කුඩාවට තිබූ උමංකට අඩි 15-20 ක පමණ විෂ්කම්භයෙන් යුත් මහා වළක් බවට පත් වන්නට ගතවූවේ පැය දෙකකටත් අඩු කාලයකි.

ලොග්ගල්ලා ඔය මෙන්ම සුන්දර දුන්හිඳ දිය ඇල්ල නිර්මාණය කරමින් ගලා බසින බදුලුඔය අප රටේ දිගම ගංගාව වන මහවැලි ගංගාවේ ප‍්‍රධාන අතු ගංගා දෙකකි. පස්සර ප‍්‍රදේශයෙන් ලොග්ගල්ලා ඔය ඇරඹෙන අතර බදුලුඔය සශ‍්‍රීක වන්නේ බදුල්ල හා ඒ අවට ප‍්‍රදේශවලිනි.   
බදුල්ල හා පස්සර ප‍්‍රදේශවලින් ආරම්භ වී ගලා බසින මෙම අතු ගංගා දෙක මහවැලි ගංගාවට එක්වන්නේ මීගහකිවුල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක් සශ්‍රීක කරවීමට සිය දායකත්වය ලබා දීමෙන් අනතුරුවය.
මීගහකිවුල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක් හරහා එකිනෙකට සමාන්තරව ගමන් ගන්නා බදුලුඔය සහ ලොග්ගල්ලා ඔය එකිනෙකට මායිම් වන්නේ එම ඔයවල් දෙක අතර පිහිටි කිතුලාන හා බඹරගල කන්ද ප‍්‍රධාන කොටගත් තවත් කුඩා කඳුවැටි කීපයකිනි.
ලොග්ගල්ලා ඔය හරස්කර තැනූ අමුණක් හරහා මීගහකිවුල කෝමාරීක ගොවි ජනපදයට දියවර සැපයෙන අතර බදුලුඔය හරස්කර තැනූ අමුණක් හරහා තල්දෙන ව්‍යාපාරයට දියවර සැපයෙයි.

ලොග්ගල්ලා ඔයෙන් දියවර සැපයෙන කෝමාරීක ඇළ ව්‍යාපාරයට අයත් ඩී දෙක නම් වූ ප‍්‍රධාන අතුරු ඇළ ඔස්සේ පැමිණි මහා ජල කඳක් ඇළ මැද හිටිවනම මතුවූ සුවිසල් උමගකට වැටී අතුරුදන් වන්නට පටන් ගත්තේ ඉකුත් 14 වන දා පස්වරුවේය. (ඒ කතාව අපි පසුගිය සතියේ ඉරිදා ලංකාදීපය ඔස්සේ ගෙන ආවෙමු.)
කෝමාරික ඇළ ව්‍යාපාරයට අයත් ඩී දෙක අතුරු ඇළේ මතුවූ උමග පිළිබඳ කතාවේ උණුසුම පහව යන්නටත් මත්තෙන් එම ස්ථානයට කිලෝමීටර් කීපයක් දුරින් පිහිටි බදුලු ඔයෙන් දියවර සැපයෙන තල්දෙන ව්‍යාපාරයට අයත් මාළිගාතැන්න වෙල්යාය මැදින්ද එවැනිම ප‍්‍රමාණයේ සුවිසල් උමං මාර්ගයක් මතුවූවේ ප‍්‍රදේශයේ බහුතරයක් ජනතාව ද අන්දමන්ද කරමිනි. ඒ කෝමාරීක සිද්ධියෙන් හරියටම දින 07 ක් ගතවූ ඉකුත් 21 වනදා පෙරවරුවේය.
මුලින්ම පොල් වළක් තරමට මතුවූ උමගට කුඹූරේ ලියැදිවලින් ගලා ආ ජලකඳ මහ හඩක් නඟමින් වැටෙන්නට පටන් ගත් අතර කුඩාවට තිබූ උමංකට අඩි 15-20 ක පමණ විෂ්කම්භයෙන් යුත් මහා වළක් බවට පත් වන්නට ගතවූවේ පැය දෙකකටත් අඩු කාලයකි.
මාළිගාතැන්න වෙල්යායෙන් හිටි හැටියේම මතුවූ මෙම උමග මුලින්ම දැක ඇත්තේ එදින එම කුඹුරේ සී සෑම සදහා පැමිණි ප‍්‍රදේශයේම ගොවි පිරිසකි.
වසර ගණනාවක් තිස්සේ යල මහ දෙකන්නයේම සී සෑම ඇතුළු වගා කටයුතු සඳහා නිරතුරුවම එම වෙල්යාය වෙත පැමිණෙන මෙම පිරිසේ බොහෝ දෙනකු කිසි දිනෙක මෙවැනි උමගක් දැක නොතිබිණි. ඒ නිසාම තම දෑස් හමුවේ මතුවූ මෙම උමග ඔවුන් දැඩි භීතියටත් කලබලයටත් පත්කරන්නට තරම් හේතුවක් විය.
මේ උමග මුලින්ම දැක ඇත්තේ නගුල බැදි ගවයින් දක්කාගෙන ඒ අසලින් යමින් සිටි තල්දෙන ගල්ගේලන්දේ ඩී. එම්. අසිත මහතාය. ඔහු ඒ ගැන මෙසේ කීවේය.
අපි උදේ 7.00 ට විතර මේ වෙලට ආවේ කුඹුර හාන්න. ගමේ කීප දෙනෙක් අපිත් එක්ක වැඩට ආව. කුඹුර හෑවේ මම. දින ගාණකින් වැහැල තිබුණේ නැහැ. හැබැයි හාන්න ඕනි නිසා කලින් දවසේ ඉඳලම කුඹුරට වතුර බැඳලා තිබුණ. ටිකක් වෙලා වැඩ කරගෙන ඉන්නකොට අපි වැඩකරපු තැනට මීටර් පහ හයක් පහළින් සද්දයක් ඇහුණ. මම ඒ දිහා බලද්දි වෙල මැද පොල් වළක් වගේ එකක් දැක්ක. මම වැඩිය ගණන් ගත්තේ නැහැ.
ටික වෙලාවක් යද්දි ආයෙත් ඒ පැත්තෙන් වතුර වළකට මොනවාදෝ වැටෙනවා වගේ සද්දයක් ආව. එතකොට මම දැක්ක අර වළ කලින්ට වඩා ලොකු වෙලා තියෙනව. කුඹුරේ තිබ්බ වතුර ඒ වළට මහ සද්දෙන් ගලාගෙන යනවත් මම දැක්ක. බලා ඉද්දි වටේ පස් තව තව කැඩෙන්න පටන් ගත්තා. කුඹුරෙ ආව වතුර පාර වළ ඇතුළට වැටෙන සද්දේ ඇහුණ. ඊට පස්සේ මම අනිත් අයටත් මේක පෙන්නුවා.” ඔහු කීවේය.
තල්දෙන ගල්ගේලන්ද ගම්මානයේ ආර්. එම්. සෝමපාල මහතා ද මේ පිරිස සමග පැමිණ සිටියේ සී සාන කුඹුරේ කැඩී යන නියරවල් බැඳ දෙන්නටය. අසිතගේ කෑ ගැසීමත් සමගම උදැල්ල පැත්තකට දැමූ සෝමපාල මහතා ද සෙසු පිරිස අතරට එක්ව උමග මතුවූ තැනට දිව ගියේ සිදුවන්නේ කුමක්දැයි දැක බලා ගන්නට සිත තුළ මතුවූ දැඩි කුතුහලය නිසාය.
‘‘අපි මේ කුඹුරේ වැඩ කරල තියෙන්නේ අද ඊයේ ඉඳල නෙමෙයි. කිසි දවසක මෙහෙම දෙයක් සිදුවෙලා නැහැ. පොල් වළක් වගේ තිබුණු වළ අපි බලා ඉද්දි පස් කැඩි කැඩී ලොකු වෙන්න පටන් ගත්තා. හිටි ගමන් වළෙන් දුමක් වගේ පිටවුණා.” සෝමපාල මහතා කියාගෙන ගියේය.
පැය කීපයක් ගත වනවිට උමග අලියකු දැමිය හැකි තරමට විශාල වී තිබිණි. එහෙත් එහි ගැඹුර කොතෙක්දැයි ඔවුන්ට නිරීක්ෂණය කර ගන්නට නොහැකි වූවේ අවටින් ගලා ආ කුඹුරේ මඩ ජලය ඒ තුළට ගලා යාම නිසාය.
පැමිණි පිරිසේ ඇතැමෙක් උමග තුළට කුඹුර අද්දර තිබූ විශාල ගල් කුළු ගෙනවිත් අත අරින්නට වූ අතර මහත් හඩක් නඟමින් එම ගල් කුළු පෙරළී ගියේ පැමිණි සිටි පිරිස තව තවත් අන්ද මන්ද කරමින්ය.
“මේකේ ගැඹුර බලමුද? තවකෙක් යෝජනා කලත් වළ ළඟට යාමට තිබූ බිය නිසා කිසිවෙකුත් ඊට ඉදිරිපත් නොවූහ. ඒ සඳහා ක‍්‍රමවේදයක්ද ඔවුන්ට නොතිබිණි.
කෙසේ වෙතත් පිරිස අතර සිටි සුමතිපාල උඩලකුඹුර මහතාත්, රංගන මධුමාල් සමරකෝන් මහතාත්, මීගහකිවුල ප‍්‍රාදේශීය ලේකම් එච්. එම්. නන්දසේන මහතාට මෙන්ම බදුල්ල දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ද, පොලීසිය ඇතුළු සෙසු ආයතනවලටද දැනුම් දීමට පියවර ගත්තේ සිය වගකීම් හරිහැටි තේරුම් ගනිමිනි.
ඒ අනුව හෝරාවකටත් අඩු කාලයකදී ප‍්‍රදේශය බාර ග‍්‍රාම නිලධාරීවරයා ඇතුළු පිරිසක් සමග එහි පැමිණි මීගහකිවුල සහකාර ප‍්‍රාදේශීය ලේකම් ආර්. ඩී. ඒ. චාමර මහතාට සිදුවූවේ ඒ වන විටත් බුරුල්වූ පස් කඳු කඩා වැටෙමින් අනාරක්ෂිතව පවතින උමග දෙසට ගමන් ගන්නා මිනිසුන්ගේ ආරක්ෂාව සලසන්නටය.
“ඔතන විතරක් නෙමෙයි අර එහා පැත්තෙත් දවස් කීපයකට ඉස්සර වළක් හෑරීලා තියෙනවා. “පිරිසේ සිටි තරුණයකු එසේ කියද්දී හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී රංගන මධුමාල් මහතාද දින තුන හතරකට පෙර උමග මතුවූ ස්ථානයට මීටර් 200-300 ක් ඉහළ කුඹුරු යායේ සිදුව තිබූ නාය යෑමක් වෙත අපගේ අවධානය යොමු කරන්නට විය.
රංගන මහතා පැවැසූ ස්ථානයේ පිහිටි හෙල්මලු කුඹුරු යායේ අඩි 20-30 ක් පළලට හා අඩි 30- 40ක් පහළට විශාල පස් කන්දක් නාය යාමට පත්ව තිබුණේද වර්ෂාවක් පවා නොමැති අවස්ථාවකදීය. ඒ සමගම පිරිසේ සිටි තවත් තරුණයකු මෙම උමග මතුවූ ස්ථානයට කිලෝමීටර් බාගයක් පමණ ඈතින් තල්දෙන ගල්ගේලන්ද මාර්ගයේ පසෙක තිබූ අලි අඩියක් තරම් වූ ගිලා බැසීමක්ද අපට පෙන්වූවේ මේ සියලු සිද්ධින් දාමය එකකට එකක් සම්බන්ධ යැයි අපට පවසන්නට මෙන්ය.
ඒ අතරේ මෙම ගිලා බැසීම සිදුවූ දින එනම් 21 වන දින අලුයම 3.00 ට පමණ ඊට කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි තල්දෙන බතලවත්ත ගම්මානයේ පිරිසකට සුළු භූමි චලනයක් අත් විඳින්නට ලැබුණේ යැයිද කියවිණි.
“මම නින්දේ හිටියේ. එක පාරටම සද්දයක් ආව. වළං පිඟන් හෙල්ලුණා. වහලෙත් හෙල්ලෙනව වගේ දැනුණා. ඒ වෙලාවේ පාන්දර තුනට විතර ඇති” සිද්ධිය අත්දුටු තල්දෙන 10 කණුවේ එච්. එම්. රේණුකා මහත්මිය කියා සිටියාය. ඒ අතර සිටි තවත් පිරිසක්ද රේණුකා මහත්මියගේ කතාව සනාථ කළේ ඔවුන් ලද අත්දැකීම් විස්තර කරමින්ය.
“මේකට මාළිගාතැන්න වෙල කියල කියන්නේ ඉස්සර මේකේ රජ මාළිගයක් තිබුණු නිසාලු. පල්ලෙහා තියෙන බදුලුඔයේ රන්පුහුලාවල, බොරපැන්වල කියල තැන් දෙකකුත් තියෙනවා. මේ ගමට ගල්ගේලන්ද කියන්නේ විශාල ගල් ගෙයක්, රජවරු ගමන් කළ උමං මාර්ගයක් තිබුණු නිසා කියලා මේ ගමේ වැඩිහිටියෝ කියනවා.” ගම ගැනත් ගමේ ඓතිහාසික කරුණු කාරණා ගැනත් මනා දැනුමක් ඇති උඩලකුඹුර මහතා ද ඔහු දන්නා අත්දැකීම් අප හමුවේ විස්තර කළේ මේ සිදුවීම පහසුවෙන් බැහැර කළ හැකි එකක් නොවන බව අපට ඒත්තු ගන්වන්නට මෙන්ය. ඒ අතර තවත් පිරිසක් මේ දිනවල දැඩි කතා බහට ලක්වෙමින් පවතින උමා ඔයේ බලපෑමක් නිසා මෙය සිදුවන බවද පවසන්නට වූහ. උමා ඔය ව්‍යාපෘතිය සඳහා උමග කැණීමත් සමගම එම ප‍්‍රදේශයේ භූ ගර්භය තුළ මේ වන විට සිදුවී තිබෙන විපර්යාසයන් හේතුවෙන් මෙම ගිලා බැසීමත් මීට පෙර කෝමාරීක ව්‍යාපාරයේ සිදුවූ ගිලා බැසීමත් සිදුවන්නේ යැයි ඔවුහු පවසන්නට පටන් ගත්තේ”හෙට අනිද්දා වන විට අපිටත් මේ ගම් දාලා යන්නට සිදුවේවි යන බිය මුසු හැඟීමෙන්ය.”
“මහා මාර්ග ඔස්සේ තල්දෙන හා බණ්ඩාරවෙල අතර දුර ප‍්‍රමාණය කිලෝමීටර් 40 ක් තරම් වූවත් ගුවනින් ගත් කල එම දුර ප‍්‍රමාණය කිලෝමීටර් හත අටක් තරම් නිසා එවැනි බලපෑමක් සිදු නොවේ යැයි පවසන්නේ කෙසේදැ”යි ඔවුහු ප‍්‍රශ්න කරන්නටද වූහ.
අපි මේ සිදුවීම පිළිබඳ විමසීමට, මෙම ගිලා බැසීම සිදුවූ ස්ථානයට යාබදව පිහිටි තල්දෙන ශ‍්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී තල්දෙන මිහිඳු සාමනේර ආයතනයේ ප‍්‍රධානාචාර්ය තල්දෙන ධම්මවංශ හිමියන් මුණ ගැසීමටද අමතක නොකළේ උන්වහන්සේ සතුවද ප‍්‍රදේශය පිළිබඳ බොහෝ තතු විත්ති ඇති බව අත්දැකීමෙන්ම දන්නා නිසාය. උන්වහන්සේ කියා සිටියේද මෙම ප‍්‍රදේශය හා බැඳුණු ඓතිහාසික සිද්ධීන් පහසුවෙන් බැහැර කළ නොහැකි බවය.
මේ පන්සලට යාබද කුඹුරු යාය තමා මාළිගාතැන්න කියන්නේ. මට මේ ප‍්‍රදේශයේ වැඩිහිටි අය කියපු විදිහට මේ අවට රජ මාළිගයක් වගේම රජවරු ආගිය බව කියන උමං පද්ධතියක්ද තිබිල තියෙනවා. මොකද එහා ගමට කියන්නෙත් බිංගේලන්ද කියලා.
ඒ වගේම පන්සලට පහළ බදුලුඔයේ තියෙනව, බොරපැන්වළ කියල එකක්. ඒකෙ තමා රාජ කුමාරියො නාල තියෙන්නේ. “බොල” කියන්නේ බොලදියෝ කියන එක. බොලදියෝ නාපු වළට ඒ කාලේ මිනිස්සු කියල තියෙන්නේ බොලපැන්වල කියලා. පස්සේ තමයි ඕක ව්‍යවහාරයට පහසුවෙන්න බොරපැන්වළ කරගෙන තියෙන්නේ ධම්මවංශ හිමියෝ පැවැසූහ. එපමණක් නොව එම බොරපැන් වළෙන් හිටි හැටියේම රන් තළියක් මතුවන බවත් එය ගැනීමට යාමේදී අතුරුදන් වන බවත් ප‍්‍රදේශයේ ජනතාව පැවැසූ බවද උන්වහන්සේ අපට කීහ. මෑත කාලයේදී පවා මේ රන් තළිය දුටු පිරිස් තල්දෙන ගම්මානයේ සිටිතැයිද උන්වහන්සේ කියා සිටියහ.
එසේම මීට ආසන්නව ඓතිහාසික ප්‍රවෘත්ති රැසකට බඳුන් වූ රන්පුහුලාවල නමැති ඉසව්වක් ගැනද ධම්මවංශ හිමියෝ අපට කියා දුන්හ.
මෙම ගිලා බැසීම සිදුවීමත් සමගම මෙවැනි කට කතා ජනප‍්‍රවාද රැසක් එළියට ගලා ගෙන එන්නට පටන් ගත් අතර කෝමාරික ව්‍යාපාරයේ සිදුවූ ගිලා බැසීමත් සමගම මෙවැනි ජනප‍්‍රවාදයක් ගෙනහැර දැක්වූ පාලාවත්ත ගොවි සංවිධානයේ සභාපති ඩී. එම්. විජේරත්න මහතාද මෙම ගිලා බැසීමට ලක්වූ ස්ථානයත් තල්දෙන පිහිටි ගල්ගේලන්ද ගමේ වූ උමඟක් ගැනත් (ඒ වන විට තල්දෙන ගිලා බැසීම සිදුවී නොතිබිණි) ඇති සම්බන්ධතාවක් ගැන මාධ්‍යයට කීවේය.
කෝමාරික ව්‍යාපාරයේ සිදුවූ ගිලා බැසීම සම්බන්ධයෙන් මෙන්ම මෙම ස්ථානයේ ගිලා බැසීම සම්බන්ධයෙන්ද අවසන් නිගමනය විද්‍යානුකූලව අපට ලබා ගත හැක්කේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිකුත්කරන වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.
අප බදුල්ල වැඩබලන දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේද ඉදිරි දින කීපය තුළ ජාතික ගොඩනැගිලි හා භූ විද්‍යා පරීක්ෂණ ආයතනය මගින් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බවය.
මූලික පරීක්ෂණයක් සිදුකළ ද ගිලා බැසීම සම්බන්ධයෙන් යම් නිශ්චිත අදහසක් පැවැසිය නොහැකි බවද අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා කියා සිටියේය.
මේ අතර ගිලා බැසිමට ලක්වූ වෙල්යායේ එම වළ සහිත ප‍්‍රදේශය මේ වන විට එහි හිමිකරුටද තහනම් කලාපයක් කරමින් ලණු කීපයක් වටේට ගැට ගසා සීමා පනවා ඇති අයුරු ඉකුත් 25 වනදා පස්වරුවේ එහි ගිය අපට දැක ගන්නට ලැබිණි. පොළොව මට්ටමේ සිට අඩි හත අටක් ගැඹුරට පැහැදිලි ජලයෙන් පිරී ගොස් තිබුණි.
“මහත්තයෝ මෙතන ගිලා බැහැපු දවසේ නම් කුඹුර පිරෙන්න කට්ටිය ආව. පරීක්ෂණත් කළා. හැබැයි ඊට පස්සෙනම් අද වෙනකම් කිසි කෙනෙක් නැහැ. දැන් මෙතන්ට ඇතුළු වෙන්නත් බැහැ. කුඹුර වපුර ගන්න විදිහකුත් නැහැ. මම ජීවත්වෙන්නේ මේ කුඹුර කොටල ගන්න වී ටිකෙන්” කුඹුරේ අද ගොවියා වූ ආර්. එම්. පේ‍්‍රමරත්න මහතා සිය අසරණකම පැහැදිලි කළේ කරන පරීක්ෂණයක් ඉක්මනින් අවසන් කර දෙන්නැයි ඉල්ලීමක් ද කරමිනි.
විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුව කෝමාරීක ඇළ ව්‍යාපාරයේ සිදුවූ ගිලා බැසීමට හේතුව වන්නට ඇත්තේ, පොළොව යට පිහිටි හුණු ගල් ස්ථරයක ක‍්‍රියාකාරීත්වය බව ඒ සම්බන්ධයෙන් දළ අදහසක් ඉදිරිපත් කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ හා බදුල්ල දිස්ත‍්‍රික් බාර නිලධාරී එම්. එම්. සී. බී. මොරේමඩ මහතා කියා සිටියේය.
මෙම කරුණු කාරණා කෙසේ වෙතත් උමං මාර්ග පිළිබඳ අප සමාජයේ කතා බහට ලක්වන්නේ අද ඊයේ සිට නොවේ. උමං මාර්ග පිළිබද ඉතිහාසය මිනිස් ශිෂ්ටාචාරයේ ඉතිහාසය තරම්ම පැරැණිය.
රාවණා රජු පොළොව යටින් තැනූ උමං පද්ධතියකින් එහා මෙහා ජලය රැගෙන ගිය කතාවක් අපි කුඩා කල අසා ඇත්තෙමු.

සුදු අධිරාජ්‍යවාදීන්ගේ සමයේදී කොළඹින් ආරම්භ වූ දුම්රිය උඩරට කඳුකරය ඔස්සේ බදුල්ල දක්වා පැමිණෙන්නේද ඔවුන් විසින් තැනූ විවිධ දිගින් හා පළලින් යුත් උමං මාර්ග රැසක් නිසාය. එවැනි උමං මාර්ග ඉදිවූ රටකට අද විදෙස් විද්වතුන්ගේ උපදෙස් ලබා ගන්නට සිදුවීම වෙනම කතාවකි.
ඒ නිසා උමං මාර්ග යනු අපට අලුත් දෙයක් නොවේ. කතා බහට ලක්වූවක්ද නොවේ. එම උමං මාර්ග හමුවේ ජන ජීවිතයට බලපෑම් එල්ලවූ බවක් අසන්නට ද නොලැබෙයි .
එවැනි උමං මාර්ග ඉදිවූ රටකට අද විදෙස් විද්වතුන්ගේ උපදෙස් ලබා ගනිමින් උමං තනන්නට සිදුවීම වෙනම කතාවකි.
එසේ වුවද රටේ තවත් කොනක සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් තනන්නට ගිය උමා ඔය උමග නිසා අද වන විට ගැටලු රැසක් පැන නැඟී ඇති අතර සුන්දර බණ්ඩාරවෙලට හා අවට ගම්බිම් රැසකට අත්වී ඇති ඉරණමද සුළුපටු නොවේ.
එහෙත් එම ස්ථානයේ දී හමුවූ එම ගමේම පදිංචිකරුවෙකු වූ හර්බට් මැල් මහතා ඊට තරමක් වෙනස් කතාවක් කීවේය.
‘‘මහත්තයෝ ඔය ගිලා බැසීම වෙන්න ඉස්සරත් ඔය හරියට පාත් වෙච්ච හෙනයක් නිසා වළක් හෑරිලා තිබුණා. මිනිස්සු ඒකට කීවේ අහස් වළ කියල. ඒ කිට්ටුවම තමා මේ වළත් හැරිලා තියෙන්නේ’’ ඔහු පරණ මතකයක් එලෙස යළි ආවර්ජනය කළේය.
කෙසේ වෙතත් දින කීපයක් තුළ සිදු වූ මෙම ගිලා බැසීම් භූමි කම්පා මෙන්ම පස් කඳු කඩා වැටීම හේතුවෙන් මේවන විට තල්දෙන හා අවට ගම්මු පසුවන්නේ දැඩි භීතියකිනි. එසේ වුවද පසුගිය 26 වැනි දින වන විටත් මේ සම්බන්ධයෙන් කිසිදු ආයතනයක් පරීක්ෂණ පැවැත්වීම සඳහා තල්දෙන ගමට නොපැමිණ තිබූ අතර ඒ පිළිබඳව ගම්මුන් කතා කළේ දැඩි කම්පාවකිනි.

ලංකාදීප ඇසුරෙණි