අද්භූත නොවූ ඒත් අද්භූත කථාවක්

මේ කථාව ටිකක් වෙනස් එකක්. මේක භූත කතාවකුත් නෙවෙයි. එහෙම නැත්තෙත් නැහැ. කියවලාම බලමු එහෙනම්

ජයන්ත කඩවසම්ය. නමුත් තවම තනිකඩය. පවුලේ බර කරටගෙන කටයුතු කරන්නට සිදුව ඇති නිසා ඔහුට විවාහයක්‌ ගැන සිතන්නට නිදහසක්‌ නැත. දැනට මාස තුනකට පමණ පෙර දිනක්‌ ඔහු මා හමුවිය. “අයියේ මට පොඩි ප්‍රශ්නයක්‌ තියෙනවා. හොඳ දොස්‌තර කෙනෙක්‌ට පෙන්නන්න ඕන. මට උදවුවක්‌ ඕන.” ජයන්ත මගෙන් එම ඉල්ලීම කළේ කිසියම් විශ්වාසයකිනි. මට හිටපු ගමන් එක එක රූප පේනවා. දවසක්‌ මම ගෙදර ඉන්නකොට එකපාරට අම්මා දැක්‌කේ දෙගුණයක්‌ විතර විශාලෙට. මට බය හිතුණා. මං කෑගැහුවා.

ඇස්‌වල ලෙඩක්‌ වෙන්න ඇති. ඇස්‌ රෝහලට ගිහින් පරීක්‍ෂා කරගන්න. මම එසේ කීවත් ඊට පෙර ඔහු ඇස්‌ රෝහලට ගොස්‌ වෛද්‍ය පරීක්‍ෂාවක්‌ සිදුකරගෙන ඇත. මගෙ ඇස්‌වල ප්‍රශ්නයක්‌ නැහැ කිව්වා. ජයන්ත මා දුන් උපදෙස්‌ හමුවේ කීවේය.

සති කිහිපයක්‌ ගතවිය. ජයන්තව රෝහල් ගතකර ඇති බව දැනගන්නට ලැබුණි. ඔහු දිනක්‌ රාත්‍රියේ බියවී ඇත. නිවසේ විදුලි පහන් දල්වා තිබියදී එකවරම විශාල විදුලි පහන් කිහිපයක්‌ ඔහු දැක තිබේ. මින් බියට පත්ව ජයන්ත සිහිමුර්ජා වීම නිසා දෙමාපියන් ඔහු රෝහල් ගතකර ඇත.

රෝහලේදී ජයන්තගේ ස්‌නායු, රුධිර පීඩනය, ඇතුළුව සම්පූර්ණ වෛද්‍ය පරීක්‍ෂාවක්‌ කර තිබේ. නමුත් ඉන් කිසිදු රෝගී තත්ත්වයක්‌ හඳුනාගෙන නැත. කිසිම ලෙඩක්‌ නැහැ, වෛද්‍ය නිර්දේශය වී තිබිණි.

“අනේ අපේ පුතාට භූත දෝෂයක්‌ද කොහෙද?”ජයන්තගේ දෙමාපියෝ එසේ පවසමින් නොයෙකුත් පුද පූජාවන් පවත්වා ඇත.

“මේක තනිකම් දෝෂයක්‌. ඕවට බෙහෙත් නැහැ. ආරක්‍ෂාවක්‌ කරන්න ඕනෙ.” ජයන්තගේ දෙමාපියන්ට දේව බලයෙන් සාස්‌තර කියන පුද්ගලයන් පවසා ඇත. ඒ අනුව දෙමාපියෝ ජයන්තට ශාන්තිකර්ම කිහිපයක්‌ද සිදු කළහ.

දිනක්‌ ජයන්ත දහවල් කාලයේ නිවසේ සිට දෙවට දිගේ නගරයට යතුරුපැදියෙන් ගමන් කරනවිට මහ රූස්‌ස ගසක්‌ දැක ඇත. නිවසේ සිට නගරයට යන මාර්ගයේ ඇත්තේ රබර් ගස්‌ තේක්‌ක ගස්‌ ආදියයි. නමුත් ජයන්ත දැක ඇති ගස මෙම ගස්‌ වර්ග මෙන් දෙතුන් ගුණයක්‌ විශාලය. ඉන් හොඳටම බියට පත්ව ඇති ජයන්ත යතුරුපැදියෙන් වැටී අනතුරට පත්විය. මහසෝන් දිෂ්ටිය වැහිලා, සිද්ධිය අසා ඇතැම් දෙනා පවසා ඇත.

“මට නම් දැන් ජීවිතේ එපාවෙලා තියෙන්නෙ. මහා කරුමයක්‌. මොන භූතයෙක්‌ මට වැහිලද මන්දා. ජයන්ත මා සමඟ පැවසුවේ අනතුරින් සිදුවූ තුවාල පෙන්වමිනි. රුධිර පීඩනයත් හොඳයි. ස්‌නායු රෝගයකුත් නොවෙයිලු. ශාන්ති කර්ම කිහිපයකුත් කළා. මහසෝන් දිෂ්ටියටත් ශාන්ති කර්මයක්‌ කළා. ඒත් කිසිම ප්‍රතිඵලයක්‌ නැහැ.” ජයන්ත පැවසුවේ දැඩි ලෙස මානසිකව හෙම්බත්වය.

ජයන්තගේ ගැටලුවට දෙන්නට මා තුළද විසඳුම් නැත. කසාදයක්‌ බැන්දනම් හරි. එතකොට ඔය ප්‍රශ්නත් විසඳෙයි. මම යෝජනා කළද ඔහු එය පිළිගන්නට එතරම් කැමැත්තක්‌ නොදැක්‌වීය.

මාව කවුද බඳින්නෙ. මගේ ලෙඩේ දැනගත්තහම කසාදෙත් නැතිවෙයි. ජයන්ත සිටින්නේ කලකිරීමෙන් බව ඔහු පැවසූ වදන්වලින් මට වැටහුණි.

පසුගිය දිනෙක ජයන්ත මා හමුවීමට හදිසියේම පැමිණියේය. ඔහුගේ මුහුණේ වෙනදා පැවැති කලකිරීම නැත. “මගේ ලෙඩේ හොයාගත්තා. මම අක්‍ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක්‌ හමුවුණා. මගේ ඇස්‌ පරීක්‍ෂා කළ වෛද්‍යවරයා පැවසුවා මගේ එක්‌ ඇසක සිවි කාචය ගැලවීගෙන යමින් තිබෙන බවට. මගේ කාචය ගැලවෙන්න පටන් අරගෙන තියෙන්නෙ යට පැත්තේ සිටලු.”

කාචය ගැලවෙන කොට ඇතිවන හිඩැසින් ඇසේ කඳුළු බිඳු ඇතුළු වෙනවාලු. එතකොට මට පෙනෙන රූප බොඳ වෙනවාලු. විශාලව පෙනෙනවාලු. පසුගිය කාලයේ මම දැකලා තියෙන්නේ ඒ වගේ රූපලු. මගේ ඇසේ කාචය සවිකිරීම සඳහා වහාම ලේසර් ප්‍රතිකාරය කළා. ජයන්ත පැවසූවේ ටී-20 ලෝක කුසලානය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ නායකයා මෙන් ප්‍රීතියෙනි. එතකොට පසුගිය කාලයේ කරපු ඇස්‌ පරීක්‍ෂාවන්ගෙන් මෙය සොයාගන්න බැරි වුණේ ඇයි? මම ජයන්තගෙන් ඇසුවෙමි.

මගේ ඇස්‌ පරීක්‍ෂාවේදී සිදුකරලා තියෙන්නෙ පෙනීම සම්බන්ධව විතරයි. අක්‍ෂි කාචය ගැලවෙන්න පටන් ගත්තට පෙනීමේ ගැටලුවක්‌ මතුවෙන්නෙ නැහැලු.

ඇසට යම් තද පහරක්‌ එල්ල වූ විට මෙහෙම අක්‍ෂි කාචය ගැලවී යන්න පුළුවන් කියලා වෛද්‍යවරයා පැවසුවා. දවසක්‌දා මම බස්‌ එකේ යනකොට බස්‌ එක එකපාරටම බ්‍රේක්‌ ගහපු පාරට මගේ මූණ සීට්‌ ඇන්දක වැදුණා. ඒ අනතුරට මගේ ඇසක්‌ සීට්‌ ඇන්දේ වැදී තරු පෙනුණා. තුවාලයක්‌ වෙච්ච නැති නිසා මම ඒක ගණන් ගත්තෙ නැහැ. වෛද්‍යතුමිය ලෙඩේට හේතු සොයාගත් පසු ජයන්තටත් තමුන්ට වෙච්ච අකරතැබ්බය මතකයට නැගී ඇත. එය සැහැල්ලුවෙන් සිතුවත් තමුන් මෙතෙක්‌ දිනක්‌ මානසිකව පීඩා විඳ ඇත්තේ ඉන් බව ජයන්ත කළ ප්‍රකාශය අප කොයිකාටත් වැදගත්ය.

ඇත්තටම මෙහිදී සාස්‌තරකරුවන් පමණක්‌ නොව ඇතැම් වෛද්‍යවරුන්ටද ජයන්තගේ රෝගය හරිහැටි හඳුනාගැනීමට නොහැකිවී තිබිණි. ඉතිං මෙවැනි අවස්‌ථාවලදී අද්භූත බලවේග ලෙස සිතීම එක්‌ අතකින් සාධාරණය. වාසනාවකට මෙන් ජයන්තට අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා හමුවීමෙන් නිවැරදිව රෝගය හඳුනාගැනීමට හැකිවිය.

උපාලි ද සේරම් – දිවයිනට ලියූ ලිපියක් ඇසුරිණි