“ඕක හදලා උඹ නිකම් සවුත්තු වෙනවා. ඕක පිටරටකට යවලයි හදන්න ඕනෑ.” ලංකාවේ පළමු සෙංකෝලයේ නිර්මාතෘ පියතිලයන්ගේ හෙළිදරව්ව

සෙංකෝලය කියන වචනය ලොකු කුඩා බාල මහළු අපි හැමෝම දන්න දෙයක්. පාර්ලිමෙන්තුවේ හා පළාත් සහාවල සෙංකෝලය තියෙන බව අපි හැමෝම දන්නවා. ලංකාවේ පළමු උත්තරීතර සෙංකොලේ නිර්මාතෘතුමන්  පිළිබදව මෙයින් දැනගනිමු

ඒ එක්දහස් නවසිය පනස් හයේ අවුරුද්දයි. එවකට විසිහතර හැවිරිදි වියේ පසුවූ ඇස් වෙද නයිදෙලාගේ පියතිලකට කඩුගන්නාවේ තෝමස් සිල්වාගෙන් පණිවුඩයක් ලැබුණි. ඒ පැමිණ තමන් හමුවන ලෙසයි. මහනුවර හැදෙන කැටයම් බඩු භාණ්ඩ එකතු කොට කොළඹ ඒ.බි. හේමචන්ද්‍ර සාප්පුවට ගෙන ගොස් දුන්නේ තෝමස් සිල්වාය. ඒ වන විට පියතිලකද රන් රිදී වැඩකරුවකුව සිටියේය.

පියතිලක කැඳවා තිබුණේ භාර දූර වැඩක් කරන්නට කතා කර ගැනීමටය. ඔහු එහි යන විට සාප්පුවේ හිමිකරු හේමචන්ද්‍ර මහතා ද එහි පැමිණ සිටියේය.

“මට කිව්වා උත්තර මන්ත්‍රී මණ්ඩ‍ලේට සෙංකෝලයක් හදන්න තියෙනවා කියලා. ඒක හදන්න භාර දීලා තියෙන්නේ හේමචන්ද්‍ර සාප්පුවට. හේමචන්ද්‍ර ඒ වැඩේ මට දෙන්න තමයි තෝමස් සිල්වා මහත්තයා මට කතා කළේ. රත්තරන් රිදී දෙකෙන් තමයි හදන්න කිව්වේ. කොළේ ඇදලා තිබ්බ පින්තූරයක් මට දුන්නා. අඟල් 52ක් දිග සෙංකෝලයක රූප සටහනක් ඇඳලා තිබ්බා. පින්තූරේ ඇඳලා තිබ්බේ දක්ෂයෙක් වුණාට කැටයම් ක්ෂේත්‍රය ගැන ඒ තරම් අවබෝධයක් නැති බව පෙනුණා. එදා තමයි නැකතට වැඩ ඇල්ලුවේ. රිදී තහඩුවකින් වුවමනා රවුමක් කැපුවා. මාසයකින් වැඩේ ඉවර කරලා ඉල්ලුවා. මං කිව්වා මාසෙකින් දෙන්න බෑ. මාස හතරක් පහක්වත් යනවා කියලා. එයාලා අවශ්‍ය බඩු දුන්නට මට තනියමයි වැඩේ කරන්න සිද්ධ වුණේ.”

අදින් අවුරුදු හැට තුනකට පෙර සෙනෙට් සභාවට සෙංකෝලය නිර්මාණය කිරීමේ අවස්ථාව තමන්ට උදා වූ හැටි ඇස් වෙදනයිදේලාගේ පියතිලක කලා ශිල්පියා විස්තර කළේය. එදා වැඩ ඇල්ලූ අවස්ථාවේ පටන්ම පියතිලකට සෙංකෝලය හදන්නට සිදුවිය. ඒ ගෙදර ගෙන ගොස් නොවේ.

“ඒ කා‍ලේ මරික්කාර් මහත්තයාගේ කඩ කාමරයක් තිබුණා. ඒක තිබුණේ නුවරයි කඩුගන්නාවයි අතරේ තියන මඩරංගොඩ. මට එතෙන්ට යන්න කිව්වා. හේමචන්ද්‍ර මහත්තයාගේ සාප්පුවට කැටයම් වැඩ කරන අයෙක් එතන හිටියා. ඒ අය උදේ ඇවිත් වැඩ කරලා හවස යනවා. මට එහෙම යන්න බෑ. මම දිගටම නැවතුණා. තව ඒ වගේ නැවතිලා හිටපු කෙනෙක් තමයි විමල සුරේන්ද්‍ර. එයත් හේමචන්ද්‍ර එකට බඩු හදපු කෙනෙක්. ඒත් සෙංකෝලෙ හැදුවේ මම තනියෙන්. හේමචන්ද්‍ර සාප්පුවෙන් රන්, රිදී, මුතු, මැණික්, ඇත්දළ වගේ ඒවා එතෙන්ට ගෙනත් දුන්නා. එතන හිටපු කැටයම් වැඩ හොඳට දන්න අය කඩදාසියේ පින්තූරේ බලලා මට කිව්වේ, “ඕක හදලා උඹ නිකම් සවුත්තු වෙනවා. ඕක පිටරටකට යවලයි හදන්න ඕනෑ.” කියලයි. ඒත් මං ඒ කතා ගණන් ගත්තෙ නෑ. හදන්න පුළුවන් කියා විශ්වාසයක් මට තිබුණා.”

පින්තූරයට අනුව සෙංකෝලය හදන සැලසුම තිබුණේ පියතිලකගේ හිතේය. ඒ අනුව ඔහු මුලින්ම සෙංකෝලය රිදියෙන් හදන්නට පටන් ගත්තේය.

“රිදී සෙංකෝලෙ බඳට මම ගත්තේ ඇත් දළ දෙකක්. අඩි පහක් දිගට ගත්ත ඇත්දළවල ඇද අරින්න ඕනෑ වුණා. ඇත් දළේ ඉරලා ලියවන පට්ටලයක දාලා ඇද ඇරලා කපලා ගත්තා. ඊට පස්සේ හොයන්න බැරි වෙන්න රිදී ඇණයකින් දෙක එකට සම්බන්ධ කළා. එතෙන්ට රිදියෙන් වැඩ දැම්මා. පහළ කොටසට රත්තරන් වළලු 20ක් විතර වගේ බැස්සුවා.

සෙංකෝලයේ ඉහළම කෙළවරේ පෙති අටකින් නෙළුමක් උඩ උල් හැඩයට තියෙන පච්ච පඩියම් මාණික්‍යයකින් ඔටුන්නක් හැදුවා. ගෝලයට පුන් කලසක හැඩ රුව දුන්නා. ඊට පහළින් ලංකාවේ රක්ත හා නීල වර්ණ මැණික් එබ්බුවා. නව ග්‍රහයින් පෙන්නුම් කරන විදිහට පහත කවයේ නවරත්න මාණික්‍යයක් සවි කළා. රිදී සෙංකෝලය සම්පූර්ණ වෙනකොට කෑලි 350ක් විතර එකට එකතු වෙලා එක ඇණයකින් තමා මේ කෑලි සවි වුණේ. රිදී සෙංකෝලය ඉවර කරලා රත්තරනින් ඔය හැඩේටම වැස්මක් හදලා ඒ වැස්මෙම කැටයම් කැපුවා. ඊට පස්සේ ඒ වැස්ම රිදී සෙංකෝලයට බැස්සුවා. එතකොට රන් වැස්මෙ කැටයම් අතරින් රිදී සහ ඇත්දළ කොටස් ලස්සනට එළියට පෙනුණා.

සෙංකෝලයේ උඩම ගෝලයේ ‘සන්ත්‍රින්ද්‍රියෝච නිපකෝච’ කියන අකුරු ටික රනින් හදලා පෑස්සුවා. සෙංකෝලය බාගෙට හදාගෙන යද්දී හදාපු මිනිහාගේ නම දැම්මොත් නරකද කියලා මම ඇහුවා. ඒකට ඒ අය කැමැති වුණේ නෑ. නිම කළේ හේමචන්ද්‍ර සහෝදරයෝ කියලා තමයි සඳහන් වුණේ.”

පියතිලක කියන අයුරෙන් සෙංකෝලයේ වැඩ නිම වෙද්දී පවුම් 45ක රත්තරන් සහ රාත්තල් තුනහමාරක් පමණ රිදී ඊට වැය වී තිබුණා. සෙංකෝලය රාත්තල් හතරහමාරක බරකින් යුතු විය. හදන්නට මාස හතරහමාරක කාලයක් ගත වී තිබුණි.
“මම තනියම මේක හැදුවට මැණික් ඔබ්බවන්න හේමචන්ද්‍ර එකෙන් චාලි කියලා මහත්තයෙක් දුන්නා.

මම රෑ දවල් දෙකම වැඩ කළා. අනික සෙංකෝලෙ හදන කොට ඒක තනි කරන්න බය වුණා. හොර හතුරන්ගෙන් ආරක්ෂා කරගන්න උත්සාහ කළා. මේ ගැන ආරංචි වෙලා අහලපහල අය ඇවිත් විස්තර ඇහුවා. මං කිව්වා මේක පිත්තල වැඩක් කියලා.

රන් රිදී විතරක් නෙවේ මුතු මැණිකුත් තිබ්බ නිසා කවුරු හරි ඇවිත් බෙල්ල මිරිකලා අරන් යයි කියලා රෑට ඇහැ පියා ගන්නත් බය හිතුණා. මම ඔය මාස හතරටම ගෙදර ගියේ දෙපාරයි. ඒත් හැදෙන සෙංකෝලෙ තෝමස් මහත්තයාගේ ගෙදරින් ගෙනහින් තියලා. වැඩ ඉවර කරලා තෝමස් සිල්වා මහත්තයාට ගිහින් දුන්නා. තෝමස් සිල්වා මහත්තයා හරියට සන්තෝෂ වුණා.

මගෙන් ඇහුවා කීයක් විතර කුලිය ඕනෑද කියලා. රුපියල් 5000ක්වත් ඕනෑ කියලා මං කිව්වා. නමුත් මට ලැබුණේ සෙංකෝලෙ හැදුවට රුපියල් 2500යි. ඒකත් විටින් විට තමයි තෝමස් සිල්වා මහත්තයාගෙන් ලැබුණේ.

ජනරජ ව්‍යවස්ථාවට පෙර ලංකාවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය සතු සෙනෙට් සභාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙසින් මණ්ඩල දෙකක් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක විය. සෙනෙට් සභාවට ලාංකික කලාකරුවකු වූ පියතිලක අතින් නිර්මාණය වූ සෙංකෝලය වර්තමානයේ භාවිතයට ගැනෙන්නේ නැත. එය පාර්ලිමේන්තුවේ කෞතුක වස්තුවක් ලෙස තැන්පත් කර තිබේ.

“ඒක ඇඳපු සැලසුමේ මේ සෙංකෝලයට අදාළ කෑලි 350ක් ගැන හිතලවත් තිබුණේ නෑ. නමුත් ඇඳලා තිබ්බ හැඩේ ගන්නයි මම මේ කෑලිවලට නිර්මාණය කළේ. මේ සියලුම කොටස් මම එක ඇණයකින් සවි කළෙත් තේරුමක් ඇතුවයි. මේ හැම කෑල්ලක්ම මිලෙන් අධිකයි. එක කෑල්ලක් හරි කාටවත් ගලවලා අරන් යන්න බැරි වෙන්නයි එහෙම එක ඇණයකින් සවි කළේ. ඒ ඇණෙන් ඔක්කෝම කෑලි ගලවන්නත් පුළුවන්. මම කිසි කෙනෙකුට ඔය ඇණේ කොතැනද තියෙන්නේ, කොහොමද ඒක ගලවන්නේ කියලා දීලා නෑ. හොරකම් කරන කෙනෙකුට සෙංකෝලය පිටින්මයි ගෙනියන්න වෙන්නෙ. ඒක කවදාවත් කරන්න බෑනේ.

අපි මේක හේමචන්ද්‍ර සාප්පුවට ගිහින් දුන්නෙත් රෑ හතට අටට විතර. කවුරු කෙරුවත් මෙච්චර හොඳට එන්නෙ නෑ කියලා හේමචන්ද්‍ර මහත්තයා කිව්වා. මට හොඳ සහතිකයක් දෙන්නම් කිව්වා. ඒක නම් ලැබුණේ නෑ.

බණ්ඩාරනායක ආණ්ඩුවට තමයි හේමචන්ද්‍ර එකෙන් මේක භාර දුන්නේ. එංගලන්තෙන් හදපු සෙංකෝලෙට වඩා මේ සෙංකෝලෙ හොඳයි කියලත් කට්ටිය කතා වුණාලු.”
සෙංකෝලයට ලැබුණු පිළිගැනීම නිසාම හේමචන්ද්‍ර සාප්පුවට පියතිලකගේ වැඩ ගැන විශ්වාසයක් ඇතිව තිබුණි. ඒ නිසාම තෝමස් සිල්වා මාර්ගයෙන් තවත් විශේෂ කැටයම් බඩු භාණ්ඩ පියතිලකගෙන් හේමචන්ද්‍ර සාප්පුව කරවා ගෙන තිබුණි.

“ලංකාවට ජපානේ මිකාසා කුමාරයා ආව වෙලාවේ ඇම්.ජී. සුගතදාස මහත්තයා දුන්න පුන් කලස රිදීවලින් හැදුවේ මමයි. රෑ දවල් නැතුව හදපු පුන් කලසට කුලිය හම්බ වුණේ රුපියල් අසූවයි. ඒ වගේම මොහොමඩ් අලිට, ජවහර්ලාල් නේරුතුමාට, ජිමී කාටර්ට වගේම විවිධ රාජ්‍ය නායකයන්ට, ‍ලේකම්ලට මම කැටයම් භාණ්ඩ හදලා තියෙනවා.
අපේ තාත්තා ලෙඩ වුණාම මගේ රන් රිදී වැඩ අත ඇරුණා. ඊට පස්සේ මම ගොවිතැන් කරන්න ගත්තා. දැන් රන් රිදී වැඩ අතෑරලා අවුරුදු 15ක් විතර වෙනවා. දැන් මගේ වයස අවුරුදු 88යි මාස 7කුත් වෙනවා.”

පියතිලක විවාහ වී සිටින්නේ පී.එච්. හිමසිංහ සමගය. ඔවුනට පුතුන් පස් දෙනකු සහ දියණියක සිටින අතර එක් පුතකු මියගොස් ඇත්තේ හමුදාවේ රාජකාරි කරන අතරතුරය.

“සෙංකෝලය දැකලා අතගාන්න පුදුම ආසාවකින් හිටියේ. ඒ බව මාධ්‍යයෙනුත් මම ඉල්ලා සිටියා. කථානායකතුමාගෙන් පසුගිය 16 වැනිදා ඒකට අවස්ථාව ලැබුණා. යථා කාලෙදී මුදල් පරිත්‍යාගයකුත් ලැබෙයි කියලා කිව්වා. මට ලැබුණු අවස්ථාව ගැන හැමෝටම ස්තුතිවන්ත වෙනවා.”

පියතිලක කලාකරුවා කලාභූෂණ සම්මානයෙන් හා ස්වර්ණතිලක සම්මානයෙන් පිදුම් ලැබූවෙකි. අද දූ දරුවන්ගේ සැලකුම් බැලුම් මැද ජීවත් වුවත් මෙවන් කලාකරුවන් සම්මානයකින් සහතිකයකින් ඇගයෙනවාටත් වඩා ඔවුන්ගේ ජීවිතයට හව්හරණක් විය හැකි අගය කිරීමක් වන්නේ නම් එය මහත්ම වටින්නේය.

parliament004gossiplankanews
සෙංකෝලය සමග වත්මන් කථානායකතුමා හමු වූ මොහොත

දිනපතා මේවගේ අලුත් දේවල් දැනගන්න දැන්ම අපේ පේජ් එක ලයික් කරන්න