ලක් මවගේ නම ලොවට ගෙන ගිය සොඳුරුතම පරාජිතයා

ලංකාවේ උපත ලබා ශ්‍රී ලංකාවේදීම මියගියද ඔහු වීරයෙකු වන්නේ ශ්‍රී ලංකාවේ අපට නොව ලොව දියුණුම රටක් ලෙස ප්‍රකට ජපානයටය. ජපානයට ඔහු ජාතික වීරයෙකි. මේ අන් අයෙකු නොව 1964 වසරේ ආසියාවේ පැවැති ප්‍රථම ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ලෙස සැලකෙන ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උලෙළෙහි විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත්වූ ආර්.ජේ.කේ. කරුණානන්දය.

dav
රණතුංග කුසලාන සමග

යුද හමුදා සාමාජිකයෙකු වූ කරුණානන්ද එවකට ශ්‍රී ලංකාවේ සිටි දක්ෂතම දිගුදුර ධාවකයා විය. කරුණානන්ද ජපන් ඔලිම්පික් උලෙළේදී ලොවපුරා විශිෂ්ටත්වයට පත්වූයේ ඔහු සහභාගි වූ ක්‍රීඩා ඉසව්වෙන් ජයග්‍රහණය කිරීමෙන් නොව පරාජිතයෙකු වීමෙනි. ඔහු එම ඔලිම්පික් උලෙළේදී ‘සොඳුරුතම පරාජිතයා’ වීමෙන් ලෝක ප්‍රසිද්ධ වූවා පමණක් නොව අපේ පුංචි රටටද සුවිශාල ගෞරවයක්, කීර්තියක් අත්කර දුන්නේය.

මීටර් 5,000 සහ 10,000 දුර දිවීමේ තරගවලින් හැටේ දශකය මෙරට ඒකාලෝක කරවමින් 1964 ජපන් ඔලිම්පික් උලෙළෙහි විශිෂ්ටතම ක්‍රීඩකයා වූ කරුණානන්ද පිළිබඳ අපේ රටේ බලධාරීන්ට අමතක වුවද, ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙළ පොතකට ඇතුළත් කොට උපරිම ගෞරවයක් ලබාදීමට තරම් ජපන් ජාතිකයෝ කළගුණ සලකන ජාතියක් වූහ.

එසේ වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ජපානය යළි ගොඩනැංවීම සඳහා ජපන් ජාතික කුඩා දරුවාගේ සිට වැඩිමහල්ලා දක්වාම වූ ජපන් ජාතිකයන්ට ධනාත්මක චින්තනයක් ලබාදීමට කරුණානන්ද නම් වූ ක්‍රීඩකයාගේ සොඳුරු පරාජය ඔවුන්ට විශිෂ්ට වූ පාඩමක් ගෙනදීම නිසාය. ජයග්‍රහණයෙන් සේම පරාජයෙන්ද විශිෂ්ටයෙකු විය හැකි බව කරුණානන්ද එම ඔලිම්පික් උලෙළේදී කියාදුන් පාඩමයි.

ජයග්‍රහණයෙන් පමණක් නොව පරාජයෙන්ද ධෛර්යමත්ව නැගී සිටීමෙන් ලොව විශිෂ්ටත්වයට පත්විය හැකි බවට කරුණානන්ද ලබාදුන් එම පාඩම ජපන් ජාතියේ යළි නැගී සිටීමට පාඩමක් කරගත්හ. කරුණානන්ද කියා දුන් එම පාඩමෙන් නැගී සිටි ජපන් ජාතිකයෝ අද ලොව විශිෂ්ට ජාතියක් බවට පත්ව සිටිති. නමුත් එම පාඩම කියාදුන් අපේම කරුණානන්දගෙන් අපි ලබාගත් පාඩම කුමක්ද?

කරුණානන්ද නමැති මේ සුවිශේෂී චරිතය අදටද ජපානයේ වීර චරිතයක් බවට පත්ව සිටියදී ඔහු පිළිබඳ දන්නේ අපේ රටේ කීයෙන් කී දෙනාද?

දෙවැනි ලෝක මහා යුද්ධයෙන් විනාශ වී සිටි ජපානයට යළි නැගී සිටීමට ඔවුන්ගේ රටේ පැවැති ලොව 17 වැනි ඔලිම්පික් උලෙළ බෙහෙවින් ප්‍රයෝජනවත් විය. එම උලෙළින් ඔවුන් ගත හැකි සෑම දෙයක්ම අංශු මාත්‍රයකින් හෝ ලබාගැනීමට සූදානමින් සිටියහ. මෙම ඔලිම්පික් උලෙළ ජපානයේ ටෝකියෝ නුවරදී පැවැති අතර එම උලෙළට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හය දෙනෙකුටද සහභාගි වීමේ වරම හිමි විය.

ජාපානය රණතුංගව අැගයූ අයුරු

මේ කණ්ඩායමේ නායකයා වූයේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුතණුවන් වූ රවි ජයවර්ධන මහතාය. ඔහු වෙඩි තැබීමේ ඉසව්ව නියෝජනය කළ අතර, ඔහුට අමතරව එම්.ආර්. පෙරේරා (වෙඩිතැබීම), මැල්කම් බුල්කර්, වින්ස්ටන් වැන්කසුලබර්ග් (බොක්සිං), අර්න්ස්ට් ප්‍රනාන්දු (මල්ලව පොර) සමග මලල ක්‍රීඩා අංශයෙන් ආර්.ජේ.කේ. කරුණානන්ද එම කණ්ඩායම නියෝජනය කළහ. මේ කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළේ පසුව මෙරට ක්‍රීඩා අමාත්‍යවරයෙකු වූ වී.ඒ. සුගතදාස මහතාය.

මේ ඓතිහාසික අවස්ථාව ලොවට පෙන්වාදුන් ටෝකියෝ ඔලිම්පික් උලෙළේ මීටර් දසදහසේ ඉසව්වට සියල්ල සූදානම්ය. රටවල් ගණනාවක දක්ෂතම ක්‍රීඩකයන් මේ සඳහා සූදානම්ය. තරගය ඇරඹීමට ලබාදුන් සංඥාවත් සමග තරගකරුවෝ සෙමෙන් ඉදිරියට ඇදෙන්නට වූහ.

කරුණානන්දගෙන් තරග වට කිහිපයකදී මිදුණු සෙසු තරගකරුවෝ ඉදිරියට යද්දී කරුණානන්ද ඔවුනට වඩා මීටර් 200කටත් වඩා පසුපසින් විය. තරගයේ සම්පූර්ණ වට සංඛ්‍යාව 25 ක් වූ අතර, පළමු වට දහය සම්පූර්ණ වනවිට කරුණානන්ද මුල් පෙළේ ක්‍රීඩකයන්ට වඩා වටයක් පමණ පසුබා සිටියේය. තරගයේ 20 වැනි වටය අරඹන විට එකිනෙකා පරයමින් ක්‍රීඩකයන් සේසන්ගෙන් මිදී ඉදිරියට ඇදෙද්දී කරුණානන්ද තරගයේ අන්තිමයා විය.

තරගයේ අවසන් වටයට එළඹෙන සංඥාව නිකුත් වනවිට ජපානය, ටියුනීසියාව සහ ඇමෙරිකානු ක්‍රීඩකයන් තිදෙනා පදක්කම් සටනට පොර බදමින් තරගයෙන් නිරතවෙමින් සිටියහ. නමුත් අපේ කරුණානන්ද ඒ වනවිටද වට හතරක්  පමණ හෙවත් මීටර් 1600කින් පමණ මුල් පෙළේ තරගකරුවන්ට වඩා පසුපසින් හිඳිමින් හැල්මේ ධාවනයේ යෙදෙමින් සිටියේය.

ඉතා තියුණු තරගයකින් පසුව මීටර් දසදහස තරගයේ රන් පදක්කම ඇමෙරිකාවේ විලියම් මිලාස්ට හිමි වූ අතර, රිදී පදක්කම ටියුනීසියාවේ මොහොමෙඩ් ගැමුට්හටද, ලෝකඩ පදක්කම ජපානයේ ජිතිකයාටද හිමි විය. එම තරගය අවසාන විය. තරග සංවිධායකයෝ මීළඟ තරගයට සූදානම් වීමට පෙර මග බලා හිඳිති.

නමුත් ඒ සඳහා අවකාශයක් නොවූයේ එක් තරගකරුවෙකු තවමත් ධාවන පථයේ ධාවනයේ යෙදීම නිසාය. ඒ කවුරුත් නොව මේ කතාවේ කථා නායකයා හෙවත් කරුණානන්දය. අපේ රට  නියෝජනය කළ කරුණානන්ද ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙහි ඉතිහාසගත වන්නේ මේ ඉතිරි මීටර් 1600 හෙවත් අවසාන ධාවන වට හතරෙනි. පළමු මීටර් 400 හෙවත් පළමු වටය අරඹන විට ක්‍රීඩාංගණයට පැමිණ සිටි හැටදහසක් පමණ වූ නරඹන්නෝ සමච්චලයට මෙන් කරුණානන්දට උසුළු විසුළු කරන්නට වූහ.

තරගය අවසන් කිරීමට තනිව දිවගිය රණතුංගව ධෛර්්‍යයමත් කරපු නිවේදකයින් පදක්කම් ලබාගත් මොහොතට ඔහුවත් සම්බන්ධ කරගැනීම

නමුත් කරුණානන්දට ඒ පිළිබඳ කිසිදු වගක් නැත. ඔහු සිය දෙවැනි වටය අරඹන විට කෙමෙන් එල්ලවූ හූ හඬ වියැකී යන්නට විය.කරුණානන්ද හුදෙකලාවම සිය තෙවැනි වටයද ආරම්භ කළේය. ඒ තරගයේ 24 වැනි වටයයි. හූ හඬවල් නැගුණු අතරින් පතරින්ම සිහින් අත්පොළසන් නඳක් මතුවන්නට විය. එසේ ආරම්භ වූ අත්පොලසන් නාදය තවත් ස්වල්ප මොහොතකින් මුළු ඔලිම්පික් ක්‍රීඩාංගණයම දෙදරුම් කවන ආකාරයේ මහා නාදයක් බවට පත්විය.

කරුණානන්ද මේ ඓතිහාසික තරගයේ සිය අවසාන වටය හෙවත් විජයග්‍රාහී මීටර් 400 ආරම්භ කළේය. මුළු ක්‍රීඩාංගණයම එකම හඬකින් ගිගුම් දෙන්නට විය.

කරූ සිලෝන්…..!

කරූ සිලෝන්…..!

යනුවෙන් මුළු ක්‍රීඩාංගණයේ රැස්ව සිටි සුවිශාල නරඹන්නන් පිරිසක් එකම හඬකින් හඬ නගද්දී කරුණානන්ද අවසන් මීටර් 400 අවසන් කළේ මීටර් 100 ධාවනයේ යෙදෙන ආකාරයේ වේගවත් ධාවනයකිනි. හුදෙකලා සටන ආරම්භයේදී උපහාසයට ලක්වූ කරුණානන්ද තරගය අවසන් කළේ ලෝක ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ටතම පරාජිතයෙකුට හිමි සියලුම ගෞරව නාම දිනාගෙනය.

තරගයේ අවසන් වට තුනම තනිව දිවයමින් විනාඩි 34 යි තත්ත්පර 21.6කට පසුව කරුණානන්ද තරගය නිම කරද්දී ක්‍රීඩාංගණයේ රැස්ව සිටි හැටදහසකට අධික නරඹන්නන් පිරිස සිට අසුන්වලින් නැගිට මේ අපූරු ධාවකයාට ගෞරව දක්වන්නට වූහ. ක්‍රීඩාංගණයේදී ක්‍රීඩකයෙකුට දක්වන විශාලම ගෞරවය වන්නේ නරඹන්නන් සිය ආසනවලින් නැගිට අත්පොලසන් දීම නිසාය.

අප්‍රමාණ වූ ආත්ම ශක්තියක් සහිතව ඔලිම්පික් ධාවන පථයක තනිවම දුවන මේ කෙසඟ, කළු පැහැති ක්‍රීඩකයා වෙනුවෙන් නැගූ ඔල්වරසන් හඬ තුළින් ශ්‍රී ලංකාව නැමැති පුංචි දිවයින පිළිබඳ එදා මුළු ලෝකයම දැනුවත් කෙරිණි.

මෙතෙක් වේලා ක්‍රීඩා පිටියට නොපැමිණි පත්තරකරුවන්ගෙන්, ගුවන් විදුලිකරුවන්ගෙන්, ටෙලිවිෂන්කරුවන්ගෙන්, කැමරාකරුවන්ගෙන් ඔලිම්පික් ක්‍රීඩා පිටිය පිරී ගියේය.

මීටර් දසදහස තරගයේ රන් පදක්කම දිනාගත් විලියම් මිලාස්ට නොලැබුණු උද්වේගකර අතිශය උණුසුම් පිළිගැනීමක් එම තරගයේම අන්තිමයා වූ අපේ කරූට ලැබුණි.මාධ්‍යවේදීන්ගෙන් කරුණානන්දට බේරුමක් නැති විය. ඔහු වට කරගත් මාධ්‍යවේදීහු විවිධ ප්‍රශ්න අසන්නට වූහ.

ජපානයෙන් පැමිණ ඔහු හමු වූ අවස්ථාවක්

”පදක්කමක් පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නැතිව ඔබ ඇයි මේ විදිහට දිව්වේ?” කරූගෙන් එක් මාධ්‍යවේදියෙක් විමසීය. ”මම  ආවේ පදක්කමක් දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඔලිම්පික් තරගාවලියට සහභාගි වී මගේ රට නියෝජනය කරන්නටයි මම ආවේ. ඔලිම්පික් තේමාවත් ඒකනේ. මම ඒක අකුරටම ඉටු කළා. පරාජය දැක දැක හරි මම දිව්වේ මගේ රට වෙනුවෙන්” කරුණානන්ද කීය. එය ඔලිම්පික් සංකල්පයේ පරාමාදර්ශී බලාපොරොත්තුවය.

”මේ තරගයේ රන් පදක්කම හිමිවිය යුතුව තිබුණේ මට නොවෙයි.  අර ධෛර්යවන්ත ශ්‍රී ලාංකිකයාටයි” යනුවෙන් රන් පදක්කම්ලාභී විලියම් මිලාස් පසුව පවසා තිබූ බව වාර්තා විය.

dav
ලංකාවේ පත්තරවලට අමතක වුණ ඒත් ජපාන පත්තරවල පිටුවක්ම ඉඩ ලැබුණේ ඔහුටයි

මේ අපූරු සිදුවීම් එකල ජපානයේ පමණක් නොව ලොව පුරා ප්‍රධාන පුවත්පත් රැසකම ප්‍රධානම පුවතක් බවට පත්ව තිබිණි.

නමුත් එදා ඒ පුවත අපේ රටට එතරම් වැදගත් පුවතක් නොවන්නට ඇත. ඒ අපේ රටේ හැටිය. එවකට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ ප්‍රෙඩ් වෘෘමන් මාධ්‍ය හමුවේ කියා තිබුණේ වසරේ ජාත්‍යන්තර ක්‍රීඩකයාට  හිමි සම්මානය කරුණානන්දට ලබාදිය යුතු බවය. ඒ ඔහු ක්‍රීඩාවේ ජීව ගුණය රැකීමෙන් ලෝකයට ලබාදුන් ආදර්ශය නිසා බවද ඔහු පවසා තිබුණි. මේ සිද්ධියෙන් පසු කරුණානන්දට ජපානයේ පාසල් උත්සව සඳහාත්, ක්‍රීඩා සමාජ උත්සව සඳහාත් ප්‍රධාන ආරාධිතයා ලෙස නොකඩවා ආරාධනා ලැබෙන්නට විය.

කොටින්ම කිවහොත් එම ඔලිම්පික් උලෙළෙහි නිල නොලත් වීරයා වූයේ කරුණානන්දය. ඔහුට මහමගදී පවා ජපන් ජනතාවගෙන් ලැබුණේ ඉමහත් හරසරය. එනිසාම ඔහුගේ මේ කතාව ජපානයේ පාසල් පෙළපොතටද ඇතුළත් කිරීමට ජපන් රජය තීරණය කළේය. ඒ අධිෂ්ඨානය සහ මානව වටිනාකම් පිළිබඳ ජපන් දරුවන්ට ඉගැන්වීම සඳහාය.

ඔලිම්පික් ගමන නිමවා ආපසු සිය රටට පැමිණෙමින් සිටියදී කණ්ඩායමේ කළමනාකරු පී.ඒ. සුගතදාස මහතා, ”අපට කොන්ද කෙළින් තියාගෙන ලංකාවට එන්න පුළුවන් වුණේ කොල්ලෝ උඹ නිසයි. ඒ නිසා උඹේ නමින් ග්‍රවුන්ඩ් එකක් නම් කරලා මේකට අපේ රටේදී මට කරන්න පුළුවන් උපරිම ගෞරවය උඹට කරනවා” යැයි ඔහු කරුණානන්දට පවසා තිබිණි.

ඒ වචන හිස් වචන කීපයක් පමණක් බවට පත්වූයේ ටෝකියෝ ඔලිම්පික් වීරයාට ඉන්පසුව විඳින්නට සිදු වූ අනුවේදනීය ඉරණම නිසාය. කුරුණෑගල අධිකරණයෙහි සේවයෙහි නියුතු නීතිඥ සංජීව විජේපාල මහතා නොවන්නට මෙවැනි අපූරු කතාවක් අපට ලිවීමට හැකිවන්නේද නැත. සංජීව විජේපාල මහතා තම නීතිඥ වෘත්තීයට අමතරව නීතිඥවරුන් වීමට බලාපොරොත්තු වන්නන් සඳහා පන්ති පවත්වන ප්‍රකට දේශකයෙකි.

විවාහ ඡායාරූපය

ඔහු තම නීති සිසුන්ගේ අධිෂ්ඨානය සහ ධෛර්ය වැඩවීම සඳහා දේශනවලදී උදාහරණයකට යොදාගෙන තිබුණේ මේ කරුණාදාසගේ කතා පුවතය. එයින් නොනැවතුණු ඔහු පසුගිය දවසක ඒ පිළිබඳ තම ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තැබීය. විජේපාල මහතාගේ එම සටහනට කරුණානන්ද මහතාගේ එකම පුතු බව කියූ චන්න දර්ශනප්‍රිය රණතුංග නැමැති අයෙකුගෙන් ක්ෂණකිවම ප්‍රතිචාර ලැබිණි.

ඒ අනුව අප චන්න රණතුංග මහතා සොයා ලුණුවිල කිරිමැටියානේ පිහිටි ඔහුගේ නිවෙසට ගියෙමු. වෘත්තියෙන් ගුරුවරයෙකු වන රණතුංග මහතා දෙදරු පියෙකි. ඔහු 48 හැවිරිදිය.කරුණානන්දගේ මේ ගෞරවනීය පරාජය ගරු කටයුත්තක් ලෙස සැලකූ ජපානය වර්ෂ 1975 දී සිය අඹුදරුවන්ද සමග එරටට පැමිණීමට ඔහුට ශිෂ්‍යත්වයක් පිරිනැමුවේය.

එහෙත් අවාසනාවක මහත. ජපානයට යාමට සති දෙකක් පමණ ඉතිරිව තිබියදී අම්පාර නාමල්ඔය ජලාශයේදී ඔරු පැදීමට ගොස් දියේ ගිලීමෙන් කරුණානන්ද ජීවිතක්ෂයට පත්විය. යුද හමුදා සාමාජිකයෙකු වූ ඔහු අම්පාර යුද හමුදා කඳවුරේ සේවයේ යෙදී සිටියදී මෙසේ මරණයට පත්ව තිබූ අතර, සැබැවින්ම ඔහුගේ මරණය අදටද නොවිසඳුණු අබිරහසකි.

ඔහුගේ මරණය සැලවූ සැණින්ම ජපානය දැඩි ලෙස කම්පාවට පත් වූ බවද පැවසේ. කරුණානන්දගේ මෘතදේහය ජපානයේ සිට පැමිණි කිමිදුම්කරුවන් පිරිසක් විසින් නාමල්ඔය ජලාශයෙන් ගොඩට ගනු ලැබුවේ ඔහු දියේ ගිලී දින තුනකට පසුවය. ඒ සඳහාවත් අපේ යුද හමුදා බලධාරීන්ට උනන්දුවක් තිබී නැති බව පැවසේ.

පසුව ජපන් ජාතිකයන් විසින්ම කරුණානන්දගේ දේහය ඉතා ගරු බුහුමන් සහිතව මෙරටේදී භූමදානය කරනු ලැබීය. මේ අපූරු ඔලිම්පික් වීරයාගේ අභාවයට මුළු ජපානයම ශෝක වෙමින් එරට මාධ්‍ය‘යෙන් පවා ඉහළ ප්‍රතිචාරයක් ලබාදෙන විට ඔහුගේ මරණය පිළිබඳ අපේ රටේ පුවත්පත්වලින් එකල ලබා දී තිබුණේ සොච්චිම් ඉඩකි. එයින්ම ඔහුට අපේ රට සැලකූ ආකාරය අපූරුවට වටහාගත හැකිය.

තම ආදරණීය පියාට මුහුණදීමට සිදු වූ ඒ අවාසනාවන්ත තත්ත්වය සහ ඉන්පසුව සිදු වූ චිත්‍රපටයකට හා සමාන තොරතුරු චන්න රණතුංග මහතා අප හමුවේ විස්තර කළේ මෙසේය.

”තාත්තා නැති වෙනකොට මට හරියටම අවුරුදු දහයයි. තාත්තා හොඳ ක්‍රීඩකයෙක් නිසාම කවදාවත්ම මත්පැන් බීවේ නැහැ. එදා තාත්තාත් එක්ක ඔරු පදින්න ගිය පිරිස අතින් තමයි තාත්තාගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ගිය පිරිස කවුද, මරණයට හේතුව මොකක්ද කියන එක අදටත් අබිරහසක්.

විශිෂ්ට හැකියාව හා ධෛර්්‍යය ගැන ජපන් පෙළපොතක දැක්වූ අයුරු

තාත්තා විතරක් කොහොමද වතුරට වැටු‍ණේ? ඇයි තාත්තා බේරාගන්න කවුරුවත් ඉදිරිපත් නොවුණේ? මේ වගේ හේතු තියෙද්දි ඒ ගැන සොයා බලන්නවත් ඒ කාලයේ තාත්තා සේවය කරපු ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කිසිම පරීක්ෂණයක් සිදුකරලා නැහැ. මේ නිසා අපට සැකයක් තිබෙනවා තාත්තාට ලැබුණු ජපන් ශිෂ්‍යත්වයට ඊර්ෂ්‍යා කරලා හිතාමතාම තාත්තාව මේ විදියට ඝාතනය කළා කියලා.

අම්මයි තාත්තයි හරිම ආදරයෙන් හිටියේ. තාත්තාට එක පාරටම වුණු මේ විපත දැකලා අම්මා මානසික රෝගියෙක් බවට පත්වුණා. එහෙම වෙනකොට අම්මාට වයස අවුරුදු 34 යි. මියයනකොට තාත්තාට අවුරුදු 36 යි. තාත්තා මියයාමෙන් පස්සෙ තාත්තාට මහනුවර සුදුහුම්පොළ ප්‍රදේශයේ තිබුණු දේපොළ අපේ ඥාතීන් උදුරාගත්තා. අම්මා මානසික රෝගියෙක් නිසා අක්කයි මායි බලාගන්න කවුරුවත් නොහිටපු නිසා අපි දෙන්නා ළමා නිවාසයකට දැම්මා.

ඒ කාලයේදී කවුරුත්ම බලාගන්න හිටියේ නැති අම්මා කාලයක් මහපාරේ හිඟා කාලා පවා තිබුණා. අන්තිමට නාත්තන්ඩියේ හිටියෙ. අම්මගෙ යාළුවෙක් එයාට දරුවො නොසිටිය නිසා අපි දෙන්නවයි, අම්මවයි එක්කරගෙන ඇවිත් එයා මියයනකල්ම අපට රැකවරණය ලබාදුන්නා. එයා නිසා තමයි අපි අද මෙහෙමවත් ජීවත් වෙන්නේ.”

dav
තරගයට සහභාගී වන අවස්ථාවේ ඡායාරූපයක්

ඉන්පසුව දැඩි ස්වෝත්සාහයෙන් ඉගෙනගෙන ගුරුවරයෙකු ලෙස සිය ජීවිතය ඇරඹීමට චන්න රණතුංගට හැකි වී ඇත.

කරුණානන්දගේ මරණින් පසු ඔහුගේ දරුවන්ට සහ බිරිඳට උදව් උපකාර කිරීමට ජපානයේදී කරුණානන්දව දැන හඳුනාගෙන සිටි කෙටිකතාකරුවෙකු වූ සුසුකි, පුවත්පත් මාධ්‍ය‘වේදීන් වූ ෂින්ඩෝ සහ කැසෝවා යන තිදෙනා ලංකාවට පැමිණියද, ඒ සඳහා මගපෙන්වීමට හෝ මෙරට කිසිදු බලධාරියෙකු උපකාර නොවීම නිසා ඔවුන් කලකිරීමට පත්ව ආපසු ගොස් ඇත.

එසේම ජපානයේ එන්.එච්.කේ. රූපවාහිනිය කරුණානන්ද පිළිබඳ වාර්තාමය චිත්‍රපටයක් නිපදවීමට මෙරටට ආ අවස්ථාවේදී කරුණානන්දගේ පවුලේ සාමාජිකයන්ට ලබාදීම සඳහා රුපියල් 50,000 ක මුදලක් මෙරටේදී එම රූපවාහිනී වැඩසටහනට සහාය වූ රූපවාහිනී ආයතනයකට ලබා දී තිබුණද, චන්න රණතුංග මහතා පැවසුවේ තම පවුලට ලැබුණේ රුපියල් 500 ක මුදලක් පමණක් බවයි.

”ජපානයෙන් මට උදව් කරන්න කැමති වෙලා ඒ සඳහා මට ශිෂ්‍යත්වයක් පවා ලබා දුන්නා ජපානයට යන්න. ඒ ගැන සාකච්ඡා කරන්න කියලා මට එන්න කීවා. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මාව එවකට සිටිය ක්‍රීඩා ඇමතිවරයා වෙත යොමුකළා. ඇමතිතුමා මගේ ලියවිලි ටික බලලා “හරි හරි මේ දුවලා තියෙන්නේ තමුසේ නෙවේනේ. තමුසෙගෙ තාත්තානේ ”කියලා මගේ ෆයිල් එක මේසේ උඩට විසිකරලා දැම්මා.

මට ලැබුණු ඒ අවස්ථාවත් එතැනින්ම නැති වුණා” යැයි මෙරට බලධාරීන් අතින් විඳින්නට සිදු වූ කෙණෙහිළිකම් චන්න රණතුංග මහතා විස්තර කළේ එසේය. ඔලිම්පික් සිදුවීම පිළිබඳ එකල මෙරට සහ පිටරට පළ වූ කරුණානන්ද මහතාම එක්රැස් කළ සිහිවටන, පුවත්පත් විස්තර සේම ඔහුගේ පියා මෙන්ම චන්න රණතුංග මහතාද එක්රැස් කළ පුවත්පත්, සඟරා ඡායාරූප විස්තර කොටස් විශාල ප්‍රමාණයක් චන්න රණතුංග මහතා ඉතා සුරැකිව තබාගෙන සිටියි. කරුණානන්දගේ ඔලිම්පික් විශිෂ්ටත්වය කියා පෑමට අදට තිබෙන එකම සාක්ෂි මේවාය.

dav
මියගිය පසු ඔහු වෙනුවෙන් දැක්වූ සටහනක්

”මීළඟ ඔලිම්පික් උලෙළ තියෙන්නේ 2020 දී ජපානයේමයි. අපේ රටේ අගය කළ යුතු පුද්ගලයන්ට ජනාධිපති සම්මාන පිරිනමනවා වගේම අතීතයේදී අපේ රටට සුවිශේෂී ගෞරවයක් ලබාදුන් කරුණානන්ද කියන මේ විශිෂ්ට ක්‍රීඩකයාටත් ජාතියේ සම්මානයක් පුදකළ යුතුමයි” මේ නීතිඥ සංජීව විජේපාල මහතාගේ අදහස්ය. අපේ අදහසද එය එසේම විය යුතුය යන්නයි.

ලිපියට මුලාශය අද පුවත්පත