ගුවන් යානයක් පැහැරගත් ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා සේපාල ඒකනායකගේ අභිරහස මෙන්න

දරු දුක කියන්නෙ මිනිසුන්ටත් සතුන්ටත් පොදුවේ ගත්විට වඩාත් සංවේදීව දැනෙන හැඟීමක්. දස මසක් කුස දරා සිට දරුවන් මෙළොවට බිහිකළ අම්මාගේ වගේම රෑ දහවල් නොබලා දරුවන්ගේ අනාගතය එළිය කරන්න වෙහෙස මහන්සි වෙන තාත්තාගේ ආදරයත් දරුවකුට නිධානයක්.

1982 වසරේදී ඔහු දරුදුක නිසාම ගුවන් යානයක් පැහැර ගත්තා. එය එකල මෙරට පමණක් නොව ලෝකයම හෙල්ලුම් කැවු සිදුවීමක්. ඔහු සේපාල ඒකනායක. එදා සිදුවීම ගැන ඔහු අද මොනව ද කියන්නේ?

අලිටාලිය ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානය මගීන් තුන්සිය හතළිහක් සමග පැහැරගත් ඒ අපූරු තාත්තාව මුණ ගැහෙන්න  “ඉරිදා  ලංකාදීප”  අපි ගියා බත්තරමුල්ල කොස්වත්තට.

ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්
ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්

දොන් දාවිත් ඒකනායක සහ එම මහත්මියට දාව 1949 ජූනි මස තුන්වෙනිදා මාතර කරතොට කියන ගමේ උපන් සේපාල අධ්‍යාපනය ලැබුවේ හම්බන්තොට යෝධකණ්ඩිය විද්‍යාලයේ. කුඩා අවධියේදීම මව මිය යාමත් පියා දෙවැනි කසාදයකට යොමුවීමත් සමඟ කුඩා සේපාලව රැක බලා ගත්තේ ඔහුගේ පියාගේ මව වන දෝන ප්‍රැන්සිනා රාජපක්ෂ මහත්මිය සහ බාප්පා කෙනෙක් වන ඩී. ඒ. විජේසිංහ යන දෙපලයි.

සේපාල ගම දාලා කොළඹ එන්නේ වයස අවුරුදු පහළොවේ දී. අනාගතයක් හොයාගෙන ගමෙන් කොළඹට එන මේ කොලුගැටය අන්තිමට නතර වෙන්නේ ජර්මනියේ.
ඔහු කියන විදිහට ඒ කාලේ විදේශ රටකට යන්න අද වගේ අපහසු නෑ.
ඔහු ජර්මනියට යනකොට වයස අවුරුදු විසිතුනක තරුණයෙක්. සේපාලට අපූරු විනෝදාංශයක් තිබුණා.

ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්

ඒ තමයි රට රටවල සංචාරය කිරීම. ජර්මනියේ කර්මාන්ත ශාලාවක රැකියාවක් කරමින් සිටිය දී ඉතාලි සංචාරයකට එක්වන මේ අපූරු තරුණයාට සුන්දර යුවතියක් මුණ ගැහෙනවා. ඇය ඇනා ඇල්දොවන්ද්‍රි.

මේ පෙම් යුවල ඔවුන් දෙදෙනාගේ සිතේ බැඳුණු ප්‍රේමය මල්ඵල ගන්වමින් 1974 වර්ෂයේ විවාහ ගිවිස ගන්නවා. විවාහයෙන් පසු ඉතාලියේ මොදේනා ප්‍රදේශයේ ජීවත්වන නව යුවලට පුතෙක් උපදිනවා. නිදහසේ සිතුවිල්ලක ප්‍රේමනීය හැඩය අරුත් ගන්වමින් උපන් සිය දරුවාට ඔහු ‘ෆ්‍රී ඒකනායක’  ලෙස නම් තබනවා.

පුතාගේ උපතත් සමඟ පිය පදවිය ලැබූ තරුණයාට සිය දරුවාගෙන් වෙන්ව මව් රටට එන්න වුණේ ඇයි?

ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්

සිය දරු පැටියා ලබා ගැනීමේ අරමුණින් එදා ක්‍රියාත්මක වූ තමාට එදා සහ අද දැනුන හැඟීම් මොනවද?
අපි අහල බැලුවා සේපාල ඒකනායක මහතාගෙන්. ඔහු සහ ඔහුගේ ශ්‍රී ලාංකීය බිරිඳ අප පිළිගත්තේ ලෙන්ගතුය.

අප සමග මුලින්ම සාකච්ඡාවට අවතීරණ වෙමින් ඔහු පැවසුවේ මම ප්‍රසිද්ධියට කැමති නෑ. එයින් මගේ නිදහස සීමා වෙනවා. මාධ්‍ය හරහා මගේ ලිපියක් පළ වුණාම මට පන්සලකටවත් නිදහසේ යන්න එන්න බෑ. සමහරු අහන ප්‍රශ්න වලට මම හිනාවකින් උත්තර දෙනවා.

● ඒ කියන්නේ ඔබ අතීතයේ කරපු දේ පිළිබඳව පසුතැවෙනවද? 
නෑ. ඇත්තටම එහෙම පසුතැවීමක් නෑ. අමුතු සතුටකුත් නෑ. නමුත් පොඩි සතුටක් තියෙනවා. මම ජීවිතේ කිසිම දෙයක් මහා විශාලෙට හිතන මිනිහෙක් නෙවෙයි. කොහොමත් මගේ දුර සැලසුම් නෑ.

මම කියන්නේ කාටවත් උත්තර දෙන්න මම අකමැතියි. ඒ ගැන පසුතැවිලි නිසාම නෙවෙයි. පාරක තොටක යනකොට සමහරු අහනවා මම සේපාල ඒකනායක ද කියලා. සමහරු එයින් නවතින්නේ නෑ. දිගින් දිගටම ප්‍රශ්න කරනවා. එය මට හිංසාවක්. එකයි මම ප්‍රසිද්ධියට අකමැති.

ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්

● ශ්‍රී ලංකා ඉතිහාසයේ මගීන් සමඟ ගුවන් යානයක් තම අනසකට ගත් පළමු පුද්ගලයා ඔබ. කොහොමද ඒ සිදුවීම වුණේ. 
ඇත්තටම එය සිදූ වූයේ දරු සෙනෙහසක් තරුණ වියේ ඇති වුණ ආවේගයක් නිසා. මට ඉතාලියේ ඉන්නට අවශ්‍ය වීසා ලබාගැනීමේ ක්‍රියාවලියට අවශ්‍ය ලියකියවිලි අස්ථානගත  වුණා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ඉතාලි  එම්බසියට මම ගියා. ඔවුන් කිව්වා එම ලිපි ලේඛන ලංකාවෙන් ලබා ගන්න කියලා. මම ලංකාවට ආව. ඒ ඇවිත් ඒ පිළිබඳව සොයා බැලුවම ලංකාවෙන් කිව්වා, ඉතාලියෙන් ගන්න තියෙන දෙයක් ලංකාවෙන් දෙන්න බෑ කිව්වා. නැවතත් ඉතාලි ගියා.

නැවතත් ලංකාවට ආවා. ඔය ආකාරයෙන් මම ඉතාලියෙන් ලංකාවටත් ලංකාවෙන් ඉතාලියටත් කිහිප වරක් ගමන් කළා.
ඒ වනවිට මගේ වීසා අවසාන වීමට ආසන්න වෙමින් තිබුණා. කොහොම වුණත් මම අන්තිම වතාවේ ලංකාවට එනකොට මගේ පුතාව අරගෙන ආවා.

මොකද ඒ වෙනකොට ඉතාලි ජාතික මගේ බිරිඳත් මාත් අතර සුලු සුලු විරසකකම් ඇතිවෙලා තිබුණේ. මොනව වුණත් මට මගේ දරුවා නැතිව ජීවත් වෙන්න පුලුවන්කමක් තිබුණේ නෑ.

මම මගේ පුතාව අරගෙන ලංකාවට ආවා. ඉතාලි ජාතික බිරිඳ ඉතාලියේ සිටිය දී තමයි මම ලංකාවට ආවේ. දරුවා අරගෙන මම ලංකාවට ආවට පසුව ඇනාත් ලංකාවට ආවා. ඇය ඇවිත් හෝටලයක නැවතුනා.

ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්

ඇය මගෙන් ෆ්‍රීව බලන්න ඉල්ලුවා. මම ඇයට ලංකාවෙ ඉන්න දින කිහිපයේ දරුවා තියා ගන්න දුන්නා. එහෙම කළේ ඇය දරුවගේ අම්මා නිසා. පුතාගේ විස්තර මගේ පාස්පෝට් එකේ තමයි සඳහන් වුණේ. තත්ත්වය එහෙම වුණත් මගේ බිරිඳ මගේ දරුවා රැගෙන නැවතත් ඉතාලියට ගියා.

එදා ඇය නැවතී සිටිය හෝටලයට ගිය මට දැන ගන්න ලැබුණා ඇය දරුවා රැගෙන ඉතාලි යන්න පිටත් වුණා කියලා.
මට ඒක විශ්වාස කරන්න බැරි වුණා. ඇනා කොහොමද පුතාව අරං ගියේ කියලා මට හිතාගන්න විශ්වාස කරන්න බැරිවුණ නිසාම මම කටුනායකට ගිහින් මගීන්ගේ විස්තර සොයා බැලුවා.

ඊට ටික වේලාවකට කලින් දරුවා අරගෙන ඇනා ඉතාලියට ගිය බව මට දැන ගන්න ලැබුණා.
ඒ වේලාවේ මගේ හිතට ආවේ මොන වගේ හැඟීමක්ද කියන්න මම දන්නේ නෑ. කොහොම වුණත් ෆ්‍රීව නැතිකර ගන්න එයාගේ තාත්තා හැටියට මට පුලුවන්කමක් තිබුණේ නෑ.

මම නැවතත් එම්බසියට ගියා. ආයෙත් ඉතාලි යන ලියකියවිලි හදා ගන්න. එහි දී මට එහි නිලධාරීන් කිව්වා අවුරුදු 6ක් බලන් ඉන්න කියලා.

ඇත්තටම තාත්තා කෙනෙක් හැටියට කොහොමද මම මගේ පුතාව අවුරුදු හයක් නොබලා ඉන්නේ. මම එම්බසියට ගිහින් නැවත නැවතත් ඇහුවා. ෆ්‍රීව ලංකාවෙන් අරං ගිය විදිහ. එහි දී මට තේරුණා එය එක්තරා සැලසුමක් කියලා. ඒ නිලධාරීන් මට අභියෝග කළා. ආවේගශීලීව කතා කළා.

ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්

ඔවුන් අභියෝග කරනකොට මමත් අභියෝගය බාර ගත්තා විතරක් නොවේ මමත්  ඔවුන්ට අභියෝග කළා.
තරුණ කාලේ හිතේ ආවේගෙට අභියෝග කළාම මොකද ඒ වෙනකොටත් මට අරමුණක් තිබුණේ නෑ. ඊළඟට මොකද කරන්නේ කියන එක ගැන නම් කිසිම අරමුණක් තිබුණේ නෑ.

ඒත් පරාද වෙන්න පුලුවන්කමකුත් නෑ. මම සැලසුමක් ගැන හිතුවා. ඒ සැලසුමට අනුව 1982 ජූනි 30 ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගිය මම ඉතාලියේ සිට ඉන්දියන් හා බැංකොක් හරහා ටෝකියෝ බලායන අලිටාලියා ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයට ගොඩ වුණා. ඒ යානයේ පසුපෙළ අසුනක මම වාඩි වුණේ. මගින් තුන්සිය හතලිහක් ඒ වනවිට යානයේ ගමන් ගැනීමට සූදානමින් සිටියා.

ටික වේලාවකින් යානය ගුවන් ගත වුණා. අඩි තිස් දාහක් උඩු ගුවනට ගමන් කළ යානය ගමන ඇරඹු පසු මම ගුවන් සේවිකාව අතේ පයිලට්ට ලිපියක් යැව්වා.
එම ලිපියෙන් මම කළේ බොහොම මානුෂීය ඉල්ලීමක්. මගේ බිරිඳ සහ දරුවා බැංකොක් ගුවන් තොටුපලට ගෙනැවිත් දීමත් මුදලින් ඩොලර් ලක්ෂ තුනක් ලබාදීමත් පමණයි මා බලාපොරොත්තු වුණේ.

ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්

එහිදී මා ගුවන් නියමුවට අනතුරු ඇඟෙව්වා මා සතුව පුපුරණ ද්‍රව්‍ය තිබෙන බවට. ලිපිය ලැබූ මුල් අවස්ථාවේ යම් මත ගැටුමක් අදාළ ගුවන් නියමුවා සහ මා අතර ඇතිවුණා. අන්තිමට ඔවුන් මා කියන ආකාරයට බැංකොක් නුවරට යානය රැගෙන යන්න කැමති වුණා.
ඇත්තටම ඒ අවස්ථාවේ ඔවුන්ට වෙනත් විකල්පයක් තිබුණේ නෑ.
මේ ඉල්ලීම් ඉතාලි බලධාරීන් වෙත දැනුම්දීමත් සිදුකිරීමට මා පයිලට්ට දැනුම් දුන්නා.

ඇත්තටම මෙහිදී මම කියන්නම දෙයක් තියෙනවා. එවකට පැවතුන මාධ්‍ය ඔස්සේ ඩොලර් ලක්ෂ තුනේ කප්පමක්  විදිහට මා ඉල්ලු මුදල අර්ථ දැක්වුණා.  එහි ස්වරූපය ඒ ආකාරයෙන් වුවත් ඇත්තටම මා ඔවුන්ගෙන් ලබා ගත්තේ ඉතාලි නිලධාරීන් මාව අපහසුතාවයට පත් කිරීම නිසා ඉතාලියේ සිට ලංකාවටත් ලංකාවේ සිට ඉතාලියටත් යාමට ඒමට මා විසින් වියදම් කළ මුදල් පමණයි.

පයිලට් යානාව තුළ තිබෙන දුරකතනයෙන් මා හා අදහස් හුවමාරු කර ගත්තා. මා ඔහුගෙන් ඉල්ලීමක් කළා ගුවන් යානාව හයිජැක් කර තිබෙන බව මගීන්ට නොදැනෙන ආකාරයෙන් කටයුතු කරන්න කියලා. ඇත්තටම ඔහු මා කියන ආකාරයට ක්‍රියාත්මක වුණා. මාගේ ලිපිය පයිලට්ට ලැබුණට පසුව ඔහු ගුවන් යානය අඩි 25,000 පහළට ගෙන එනු ලැබුවා. කාලය ගෙවලා ගියේ ඊළඟට මොකද කරන්නේ මොකද වෙන්නේ කියන අවිනිෂ්චිත සිතුවිලි ගොඩක් එක්ක.
මම කියපු විදිහට මගේ බිරිඳ සහ දරුවා බංකොක් නුවරට  ඒමට පිටත්  වූ බව මට දැන ගන්න ලැබුණා.

ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්

කාලය ගෙවිලා ගියා. ගුවන් යානයේ කාර්මික දොෂයක් නිසා බැංකොක් ගුවන් තොටුපලට ගුවන් යානය ගොඩ බස්සවන බව පයිලට් මගීන්ට දැනුම් දුන්නා. බැංකොක් වලට ගුවන් යානය ලෑන්ඞ් කළත් මගීන්ට බහින්න අවසර දෙන්න බෑ කියලා මම ගුවන් නියමු ජියෝර්ගෝ අමරෝසාට දැනුම් දුන්නා.

ලෑන්ඞ් කළ ගුවන් යානයෙන් මගීන්ට බැස යන්න නොදීමත් සමග ගුවන් යානය හයිජැක් කර ඇති බව මගීන් දැන ගත්තා.
ඔවුන් එක් එක් අයගෙන් විමසා සිටියා කවුද එහෙම කළේ කියල. මොකද මම හිටියේ ඔවුන්ට හිංසා කිරීමට කිසිම ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් නොවේ. මම හිටියේ සිනා මුසුව.

එක් මගියෙක් මගෙනුත් ඇහුවා ෆ්ලයිට් එක හයිජැක් කරලා නේද කියලා. ඒ වේලාවේ මමත් ඇහුවා ඇත්තට හයිජැක් කරලද කවුද එහෙම කළේ කියලා.

ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්

ඇත්තටම ඔවුන්ට මා අණසකට අරං හිටියා වුණත්  මාත් ඔවුන් සමග හිටියා.
මම මගේ හිත ශක්තිමත්ව තියා ගත්තා. ගුවන් යානයේ මගීන් අතර හිටි දරුවෝ දිහා මම බැලුවේ නැහැ.

මොකද මමත් තාත්තා කෙනෙක්. ඒ දරුවන්ගේ ඇස් දිහා බලන්න මට පුලුවන් කමක් තිබුණේ නෑ. මම ඒ දිහා නොබලා හිටියා.
ගුවන් යානාවේ සිටි කාන්තාවන් සහ මහලු පිරිස් යම් අපහසුතාවකට පත්ව සිටින බව මට වැටහුනා. අන්තිමට මම තීරණය කළා කාන්තාවන් දරුවන් සහ මහලු අය ප්‍රාණ ඇපකාරත්වයෙන් මුදාහරින්න.

ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්

කාලය ගෙවිලා ගියේ මා බලාපොරොත්තු වූ ආකාරයට සියල්ල සම්පාදනය වෙමින් මම ඔවුන් මුදාහැර පිරිමින් පමණක් රඳවා ගත්තා. මගේ බිරිඳ සහ දරුවා නිවසින් පිටවූ තැන සිට බැංකොක් වලට එමින් සිටියදී සිදූවූ සියලු සිදුවීම් මට වාර්තා වුණා.
මා කිසිම බාහිර පුද්ගලයන් සමග කතා කරන්න ගියෙ නෑ. මම ගනුදෙනු කළේ පයිලට් එක්ක පමණයි.

පැය තිහකට පසුව මගේ බිරිඳත් දරුවත් මං ළඟට ආවා.
ප්‍රාණ ඇපකරුවන් මම මුදා හැරියා. ඒ වෙනකොට මුලු ලෝකයේම අවධානය මට යොමු වෙලා තිබුණේ.

දරුවයි බිරිඳයි මං ළඟට ආවට පස්සේ ඊළඟට මොකද කරන්නේ කියලා මට හිතා ගන්න පුලුවන් වුණේ නෑ. කොහොම වුණත් වෙන රටකට යන අදහස මම අතහැරියා.

ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්

එහෙම කළේ තායිලන්තේ ශ්‍රී ලංකා තානාපතිනිය මට දැනුම් දුන්නා ගුවන් යානා පැහැර ගැනීම සම්බන්ධයෙන් නීති සම්පාදනය වී නොමැති නිසා  බය නැතිව ලංකාවට යන්න කියලා.

ඒ අනුව මම ලංකාවට ආවා. ලංකාවට ඇවිත් ඉන්ටර්කොන්ටිනල් හෝටලයේ බිරිඳයි දරුවයි එක්ක නැවතුනා. එහි දවස් කිහිපයක් ඉඳලා මම මගේ ගමට යන්න පිටත් වුණා. අන්තිමේදී ගාල්ලේදී මාව අත්අඩංගුවට  ගත්තා.

මාව අත්අඩංගුවට ගත්තට මට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කිසිම නීතිමය තත්ත්වයක් එවකට සම්පාදනය වෙලා තිබුණෙ නෑ. ඒ නිසා ඔවුන් ගුවන් නියමුවට කියලා දේපල මංකොල්ල කෑම කියලා පැමිණිල්ලක් මට විරුද්ධව දමා තිබුණා.

ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්

නමුත් එයත් දුර්වල තත්ත්වයේ පැවතුණා. මොකද මම සොරා ගත්ත දේපලක් නෑ. කොහොම කොහොම හරි තේරුමක් නැති පැමිණිල්ලකට අත්අඩංගුවට පත් වුණ මා වැලිකඩට දැම්මා.

මමත් එක්ක සිරකරුවෝ පස් දෙනෙක් ඒ සිරමැදිරියේ සිටියා.
කාලය ගෙවිලා ගියේ හරිම අවුල් සහගතව. ඉතාලි රජයෙන් මාව ඉල්ලුවා. නමුත් මාව ඉතාලියට බාරනොදෙන ලෙස පොදු මතයක් ගොඩනැගුණා.

එවකට බලයේ සිටි ජේ. ආර්. ජයවර්ධන රජය අතීතයට බල පැවැත්වෙන පරිදි නීති සම්පාදනය කරන්න පියවර ගත්තා.
දේපල සොරා ගත්තා කියා දැමූ බොරු පැමිණිල්ල විභාග නොවුණ නඩුවක් සමග මාගේ වරදට දඩුවම් නියම කිරීම දවසින් දවස කල්ගියා. ඇත්තටම මම දේපලක් සොරා ගත්තේ නෑ.

මට ඕනෑ වුණේ මා වියදම් කළ මුදල් පමණයි. මට මතකයි ගුවන් යානේ එදා ගමන් ගත් ජපන් ජාතික ඇමැතිවරයෙක් මට මුදල් දෙන්න ලැහැස්ති වුණා. මම එය ප්‍රතික්ෂේප කළා. මොකද මට ඕනෑ වුණේ ඉතාලි රජයෙන් ලැබෙන මුදලුයි. මම ලංකාවට රැගෙන ආ දරුවයි බිරිදයි ඉතාලි තානාපති කාර්යාලයය ආයෙත් ඉතාලියට යැව්වා.

ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්

එදා මගේ පර්ශ්වේ විනිසුරු වුණේ නියෝජ්‍ය සොලිටර් ජෙනරාල් ජේ. ජේ. එස්. ඒ. සයස් සහ උපවංශ යාපා යන මහත්වරු ඉස්සරහ විභාගකලා.
ඒ අවස්ථාවේ මා වෙනුවෙන් පෙනී සිටියෙ නීතිඥ  රන් බණ්ඩා සෙනෙවිරත්න මහත්තයයි. කොල්විල් ආර් ද සිල්වා මහතායි.

ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්

එහිදී ගුවන් නියමු අමරෝසාත්, සාක්ෂි දීමට පැමිණියා. අවසානයේ මුල් පැමිණිල්ලට අනුව නොවේ අලුතෙන් සම්පාදනය කළ නීතියට අනුව ගුවන් යානාව හයිජැක් කිරීමට නීතිය ක්‍රියාත්මක වුණා.

මට වසර පහකට සිර දඩුවම් නියම වුණා. සිරගත වෙලා ඉන්න කාලයේදී මගේ පුතා  ගැන තොරතුරු මට ලැබුණේ නෑ.  ඒ කාලය ගෙවිලා ගියේ කොහොමද කියන්න මට තේරන්නේ නෑ.

නමුත් මම හිත ශක්තිමත් කෙනෙක්. ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා හිතන ගතිය මට නෑ. මම හිරගෙදර හොඳ කල්ක්‍රියාවෙන් ජීවත් වුණා. එය කාලය අතරතුර ඉතාලි ජාතික බිරිඳ මගෙන් දික්කසාදවෙන්න අවසර ඉල්ලුවා. මම ඇයට අවසර දුන්නා.

මොකද කිසිම දෙයක් බදා වැළඳගෙන වද විඳින්න මට වුවමනාවක් නෑ. ඇයට ඕනෑම දේකට නිදහස තිබිය යුතුයි. මමත් නිදහසට කැමතියි.
ඇය විවාහ බැම්මෙන් නිදහස් කළත් මගේ පුතාගේ ලේ බැඳීමෙන් නිදහස් කරන්න පුළුවන්කමක් මට තිබුණේ නෑ.
1987 වසර පහකට සිරදඩුවම් විඳිමින් පසුව මම නිදහස් වුණා.

ඒ නිදහස් වෙලා ආවට පසුව මම පුතාට කතා කරන්න උත්සාහ කළා. ඔහුට උපන් දින කාඞ්පත් යැව්වා. මම ලංකාවේ ජීවත් වුණාට මගේ පුතා මට හැම වේලාවෙම මතක් වුණා.
ඔය කාලය අතරතුරේදී තමයි මට යසංගනී මධුපාලි මුණ ගැහුනේ. ඇයත් මාත් අතර ආදර සම්බන්ධයක් ඇතිවුණා. ඉන් පසුව අප විවාහ වුණා.

ඡායාරූප උපුටනය Daily Mirror වෙබ් අඩවියෙන්

● එදා ඔබ හොයාගෙන ගිය ෆ්‍රී අද තරුණයෙක්. ඔහු ඔබ සොයාගෙන ආව ගමන ගැන පැහැදිලි කළොත්. 
අපි වෙන් වුණාට පසුව මගේ පුතා වයස අවුරුදු පහළොවේදී විතර මට කතා කළා. කතා කරලා කිව්වා මාව බලන්න කැමතියිකියලා.  එයා වෙනුවෙන් මම කළ කී දේවල් පුංචි කාලේ මම එයාව බලාගත් හැටි මගේ යාළුවෙක් පුතාට කියලා තිබුණා.
යසංගනී සමඟ වුණ විවාහයේදී මට දුවයි පුතයි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ වෙනකොට ෆ්‍රී  මාව බලන්න එනවා. මමත් ෆ්‍රී බලන්න යනවා. අතීතය දිහා හැරිලා බලලා දුක්වෙන්න වත් අමුතු විදිහට සතුටු වෙන්නවත් මට පුලුවන්කමක් නෑ.

මට දැන් ඕන සැනසිල්ලේ ජීවත් වෙන්න.
සේපාල ඒකනායක මහතා ඒ ආකාරයෙන් සිය කතාව අවසන් කරන විට ඇයගෙන් ඔහු ගැන යමක් නොවිමසුවොත්  ඒක පොඩි අඩුවක් කියලා මට හිතුනා.  යසංගනී මහත්මිය මොකද හිතන්නේ ඔබේ සැමියා සේපාල ඒකනායක ගැන.

ඇත්තටම ඔහු බොහොම හොඳ සැමියෙක්. මේ විවාහයේදී මගේ ගෙදරින් සුලුසුලු  විරුද්ධකම් ඇති වුවත් මම ඔහු ගැන විස්වාසයෙන් හිටියා. ඔහු ගුවන් යානාවක් හයිජැක් කළත් එය බොහොම මානුෂීය හැගීමක් විදිහටයි මම දැක්කේ. ඇත්තටම එය මා දැක්ක විදිහ පමණක් නොවේ. එය තමයි ඇත්ත.

අපි දෙන්නට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව සැලී ඒකනායක. පුතා විරාම් ඒකනායක ඔවුන් දෙදෙනා සමග ෆ්‍රී පුතාත් බොහොම සුහදව ජීවත් වෙනවා.

ෆ්‍රී පුතා අපි බලන්න කිහිප විටක්ම ලංකාවට ආවා. අපිත්  ඔහු බලන්න ගියා. ඇත්තටම සේපාල ඒකානායක කියන්නේ වචනයේ පරිසමාන්ත අර්ථයෙන්ම ආදරණීය තාත්තා කෙනෙක් ඈ කීවාය.

මොරටුව රේඛු තරංගනී ෆොන්සේකා ලංකාදීපයට ලියූ ලිපියක් ඇසුරිණි

මේ වගේ අලුත් දේවල් දිනපතා දැනගන්න දැන්ම අපේ පේජ් එක ලයික් කරන්න