“පැහැදිලියි. මේක මළවුන්ගේ භූමියක් තමා. ඊට හේතුව ජීවත් වන අයට මෙතැන සුදුසු වටපිටාවක් නොවේ.”

අපි අද කතා කරන්නේ සිරියාවේ තියෙන විශ්මිත මලවුන්ගේ භූමිය පිළිබදවයි.

තවමත් ලෝකයේ වඩාත් කතාබහට ලක් වන රට මැද පෙරදිග පිහිටි සිරියාවය. 2014 වසරේ සිට සිරියාවේ දරුණු ගැටුම් ඇවිළෙයි. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් නෙරපීමට උත්සහ ගන්නා විපක්ෂ ක්‍රියාකාරීන් ඉස්ලාමීය සන්නද්ධ කල්ලි සමඟ එක් වී, සටන් ආරම්භ කිරිමත් සමඟ සිරියානු යුද්ධය ඇරැඹිණි. අද වනවිට, අයි.එස්. සහ අල් නුස්රා ත්‍රස්තවාදීන් මර්දනය කිරීමටත්, එම ත්‍රස්තවාදීන් විසින් අල්ලා ගනු ලැබ සිටි පළාත් සහ නගර යළි අත්පත් කර ගැනීමටත් සිරියානු රජයේ හමුදාවෝ සමත් වී සිටිති. ඒ, රුසියාව, ඉරානය සහ තුර්කියේ ද මැදිහත් වීමෙනි.

මේ සටහනට පාදක වන්නේ සිරියානු අර්බුදය නොව, සිරියාවේ මළවුන්ගේ භූමියයි. මළවුන්ගේ භූමියේ නටබුන් වුණු ඉදිකිරීම් දකින්න ලැබේ. මෙම ඉදිකිරීම් අවුරුදු 10,000 කට වඩා පැරැණිය. පුරාවිද්‍යාඥයන් පවසන්නේ, මේවා ඊජිප්තු පිරමීඩවලටත් වඩා පැරැණි බවය. සිරියාවේ පවතින ගැටුම් හේතුවෙන් අද මෙම නටබුන් පරීක්ෂා කිරීමට හෝ පුරාවිද්‍යාඥයන්ට අවස්ථාවක් උදා වී නැත.

ගලින් නිර්මාණය කළ මෙම ඉදිකිරීම් පළමුවෙන්ම සොයා ගැණුනේ 2009 වසරේදීය. නටබුන් පිහිටි මළවුන්ගේ භූමිය ඇත්තේ කාන්තාර ප්‍රදේශයකය. කැටයම් රැසක් මෙම ස්ථානයේ ඇති අතර, නටබුන් පළමුවෙන් සොයා ගත්තේ පුරාවිද්‍යාඥ රොබට් මේසන් ඇතුළු ගවේෂණ කණ්ඩායමය. මේසන්, රාජකීය ඔන්ටේරියෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි.

නටබුන් වූ ගොඩනැගිල්ලේ ඇති ගල් කැටයම් සහ ගල් කුලුනු විස්මිතය. විස්මිත නිසා ඒවායේ අබිරහස් රැසක් ගැබ් වී ඇතැයි පැවැසෙයි. මෙහි ඇති ඉදිකිරීම් කවුරුන් විසින් කරනු ලැබූ ඒවාදැයි හෝ කැටයම්වලින් කියා පාන්නේ මොනවාදැයි කියා හෝ මෙතෙක් අනාවරණය වී නැත. මහාචාර්ය මේසන් බලාපොරොත්තුවෙන් සිටින්නේ සිරියාවේ ගැටුම් අවසන් වූ සැණින් යළි මෙම මළවුන්ගේ භූමියට ගොස් ගවේෂණ සිදු කිරීමටය.

නටබුන් පිහිටා ඇත්තේ සිරියාවේ ඩමැස්කස් අගනුවර සිට සැතපුම් 50 ක් උතුරිනි. නටබුන්වලට ආසන්නයෙන් පිහිටා ඇත්තේ බාකා නමැති ගම්මානයයි. බාකා ගම්මානය අසල ද අයි.එස්. ත්‍රස්තවාදීන් සහ සිරියානු රජයේ හමුදා අතරේ දරුණු අවි ගැටුම් සිදුවූ බව පැවැසෙයි.

මහාචාර්ය මේසන් අනුමාන කරන අන්දමට, ගල් කැටයම් හා ගල් කුලුනු අයත් වන්නේ නව ශිලා යුගයේ අවසන් කාලයට හෝ ලෝකඩ යුගයේ මුල් අවදියටය. එනම්, වර්ෂ 6,000 සිට 10,000 තෙක් කාලයටය. නටබුන් අතර ඇති ගල් කුලුනු නිර්මාණය කර තිබෙන්නේ ඒ අවට හමුවන කළුගල් හෝ හුණුගල් හෝ නොවෙයි. ඒ අසල ගල් වලවල් ද නැති බව පැවැසෙයි.

“පැහැදිලියි. මේක මළවුන්ගේ භූමියක් තමා. ඊට හේතුව ජීවත් වන අයට මෙතැන සුදුසු වටපිටාවක් නොවේ.

නටඹුන්වල අබිරහස කවදා විසඳා ගන්න අපට හැකිවේවිදැයි කියන්න අමාරුයි” මහාචාර්ය මේසන් පැහැදිලි කරයි.

මෙම භූමියේ නුදුරින් නටබුන් වූ දෙව් මැදුරක් ද ඇත. දීර් මාර් මූසා යනුවෙන් එය හැඳින්වෙයි. එය 19 වැනි සියවසේදී ක්‍රිස්තියානු බැතිමතුන් විසින් ඉදිකරනු ලැබූ පැරැණි දේවස්ථානයකි. එය ඉදිකරන්න ඇත්තේ රෝමානුවන් යැයි ද තවත් මතයකි. මෙය දේවස්ථානයක් නොව මුරඅට්ටාලයක් වන්නට ඇතැයි මේසන් ඇතුළු පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. අද එය ද විනාශ වී නටබුන් වී ඇත. එසේ වන්නට ඇත්තේ භූමිකම්පාවකින් යැයි මහාචාර්ය මේසන් පැහැදිලි කරයි. ඔහුට මරණයේ භූමියේ පිහිටි නටබුන් හමුවුණේ මේ ඉපැරණි රෝම මුර අට්ටාලය සොයා ගිය ගවේෂණයකදී අහම්බෙන් යැයි ද පැවැසෙයි.

 


තොරතුරු ලංකාදීපයෙන්
මේ වගේ අලුත් වැදගත් දේවල් හැමදාම දැනගන්න දැන්ම අපේ පෙජ් එක ලයික් කරන්න.