No 1 කීවාට නමේ හැටියට වැඩ නැති දුම්රිය නැවතුම්පළ ගැන දැනගනිමු

ලංකාවේ ඕනෑම දුම්රිය ස්‌ථානයක්‌ හඳුන්වන්නේ ඊට අදාළ ගමේ හෝ නගරයේ නමිනි. එය බ්‍රිතාන්‍ය ජාතිකයන් රට පාලනය කරන කාලයේ සිට පැවත එන ක්‍රමවේදයයි. නමුත් මීට හාත්පසින් ම වෙනස්‌ ක්‍රමවේදයක්‌ භාවිතා කරමින් ගමක හෝ නගරයක නොවන අයුරින් නම් තබා ඇති ශ්‍රී ලංකාවේ එකම දුම්රිය ස්‌ථානය කවරේ දැයි ඇසුවොත් එය බොහෝ දෙනෙක්‌ නොදන්නා කරුණක්‌ වන අතරම යම් විමතියකට පත්වන කරුණක්‌ වේ.

ඒ වෙන කවරක්‌වත් නොව නො. 01 දුම්රිය නැවතුම්පළ වේ. ඔබ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මඟියෙක්‌ නම්, කොළඹ කොටුවේ සිට කළුතර හා ගාල්ල දෙසට එන විට වාද්දුව දුම්රිය ස්‌ථානයත්, උතුරු කළුතර දුම්රිය ස්‌ථානයත් අතර පිහිටි නො. 01 දුම්රිය නැවතුම්පළ දැක ගත හැකි වේ. මෙය ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන්නේ No: 01
TRAIN HALTවශයෙනි.

මෙය සම්බන්ධ ඇති අතීත කථාව ඉතා දිගු ඉතිහාසයක්‌ ඇති රසවත් සිද්ධීන් ගණනාවකින් සමන්විත එකකි. බොහෝ වැඩිහිටියන් දනිතත් නූතන පරපුර මේ කථාන්තරය නොදනී. ලංකාවේ සෑම දුම්රිය ස්‌ථානයක්‌ ම හඳුන්වන්නේ දුම්රිය නැවතුම් ස්‌ථාන වශයෙනි උදාහරණයක්‌ ලෙස පානදුර දුම්රිය ස්‌ථානය හෙවත් පානදුර රේල්වේ ස්‌ටේෂන් වශයෙනි. වාද්දුව දුම්රිය ස්‌ථානය හෙවත් වාද්දුව රේල්වේ ස්‌ටේෂන් වශයෙනි. qනමුත් දුම්රිය ස්‌ථානයක්‌, දුම්රිය නැවතුම්පළ හෙවත් ‘ටේ්‍රන් හෝල්ට්‌’ වශයෙන් හැඳින්වීම මෙහි විශේෂත්වයයි. මේ දිග හැරෙන්නේ එහි අතීත කථාවයි.

එදා 1948 වසරයි. 1948 මහ මැතිවරණය සඳහා පානදුර ආසනය වෙනුවෙන් එ. ජා. පක්‍ෂයෙන් තරග කරන ලද්දේ සුසන්ත ෆොන්සේකා වන අතර, ලංකා සමසමාජ පක්‍ෂයෙන් තරග කරන ලද්දේ හෙන්රි පීරිස්‌ මහතාය . එවකට පානදුර ආසනයේ සීමාවන් වස්‌කඩුව කොස්‌ගස්‌ හන්දිය දක්‌වා විහිදී තිබුණි. පෝහද්දරමුල්ල, වස්‌කඩුව, පොතුපිටිය යන ගම් රාශියක්‌ මේ අනුව පානදුර ආසනයට අයත් විය.

මෙහිදී එකල වස්‌කඩුව ගමේ විසූ ප්‍රබල සමාජ සේවකයකු හා ගම් සභා නියෝජිතයකු වූ (ගමේ මැම්බර්) කවිරත්න ඒදිරිස්‌ ද සිල්වා මහතා ප්‍රබල එක්‌සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරිකයකු වුවත්, කුමක්‌ හෝ හේතුවක්‌ මත මෙම මහ මැතිවරණයේදී, තම සහයෝගය දුන්නේ ලංකා සමසමාජ පක්‍ෂයෙන් තරග කළ හෙන්රි පීරිස්‌ මහතාට ය. ඒ අනුව ඔහු වටා සිටි වස්‌කඩුව ගමේ විශාල පිරිසක්‌ හෙන්රි පීරිස්‌ මහතාට සහයෝගය දෙන ලදී.

වස්‌කඩුව ගම කළුතර දිස්‌ත්‍රික්‌කයේ විශාලත්වය හා ජනගහනය අතින් ඉහළ අගයක්‌ ගන්නා අතර, විශාල ඡන්දදායකයන් සංඛ්‍යාවක්‌ සිටින ගමකි. වාමාංශික අදහස්‌ දරන ලංකා සමසමාජ පක්‍ෂය බිහි වූ මේ යුගයේ, හෙන්රි පීරිස්‌ මහතා, එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක සුසන්ත ෆොන්සේකා මහතා පරදවා ජයග්‍රහණය කරන ලදී.

ඒ අනුව එවකට අගමැති ධුරය හොබවන ලද්දේ මහාමාන්‍ය ඩී. ඇස්‌. සේනානායක මහතා වන අතර, ප්‍රවාහන හා වැඩ ඇමැති ධුරය හොබවනු ලැබුවේ සර් ජෝන් කොතලාවල මහතා විසිනි. කම්කරු ඇමැති වූයේ වෘත්තීය සමිති නායකයකු වූ ඒ. ඊ. ගුණසිංහ මහතා ය. හෙන්රි පීරිස්‌ මහතාගේ ජයග්‍රහණයෙන් පසුව ඔහු තම ජයග්‍රහණය සඳහා උරදුන් තම පාක්‍ෂික හිතවතුන්ව මුණ ගැසුණුq අවස්‌ථාවේ, එතුමාගේ එකම ඉල්ලීම වූයේ තම තමන්ගේ ගම්වලට කළ යුතු යම් පොදු කටයුතු වේ නම් ඒa සඳහා මෙය අවස්‌ථාවක්‌ කර ගන්නා ලෙසමය.

සෑම ගමකින් ම පැමිණ සිටි ගම් නියෝජනය කරන ප්‍රභූවරුන් හා ගම්වල දේශපාලන නායකයන් තම ගම් ප්‍රදේශවල විවිධ ගැටලු හා දුෂ්කරතා රාශියක්‌ පෙන්වා දුන් අතර, වස්‌කඩුව ගම වෙනුවෙන් මේ සඳහා පෙනී සිටියේ, ගමේ මැම්බර් වූ ඒදිරිස්‌ ද සිල්වා කවිරත්න මහතා හා ප්‍රැන්සීක්‌කුදුර ජේමිස්‌ ද සිල්වා යන මහත්වරුන්ය. මේ අනුව ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ වස්‌කඩුව ගමට ‘දුම්රිය ප්ලැට්‌ ෆොaම්’ එකක්‌ ලබා දෙන ලෙස ය.

ඔවුන්ගේ එකම හා ප්‍රථම ඉල්ලීම එය විය. ඒ අනුව ක්‍රියාත්මක වූ හෙන්රි පීරිස්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, මෙම ඉල්ලීම කළුතර එවකට මහා දිසාපතිව සිටි සී. පී. ද සිල්වා මහතාට දන්වා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසට උපදෙස්‌ දෙන ලදී. මේ අනුව ක්‍රියාත්මක වූ දිසාපතිතුමා දිසාපති කාර්යාලයේ ‘මුඩ්ලියර්’ තනතුර දැරූ කේ සයනේරිස්‌ ද සිල්වා මහතාට මෙම යෝජනාව යොමු කරන ලදී.

ඒ අනුව මෙම ඉල්ලීම දිසාපතිතුමා මගින්, එවකට ප්‍රවාහන හා රජයේ වැඩ ඇමැතිව සිටි සර් ජෝන් කොතලාවල මහතා වෙත යොමු කළ අතර, ඒ අනුව මෙම ස්‌ථානය පරීක්‍ෂා කිරීම සඳහා වස්‌කඩුව ගම වෙත පැමිණි රජයේ නිලධාරීන් වස්‌කඩුව ගමේ දැනට සතිපොළ පවත්වාගෙන යන ස්‌ථානය අසල මෙම දුම්රිය නැවතුම ඉදිකිරීමට නිර්දේශ කළ අතර, ඒ අවට ඉඩම් රජයට පවරා ගැනීම ද සිදු කරන ලදී.

එය එසේ වුවත්, අසල ගම්වාසීන් වන පොතුපිටිය ජනතාව, වස්‌කඩුවේ මෙම දුම්රිය නැවතුම්පළ ඉදිකිරීමට විරුද්ධත්වයක්‌ පෑ අතර, එය තම ගමට අවශ්‍ය බව බලධාරීන් මුණගැසී කරුණු දක්‌වන ලදී. මෙයින් නොනැවතුණු ඔවුහු එවකට කම්කරු ඇමැති ඒ. ඊ. ගුණසිංහ මහතා මුණගැසී කරුණු දක්‌වන ලදී. ඒ අනුව එම කරුණු පදනම් කරගෙන දුම්රිය නැවතුම පොතුපිටිය ගම් පියස තුළ ඉදිකිරීමට පිඹුරුපත් සැකසිණි. මෙය දැනගත් වස්‌කඩුව ගම්වාසීන් විශාල පිරිසක්‌ කළුතර දිසාපතිතුමා හා පාර්ලිමේන්තු මන්ත්‍රී හෙන්රි පීරිස්‌ මන්ත්‍රීතුමන්ලා මුණගැසී කරුණුq දක්‌වන ලදී.

මේ හබය නිසා ඊට මැදිහත් වූ ප්‍රවාහන හා රජයේ වැඩ ඇමැති සර්. ජෝන් කොතලාවල මහතා පුද්ගලිකව පැමිණ, වස්‌කඩුව හා පොතුපිටිය ගම් දෙකේ ගම්වාසීන් හා රාජ්‍ය නිලධාරීන් කැඳවා මෙම ගැටලුවට ස්‌ථිරසාර හා සාධාරණ විසඳුමක්‌ ලෙස මෙම දුම්රිය නැවතුම්පළ, වස්‌කඩුව හා පොතුපිටිය ගම් දෙකේ මායිම් සීමාවේ ඉදිකිරීමට කටයුතු යොදන ලදී. ඒ අනුව ඊට පසුව පැන නැඟුණු වඩාත් උභතෝකෝටික ප්‍රශ්නය වූයේ මෙයට කුමන ගමක නමක්‌ තැබිය යුතුද යන්නයි. ඒ අනුව දුම්රිය නැවතුමට වස්‌කඩුව නම යොදනවාට පොතුපිටිය ගම්වාසීන් විරුද්ධ වූ අතර, දුම්රිය නැවතුමට පොතුපිටිය නම යෙදීමට වස්‌කඩුව ගම්වාසීන් විරුද්ධ විය.

මේ අනුව මෙම දුම්රිය නැවතුම්පළ ඉදිකර අවුරුදු 02 ක්‌ පමණ විවෘත නොකර පැවැති අතර, පසුව අවසානයේ 1951 වසරේ මෙම දුම්රිය ස්‌ථානය නො. 01 – දුම්රිය නැවතුම්පළ හෙවත් No: 01 – TRAIN HALT ලෙස නම් කරන ලදී. ඒ අනුව වස්‌කඩුව වාඩියමංකඩ හන්දිය ආසන්නයේ සිට නො. 01 දුම්රිය නැවතුම්පළ දෙසට මඟීනට ළඟා වීමට එක්‌ මාර්ගයකුත්, පොතුපිටිය කඩමණ්‌ඩියේ සිට නො. 01 දුම්රිය නැවතුම්පළට මඟීනට ළඟා වීමට තවත් මාර්ගයකුත් ඉදිකරන ලදී. නමුත් මෙම දුම්රියට පිවිසෙන මාර්ග දෙකේම නම සඳහන් කර ඇත්තේද නො. 01 දුම්රිය නැවතුම්පළ ලෙසිනි. මෙසේ කිරීමට රජයේ නිලධාරීන් වගබලා ගන්නා ලදී.

මෙය නො. 01 දුම්රිය නැවතුම්පළේ ආරම්භක කාල පරිච්ඡේදයයි. වර්තමානයේ මෙය පිළිබඳ උදා වී ඇති ශෝචනීය හා කනගාටුදායක තත්ත්වය පෙන්වා දීම ද අපගේ යුතුකමකි.

මෙය නමින් නො. 01 දුම්රිය නැවතුම්පළ වුවද, නමේ හැටියට වැඩ නැත. එනම් සුපිරි තත්ත්වයේ තබා අවම යටිතල පහසුකම්වත් නොමැත. මෙම මුළු ගොඩනැඟිල්ලම වර්ග අඩි 100 ක්‌ පමණ ප්‍රමාණයේ කුඩා ගොඩනැඟිල්ලකි. එහි ඉදිකර ඇති මෙම ගොඩනැඟිල්ලේ රාජකාරී කටයුතු කරන්නේ උප දුම්රිය ස්‌ථානාධිපතිතුමා පමණි. එහි ඇතුළත කිසිදු පහසුකමක්‌ නොමැති අතර, මෙම කාර්යාල ගොඩනැඟිල්ල දෙවතාවක්‌ හොරු බිඳ ඇත. නමුත් මෙම ගොඩනැඟිල්ල ඉන් පසුව ද නිසියාකාරව අලුත්වැඩියා කිරීමක්‌ කර නොමැත.

මඟීන්ට වැස්‌සට හා අව් රශ්මියට ආරක්‍ෂා වීමට ද කිසිදු ආකාරයේ ආවරණය කිරීමක්‌ කර නොමැත. වැසි දිනවලදී සියලුම මගීන් දුම්රිය ස්‌ථානාධිපතිගේ කාමරය අසල රොක්‌වීම දැකිය හැකි සුලභ දසුනකි. තවද මගීනට වාඩිවීම සඳහා බංකු ද ඇත්තේ සීමිත ප්‍රමාණයකි. දුම්රිය කාර්යාලයේ වහළද කලකින් අලුත්වැඩියා කර නොමැත. පාර්සල් කාමරය ද වර්ග අඩි 20 පමණ කුඩා කාමරයකි. එහිද දොරවල් ශක්‌තිමත් නොවන අතරම, කිසිදු අයුරින් භාණ්‌ඩ ගබඩා කිරීමේ පහසුකමක්‌ නොමැත. තවද රාත්‍රියේදී විදුලි ආලෝකයක්‌ නොමැති තරම්ය.

එනිසා රාත්‍රියට මගීන්ගේ ආරක්‍ෂාවට මෙය මහත් තර්ජනයකි. විවේකාගාරයක්‌ නොමැති අතර, වැසිකිළි පහසුකම් ඉතාමත් අසතුටුදායක තත්ත්වයක පවතී. එසේම නිසි නඩත්තුවක්‌ නොමැත. මගීනට වේදිකාවන් සඳහා මාරුවීමට ඇති ගුවන් පාලම ද අබලන් තත්ත්වයේ පවතින අතර, එහිද වැස්‌සෙන් හෝ අව්වෙන් ආවරණය වීමට වහළක්‌ ඉදිකර නොමැත. තවද මගීනට දුම්රියක්‌ පැමිණීම සම්බන්ධව විමසීමට සෘජු දුරකථන ජාලයක්‌ හෝ සම්බන්ධතා ජාලයක්‌ ගොඩනඟා නොමැත.

එසේම මෙහි සැලකිය යුතු දැකිය යුතු පැතිකඩවල් හා යථාර්ථයන් රාශියක්‌ ඇත. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි දුම්රිය ස්‌ථානයන් වර්ග කිරීමේදී මෙම නො. 01 දුම්රිය නැවතුම්පළ උප දුම්රිය ස්‌ථානයකි. එහි ඇත්තේ ද උප දුම්රිය ස්‌ථානාධිපති කෙනෙකි.

මුහුදුබඩ මාර්ගයේ එනම් කොටුව සිට මාතර දක්‌වා මෙවැනි උප දුම්රිය ස්‌ථාන 30 ක්‌ පමණ ඇත. ලංකාව පුරා 150 ක්‌ පමණ උප දුම්රිය ස්‌ථාන පිහිටා ඇත.

එයිනුත් මෙම නො. 01 දුම්රිය නැවතුම්පළ මුහුදුබඩ මාර්ගයේ පිහිටා ඇති වැඩිම ආදායමක්‌ ලබන උප දුම්රිය ස්‌ථානයයි. එහි මාසික ආදායම රුපියල් ලක්‍ෂ 08 කට ආසන්න වේ. දුම්රිය මඟීන් සෑම දිනකම 250 – 300 අතර ප්‍රවේශ පත්‍ර ලබා ගෙන තම ගමන් පහසුකම් සලසා ගනී. ඊට අමතරව මාසිකව වාර ප්‍රවේශපත්‍ර 800 කට ආසන්න ප්‍රමාණයක්‌ අලෙවි වේ. මෙම දුම්රිය ස්‌ථානයට වස්‌කඩුව හා පොතුපිටිය ගම් දෙපැත්තෙන් ම පිවිසීමට මාර්ගයන් ඇත.

මීට අමතරව පෝහද්දරමුල්ල, දෙල්දූව, මොරොන්තුඩුව, මාවල, දෙදියවල, නුගගොඩ ඇතුළු ගම් රාශියක මඟී ජනතාව මෙම දුම්රිය ස්‌ථානයෙන් දිනපතා ගමන් බිමන් යති. මෙවැනි ආදායමක්‌ තිබෙන දුම්රිය ස්‌ථානයක කිසිදු ආකාරයක යටිතල පහසුකමක්‌ නොමැති අතරම, වසර 65 කට වඩා පැරැණි මෙම දුම්රිය ස්‌ථානය ගැන සොයා නොබලන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කුඩම්මාගේ සැලකිල්ල නිසා දැයි මගී ජනතාව ප්‍රශ්න කරති.

තවද මෙහි සිටින උප දුම්රිය ස්‌ථානාධිපතිවරයාගේ සේවය ද අගය කිරීම අප කාගේත් යුතුකමකි. එසේම රජයේ වගකීමකි. ඔහු තවම ස්‌ථිර කිරීමක්‌ කර නොමැත. පුදුමයට කරුණ වන්නේ සුද්දාගේ කාලයේ සිට දිවයින පුරා 150 කට ආසන්න උප දුම්රිය ස්‌ථානාධිපතිවරුන් සිsටියත් අද වනතුරු ඔවුන් ස්‌ථිර කිරීමක්‌ කර නොමැති වීමයි. ඔවුන්ට ඇත්තේ ගිවිසුමක්‌ පමණි. ඔවුනට ලැබෙන්නේ තම දුම්රිය ස්‌ථානයේ ආදායම අනුව යම්කිසි ගෙවීමක්‌ කිරීමයි.

ඔවුන්ට අතිකාල හිමිකම් නොමැත. වෙනෙකක්‌ තබා රජයේ සේවකයන්ට ලබා ගත හැකි ණය සහන සේවා නොමැත. මක්‌ නිසාදයත් පත්වීම් ලිපියක්‌ නොමැති වීමයි. දිනපතා පැය 08 කට එහා රාජකාරියක්‌ කරන ඔවුනට සමහර විට පැය 24 පුරාම රාජකාරිය කළ යුතු වේ. නිවාඩු අයිතිවාසිකම් නොමැත. හදිසියේ නිවාඩු ලබා ගැනීමට හිමිකම් නොමැති අතරම, එය ද කලින් දන්වා ආදේශකයින් යොදා ලබා ගත යුතුව ඇත.

උදා(- වශයෙන් මෙම නො. 01 දුම්රිය ස්‌ථානයට දෛනිකව පැමිණෙන ප්‍රථම දුම්රිය හිමිදිරි පාන්දර 3.30 වන අතර, අවම වශයෙන් දුම්රිය ස්‌ථානාධිපතිතුමා අලුයම 3.00 වන විට මෙම රාජකාරියට රපෝර්තු කළ යුතු වේ. හදිසි අසනීප, අනතුරු හා නින්ද යැම ඔවුනට වලංගු නැත. නමුත් නිල නිවාස නොමැත. අනෙකුත් දුම්රිය සේවකයන් හට ඇති වරප්‍රසාද හා පහසුකම් නොමැත. අවසානයේ ඔවුන්ගේ ජීවිත රේල්ලුවට දිය වී යනු ඇත.

එබැවින් මෙම ලිපියෙන් අවසාන වශයෙන් පෙන්වා දෙන්නේ ප්‍රවාහන ඇමැතිතුමනි, දුම්රිය සාමාන්‍යාධිකාරිතුමනි, ලංකාවේ දිගම හා රමණීය සංචාරක හෝටලයක්‌ වන ‘සීට්‍රස්‌’ හෝටලය පිහිටා ඇත්තේ මීට ආසන්නව වස්‌කඩුව ගමේය. එසේම සුපිරි ගණයේ සංචාරක හෝටල් රාශියක්‌ මීට ආසන්නයේ පිහිටා ඇති අතරම, ඔවුන් මෙම දුම්රිය ස්‌ථානය පරිහරණය කරන බැවින් හා මෙම දුම්රිය ස්‌ථානය පරිහරණය කරන සියලුම මඟී ජනතාවගේ සුබ සිද්ධිය තකා මෙම නො. 01 දුම්රිය ස්‌ථානය වඩාත් පුළුල් පහසුකම් සහිත ස්‌ථානයක්‌ බවට පත් කිරීමට කටයුතු යොදන ලෙසටත් එහි සේවකයන්ගේ ගැටලු හා ප්‍රශ්න නිරාකරණය කර දෙන ලෙසත්ය.

මෙහි අතීත තොරතුරු හා වර්තමානයේ තොරතුරු සෙවීමේදී එයට උපරිම සහයෝගයක්‌ දුන් කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගාමිණී එස්‌. කවිරත්න මහතා හා නො. 01 දුම්රිය නැවතුම්පළ ස්‌ථානාධිපති එම්. ආර්. කුමාරසිsරි මහතාට මඟී ජනතාව වෙනුවෙන් හා ගම්වාසීන් වෙනුවෙන් කෘතඥතාවය පළකර සිටී.

දයා හේමන්ත ගීකියනගේ

මේ වගේ  අලුත් වැදගත් දේවල් හැමදාම දැනගන්න දැන්ම අපේ පේජ් එක ලයික් කරන්න.