ඔබ දැනගත යුතුම කතලුව මැෂිමේ කතාව

ශ්‍රී ලංකාවේ පැරැණිම සිංහල පුවත්පත ලංකා ලෝකයයි. එය පළ වූයේ 1860 නොවැ. 20 දාය. මීට පෙර ලංකාවේ වෙනත් පුවත්පත් පළවී තිබුණි. ඒ ඉංග්‍රීසි භාෂාවෙනි. එකල ඉංග්‍රීසින්ගෙන් පළවූ රජයේ ගැසට්‌ පත්‍රය ද පුවත්පතක ලක්‍ෂණ ගැබ්ව තිබුණු එකකි.

ලංකා ඉතිහාසයේ සිංහල බෞද්ධයන්ට ලංකා ලෝකයත් ලක්‌මිණි පහනත් අතිශය වැදගත් වන්නේ ලංකාවේ පළවූ ප්‍රථම සිංහල පුවත්පත් වීම නිසාය. එවකට වෙනත් පුවත්පත් ප්‍රකාශන කිහිපයක්‌ම මුද්‍රණය වෙමින් තිබුණි. ඒවා ඉංග්‍රීසි පාඨකයන් සඳහා ඉංගී්‍රසි බසිනි. ලංකා ලෝකය සහ ලක්‌මිණි පහන ඉතිහාස ගත වන්නේ සිංහල බෞද්ධ පාඨකයන් සඳහා සිංහල බසින් පළවූ ප්‍රථම ප්‍රවෘත්ති පත්‍ර දෙක වීම නිසාය.

ලංකා ලෝකය සහ ලක්‌මිණි පහනේ ඉතිහාසගත වීම එතැනින් නවතින්නේ නැත. ඒ පුවත්පත් දෙක මුද්‍රණය කරනු ලැබූයේ ලංකා රෝප නම් දේශීය මුද්‍රණතලයක වීම අනිත් ඓතිහාසික කරුණයි.

ලංකා රෝප මුද්‍රණාලය පිහිටුවා තිබුණේ ගාල්ලේ දංගෙදර වීදියේ ස්‌ථානයකය. එබැවින් ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත බිහිකිරීමේ ගෞරවයද ගාල්ලට ලැබුණි.

paper
ශ්‍රී ලංකාවේ පැරැණිම සිංහල පුවත්පත ලංකා ලෝකයයි ( උපුටාගැනීම දිනමිණ)

එපමණකින් මේ ඉතිහාස කතාව නවතින්නේ නැත. මේ ඓතිහාසික ප්‍රථම පුවත්පත මුද්‍රණය කරනු ලැබූ මුද්‍රණ යන්ත්‍රය තිබෙන්නේද ගාල්ලේ වීමය. ගාල්ලේ දංගෙදර වීදියේ ද ගාල්ලේ කොටුවේද සැරි සැරූ මේ ඓතිහාසික මුද්‍රණ යන්ත්‍රය අන්තිමේදී නිත්‍ය වාසස්‌ථානය ලෙස ලැගුම් ගනු ලබන්නේ කතලුව ගිනිමුල්ල පුරාණ රජමහා විහාරයේය.

එක්‌දාස්‌ හැට ගණන් වල ලංකාව යටත්ව තිබුණේ ඉංග්‍රීසින්ටය. ඒ වනවිට ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් මිදීමේ වුවමනාව ශ්‍රී ලාංකිකයන්ට තිබුණි. ඒ නිදහස්‌ සටනේ අරගලයට සිංහල හඬනැගිය හැකි පුවත්පතක්‌ අත්‍යාවශ්‍යව තිබුණි.

ඒ අඩුව සපුරා ගැනීමට බිහි වූ ප්‍රථම සිංහල පුවත්පත ලංකා ලෝකයයි. ඒ පුවත්පත මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රයක අවශ්‍යතාවය ඉතා දැනෙමින් තිබුණු අවධියක මේ මුද්‍රණ යන්ත්‍රය පරිත්‍යාග කොට ඇත්තේ බෞද්ධයන්ට ලැදි රටක්‌ වූ සියම් රාජ්‍යයේ රජතුමා විසිනි.

එකල මුද්‍රණ යන්ත්‍රයක්‌ යනු අද මෙන් සුලභ එකක්‌ නොව එකල ඉතා විශාල වටිනාකමකින් යුතු එකක්‌ විය. එංගලන්තයේ නිපද වූ මේ මුද්‍රණ යන්ත්‍රය සියම් රටේ චළාලංකාර රජු විසින් බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්‌ස හිමිට පරිත්‍යාග කරවන ලද බැව් ඉතිහාසයට අනුව කියෑවෙන කතාවයි. එය ලංකාවට රැගෙන ආවේ 1835 වසරේ බවද සඳහන්ය.

එම යන්ත්‍රයෙන් මුලින්ම අච්චු ගසා ඇත්තේ ලංකා ලෝක සිංහල පුවත්පතයි. එය දිනපතා පුවත්පතක්‌ නොව මසකට දෙවතාවක්‌ මුද්‍රණය කරනු ලැබූවකි. එය අකුරු අමුණා ඵලකය මත තබා පයින් පාගා මුද්‍රණය කරනු ලැබූ යන්ත්‍රයකි.

අනතුරුව ලෝකය නවීන වෙද්දී නවතම මුද්‍රණ යන්ත්‍ර ලංකාවට ගෙන්වද්දී ලංකා ලෝකය ලක්‌මිණි පහන අභාවයට යද්දී ගාල්ලේ දංගෙදර වීදියෙනුත් ගාල්ලේ කොටුවෙනුත් එහා මෙහා වෙවී තිබුණු මේ යන්ත්‍රය එක්‌දහස්‌ නවසිය හතළිස්‌ ගණන් වලදී කතලුව ගිනිවැල්ල විහාරයේ නිත්‍ය වාසස්‌ථාන ද ලැබුවේය.

කතලුව ගිනිවැල්ල විහාරයට මේ ඓතිහාසික මුද්‍රණ යන්ත්‍රය ආඩම්බරයක්‌ විය. එහි විහාරාධිපති හිමියෝ මේ යන්ත්‍රය මහත් භක්‌තියෙන් ආරක්‍ෂා කළහ. පාසල් ළමෝ මේ පැරැණි යන්ත්‍රය නරඹන්නට ආහ. විද්වත්හු එය නැරඹූහ.

වඩාත් වැඩි දුර ආරක්‍ෂාව සඳහා 1982 වසරේදී කෞතුකාගාරයේ මානව විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ ආචාර්ය පණ්‌ඩුල ඇඳගම මහතා කතලුවට පැමිණ මේ මුද්‍රණ යන්ත්‍රය ජාතික කෞතුකාගාරයට ඉල්ලා සිටියේය. නමුත් විහාරාධිපති හිමියෝ ඒ අදහසට එකඟ නොවූහ. ගාල්ලේ දෙය ගාල්ලෙහිම තිබිය යුතු යෑයි එහිමියෝ සිතන්නට ඉඩ ඇත.

6cb1caf1dbfeef58d2e5cf48721c0946-500x500
ලංකාවේ පැරැණිම ප්‍රථම සිංහල පුවත්පත මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රය

එහෙත් පසු ගිය 19 දා රාත්‍රියේ යන්ත්‍රය තිබුණු ලැගුම් ගෙයින් දුමක්‌ නැගිණි. අසල්වැසි පන්සලේ සහ ගම්වැසියන්ගේ උත්සාහයෙන්ද ගිනි නිවන හමුදාවේ උත්සාහයෙන්ද ඵලක්‌ වූයේ නැත. මුළු ලැගුම් ගෙයම පිළිස්‌සී අලුවී තිබුණි.

සුන්බුන් අතරේ සියවස්‌ එකහමාරකට අධික කාලයක්‌ සුරක්‍ෂිතව ලංකාවේ පැරැණිම ප්‍රථම සිංහල පුවත්පත මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රයෙන් ඉතිරිව තිබුණේ යකඩ සැකිල්ල පමණි. මුද්‍රණ යන්ත්‍රයේ ලීවලින් හෙබි සියලු කොටස්‌ද මුද්‍රණ අකුරු පිළිස්‌සී උණුවී තිබුණි. ඒ සමගම සියම් රාජ්‍යයෙන් තෑගි ලද පුස්‌කොල පොත් රැසක්‌ද ගිනි බත්ව තිබිණි.

මේ රට හැඬිය යුතු මොහොතකි. රාජ්‍ය කෞතුකාගාරය කොල්ල කා එහි අගනා කෞතුක භාණ්‌ඩ වල මුතු මැණික්‌ කොල්ල කනු ලබයි. රට පුරා වස්‌තු ජයටම කොල්ල කනු ලබයි. මේ වැනසී යන්නේ රටේ අගනා අතීතයයි. රටක අනාගතයට ඉතිරිකොට තැබිය යුතු අතීත සෞභාග්‍යයයි. ඒ අතරේ අපේ අතීතයේ මුද්‍රණ වංශ කතාවේ කැපී පෙනෙන තැනක්‌ සනිටුහන් කරන අගනා වස්‌තුවක්‌ ගිනිබත්ව ගියේය.

දැන් ඉතින් ඉතිරි වී ඇති යකඩ සැකිල්ල සංරක්‍ෂණය කොට තැබිය හැක. එහෙත් දැන් පරිස්‌සමට තැබූ දැ ඈලියාවට ගොසිනි.
එහි යකඩ වටිනාකමක්‌ මිස කෞතුක වටිනාකමක්‌ නම් නැත.

ගාල්ලේ ලලිත් චාමින්දගේ
වාර්තාව ඇසුරිනි.

මේ වගේ අලුත් දේවල් තොරතුරු හැමදාම දැනගන්න දැන්ම අපේ පේජ් එකට ලයික් කරන්න.