සිදුවූ මහා පුදුම ආශ්චර්යය මා ඇස්‌ දෙකින්ම දැක්‌කා – රාජකීය පණ්‌ඩිත ගොඩගම චූලාලංකාර ස්‌වාමින්ද්‍රයන් වහන්සේ

රාජකීය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති බී. ඒ. ගෞරව (ලන්ඩන්) මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක උපාධ්‍යාය ගොඩගම චූලාලංකාර ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ධර්ම විනයධර මෙන්ම ශබ්ද ශාස්‌ත්‍රද මනා සේ ප්‍රගුණ කළ මහා ප්‍රාඥයෙකි. පෙර අපරදිග භාෂාවන් පිළිබඳව ප්‍රවීණත්වයක්‌ උසුලන්නාවූ පැනවතෙකි. උන්වහන්සේ වත්මනෙහි මාතර හිත්තැටිය රාජමහා විහාරයෙහි විහාරාධිපතින් වහන්සේව වැඩ වාසය කරති.

මෙම රජමහා විහාරය දකුණු පළාතේ, මාතර කඩවත් හතර තුළ, බටහිර හිත්තැටියේ, මාතර අකුරැස්‌ස ප්‍රධාන මාර්ගය අසල පිහිටා තිබේ. සංඝරාජ වැලිවිට සරණංකර මහා නා හිමියන්ගේ අප්‍රමාණ කැපවීමෙන් උපදවාගත් මෑත බෞද්ධ පුනරුද අවධියේ දකුණුලක එකෙළිකළ මහා පින්බිමක්‌ වූ මාතර හිත්තැටිය රජමහා විහාරය ඇසුරින් පණ පෙවුණු අතීත ශාසනික කාර්යයත්, ගොඩගම චූලාලංකාර නා හිමිපාණන්ගේ අපිස්‌ පැවිදි දිවි පවතත් ඇසුරුකොටගෙන ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමිපාණෝ ලිපි පෙළක්‌ සපයති. මේ එම ලිපි පෙළේ දෙවැන්නයි.

නායක හාමුදුරුවනේ , කෙනෙකුට දියුණු විය හැකි දිශාව හෝ ප්‍රදේශය ජ්‍යෝතිෂය ඇසුරින් කියන්න පුලුවන්ද?. නායක හාමුදුරුවනේ, මම නම් මේ වගේ කාරණයක්‌ අහපු පළමුවැනි අවස්‌ථාවයි මේක. ජ්‍යෝතිෂය හොඳින් දන්න කෙනෙකුට කියන්න පුලුවන් ද කොයි පළාතේ ජීවත් වුණාම දියුණු වෙන්න පුලුවන්ද කියලා. අත්තුඩාවේ අත්ථදස්‌සි හාමුදුරුවෝ ඒ වැනි දැනුමක්‌ ඇතිව වැඩ සිටි හාමුදුරු නමක්‌ද?.

ඔව්….ඔව්…… මේක ඉතාම වැදගත් විශේෂ කාරණයක්‌ කියලා මාත් හිතනවා. හැම එක්‌කෙනාටම හැම ප්‍රදේශයක්‌ම දියුණුවට හේතු වන්නේ නැහැ. දැන් බලන්න මැලිබන් මුදලාලි ගාල්ලේ. නවලෝක මුදලාලි මාතර වරකාපිටියේ. ඒ ඇත්තන්ට හරි ගිහින් තියෙන්නේ උපන් ප්‍රදේශයෙන් ඈත් වෙලා ගිහිල්ලා ස්‌වෝත්සාහයෙන් කටයුතු කිරීම නිසයි. එක එක පුද්ගලයාට සත්ප්‍රාය ප්‍රදේශ තියෙනවා. සත්ප්‍රාය ප්‍රදේශ කියන්නේ හරියන, දියුණුවන ප්‍රදේශයි. ප්‍රදේශ සම්පත්තිය කියලා ධර්මයෙහිත් පැහැදිලි කරලා තියෙනවා. පතිරූප දේසයක්‌ කියලා කියන්නෙත් මේ ගැනමයි.

මාර්ග ඵල ලැබීම සඳහාත් මේ කාරණය බලපානවා. කරණීයමෙත්ත සූත්‍රය දේශනා කිරීමේ හේතුව පරීක්‍ෂා කරලා බැලුවහම මේ කාරණය වඩාත් පැහැදිලි වෙනවා. මේ සූත්‍රය දේශනා කොට වදාළේ භික්‍ෂූන් වහන්සේලාට. කර්මස්‌ථාන ලබා ගෙන භාවනා වැඩීම සඳහා ආරණ්‍යයට වැඩියත්, වෘක්‍ෂ දේවතාවුන්ගෙන් ඇතිවෙච්ච කරදර නිසා භාවනා කිරීමෙන් ප්‍රතිඵලයක්‌ ලබන්න බැරි වුණා. මේ භික්‍ෂූන් වහන්සේලා ආපසු ඇවිදින් බුදුරජාණන් වහන්සේට මේ තත්ත්වය සැලකර සිටියා. බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රය උගන්වලා ඒ ඇත්තන් නැවතත් ඒ ප්‍රදේශයටම පිටත් කර යවනවා.

ඒ අනුව ඒ ඇත්තන්ට ඉක්‌මනින්ම රහත්වීමේ වාසනාව උදා වුණා. ඒ ඒ පුද්ගලයන්ට හරියන සත්ප්‍රාය ප්‍රදේශ ජ්‍යෝතිෂ ශාස්‌ත්‍රයට අනුව තියෙනවා. අන්න ඒ අනුව තමයි අර තරුණයාට අත්ථදස්‌සි හාමුදුරුවෝ කිව්වේ උඹට හරියන්නේ බටහිර පළාත (බස්‌නාහිර පැත්ත) කියලා. ඒ ප්‍රදේශයට ගිහිල්ලා දියුණුව සඳහා වැඩ කරන්න කියලා නියම කරලා තියෙනවා. ඒ වගේම මේ තරුණයා අතට පතාක කිහිපයකුත් දීලා තියෙනවා. පතාක කියන්නේ සත හැත්තෑ පහක්‌ වටිනා කාසියක්‌. ඒක ඉතා පුංචි කාසියක්‌.

නායක හාමුදුරුවෝ පතාක දැකලා තියෙනවද?

ඔව් මම දැකලා තියෙනවා. බොහෝ විට ඔය ප්‍රදර්ශනවල දැකලා තියෙනවා. අත්ථදස්‌සි හාමුදුරුවෝ ඔය පතාක කිහිපයකුත් දීලයි ඔය තරුණයාව පිටත් කළේ.

ඔය කාලයේ දුම්රිය තිබුණේ කොළඹ ඉඳලා ගාල්ල දක්‌වා පමණයි. බස්‌ තිබුණෙත් නැහැ, දුම්රිය තිබුණෙත් නෑ මාතරට. ඉතින් දුම්රියේ යන උදවිය ගාල්ලට ආවේ අශ්ව කරත්තවලින්. අශ්ව කරත්තවලින් ගාල්ලට ඇවිදින් එතැනදී දුම්රියට නගිනවා. අර තරුණයාත් අශ්ව කරත්තයකින් ගාල්ලට ඇවිදින් දුම්රියට නැගලා කොළඹ පිටකොටුවේ සෙක්‌කු වීදියට ඇවිත් තියෙනවා. සෙක්‌කු වීදියට දැන් කියන්නේ කදිරේෂන් පාර කියලා. පුංචි කාමරයක්‌ අරගෙන නතර වෙලා මුලින්ම කළේ ජ්‍යෝතිෂ විද්‍යා කටයුතු කරගෙන යැමයි.

ඉතාම සුළු මුදලකට කේන්දර බලනවා. ඒක තමයි ලැබිච්ච ආදායම. ඔය මාළිගාකන්දේ විෙද්‍යාaදය පිරිවෙන ආරම්භ කිරීමට මුල්වෙච්ච ධර්මවර්ධන මුහන්දිරම්තුමා තමන්ගේ දුවගේ කේන්දරෙත් අරගෙන ඇවිත් තියෙනවා මේ තරුණයා ළඟට ඒ කේන්දරය බලා ගන්න. මේක බැලුවහම තමන්ගේ කේන්දරයට මේ කේන්දරය වඩාත් හොඳින් සීහෙන බව දැනගෙන මේ තරුණයා යෝජනාව ඉදිරිපත් කළා, ධර්මවර්ධන මුහන්දිරම්තුමාට. එතුමන් ඒකට කැමති වුණා. පසුව කොටහේනේ ඉඩමක්‌, ගෙයක්‌ අරගෙන මේ දෙපළ විවාහ වී එහි පදිංචි වුණා.

මේ දෙපළට එහිදී ලැබුණු පළමු වැනි ළමයා තමයි දොන් ඩේවිඩ් හේවාවිතාරණ. ඒ දරුවා තමයි පසු කාලයේ අනගාරික ධර්මපාල නමින් ලෝක ප්‍රකට වුණේ. හේවාවිතාරණ තරුණයා ඊළඟට වඩු වැඩත් පටන් ගත්තා. ඉතාම දක්‍ෂ වඩුවෙක්‌ වශයෙන් ඒ කර්මාන්තය දියුණු කළා. ඇඳ, පුටු, මේස ආදී ගෘහ භාණ්‌ඩ හදලා පිටකොටුවේ ස්‌ථානයක තබලා විකුණන්න පටන් ගත්තා. ඒ කාලේ ඉතින් කාගේවත් බොරු වැඩ නැහැනේ. හැම වැඩක්‌ම ඉතාම හොඳින් සාර්ථකව අංග සම්පූර්ණව කරනවා. එයිනුත් ආදායමක්‌ ලැබෙන්න පටන් ගත්තා.

මොනතරම් දක්‍ෂ විදියට ගෘහ භාණ්‌ඩ නිර්මාණය කළාද කියනවා නම් එංගලන්තයේ බකිංහැම් මාළිගයේත් ඒ හදාපු ලී බඩු තියෙනවා. ස්‌වීඩන් රටේ රජ මාළිගාවේත් ඒ ලී බඩු තියෙනවා. අදත් පිටකොටුවේ ඒ ලී බඩු සාප්පුව තියෙනවා. ඒ සාප්පුව ආරම්භ කළේ දොන් කරෝලිස්‌ හේවාවිතාරණ තරුණයා තමයි. ඉංග්‍රීසි ආණ්‌ඩුවෙන් උන්නැහේට මුදලි තනතුරකුත් ලැබුණා. සම්බුද්ධ ශාසනයටත් සිංහල බෞද්ධ සංස්‌කෘතියටත්, රටටත්, ලෝකයටත් උදාර සේවාවක්‌ කිරීමට අනගාරික ධර්මපාලතුමා නමින් ශේ්‍රෂ්ඨ පුතෙක්‌ බිහි වූයේ ඔය දොන් කරෝලිස්‌ හේවාවිතාරණ සහ මල්ලිකා හේවාවිතාරණ නිසා බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කරනවා. ඉතින් මේ ශ්‍රේෂ්ඨ පවුල හිත්තැටියට සම්බන්ධයි. ඒක අපට මහා ගෞරවයක්‌. මල්ලිකා හේවාවිතාරණ, ධර්මවර්ධන මුහන්දිරම් තුමාගේ දුව.

මේ පන්සලේ තියෙන චෛත්‍යය හදලා තියෙන්නේ සරම් සිරිවර්ධන මුදලිතුමාගේ ධන වියදමින්. සරම් සිරිවර්ධන මුදලිතුමාගේ ප්‍රධානත්වයෙන් ගංගා රෝහණ පිංකම් පහක්‌ විතර කරලා තියෙනව.

නායක හාමුදුරුවනේ ඔය ගංගා රෝහණ පිංකම් ගැන විස්‌තරයක්‌ කළොත් හොඳයි.

බුදු හාමුදුරුවොත් ගංගාවක යාත්‍රාවක වැඩම කරලා ධර්මය දේශනා කළ අවස්‌ථාවක්‌ ගැන සඳහන් වෙනවා. ඒක බුද්ධ චරිතයටත් සම්බන්ධ වී තිබෙනවා. ගංගා රෝහණ වචනය ඇවිත් තියෙන්නේ එතනින්. ගංගා රෝහණ පිංකමේදී ගංගාවේ ඔරු පාරු සියල්ලම සරසලා එක පාරුවක දර්ශනීය පිරිත් මණ්‌ඩපයක්‌ ඉදි කරලා ඒ ඒ පාරුවල ඔරුවල භික්‍ෂූන් වහන්සේලා වඩා හිඳුවලා පිරිත් කියමින් කරන ඉතාම දර්ශනීය පිංකමක්‌ මේක. ඒ කාලයේ නිල්වලා ගඟේ තමයි මේ පිංකම මේ ආකාරයට සංවිධානය කළේ. මේ ගංගාව අයිනේ තියෙනවා, මුදලිවරුන්ගේත් ප්‍රධානියා වශයෙන් හැඳින් වූ ඉලංගක්‌කෝන් මහ මුදලිතුමාගේ වලව්ව.

ඔහු බැලු බැල්මට ප්‍රාදේශීය රජෙක්‌ වගෙයි. බොහොම ආනුභාව සම්පන්න කෙනෙක්‌. අද සමුපකාර ආරෝග්‍යශාලාව පිහිටුවලා තියෙන්නේ ඒ වලව්වේ. ඒ කාලයේ මුදලි මුහන්දිරම්වරුන්ට ඒ ඒ වැඩ කටයුතු කර ගැනීමට මිනිසුන් සොයා ගැනීමට කිසිම අපහසුවක්‌ නෑ. ඕනෑ තරම් ඉන්නවා. ඕනෑම වැඩකට වචනය විතරයි වියදම් කරන්න ඕනෑ. කිසිම මුදලක්‌ ඕන නැහැ. නිල්වලා ගඟේ මේ සියලුම ඔරු පාරු සරසලා භික්‍ෂූන් වහන්සේලාත් වඩා හිඳුවාගෙන උඩහට ගමන් කරනවා. ගොඩපිටිය රජමහා විහාරය දක්‌වා ගමන් කරනවා. ඒ අතර තැනින් තැන නතර කරලා දාන මාන ආදිය පූජා කරනවා. ගංගා රෝහණ පිංකම නමින් ප්‍රකට වෙලා තියෙන්නේ ඔය පිංකමයි. එවැනි පිංකම් පහක්‌ විතර කරලා තියෙනවා. මේක තමයි ගංගා රෝහණ වර්ණනා කියන ගී කාව්‍යයට වස්‌තු බීජය උනෙත්.

ගංගා රෝහණ වර්ණනා කාව්‍යය ලීවේ තෝමිස්‌ සමරසේකර කවියා. මෙහි මුල් ගීය නිසා සරදම් වාදය කියලා වාදයකුත් ආරම්භ වුණා. සරම් සිරිවර්ධන මුහන්දිරම් තුමාගේ පරණ වලව්වේ තමයි මාතර රාහුල විද්‍යාලය පටන් අරන් තියෙන්නේ. ඒ වලව්වත් පුරාවිද්‍යාවෙන් ආරක්‍ෂා වෙනවා. විද්‍යාලයේ ගොඩනැගිලි වටේට ඉදිවෙලා තියෙනවා. ඒ නිසා වලව්ව මැදිවෙලයි තියෙන්නේ. ඔය ගංගා රෝහණ පිංකමේදී ධාතු කරඬුවයි පිරිත් පොත් වහන්සේයි වැඩමවලා තියෙන්නේ අපේ මේ හිත්තැටිය රජමහා විහාරස්‌ථානයේ ඉඳලා.

හැතැක්‌ම එකහමාරක්‌ විතර දුර තියෙනවා. උඩුවියන් පාවාඩ ඇතිව, කුඩ කොඩි සේසත් ඇතිව මහ පෙරහැරකින් තමයි වඩම්මාගෙන ගිහින් තියෙන්නේ. ඉලංගක්‌කෝන් මහ වලව්ව ළඟට තමයි ගමන් කරලා තියෙන්නේ. එතනදී යුගාසන ධර්ම දේශනාවකුත් සිද්ධ කරලා තියෙනවා. ඒ ධර්ම දේශනාව සිද්ධ කරලා තියෙන්නේ කොරතොට ධම්මාරාම නායක හාමුදුරුවොයි, බෝවල ධම්මානන්ද නායක හාමුදුරුවොයි කියන දෙනම. සරම් මුදලිතුමාගේ පිං පොතක්‌ තියෙනවා. ඒකේ එතුමා කරපු සියලුම පිංකම් සඳහන් කරලා තියෙනවා. ඒ පොත සංස්‌කෘතික දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කරලා තියෙනවා. ඒකේ තියෙනවා මේ පිංකම් කිරීම පිළිබඳව.

අනගාරික ධර්මපාලතුමා අනගාරික බවට පත්වෙලා දඹදිවට ගිහිල්ලා මහා ශාසන දියුණුවක්‌ ඇති කරලා එහේදීම පැවිදි උපසම්පදාවත් ලබලා අන්තිමට බරණැස ඉසිපතනයේ ඉඳලා තමයි අපවත් වුණේ. 1934 දී අපවත් වුණාට පසුව ආදාහනය කරලා භස්‌මාවශේෂ කොටසක්‌ ගෙනාවා කොළඹ මහා බෝධි මධ්‍යස්‌ථානයට. ඉන්පසුව මාතර ජනතාවගේ බලවත් ඉල්ලීම නිසා එම භස්‌මාවශේෂ වැඩමෙව්වා මාතර හිත්තැටියේ අපේ මේ රජමහා විහාරස්‌ථානයට. ඒකට හේතුව එතුමාගේ පියාගේ ජන්ම භූමිය හිත්තැටිය නිසයි. ජනතාවගේ ගෞරවය උපහාරය සඳහා මාතරට වැඩමවා ගෙන ආ දවසේ සිදුවෙච්ච ආශ්චර්යයක්‌ ගැන තවමත් බොහෝ දෙනා කතා කරනවා.

අනගාරික ධර්මපාලතුමාගේ භස්‌මාවශේෂ මාතරට වඩමවාගෙන ආ වෙලාවේ මුළුමහත් මාතර පුරවරයේම කහ පාට එළියක්‌ වැටුණා. ඒක මහා පුදුම දර්ශනයක්‌. මගේ ඇස්‌ දෙකින්ම මේ දර්ශනය දැක්‌කා. මට එතකොට වයස අවුරුදු අටයි. පුදුම විදියේ ජන ගංගාවකුත් රැස්‌ වෙලා හිටියා. තවමත් එදා ඒ කහපාට දර්ශනය දැක්‌ක පරණ අය කිහිප දෙනෙක්‌ ඉන්නවා. ඒක ලා කහපාට එළියක්‌. ඒ එක්‌කම තවත් විශේෂ දෙයක්‌ මට කියන්න තියෙනවා. ඒ තමයි ලංකාවේ පළමුවැනි සිංහල අග්‍ර විනිශ්චකාරවරයා පත්වීම. ඊ. එල්. විඡේවර්ධන මහත්මයා.

ඊට කලින් ඒ තනතුරු දැරුවේ ඔක්‌කෝම සුදු ජාතික මහත්වරු. ඒ කාලේ ඔය මිනී මැරුම් නඩු එහෙම අහන්නේ ඔය අග්‍ර විනිශ්චයකාරතුමායි. ගාල්ලේ නඩු ඇසීමේ සැසි වාරය ආරම්භ කරන අවස්‌ථාවේ ඊට මත්තෙන් දිවුරුම් දීමකුත් තියෙනවා. එසේ දිවුරුම් දීමට එතුමා පැමිණියේ අපේ රජමහා විහාරස්‌ථානයටයි. ඒක විශේෂ අවස්‌ථාවක්‌ තමයි. ඔය එකදාස්‌ නමසිය හතළිස්‌ ගණන්වල. එතකොට මාත් පැවිදි වෙලා හිටියේ.

තවත් විශේෂ කාරණයක්‌ තමයි මාළිගාකන්ද විෙද්‍යාaදය පිරිවෙන ආරම්භ කළ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ ලෝකයේම හිටිය හතරවැනි පඬිවරයා වශයෙන් හඳුන්වල තියෙනවා. නායක හාමුදුරුවන් පිළිගැනීමේ උත්සවයක්‌ මාතර ජනතාව සංවිධානය කළා. ඒක පවත්වලා තියෙන්නේ මේ රාජමහා විහාරස්‌ථානයේදී. පිළිගැනීමේ උත්සවයට අති විශාල පිරිසක්‌ රැස්‌වෙලා තියෙනවා. ඒ උත්සවයට විශේෂයෙන් සහභාගිවෙලා තියෙනවා ඡේ. ඩී. අභයගුණරත්න පඬිතුමන්.

මේ පඬිතුමා තමයි ජාතක ගාථාවල සිංහල සන්නය ශුද්ධ කරල මුද්‍රණය කරල තියෙන්නේ. ඩී. ඡේ. අභයගුණරත්න පඬිතුමාගේ ගම බටුවිට. හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිට විෙද්‍යාaදය පිරිවෙනේ පරිවේණාධිපතිත්වය ඉසිලු බද්දේගම පියරතන නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ දක්‌වා සියලුදෙනා වහන්සේ ම පිළිගැනීමේ උත්සව අපේ මේ හිත්තැටියේ පන්සලේ පවත්වලා තියෙනවා

ඒකට හේතුව මොකද නායක හාමුදුරුවනේ ?

අපේ පන්සල හොඳට ඉඩකඩ තියෙන තැනක්‌. ඒ වගේ ම ඓතිහාසික වශයෙන් ඉතා ම වැදගත් ස්‌ථානයක්‌. ඒ විතරක්‌ නෙවෙයි, අපේ පන්සලේ වැඩ සිටිය ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාගේ ගුරු භූමිය විෙද්‍යාaදය මහ පිරිවෙනයි. තමන්ගේ ගුරු භූමියට විශේෂ සැලකිල්ලක්‌ වශයෙන් මේ පිළිගැනීමේ උත්සව පැවැත්වූ බවත් පේනවා. ඒ විතරක්‌ නෙවෙයි, ප්‍රදේශයේ වැඩිම ප්‍රමාණයක්‌ වලව්වල සම්බන්ධය පවතින්නේත් අපේ පන්සලට. ඒ වගේම කවදත් අති විශාල සෙනඟක්‌ රැස්‌වන තැනක්‌ මේ පන්සල. මාතර පළාතේ ඉතා ප්‍රමුඛ විහාරස්‌ථානයක්‌ හිත්තැටියේ රාජමහා විහාරස්‌ථානය. ඒ වගේම මේ විහාරස්‌ථානය ගිහි පැවිදි හැමදෙනාගේම මහත් ගෞරවයට, සැලකිල්ලට පාත්‍ර වී තිබෙන මහා විහාරස්‌ථානයක්‌.

ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නාහිමි
දිවයින පුවත්පත

මේ වගේ අලුත් වැදගත් දේවල් හැමදාම දැනගන්න දැන්ම අපේ පේජ් එක ලයික් කරන්න.