙළි කළාය.

ඒ අයුරින් මියගිය දැරිය නයනා ලෙස යළි ඉපදී පෙර භව දෙමාපියන් හමුවුවද ඇයට මේ භවයේ තවදුරටත් ජීවත් වීමට ලැබුණේ අවුරුදු දහ අටක් වැනි සුළු කාලයකි. දිගින් දිගටම ඇගේ හිසරදය ද පැවතිණි. ඒ වන විට නයනා උසස් පෙළ විභාගය සඳහා සූදානමින් සිටියාය.
ඇය අධ්‍යාපනය ලැබුවේ හලාවත මහා විද්‍යාලයේය. අපොස සාමාන්‍ය පෙළ විෂයයන් අටකින්ම ඇය සාමාර්ථ ලබා තිබිණි. වරින් වර ඇති වන හිසරදයට ප‍්‍රතිකාර ගනු ලැබූව ද රෝග නිධානයක් පිළිබඳව වෛද්‍ය මතයක් ඉදිරිපත් නොවිණි. එදා 1989 නොවැම්බර් 9 වැනිදාය. සිය නැගණිය සමග නිදි යහනේ සිටි නයනා හදිසියේම ඇදෙන් බිමට වැටුණි. අසල සිටි නැගණිය තම සොහොයුරිය නිදිබරව බිම වැටුණේ යයි සිතුවාය. මහ හඬින් සිනාසුණු නැගණිය තම සොයුරිය දැන් නැගිට එනු ඇතැයි සිතුවාය. මහ හඬින් සිනාසෙනු බාල දියණියගේ හඬ ඇසී මව කාමරයට පිවිසියාය. නයනා ඒ වන විටත් බිම වැතිර සිටියාය. වහා ඇය වෙත ගිය මව නයනා නැගිටවීමට උත්සාහ කළාය. එහෙත් ඇය නිහඬවම සිටියාය.

දියණියට කිසියම් රෝගී බවක් දක්නට ලැබිණි. ඇය වහා රෝහල්ගත කැරිණි. වරින් වර සිහි ලබමින් කොළඹ මහ රෝහලේදී ඇයව ප‍්‍රතිකාර කිරීම ආරම්භ කැරිණි. සිහිසුන් වන තත්ත්වය මැද සති තුනක පමණ කාලයක් ඇය රෝහල්ගතව සිටියාය. අනතුරුව නිවසට පැමිණිය ද නැවතත් ඇය රෝගී විය. හරියටම දින විසි හයක් පිරෙන දිනයේදී එනම් 1989 දෙසැම්බර් 4 වැනිදා ඇය අවසන් හුස්ම හෙළීය. දෙමාපියන් සහ සොහොයුරිය බලවත් කම්පනයට පත් කරවමින් ඇය මෙලොවින් සමුගන්නා විට දහනව වැනි වියට පා තබා සිටියාය. මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ ඇගේ මොළයේ හටගෙන තිබූ ගෙඩියක් මරණයට හේතු වී තිබූ බවය.

නයනාගේ මළගමට සහභාගි වූ පිරිස අතර ඇගේ පෙර භවයේ දෙමාපියෝ ද පැමිණ සිටියහ. තම මියගිය දියණිය යළි ඉපදී දෙවැනි වරටත් අකාලයේ මරණයට පත්වීමේ අතිශය දුක්මුසු සිදුවීම එම දෙමාපියන්ට ද බලවත් කම්පාවට හේතු විය. පුනර්භව පර්යේෂණ ඉතිහාසයේ එවැන්නක් සිදුවූ ප‍්‍රථම අවස්ථාව නයනාගේ පුනර්භව සාධකය විය.
භවයන් දෙකේදීම දියණියගේ අවමංගල්‍යයට සහභාගි වීමට නයනාගේ පෙර භවයේ දෙමාපියන්ට සිදුවීම ගැන ඔවුහු දැඩි කම්පාවට පත්ව සිටියහ. මේ අතර ඔවුන්ගෙන් අනාවරණය වූ අතිශය වැදගත් ප‍්‍රබල සාක්ෂියක්ද විය. එනම් පෙර භවයේ දැරිය රිය අනතුරට පත්වූ අවස්ථාවේ ඇගේ හිස වැදීම නිසා මොළයට ලේ ගැලීමක් සිදුවී තිබූ බැව් අනාවරණය වීමය.


නයනාට කුඩා කල සිට වැළඳී තිබූ හිසරදය ඇතිවීමට හේතුවක් ඉදිරිපත් කිරීමට ඇය රෝහල් ගත කළ විටදී වෛද්‍ය අංශවලට දුෂ්කර වී තිබිණි. නයනාගේ හිසරදයත් ඇය අනාවරණය කළ පෙර භවයේ දැරියගේ හිසට සිදුවී තිබූ අනතුරත් අතර සබඳතාවක් දක්නට ලැබීම ද මෙම පුනර්භව සාධකයේ වැදගත් කරුණක් ලෙස නයනාගේ පුනර්භව සිදුවීම පර්යේෂණ අතරට එක්විය.

නයනා ප‍්‍රකාශ කළ පරිදි පෙර භවයේ ඩ‍්‍රැයිවර් මාමා ලෙස හැඳින්වූ නිවසේ පිරිමි දරුවන් පමණක් සිටීම ද නිවැරදි විය. එදා පෙර භවයේදී අනතුරට පත්ව ඇත්තේ ද නයනාම හෙළි කළ අන්දමට නිවස අසලදී පාර හරහා ගමන් කරමින් සිටියදීම බව ද නිවැරදිය. පෙර භවයේ පියාට වෙළෙඳ සලක් තිබූ බැව් අනාවරණය කිරීම ද සනාථ විය. පෙර භවයේ පියාගේ ශාරීරික හැඩ රුව ද ඇය නිවැරදිව හෙළි කර තිබිණි. පෙර භවයේ නිවසට ගිය අවස්ථාවේ ඇගේ බයිසිකලය ගැන විමසීමත් පෙර භවයේ දැරියට බයිසිකලයක් තිබීමත් සනාථ වූ තවත් කරුණක් ලෙස දක්නට ලැබිණි. මව හඳුනාගැනීමෙන් පසු පෙර භවයේ මව සමග ඡායාරූපයකට පෙනී සිටීමට ද ඉදිරිපත් වූයේ මෙම පුනර්භව සිදුවීම පිළිබඳව ඔවුනොවුන් තුළ ඇතිවූ ප‍්‍රබල විශ්වාසය තහවරු කරමිනි.

පෙර භවයේදී හිස තුළට ලේ ගැලීමක් සිදුවී ඇති බැව් අනාවරණය වීමත් පෙර භවය හෙළි කළ නයනාට මොළයේ ගෙඩියක් තිබූ බැව් සනාථ වීමත් මෙම පර්යේෂණයේදී දැඩි ලෙස අවධානය යොමුවූ කරුණක් ද විය. පුනර්භව පර්යේෂණවල දී මෙවැනි සාධක ඇතුළත් පර්යේෂණ වාර්තා හඳුන්වා ඇත්තේ (Interanal Dise Ases Related To Previous Lives) යනුවෙනි. මේ අතර නයනා දැරිය පෙර භවය හෙළි කිරීම සිදු කර ඇත්තේ භාවනානුයෝගී ලෙස සිටීමෙන් බැව් අනාවරණය වීම ද මෙහි තවත් වැදගත් අංශයක් විය.

නයනා දැරිය භාවනානුයෝගීව සිට පෙර භවය හෙළි කළ පරිදි සිදුවීම් රැසක් පුනර්භව පර්යේෂණවලට ඇතුළත් වී තිබේ. එවැනි සිදුවීම් (Some Persons Have Seemed To Rcover Memories of Previous Lives During Meditation) යනුවෙන් සඳහන්ව ඇත. විශේෂයෙන් එවැනි සාධක කීපයක් බුරුමයේ පුනර්භව සාධක අතර ද දක්නට ලැබේ. බුරුමයේදී උපත ලද ඉන්තානු නම් දරුවෙකු පෙර භව තොරතුරු අනාවරණය කරනු ලැබුවේ භාවනානුයෝගීව සිටියදී දක්නට ලැබුණු දර්ශන මගින් බැව් සනාථ විය.

තිස්ස ජයවර්ධන ඉරිදා ලංකාදීපයට ලියන “පෙර භවයේ ප‍්‍රබල සාක්ෂි’ ලිපි මාලාව ඇසුරිණි