විදෙස් රටක ආරම්භ කළ පළමු ශ්‍රී ලාංකේය කෞතුකාගාරයේ පුරෝගාමියා ඇයයි

ඇමෙරිකාවේ ඉපදිලා ජීවත් වුණත් ඉතාම කුඩා සංධියේ සිට මට ලංකාවේ ඓතිහාසික හා සංස්කෘතික උරුමය ගැන උනන්දුවක් තිබුණා. ඒ ගැන හොයන්න ලොකු ආසාවකුත් ඇති වුණා. මම කුඩා සංධියේ ඉඳලා අපේ අම්මයි තාත්තයි එක්ක ලෝකයේ විවිධ රටවල සංචාරය කරනවා. හැම වසරේම අපි ලංකාවට එනවා යනවා. එහෙම ආවම අනුරාධපුර, ‍පොළොන්නරුව, මහනුවර ආදී ලංකාවේ ඓතිහාසික නගරවල සංචාරය කරන්න අමතක කරන්නේ නෑ. කුඩා කාලයේ ඉඳලා මේ ඓතිහාසික නගරවලට ගිහිල්ලා ඒවා නැරඹූ මට අපේ උරුමය ගැන ආඩම්බරයක් අභිමානයක් ඇති වුණා.fff

මේ කතාව පුරාවිද්‍යාඥයකුගේ හෝ ඉතිහාසඥයකුගේ ආරම්භක කතාවක් එසේත් නැත්නම් නිරීක්ෂණයක් සේ ඔබට එකවිට කල්පනා විය හැකිය. එහෙත්  මෙකී කතාව ලංකාවේ සංස්කෘතික හා ඓතිහාසික උරුමය මුළු ලෝකයටම කියන්නට කෞතුකාගාරයක් හැදූ ඉතාමත් තරුණ යුවතියකගේ අභිමානයේ හඬය. ඇමෙරිකාවේ නිව්යෝක් නුවර රැජින ප්‍රදේශයේ හැදී වැඩුණු ඇය තවම 18 හැවිරිදි ජූලියා විජේසිංහය. අපි නැවත ඇයට සවන් දෙමු.

මං මුලින් පැහැදිලි කළ පරිදි කුඩා අවදියේ සිට ලංකාවේ ඓතිහාසික උරුමය ගැන ඇතිවුණු හැඟීම නිසා තමයි නිව්යෝර්ක් නුවර අපේ තාත්තාගේ අවන්හල අසල ලංකාවේ උරුමය විදහා දක්වන කෞතුගාරයක් නිර්මාණය කළේ.
ඇගේ කාර්යය ඉතා පුරෝගාමී එකක් වන්නේ විදෙස් රටක ගොඩනැගූ පළමු ලාංකේය කෞතුකාගාරය එය බැවිනි. ඉකුත් දිනවල ජූලියා ජාත්‍යන්තරයේ අවධානයට ලක්වූයේ ඒ නිසාය. ඇමෙරිකාවේ හැදූ වැඩුණු ඇයගේ මව්පියෝ දශක තුනක් තරම් කාලයක් තිස්සේ නිව්යෝක් නුවර ජීවත්වෙති. ඔවුහු එරට ව්‍යාපාරිකයෝය.julia-cov-1024x683

මගේ අම්මයි තාත්තයි එකිනෙකා හමුවෙලා තියෙන්නෙත් නිව්යෝර්ක් නුවරදී. මගේ තාත්තා තමයි ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු ශ්‍රී ලාංකික අවන්හලක් ආරම්භ කළ කෙනා. ඒ තමයි ‘ලක්රුවන’ අවන්හල. ඇමෙරිකාවේ ජීවත් වුණත් මගේ අම්මයි තාත්තයි ලංකාවේ ඓතිහාසික උරුමය ගැන මට කියලා දුන්නා. ඒ නිසා මට උනන්දුවක් ඇති වුණා. විශේෂයෙන් මුලින් කිව් විදියට හැම වසරකම වගේ ලංකාවේ සංචාරය කිරීම නිසා මට අපේ උරුමය ගැන හැඟීමක් හා අවබෝධයක් ඇතිවුණා. මේ නිසා තමයි මේ උරුමය විදහා දැක්වෙන කෞතුකාගාරයක් ගොඩනගන අදහසක් කුඩා අවදියේම  මට ඇති වුණේ. ජූලියා කියන්නේය. ඉකුත් මාර්තු 27 දා කෞතුකාගාරය ආරම්භ කළ  අවස්ථාවට ඇමෙරිකාවේ වෙසෙන භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් එක්වී සිටියහ.22090100_328782790866320_3891480715302972328_n

සිංහල ගැමිකතක සේ රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන ජුලියා සභාව ඇමතුවේ ඉතාම හැඟුම්බරවය. ඇය ඇයගේ කෙටි ඇමැතුම අවසන් කළේ ඇය කළ කාර්යය නිසා ඇගේ නෙතුවලින් මතුවූ සතුටු කඳුළු ඇඟිලි තුඩුවලින් පිසදමමිනි.

මේ වැඩේ පිටුපස්සේ  ඉන්නේ මගේ අම්මයි තාත්තයි. ඔවුන් නැත්නම් මගේ අරමුණ ඉටු වෙන්නේ නැහැ. ඔවුන් මා දිරිමත් කළා. මගේ තාත්තා කෞතුකාගාරයට අවශ්‍ය දේවල් සොයා දෙන්න ගොඩක් මහන්සි වුණා. නිව්යෝක් නුවර කියන්නේ ලෝකයේ විවිධ ජනවර්ග වාසය කරන තැනක්. එනිසා එහි විවිධ සංස්කෘති මුහුවෙලා තියෙන ආකාරය දකින්න පුළුවන්. මං හිතන්නේ අපට අපේ සංස්කෘතික  උරුමය හුවමාරු කරගන්න පුළුවන් හොඳ තැනක් තමයි නිව්යෝර්ක් නුවර. ඒ නිසා තමයි මේ කෞතුකාගාරය නිව්යෝර්ක්වල  ගොඩනගන්න යොමු වුණේ. ඒ වගේ තැනක මෙහෙම කෞතුගාරයක් හදන එක පහසු වැඩක් නොවෙයි. ඇය කියන්නීය. එක් පැත්තකින් ජූලියාගේ පියා ඇමෙරිකාවේ පළමු ලාංකේය අවන්හල හැදූ පුරෝගාමියාය. ඒ පුරෝගාමියාගේ දියණිය විදෙස් රටක පළමු ශ්‍රී ලාංකේය කෞතුගාරය ගොඩනැගීම එයටත් වඩා ඉතා විශිෂ්ට පුරෝගාමී කාර්යයකි. අනෙක් අතට රටක ඓතිහාසික උරුමය විදහා දැක්වෙන කෞතුකාගාරයක් හැදීමට කෙනකු යොමුවීම දුර්ලභ කාර්යයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එවැන්නකට යොමු විය හැක්කේ සැලකිය යුතු මානව විද්‍යාත්මක හා ඉතිහාස විද්‍යාත්මක ශික්ෂණයක් තියෙන කෙනෙකි. එයට හේතුව කෞතුකාගාරය සංස්කෘතික මානව විද්‍යාව විෂයෙහි ද ප්‍රධාන මූලාශ්‍රයක් හෙයිනි. එහෙත් ජූලියා බඳු තවම 18 වැනි වියේ පසුවන තරුණියකගේ සිත කෞතුකාගාරයක් බඳු ඉපැරැණි බව ඉස්මතු කරන දෙයක් ගොඩනැගීමට යොමුවීම අතිශය විප්ලවීය පියවරකි. බොහෝ විට එවැනි තරුණියකගේ සිත  යොමු විය හැක්කේ ඉතාම සෞන්දර්යාත්මක විෂයයන් කෙරෙහිය.fffff

මෙකී කරුණු අනුව නිව්යෝර්ක් බඳු ලෝකයේ සුපිරි අග නගරයක ලංකාව වැනි රටක උරුමය දැක්වෙන කෞතුකාගාරයක් ගොඩනැගීමට ජූලියා විජේසිංහ යොමුවීම කෙතරම් නම් අසිරිමත් වැඩක් ද? ඇය බඳු තරුණියකගේ සිත බෙහෙවින් යොමු විය හැක්කේ රූපලාවණ්‍යාගාරයක්, විසිතුරු අබරණ හලක් වැනි යමක් ආරම්භ කිරීමටය. එසේ වුවද ඇගේ සිත යොමු වූයේ රටක ඓතිහාසික හා සංස්කෘතික උරුමය දැක්වෙන කෞතුකාගාරයක් ආරම්භ කිරීමටය. ඇය එමගින් සිංහල සංස්කෘතික උරුමයේ කතාව නිව්යෝර්ක් හරහා ලෝකයට රැගෙන යන්නීය.

ජූලියාගේ කෞතුකාගාරයේදී ඉපැරැණි සිංහල ජන ජීවිතය, සිංහලයන්ගේ ඇඳුම් පැලඳුම්, ආහාරපාන රටා, කලාව ආදිය ද විදහා දැක්වෙන සංස්කෘතික ස්මාරක දැකගත හැකිය. මෙරට නිමැවුණු බුද්ධ ප්‍රතිමා, බෝසත් ප්‍රතිමා, දේව ප්‍රතිමා, ආදිය එහි වේ. ඇගේ කෞතුකාගාරයේ මනරම් බුද්ධ ප්‍රතිමාවක් ඉතා ගරුසරු ලෙස තැන්පත්කර තිබෙන ආකාරය සිතේ පහන් හැඟීම් ඇතිකරයි. එසේම උඩරට කඳුකරයේ තේ දලු නෙළන ළඳුන්ගේ ජීවන රටාව විදහා දැක්වෙන සිතුවම් ආදිය ද එහි වේ. ඇගේ පියාගේ ලක්රුවන අවන්හල අසල පිහිටා තිබෙන ජූලියාගේ කෞතුකාගාරය කෙරෙහි අවන්හලට පැමිණෙන අයගේ අවධානය නිරායාසයෙන් යොමුවේ.

ලක්රුවන අවන්හල සති අන්තයේ බුෆේ ක්‍රමයට ක්‍රියාත්මක වන අතර එහිදී අපේ සිංහල ආහාර වේලක රස භුක්ති විඳීමට ද අවස්ථාව ලැබේ. පියාගේ අවන්හලෙන් සිංහල ආහාරවේලක රස ලබන්නෙකුට ජූලියාගේ කෞතුකාගාරයට පියමං කර සිංහල සංස්කෘතික උරුමය ගැන කදිම හැඟීමක් ඇතිකර ගත හැකිය.

කෞතුකාගාරය ආරම්භ කිරීමට වඩා එය පවත්වා ගැනීම තමයි අභියෝගය. මං ඒ අභියෝගයත් ජයගන්නවා. ජූලියාගේ අධිෂ්ඨානය එබඳුය. එමගින් පෙනෙන්නේ පස්සට නොයන සිංහල ගතිය. ඇයට කදිමට පිහිටා තිබෙන බවය. නැටුම් කලාවට උපන් හපන් කමක් දක්වන ජුලියා බැ‍ලේ, ජෑස් සේම ලංකාවේ නැටුම් කලාවද ප්‍රගුණ කර තිබේ.julia-2

ඉතිහාසය නොතකා, අවිචාරශීලීව ඔහේ යා යුතු බව ආගමක් සේ අදහන පිරිසක් මේ රටේ සිටිති. මෙවැන්නෝ මෙරට ඓතිහාසික සිංහල උරුමය යටපත් කිරීමට ප්‍රයත්න දරති. සිංහල උරුමය ගැන කතා කිරීම රටේ සමගියට බාධාවක් බව මෙවැන්නෝ කියති. මෙවැනි අයට ජූලියා ලබා දෙන පණිවිඩය කෙතරම් අගනේ ද? අතීත උරුමය නොතකන අයට ඇය නිව්යෝර්ක් නුවර සිට මෙරට උරුමය සිහිපත් කරන්නීය. එමගින් ඇය අන්තර් සංස්කෘතික සම්භාෂණයක් සඳහා ලෝකයේ ශාස්ත්‍ර ගවේෂකයන්ට කදිම දොරටුවක් විවර කරන්නේය. මෙරට ඉතිහාසය යටපත් කිරීමට දෙස් විදෙස් වශයෙන් වෑයම් කරන සමයක ජූලියාගේ ප්‍රයත්නය වඩාත් විශිෂ්ට එකක් වේ. එනිසා ඒ වෑයමට  එරෙහිව ඇය නිව්යෝර්ක් නුවරින් හරවත් ගමනක් ආරම්භ කර තිබේ. ලෝකයේ කවර රටක වුවද ජූලියා බඳු චරිත ඉතා දුලබය. විදෙස් රටකට මාස හතර පහකට යන අයට පවා තම රටේ උරුමය අමතක වන කාලෙක ඇමෙරිකාවේ නිව්යොර්ක් නුවර ඉපදී හැදී වැඩුණු ජූලියාට ලංකාවේ උරුමය අමතක නොවීම ඇගේ විශිෂ්ටත්වය තවත් වර්ධනය කරයි. එහෙයින් ලංකාවේ රජය ඇයගේ වෑයමට උපරිම අනුග්‍රහය දැක්විය යුතුය. විශේෂයෙන් ඇමෙරිකාව වැනි රටවලට සංක්‍රමණය වූ සිංහල ජනතාවගෙන් ඇති වූ සැලකිය යුතු අලුත් පරපුරක් සිටිති. මේ බොහෝ අලුත් අය සමහරවිට ලංකාවට පයක්වත් තබා නැතුවාට සැකයක් නැත.  එවැනි අයට ජූලියාගේ කෞතුකාගාරයෙන් තමන් ඓතිහාසිකව උරුමකම් කියන රටගැන හැඟීමක් ඇති කරගැනීමට ඉඩක් ලැබේ.

අපි ලංකාවේ නොව ලෝකයේ කොහේ හිටියත් එක පවුලක් වගේ ලාංකික හැඟීමකින් කටයුතු කරන්න ඕන. අපේ උරුමය ගැන ලෝකයට පණිවිඩයක් දෙන්න ඕන ජූලියා කියන්නීය. ඇයගේ අදහස කෙතරම් පුළුල් එකක් ද දෙස් විදෙස් වශයෙන් ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ජූලියා විජේසිංහගෙන් කෙතරම් පාඩම් උගතහැකිද? ලෝකයේ කොහේ ජීවත් වුවද තම රට වෙනුවෙන් කළ හැකි යමක් තිබෙන බව ජූලියා අප හැමට පෙන්වා දෙන්නීය.

වරුණ අබේසේකර

ඡායාරූප අන්තර්ජාලයෙන්    

මේ වගේ අලුත් දේවල් දිනපතා දැනගන්න දැන්ම පේජ් එක‍ට ලයික් කරන්න