සමන් දෙවිඳුගේ අඩවියේ හෙවත් ශ්‍රී පාද අඩවියේ හාස්කම්

සමන් දෙවියන් අරක්‌ ගත් ශ්‍රීපාද අඩවියේ විදුහල්පතිවරයකු ලෙස අවුරුදු හයකට කිට්‌ටු කාලයක්‌ සේවය කිරීමෙන් ලද අත්දැකීම් කිහිපයක්‌ මෙහිදී හෙළි කෙරෙයි. හැටන් ශ්‍රීපාද මහා විද්‍යාලයේ ද ඉන් පසු මස්‌කෙළිය සමන්එළිය මහ විද්‍යාලයේ ද විදුහල්පති ලෙස දැනට අවුරුදු විසිපහකට පමණ පෙර මම සේවය කළෙමි.

ශ්‍රී පාදයේ ඉතිහාසය – පරිසරය ගුප්ත සැඟවුණු තොරතුරු අලළා පූජනීය ශ්‍රී පංදය නමින් ශාස්‌ත්‍රීය ග්‍රන්ථයක්‌ පළ කිරීම සඳහා ශ්‍රීපාද අඩවියේ සෑම තැනම ඇවිදිමින් කරුණු සොයමින් අත්දැකීම් බහුල අය සමඟ සාකච්ඡා කරමින් මම අවුරුද්දකට වැඩි කාලයක්‌ ඒ ගැන වෙහෙසුනෙමි.

සමන් දෙවිඳු ලාංකික වංශකතාවට අනුව බුදු හිමිගෙන් බණ අසා බුදුහිමිගෙන් කේශ ධාතු ලබා ගෙන මුලින්ම මහියංගන දාගැබ ඉදිකළ අතර, බුදු හිමි තුන්වැනි වර ලංකාවට වැඩි විට ශ්‍රී පාද කන්ද මුදුනේ ශ්‍රී පතුල පිහිටුවීමට ආරාධනා කළේය.

බුදුහිමිගෙන් බණ අසා සෝවාන් වූ සුමන සමන් දෙවි මරණින් පසු දේවත්වය ලැබ සමනල කන්ද මුදුනට හා ශ්‍රී පාද අඩවියට අරක්‌ ගෙන සිටියි. සමන් දෙවිඳුගේ වැඩිමල් සොයුරිය වූ “මහලොකු” යක්‍ෂ ස්‌වරූපයෙන් ම මහියංගන අඩිවියේ පුද ලබයි. කිරි අම්මාවරුන් පිදීමේදී මහලොකු කිරිඅම්මා කෙනෙකු ලෙස පුද ලබයි.

ලංකාවේ ප්‍රධානම සමන් දේවාලය රත්නපුරයේ ඇත. රත්නපුර කුරුවිට හා හැටන් යන ප්‍රධාන මාර්ග තුනකින් ශ්‍රී පාදයට මාර්ග විහිදෙයි. ඒ හැර තවත් අතුරු මාර්ග හයක්‌ පමණ ඇත. අඩි 7360 ක්‌ උස ශ්‍රී පාද කඳුවැටියට පරිවර කඳු ගණනාවකි. බෑන සමනල, කුණුදිය පර්වතය, ගවරවෙල ඉන් කිහිපයකි. ප්‍රධාන ගංගා හතරක්‌ ශ්‍රී පාද කඳුවැටියෙන් උපත ලබයි.

එහෙත් මහවැලි ගඟ ශ්‍රී පාද කඳුවැටියට සෘජු සම්බන්ධයක්‌ නැත. එහි මුල් දියත්ත වූ හැටන් ගඟ හැටන් නගරය ආශ්‍රිත සිංගිමලේ ජලාශයෙන් ද, එහිම අනිත් ඉහත්තාව වූ කොත්මලේ ඔයේ මුල් ජල ධාරාව හෝර්ටන් තැන්නෙන් ද උපත ලබයි.

වලවේ ගඟ ශ්‍රී පාදයේ එක්‌ බෑවුමක්‌ කෙළවර ඇති වලේබඩ සිට ඇරඹෙයි. කැලණි ගඟ මස්‌කෙළිය ඔය හා සීත ගඟුල ආශ්‍රයෙන් උපත ලබයි. රත්නපුර බෑවුමෙන් කළු ගඟ ඇරැඹෙයි. අතීත යුගයේ ශ්‍රී පාද කන්ද විදාරණව අක්‍රිය වූ යමහලක්‌ ලෙස සැලකෙයි.

අතීත යුගයේ ශ්‍රී පාදය වර්ණනා කරමින් ලියුවුණු “පාලි සමන්තකූට වර්ණනා” කාව්‍ය අනුව ශ්‍රී පාද අඩවියේ සියලු ගස්‌වැල් ශ්‍රීපාද පද්මය දෙසට නැමී ඇති බව කියවෙයි. ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පසළොස්‌වකින් ඇරැඹී වෙසක්‌ පසළොස්‌වකින් නිමවෙයි. ඉතිරි හය මාසය අවාරයයි. තද වර්ෂාව, සැඩ සුළං, චණ්‌ඩ කුණාටු, පියගැට දිගේ ගලා එන දැවැන්ත ජල ධාරා, දැඩි සීතල, බියකරු අකුණු ගැසීම්, ගස්‌ ගල් කඩා වැටීම්, රුදුරු වන සතුන් නිසා අවාරයේ ශ්‍රී පාද යැම් එදා සිදු වූයේ නැත.

එහෙත් අද අවාරය කල වුව ශ්‍රී පාදයට යන අය නැතුවා නෙවෙයි. සීත ගඟුල අසල සාම චෛත්‍යය ඉදි වූ පසු එහි යන එන පිරිස වැඩි වූ අතර, විදේශිකයෝ අවාරයේ ශ්‍රීපා නගිති. අද ශ්‍රීපාද මායිම මකර තොරණයි.

1950 ශ්‍රී පාදයට විදුලිබලය දීමේ සිහිවටනයක්‌ ලෙස මකර තොරණ ඉදිවිය. ප්‍රධාන මාර්ග තුනේම ස්‌ථාන නාම කීපයක්‌ පොදු බවක්‌ ඇත. ශ්‍රී පාද අඩවියේ මැණික්‌ බහුලය. වර්ෂාව සමඟ සේදී එන මැණික්‌ ජල ධාරා දිගේ පහළට එයි. මස්‌කෙළි ඔය ඇරැඹෙන අප්කොට්‌ හෙවත් ගවරවෙල කඩමණ්‌ඩිය නුදුරුව ඇති ස්‌ටේ්‍රස්‌පි වතුයාය පටන්ම ගවරවෙල අඩවිය මැණික්‌වලට ප්‍රසිද්ධිය.

ශ්‍රීපාද කඳු මුදුනින් ගලා එන සීත මහා ගඟුල් හා කුඩා සීත ගඟුල් සීත ගඟුලේදී එකට එකතු වෙයි.වන්දනා කාලයේදී නල්ලතන්නිය (ඩෙල්හවුස්‌ හෙවත් සීතගඟුල් කඩමණ්‌ඩිය) රෑ දවල් වන්දනාකරුවන්ගෙන් පිරී යයි. අවාරය සමඟ නල්ලතන්නිය කඩමණ්‌ඩියේ සමුපකාර උප තැපැල් කාර්යාලය හැර මුළු කඩමණ්‌ඩියම හයමාසයක්‌ වැසී යයි. නල්ලතන්නි සිට මකර තොරණ දක්‌වා සියල්ල පාළුවට යයි. මකර තොරණ දක්‌වා විහිද ගිය තේ වතුවල කම්කරුවෝ දැඩි වර්ෂාව, සීතල හා පින්න මැද තේ වතුවල වැඩ කරති.

එක දිගට දින ගණනක්‌ වැසි වැස අඳුර ගලා යයි. තද සීතලට ඇඟ වෙව්ලයි. අවාරයේ නල්ලතන්නි කඩමණ්‌ඩියට පවා දිවියා එයි. මකර තොරණ අවට වන සත්තු නිදැල්ලේ ඇවිදිති. වන්දනා කාලය තුළ ඈත කැලෑ රොදවල් වල ගැවසෙන ශ්‍රීපාද අඩවියේ කුරු අලි රංචු ඒ කාලවල වැඩිපුර ගැවසෙන්නේ සප්ත කන්‍යා කඳු පාමුල හා අවට ප්‍රදේශවලය.

කලකට පෙර මාටින් එයාර් ගුවන් යානය මුස්‌ලිම් වන්දනාකරුවන් සමඟ මේ කඳුවැටියේ හැපී විනාශ විය. අවාරයේ මේ කුරු අලි රංචු හා එයට එක්‌වන වෙනත් අලි පටු පියගැට පේළි දිගේ ශ්‍රී පාද පද්මය මුදුනට පවා ගමන් කරති. සාම චෛත්‍යයේ ජපන් භික්‍ෂුන් හිරු උදාව සමඟ රබන් වයමින් ස්‌තෝත්‍ර කියමින් දිනපතා ශ්‍රී පාද කන්ද තරණය කරති.

1978 පමණ කල එහි නායක පදවිය දැරූ වයස අනූහතර පිරුණු නිචි දත්සු පුජී හිමි පවා ශ්‍රී පාද පද්ම නැඟීම සිරිත විය. අසීරුම තැන්වලදී එහිමියන්ට සහාය වීමට උදව්කරුවන් කීපදෙනෙකු විය. අද සාම චෛත්‍ය ඇති ස්‌ථානයේ මුල් කල තිබුණේ මඩම අම්බලමයි.

පොලොන්නරු කල ගිනිගත්හේන අඹගමුව ශ්‍රී පාද හිමයේ ආරම්භක සීමාව වූ බව අඹගමු ශිලා ලිපියෙන් පෙනෙයි. එදා හඟරාපිටිය හරහා ගිය වන්දනාකරුවන් රෑ නැවතුනේ අලින්ගේ හොඬවැලට වඩා උසින් ගල් කුලුණු උඩ ඉදිකළ අම්බලම් හෙවත් මඩම්වල ය.

වල් සතුන් ඒම වැළැක්‌වීමට හා සීත දුරලීමට ඒවායේ දැවැන්ත ගිනිමැල රාත්‍රිය පුරා දල්වා තිබිණි. 1950 විදුලිබලය දීමට පෙර වන්දනාකරුවෝ ශ්‍රී පාද නැඟීමට අවශ්‍ය හුළු එළි නිවෙස්‌වල සිටම රැගෙන ආහ. සමහරු විදුලි පන්දම් භාවිතා කළහ. අද මස්‌කෙළිය ජලාශයට යට වී ඇති පැරැණි ‘ගඟේවත්ත’ කඩමණ්‌ඩියේ කඩපිල්වල එදා මේ හුළු එළි හුළු අතු විකිණීම සඳහා තබා තිබිණි. විදේශිකයන් තනිව හෝ දෙතුන්දෙනා අවාරයේ ශ්‍රී පා නඟිති.

හිතුවක්‌කාර තරුණ ගැටව් කීපදෙනෙකු එකතු වී අවාරයේ ශ්‍රී පා යති. නේපාලයේ අවුරුදු දහසයක්‌ යෝගී පුහුණුව ලැබූ මහරගම දිසානායක නමැති අයකු අවාරයේ ශ්‍රී පා නැගීම පුරුද්දක්‌ ලෙස කරයි. 1978 ඔහු මට හමුවන විට අවාරයේ තනිව 108 වතාවක්‌ ශ්‍රී පා නැගි බව කීවේය. අවාරයේ ස්‌වභාවික විපත් හා කරදර සමඟ ජල නළ හා විදුලිබලය ද නොමැත.

කිසිම කඩපිලක්‌ නැත. ශ්‍රී පාදය මුදුනේ අවාරයට සිටිනුයේ මුරකරුවන් දෙදෙනා පමණකි. දෙසතියකට වරක්‌ අයකු රැඳී සිටියදී අනෙකා කිට්‌ටු කඩමණ්‌ඩියට පයින්ම ගොස්‌ හාල්, කෑමබීම රැගෙන අඳුර වැටීමට පෙර ආපසු ඒම සිරිතයි.මුරකරුවන් දෙදෙනාට අවාරයේ තනිව දැඩි අපහසුකම් මැද ජීවත්වීම හුරු වී ඇත. විශේෂයෙන් පසළොස්‌වක දිනවල ශ්‍රී පාද මළුවේ පෙරහැර යන හඬ, බෙර හඬ, සක්‌ හඬ ඔවුහු නිතර අසති. ඒ දේව හාස්‌කම් ය. නාස්‌ පුඩු විනිවිද යන තියුණු මල් සුවඳ මළුව පුරා පැතිර යයි.

සාදුකාර හඬ පරිසරය ගිගුම් දෙමින් හදිසියේ පැතිර යයි. ඒ දෙවියන් ශ්‍රී පාද පද්මයට වඳින පුදන විට මුරකරුවන්ට දැනෙන ඇසෙන දෙය. වරක්‌ මුරකරුවකු මා සමඟ කීවේ ඔහු හාල් තුනපහ මල්ල කර තබාගෙන තනිව එනවිට තනිව ආ අයකු ඊට මොහොතකට පෙර සතෙකුගේ ප්‍රහාරයකට ලක්‌ව මැරුම් කා පාර අද්දර වැටී සිටි බවයි.

හැටන් පාරේ මකර තොරණට තවත් ඉහළින් තේ වතු හිමියන්ගේ අධි සුඛෝපභෝගී සියලු පහසුකම් ඇති වතු බංගලා කීපයක්‌ ඇත.මකර තොරණ සිට සාම චෛත්‍ය දක්‌වා කුඩා වාහන ගමනාගමනයට පාරක්‌ කපා ඇත. වන්දනා කාලයේදී පද්මයට එකතු වන කාසි හා නෝට්‌ටු ගෝනිවල බැඳ කර තබාගෙන කුලීකරුවෝ මස්‌කෙළිය බැංකුවට ගෙන එති. එක්‌ එක්‌ කාසි වර්ග කර කිලෝවක බර ගණනය කොට ඒ බර අනුව මුදල් බැංකු ගත කරයි.

ශ්‍රී පාද අඩවියේ අති ගුප්ත රහසක්‌ වනුයේ දිවා ගුහාවයි. අවුරුදු ගණනාවක්‌ පුරා පර්යේෂකයන් වන්දනා නඩ දිවා ගුහාව කොහිදැයි සොයමින් සිටිති.ශ්‍රී පාද පද්මය එක එල්ලේ පාමුල පිහිටි කුරුවිට බටතොට ලෙන දිවා ගුහාව විය යුතු බව එහි පිහිටීම හා ලක්‍ෂණ අනුව බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියෝ අදහස්‌ පළ කළහ.

ශ්‍රී පාද අඩවියේ ගල්ලෙන්වල වාරය අවාරය නොතකා තනිව භාවනා වඩන චාම් අල්පේච්ඡ ජීවිත ගත කරන භික්‍ෂුන් හා ගිහි අය ගැන කතා පැතිර ඇත. ශ්‍රී පාද පද්මයේ සිට විහිදී යන අනන්ත ගැඹුරු ප්‍රපාතයට මෙවැනි භාවනානුයෝගී භික්‍ෂුන් එකවර පෙනී සිට අතුරුදන් වන බව කියෑවෙයි.

ඒ කතා සත්‍ය නම් ඔවුන් කිසියම් ධ්‍යාන බලයක්‌ උපදවා ගත් අය විය යුතුයි.උඳුවප් පසළොස්‌වකට පෙර ගල්පොත්තාවල රජමහා විහාරයේ සිට සමන් දෙවිරුව රිය පෙරහරින් නල්ලතන්නියට වැඩමවයි. අවුරුද්දට එක්‌ වරක්‌ එක්‌ අයෙකුට උඳුවප් පසළොස්‌වක පෝය දා සමන් දෙවි රුවට රත්‍රං මාලයක්‌ පැළඳවිය හැකිය. ඒ සඳහා ප්‍රාදේශීය ව්‍යාපාරිකයන්, බලවතුන් අතර තියුණු තරගයක්‌ ඇති වෙයි. සමන් දෙවි රුවට රන් මාලය පැළඳ වූ තැනැත්තාට ඒ කාලයේ ව්‍යාපාරික කටයුතු බෙහෙවින් සරු වී වාසනාවන්ත වන බව විශ්වාසයයි.

පෙර අවුරුදුවල සමන් දෙව්රුවේ පැළඳ වූ රන්මාලා සියල්ල එකට එකතු වී එක්‌ මහත රන් මාලයක්‌ වී ඇත. අලුතින් පැළඳවූ රන් මාලය ද පැරැණි රන් මාලාවලට එකට එකතු වී ඇලෙයි. ශ්‍රී පාද පද්මය මුදුනේදී සමන් දෙවි රුවේ මේ සියලු මල් මාලා එකට එකතු වී එක්‌ව තිබෙනු මම හොඳින් නිරීක්‍ෂණය කළෙමි.

නල්ලතන්නියේ සිට රිය පෙරහරින් ගෙන ආ සමන් දෙවි රුව ගල් පියගැට දිගේ ඉහළට දැන් දොලාවකින් වැඩමවයි. කලකට පෙර ඒ වැඩම කළේ ආවතේව කරුවන්ගේ කර පිටිනි. අවාරයේ පිරිසිදුව ගලන සීත ගඟුලේ ජලයෙන් සමන් දෙවිරුව චාරිත්‍රානුකූලව පවිත්‍ර කර පූජා පවත්වා පද්මයේ දේවාලයට වැඩමවයි.

වරක්‌ සමන් දෙව්රුව නල්ලතන්නියේ සිට ශ්‍රී පාද පද්මයට කර පිටින් වඩමවන විට වෙහෙසට පත් ආවතේවකරුවෝ වසා තිබූ කඩ පිළක මැස්‌සක්‌ මත දේව රූපය තබා මදක්‌ වෙහෙස නිවා ගත්හ. පැහැදිලිව තිබු අහස එකවරම කළුවර වී මාදං ගෙඩියක පාට ගත්තේය. ඒ සමඟ බිහිසුණු සුළඟක්‌ හමන්නට විය.

ඒ අසලින් පොළොව යට ගුහාවකින් කළු දෙබරු මතු වී හාත්පස පරිසරය වසා ගත්හ.කිසියම් බලවත් වරදක්‌ සිදු වී ඇති බව කපුරාළට අවබෝධ විය. හේතුව සොයන විට කරවල තිබූ කඩ බක්‌කියක්‌ මත දේව රූපය තබා ඇති බව හෙළි විය. වහාම කපුරාළ දෙවියන්ට කන්නලව් කොට කහ වතුර හා දෙහි යොදා දෙවි රුව සෝදා පවිත්‍ර කළ පසු අඳුර හා වර්ෂාව ක්‍රමයෙන් දුරු විය.

අහස වසා සිටි කළු දෙබරු නොපෙනී ගියහ. ශ්‍රී පාද මළුව පටුය. කුඩාය. එහෙත් කොපමණ වන්දනාකරුවන් ආවත් ඒ කුඩා ඉඩකඩ තුළ දේව හාස්‌කමකට මෙන් දැඩි තදබදයක්‌ ඇති නොවෙයි.එයට හේතුව සමන් දෙවියන්ගේ බැල්ම බව විශ්වාසයි.

සීත ගඟුලෙන් දිය නා හෝ මුහුණ කට සෝදා පවිත්‍රව පඬුරු ගැට ගසා භක්‌තිය ඇතිව ඉහළට කරුණා කරන අය සමන් දෙවි රැකවරණය – ඇල්ම – බැල්ම කරුණාව ලැබෙන බව විශ්වාසයයි. කට වැරදීම් – වාචාල කතා – අවිනීත හැසිරීම්වලට දඬුවම් ලැබෙයි. නඩයෙන් වෙන්ව ඉබාගාතේ උමතුවෙන් මෙන් ඇවිද්දවයි.

ඒ දේව දඬුවම් ය. එමෙන්ම ශ්‍රී පාද හිමයේ මංමුලා වැල් පෑගුණු විට දින දෙක තුනක්‌ පාර වැරදී පිපාසිතව සිහිය නැතිව ඇවිදීමට සිදුවෙයි. ශ්‍රීපාද අඩවියේ කැලෑවේ මේ මංමුලා වැල් ශාකය ඇති බව කියෑවෙයි.වන්දනා වාරයේදී මිනිසුන් යන එන මාර්ගවලින් දිවියා අලියා ඉවත් වෙයි. මිනිසුන් නොගැවසෙන ප්‍රදේශවල උන් සැඟවී අවාරයට නිදැල්ලේ හැසිරෙති.

සමන් දෙවිඳු ශ්‍රී පාද අඩවියේ සුදු ඇත් වාහනයෙන් ඇවිදින බව පැරැණි විශ්වාසයයි. එමෙන්ම ශ්‍රී පාද අඩවියේ එක්‌ සීමාවක මහලු වූ හා රෝගී වූ ඇතුන් පැමිණ මිය යන ඇත් සොහොනක්‌ තිබූ බව තොරතුරු කියෑවෙයි. මිනිස්‌ වාසය අඩු අලි ඇතුන් බහුල ව ජීවත් වූ අවදියේ ශ්‍රී පාද අඩවියේ ඇත් සොහොනක්‌ එදා තිබුණා විය හැක.

අද එවැන්නක තොරතුරු නැත. නල්ලතන්නිය අවට හෝටල හිමියෝ සමන් දෙවියන් ගැන දැඩි විශ්වාසයක්‌ තබති.එමෙන්ම හය මාසයක්‌ ඒ අඩවියේ දිගු කාලයක්‌ පදිංචිව සිටීමෙන් රසවත් අත්දැකීම් දනිති. වරක්‌ මගේ මිත්‍රයකු වූ අධ්‍යාපන නිලධාරියකු ගවරවෙල මස්‌කෙළි ඔය ආශ්‍රිතව වාඩියක්‌ සාදාගෙන පළපුරුදු ගැරුම්කරුවන් යොදා මැණික්‌ පතලක්‌ ඇරඹුවේය.

එක්‌ උදැසනක ඔහු වාඩියේ සිටියදී මස්‌කෙළි ඔයේ උස්‌ ගල් කුළක්‌ මුදුනේ සිට හාත්පස එළිය විහිදුවා ගෙන කිසියම් වස්‌තුවක්‌ ගලෙන් පහළට වැටී ඔය පාර දිගේ වේගයෙන් පහළට යැමට විය. එහි දීප්තියෙන් ඔහු හා ගැරුම්කරුවන්ගේ දැස්‌ නිලංකාර විය. විනාඩි ගණනක්‌ ඔවුහු ගල් ගැසී සිටියහ.

මස්‌කෙළි ඔය දිගේ ආවේ මිල කළ නොහැකි ගමන් මැණිකක්‌ බව ඔහු මට පසුව කීවේය. මස්‌කෙළි ඔයේ හා අවට දිය දහරාවල මුහුණ සේදීමට ගිය අයට අහම්බෙන් ලැබුණු වටිනා මැණික්‌ ගල් නිසා ඔවුන් ලක්‍ෂපතියන් වී ඇත. මස්‌කෙළිය වසම බාරව කටයුතු කළ රොබට්‌ ආරච්චි මහතා මා අඳුනන පැරැණි මිත්‍රයෙකි.

ඔහු කී කතාවක්‌ මෙසේය.ගිනිගත්හේනට නුදුරු සිල් මාතාවක්‌ තවත් සිල් මාතාවක්‌ සමඟ ශ්‍රී පාද වන්දනාවේ ගියහ. වෙහෙසට පත් වූ ඔවුහු පියගැටපෙළේ මදක්‌ වාඩි වී ගිමන් ඇරියහ. පාද දෙකම ඉදිමී තුවාල වලින් දෙපතුල් වැසී ගිය මහල්ලෙක්‌ ඔවුන් (සිල්මාතාවන්) පසු කර හැරමිටියක ආධාරයෙන් පිය ගැටපෙළ නගිමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය.

සිල් මාතාවන්ට ඇති වූයේ දැඩි පිළිකුලකි. මේ මහලු තුවාලකරුවා කවදා කෙසේ ශ්‍රී පාදය නගින්න දැයි ඔවුහු පිළිකුලෙන් කතා බහ කළහ. ටික වේලාවකින් නැවතත් ගමන පිටත් වූ සිල් මාතාවරු තවත් සැතපුම් දෙකක්‌ පමණ ඉහළට ගොස්‌ පියගැට පෙළේ වාඩි වී දෙවන වරට විවේක ගත්හ.තුවාල පිරී ගිය කකුල් ඉදිමුණු අර මහලු මිනිසා දෙවැනි වතාවටත් ඔවුන් පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය.

රෝගී මහලු මිනිසා මේ ස්‌ථානයට පැමිණ සිටි ඔවුන්ට පුදුමයක්‌ විය. විවේකය නිමා කොට යළිත් ගමන ඇරැඹූ සිල් මාතාවරු මහගිරිදඹය අසල තුන්වැනි වරට නැවත විවේක ගැනීමට වූහ. පාද පුරා තුවාල පිරුණු පිළිකුල් සහගත රෝගී මහල්ලා තුන්වැනි වරට ඔවුන් පසුකරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා සෙත් පැතුවේය.

ඇය පිළිකුලෙන් යුතුව මුහුණ පසෙකට හරවා ගත්තාය. මේ රෝගියා මේ තරම් ඉක්‌මනින් කඳු මුදුනට ආවේ කෙසේ දැයි ඔවුන්ට ගැටලුවක්‌ විය. ශ්‍රී පාද පද්මය මුදුනට ගිය සිල් මෑණිවරුන් ඉර සේවය උදා වනතුරු පද්මය මුදුනේ ඉඩ ඇති තැනක බිම ඉඳගෙන භාවනා කිරීමට වූහ. නායක සිල් මාතාවගේ මුණට එක්‌වරම අමුතු ආලෝකයක්‌ පතිත විය.

“දරුවා මං උඹට තුන් සැරයක්‌ කතා කළා මතකද?” ඒ හඬ හා ආලෝකය අතුරුදන් විය. නායක සිල් මෑණි හා ඇගේ පිරිවර උතුරා යන භක්‌තියෙන් ශ්‍රී පාද පද්මය මුදුනේදී සමන් දෙවියන්ට පින් දුන්හ.

රටේ විපත්ති, ආපදා පෙරළි ඇතිවන අවස්‌ථාවල ශ්‍රීපාද අඩවියෙන් පෙර නිමිතිපහළ කරයි. වරක්‌ මෙසේ ශ්‍රී පාද අඩවියේ පැතිර ගිය ගින්නක්‌ නිවා දැමීමට හෙලිකොප්ටරයක්‌ යොදා ගැනීමට සිදුවිය. 1977 මැතිවරණයට පෙර දා සිට හා මැතිවරණය දිනය වනතුරු එකදිගට ගස්‌කොලන් කඩා වැටී දින ගණනාවක්‌ දැඩි සුළඟක්‌ හා චණ්‌ඩ මාරුතයක්‌ පැතිර ගියේය.

මෙවැනි හදිසි දේශගුණික පෙරළි රටේ පෙරළියක පෙර නිමිති බව ප්‍රදේශයේ විසූ අත්දැකීම් ඇති මහල්ලෙකු මට කීවා මතකය. තද සීතල සහිත දේශගුණයට හුරු වූ විට ඒ තුළ ලෙඩරෝග බෙහෙවින් අඩු ජීවිතයකට පදනම වැටෙයි.

එස්‌. කේ. ජයවර්ධන දිවයින පුවත්පත