ඔබ දැනගත යුතුම කරඩු හතක් තුළ වැඩසිටින දළදා වහන්සේගේ වත

සාමාන්‍යයෙන් පොදු මහජනතාව වෙනුවෙන් දළදා ප‍්‍රදර්ශනයක් පවත්වනු ලබන්නේ වසර පහක පමණ කාලයක් ඉක්ම යාමෙන් පසුවය. එහෙත් දිනපතාම දළදා මාළිිගාවට ගොස් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින කරඬුව අසලටම ගොස් වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

ඒ සඳහා මල්වතු – අස්ගිරි මහානායක හිමියන් වහන්සේ සහ දියවඩන නිලමේතුමා යන තිදෙනාම සිටීම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව කරඬු තුනක් අගුළු දමා අස්ගිරි, මල්වත්ත මහනායක ස්වාමීන් වහන්සේට සහ දියවඩන නිලමේතුමාට යතුරු භාර දී ඇති බැවිනි.

දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා එම පියවර ගෙන ඇති අතර, කරඬු හත වෙඩි නොවදින වීදුරු ආවරණයකින්ද ආරක්ෂිතය. මෙම කරඬු හතේ ඉතිහාසය පිළිබඳ පමණක් නොව කරඬු හත තබා ඇති අනුපිළිවෙල ගැන ජනතාව අතර  නිවැරදි අවබෝධයක් නැත.

දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ හේමමාලා කුමරිය කොණ්ඬේ ගසා ගෙන වැඩම කළ කරඬුවේද? බුරුම කරඬුවේද? ඊට ප‍්‍රථම දළදා වහන්සේ ගැන කිසියම් අවබෝධයක් ලබා ගත යුතුව තිබේ.

මහා පුරුෂයකුගේ විසි තුන්වන ලක්ෂණය
බුදුරජාණන් වහන්සේගේ දත් සාමාන්‍ය පුරුෂයෙකුගේ දත් වගේ නොවේ. සාමාන්‍ය පුරුෂයෙකුට පිහිටන්නේ දත් තිස් දෙකකි. බුදුරජාණන් වහන්සේගේ දත් ගණන, හැඩ රුව අතින් වෙනස් වන බව බොහෝ දෙනෙක් දනිති. එහෙත් වෙනස් වෙන්නේ කෙසේද කියා නොදනිති.

hj
සාමාන්‍ය පුද්ගලයකුගේ මෙන් නොව බුදුරජාණන් වහන්සේගේ සියලූම දත් එක හා සමානයි. මේ නිසා ‘‘සමදන්ත” කියාද උන්වහන්සේගේ දත් හඳුන්වා දී තිබේ.‍ මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකකි. බෞද්ධ පොත්වල සඳහන් වන ආකාරයට ඉන් විසි තුන්වන ලක්ෂණය දත්ය.  එය ‘‘චත්තාලීස දන්ත” ලක්ෂණයට අයත් වේ.

සර්වඥයන් වහන්සේගේ ශ‍්‍රී මුඛයෙහි දත් විස්ස බැගින් උඩු සහ යටි හනුයෙහි පිහිටා ඇති දත් සංඛ්‍යාව හතළිහකි. දළදා මාළිගාවේ තැන්පත් කර තිබෙන්නේ බුදුන් වහන්සේගේ යටිහනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. ජීවමානව පවතින එකම දන්ත ධාතුන් වහන්සේය. දළදාව කියාද එය හඳුන්වති. දත් නොකියා ‘‘දළ” කියන පදය සාමාන්‍යයෙන් යොදන්නේ ඇතෙකුගේ දත් ගැන කතා කිරීමටයි. මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා පවසන ආකාරයට ‘‘දළ” කියන්නේ සිංහල පදයකි.

එම පදය සිංහලයට පැමිණ තිබෙන්නේ ‘‘දාඨා’’ යන පාලි පදයත්, දංෂ්ට‍්‍රා කියන සංස්කෘත පදයත් පදනම් කර ගෙනයි. දත් ඇන්දේ තිබෙන විශේෂ දත් හතරකට දාඨා (දංෂ්ට‍්‍රා) යන පදය භාවිත කෙරේ. ඉන් එකක් නම් වාම ශ‍්‍රී දළදාවයි.

වෛද්‍ය නිහාල් කරුණාරත්න විසින් රචිත මහනුවර අතීතය සහ වර්තමානය (ක‍්‍රි.ව 1474 – 1998) නමැති කෘතියෙහි සඳහන්  ආකාරයට ක‍්‍රි.ව 1818 වසරේදී උඩරට කැරැල්ල පැවති අවස්ථාවේ වීර මොනරවිල කැප්පෙටිපොළ දිසාව දන්ත ධාතුන් වහන්සේ භාරගත් අවස්ථාවේ කරඬු තිබුණේ කෙසේද කියා සඳහන් කර තිබෙන්නේ මේ ආකාරයෙනි.

‘‘දෙවෙනි විමලධර්මසූරිය රජතුමා විසින් පිටින් ඇති විශාල කරඬුව පුජා කෙරී ඇති අතර එහි රන් ආලේප කෙරී ඇත්තේ කීර්ති ශ‍්‍රී රජතුමා විසිනි. තවද ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්දාසිංහ රජු විසින් රිදී ආලේපිත කුඩා කරඬුවක් පූජා කරන ලදි. ශ‍්‍රී විජය රාජසිංහ නරොත්තමාණන් විසින් තව ඉතා කුඩා කරඬුවක් රත‍්‍රන් සමඟ මැණික් ඔබ්බවා පූජා කෙරී ඇත.

ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් තවත් ඉතා කුඩා ප‍්‍රමාණයේ කරඬු දෙකක් පූජා කරන ලදි. ඊළඟ තිබී ඇත්තේ දන්ත කුමරු සහ හේමමාලා කුමරිය විසින් දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවා රැගෙන එන ලද කරඬුවයි” වශයෙනි. ක‍්‍රි. ව. 1818 වසරේ මැයි මාසයේ මුල් සතියේදී හඟුරන්කෙත අරත්තන රජමහා විහාරස්ථානයේදී කැප්පෙටිපොළ දිසාවගේ ප‍්‍රධානත්වයෙන් දළදා ප‍්‍රදර්ශනයක් පවත්වා ඇත.

ජෝන් ඬේවිගේ  Account of the Interior of Ceylon කෘතියෙහි දන්ත ධාතුන් වහන්සේ පිළිබඳව මෙසේ සඳහන් වේ.

‘‘කහට පැහැ මුසු කහ පැහැයකින් යුත් මෙම දන්ත ධාතුන්  වහන්සේ අඩි දෙක තුනක් තරම් සමීපයේ සිට තමන්ට දැක ගත හැකි වූ බවත්, දන්ත ධාතුන් වහන්සේ දඹ රන් තහඩුවකින් ඔතා සුරක්ෂිතව තිබෙන අයුරුත්, එයට පිටතින් අගනා මුතු මැණික්, වෛරෝඩි, දියමන්ති ආදිය ගවසා ඇති බවත් යනුවෙනි. ඔහුගේ විස්තරයෙහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. දර්ශණීය හා මාහාර්ඝ කුඩා කරඬුවක් තුළ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබේ. ඒ කරඬුවෙහි මරකත මාණික්‍ය, රත්න මාණික්‍ය හා  දියමන්ති අතිශය කලාත්මක අයුරින් ඔබ්බවා ඇත.

ඒ කරඬුව සරුවපිත්තල බඳු දෙයකින් ආවරණය කර මස්ලින් රෙද්දකින් ඔතා තවත් කරඬුවක බහා ඇත. ඉක්බිති තුන්වැනි කරඬුවකද තැන්පත් කර ඇත්තේ ඉහතින් පැවසූ අයුරින්ම ය. සතරවැනි කරඬුවක් තුළද දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කෙරේ. එය උසින් අඩි එකහමාරක් පමණ වේ.දන්ත ධාතුව රැුඳි කරඬුව හැරුණ විට තවත් කරඬු තුනක් තුළ බහා ඇත. එවිට සියලූ කරඬු ප‍්‍රමාණය සතකි.

ඒ සියලූ කරඬු හැඩයෙන් දාගැබක ස්වරූපය ගන්නා සේ නිර්මාණය කර ඇත. බාහිර කරඬුව තනා පූජා කරන ලද්දේ විමලධර්මසූරිය රජතුමා විසිනි.” වර්තමානයේද ඒ අයුරින්ම දන්ත ධාතුන් වහන්සේ කරඬු සතක තැන්පත් කර තිබේද? මේ පිළිබඳ සමාජයේ විවිධ අදහස් පවතී. බුරුම සහ ඉන්දියන් රජය විසින් ද දළදා වහන්සේ වෙනුවෙන් කරඬු කිහිපයක් පූජා කෙරී ඇති බව සඳහන් වේ.

පළමු කරඬුව දෙවන විමලධර්මසූරිය රජතුමාගෙනි

හේමමාලා කුමාරිකාවගේ කෙස් කළඹ අස්සේ කුඩා කරඬුවක බහා ආරක්ෂා සහිතව සඟවා ගෙන පැමිණි දන්ත ධාතුන් වහන්සේ අද වන විට මහනුවර  සෙංකඩගලපුර ශ‍්‍රී දළදා මාළිිගයේ ඇතුළු මාළිගාව නැතහොත් ගඳකිළිය නම් කොටසේ තැන්පත් කර තිබේ.

දන්ත ධාතුන් වහන්සේ ඇතුළත් කරඬු වෙඩි නොවදින වජ‍්‍රමය ආවරණයකින් ආරක්ෂා කර තිබේ. මෙම වීදුරු ආවරණය පූජා කර තිබෙන්නේ ජපානයේ හේ්ජි පන්සලේ පූජ්‍ය රිම්පෝ නිවා නායක තෙරුන් වහන්සේය. දළදා වහන්සේ මහනුවරට වඩම්මවා ගෙන ඇවිත් දළදා මාළිගාවේ තැන්පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ පළමුවන විමලධර්මසූරිය රජතුමාටය.

දළදා මාලිගාවේ උඩමාලයේ මල් ආසනයට යාබදව පිහිටි පිරිත් මණ්ඩපයට ඉදිරියෙන් ගන්ධ කුටිය පිහිටා තිබේ. වෙඩි නොවදින වීදුරු ආවරණය තුළ මහ කරඬුව හෙවත් පළමු කරඬුව තබා ඇති අතර එය රනින් ආලේප කර ඇත. අඩි පහ හමාරක පමණ උසකින් යුක්තය.

රිදී විසිපන් දහසකින් (25,000) නිමවා රන් ආලේප කර නව රත්නයන් ඔබ්බවා රත්න චෛත්‍යයක් ආකාරයෙන් නිමවා ඇත. මෙම කරඬුව පූජා කර තිබෙන්නේ දෙවන විමලධර්මසූරිය රජතුමා (ක‍්‍රි.ව. 1687 – 1707) බව මහා වංශය සඳහන් කරයි. මෙහි වටිනා මිණි මුතුවලින් යුත් ස්වර්ණාභරණ පලඳවා ඇත.

මෙම කරඬුව සෑහෙන බරකින් යුක්ත වන බැවින් ඉවත් කිරීම සඳහා අවම වශයෙන් මිනිසුන් දෙදෙනෙකුගේ සහයවත් ලබා ගත යුතුව තිබේ. එහි දෙපස පෙරහර කරඬුව හා බුරුම කරඬුව තැන්පත් කර තිබෙන අතර ඒවායෙහිද වටිනා ස්වර්ණාභරණ පලඳවා තිබෙනු දැක ගත හැක. දළදා වහන්සේ තැන්පත් කළ කරඬුව ස්වර්ණමය මිටි සිංහාසනයක් මත තිබේ. පෙරහරේ ගෙන යනු ලබන කරඬුවක්ද වීදුරු ආවරණය තුළ තැන්පත් කර ඇත. එය රනින් නිමවා ඇති අතර, වෛරෝඩි සහ වෙනත් මැණික් වර්ගවලින් සරසා තිබේ.

මෙම පෙරහර කරඬුව පොසොන් පසළොස්වක පෝයදා ද ඇතා පිට වඩම්වයි. ඒ කරඬුව ළඟ තේවා මුරය මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා විහාරයට මාරුවන අවස්ථාවේදීය. වසරකට වරක් එම චාරිත‍්‍රය සිදුවේ. පෙරහර කරඬු තුනක් දක්නට ලැබේ. ඉන් එකක් ක‍්‍රි.ව 1753 වසරේදී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා විසින් ද, අනෙක් කරඬු දෙක තායිලන්ත රජයෙන් ද පරිත්‍යාග කරනුලැබ  තිබේ.

මෙයින් එක් කරඬුවක් දළදා මාලිගා කෞතුකාගාරයෙහිත්, අනෙක් කරඬු දෙක ගන්ධ කුටියෙහිත් තැන්පත් කර ඇත. වර්තමානයේ මහනුවර දළදා පෙරහැරේ ඇතා පිට වඩම්මනු ලබන්නේ තායිලන්ත රජය විසින් පූජා කරන ලද පෙරහර කරඬුවෙහිය.

මහ කරඬුව ඉදිරිපස රනින් නිම කරන ලද මල් ආසනයකි. මෙහිදි පූජා කිරීමට ගනු ලබන්නේ සුදු පැහැති පිච්ච මල් පමණක් වීම විශේෂත්වයකි.

බුරුම රටෙන් දෙවැනි කරඬුව

සඳහන් කරන ලද පළමුවෙනි කරඬුව ඉවත් නොකර දෙවැනි කරඬුව දැක ගත නොහැකිය. පළමු කරඬුව ඉවත් කිරීමට නම් එහි පේසා වළලූ ළඟින් ගැලවිය යුතු වේ. ඒ ආකාරයෙන් පළමුවැනි කරඬුව ඉවත් කිරීමෙන් අනතුරුව දෙවෙනි කරඬුව දක්නට ලැබේ. මෙම කරඬුව පූජා කර තිබෙන්නේ බුරුම රටෙනි.

කරඬුව වටා වටිනා කෞතුක වස්තූන් රාශියක් තැන්පත් කර තිබේ.
රන්පත් සමූහයක් ඇති අතර ඒවායෙහි ධම්මචක්කපවත්වන සූත‍්‍රය, පාතිමෝක්ඛ්‍ය වැනි වටිනා ධර්ම පාඨ රාශියකි. කෙසේ වුවත් මෙම බුරුම කරඬුව දැන් පිටතට ගෙන වම්පසින් තැන්පත් කර තිබේ.

ඒ අනෙක් කරඬු විවෘත කිරීමේ පහසුව සඳහායි. මේ අනුව මහ කරඬුවට අමතරව දැන් තිබෙන්නේ කරඬු හයක් පමණක් යැයි සැලකෙයි.

තෙවැනි කරඩුවේ යතුර දියවඩන නිලමේ සතුයි

මේ අනුව දන්ත ධාතුන් වහන්සේගේ කරඬු හයක තැන්පත් කර තිබුණද, උන්වහන්සේගේ ආරක්ෂාව සඳහා කරඬු තුනක් යතුරු යොදා ආරක්ෂා කර තිබේ. ඉන් පළමු යතුර මෙම තෙවැනි කරඬුව විවෘත කිරීම සඳහාය. (දැන් දෙවෙනි කරඬුව) එම යතුරෙහි භාරකාරත්වය හිමිව පවතින්නේ දියවඩන නිලමේ සතුවය. කරඬුව දඹ රත්තරන්වලින් නිම කර තිබේ. මෙම කරඬුව පුජා කර තිබෙන්නේ කවුරුන්ද කියා සොයා ගැනීමට හැකියාවක් නැත.

මල්වතු අස්ගිරි මහ නා හිමියන් සතු හතර පහ කරඬු

දියවඩන නිලමේතුමා තුන්වෙනි කරඬුව විවෘත කිරීමෙන් පසු හතරවැනි කරඬුව දක්නට ලැබේ. මෙම කරඬුව නිම කර තිබෙන්නේ රත‍්‍රන්වලිනි. එහි ඉතා වටිනා මැණික් ගල් ඔබ්බවා ඇත. මෙම කරඬුව විවෘත කිරීම සඳහාද යතුරක් ඇත. ඒ දෙවෙනි යතුරය. එම යතුර භාරව සිටින්නේ මල්වතු මහා විහාරයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. උන්වහන්සේ හතරවෙනි කරඬුව විවෘත කළ විට පස්වෙනි කරඬුව දක්නට ලැබේ. හතරවෙනි කරඬුව පූජා කර තිබෙන්නේ කවුරුන්ද යන්න සොයා ගත නොහැක.

එහෙත් පස්වෙනි කරඬුව පිළිබඳ විස්තර සොයා ගත හැකිය. පස්වෙනි කරඬුව පූජා කර තිබෙන්නේ ඇහැළේපොළ මහ අදිකාරම්තුමාය. අඩියක් පමණ උස මෙම කරඬුවේ වජ‍්‍ර, ඉන්ද්‍රකීල, ලෝහිතාංක, මරකත, වෛධුර්ය, පුෂ්පරාග වැනි ඉතාමත් වටිනා මැණික් ගල් ඔබ්බවා ඇත. කරඬුවෙහි පාදම වටේට අකුරු කොටා තිබේ.

එයින් කියවෙන්නේ ශ‍්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් තුන්සිය සැටට පැමිණි වෘෂභ සංවත්සරයෙහි නිකිනි මස පුර පංචම තිථිය ලත් රවි දින වශයෙනි. එනම් 1816 අගෝස්තු මස 25 දින දාය. එතුමාගේ නම සඳහන්ව පවතින්නේ ඇහැළේපොළ විජේසුන්දර වික‍්‍රමසිංහ චන්දාසේකර අමරකෝන් වශයෙනි. ඇහැළේපොළ අදිකාරම්තුමා විසින් පූජා කර ඇති නිසා ‘‘ඇහැළේපොළ කරඬුව” යන නමින්ද, පසුව එය අස්ගිරිමහා නායක හිමියන් භාරයේ පවතින බැවින් ‘‘අස්ගිරි කරඬුව” කියාත් හඳුන්වති.

හයවැනි කරඬුව

අස්ගිරි මහනායක හිමියන් වහන්සේ තම (තෙවැනි) යතුර භාවිත කර ඇහැළේපොළ කරඬුව ඉවත් කිරීමේදී දක්නට ලැබෙන්නේ හයවැනි කරඬුවයි.  මෙම කරඬුව අසලින්ම හේමමාලා කුමරිය සහ දන්ත කුමාරයා විසින් දළදා වහන්සේ වඩම්මාගෙන එනුලැබ කරඬුව දක්නට ලැබේ.
මෙම කරඬුව පැත්තකින් තබා තිබෙන්නේ අනෙක් කරඬුව වැසීමේදී බාධා නොවන ආකාරයටයි. හයවෙනි කරඬුව උස්සා පැත්තකින් තැබීමේදී හත්වැනි කරඬුව දක්නට ලැබෙනු ඇත. හයවෙනි කරඬුව පිළිබඳ මීට වඩා වැඩි විස්තරයක් සොයා ගත නොහැක.

හත්වැනි කරඬුව

හත්වැනි කරඬුව අඟල් හතරක් පමණ උසය. දළදා වහන්සේ වැඩ සිටින්නේ මෙහිය. මෙය ක‍්‍රි.ව. 1896 වසරේදී බුරුම රටේ භික්ෂූන් වහන්සේ නමක් වන රාජගුරු වජිරාරාමික හිමියන් විසින් පූජා කෙරී ඇති බව දෙමුවාවන පඤ්ඤානන්ද හිමියන් විසින් රචනා කරන ලද උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය නමැති පොතෙහි සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.
‘‘වර්ෂ 1889 බුරුමයේ මෙන්ඩූන් රජුගේ අගමෙහෙසිය වූ වජිරක්කන්ධ දේවිය භික්ෂූන් වහන්සේ

හතළිස් හය නමක් හා සිය දෙනෙකුගෙන් යුත් ගිහි පිරිසක් සමඟ දළදා වහන්සේ වන්දනාමාන කිරීම සඳහා ලංකාවට පැමිණ ඇති අතර, පසුව මෙම පිරිස අතර සිටි රාජගුරු වජිරාරාමික හිමියන් නැවත බුරුමයට වැඩම කොට ආධාර එකතු කර එක් ලක්ෂ විසිහයදහසක් වියදම් කොට රනින් කරඬුවක් තනා ක‍්‍රි.ව. 1896 වර්ෂයේදී නැවත ලංකාවට පැමිණ දළදා මාළිගාවට එය පූජා කළහ.

අද දළදා වහන්සේ වැඩ සිටින්නේ එම කරඬුව තුළය.” යනුවෙනි. මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා විසින් රචනා කරනලද ‘‘රටක මහිම – 2 සිරි දළදා මාලිගාව’’ කෘතියෙහිද සඳහන්ව ඇත්තේ හත්වෙනි කරඬුව බුරුමයෙන් පූජා කර ඇති බවකි. මෙම කරඬුව පේසා වළලූ ළඟින් ගැලවිය හැකි වන ආකාරයෙන් සාදා ඇති බවත් සඳහන් වේ.

හේමමාලා දන්ත කුමරු වඩම්මවා ගෙන පැමිණි කරඬුවේ තැන්පත් කර ඇති බව පවසන පිරිසක්ද සිටිති. ඇත්තෙන්ම දළදා වහන්සේ  තැන්පත් කර තිබෙන්නේ කුමන කරඬුවේද? මේ පිළිබඳව මල්වතු විහාරයේ කාරක සංඝ සභික දෙහිදෙණියේ ශ‍්‍රී සිද්ධාර්ථ රතනසාර නායක ස්වාමීන් වහන්සේගෙන් විමසුවෙමි. රතනසාර ස්වාමීන්වහන්සේද කාලයක් දළදා තේවාව සිදු කළ සිල්වත් භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ වදාරන්නේ තවමත් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ හේමමාලා කුමරිය කොණ්ඩයේ ගසා සඟවා ගෙන පැමිණි කරඬුවෙහි බවය.

‘‘තතාගතස්ස ධම්ම විනයෝ විවටෝ විරෝචති’’ තතාගතයන් වහන්සේගේ ධර්මය බැබළෙන්නේ විවෘත වූ තරමට බව එහි අදහසයි. බුදුරජාණන් වහන්සේ සමකාලීන වශයෙන් ඇගයීමකට ලක් වූයේ උන්වහන්සේ තුළ පැවති නිදහස් චින්තනය නිසාය. එබඳු ලක්ෂණ වෙනත් ශාස්තෘන් කෙරෙන් විද්‍යමාන නොවේ. ‘‘වීමංසක සූත‍්‍රයෙහි” සඳහන් වන පරිදි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වූ පමණින්, ධර්මය ස්වාක්කාත වූ පමණින් යමක් පිළිගත යුතු නැත. තමන් පිළිගන්නා වූ  ඕනෑම කරුණක් සිතා, විමසා බලා පිළිගත යුතු බව ඉන් කියැවේ.

රජකමත් දළදා වහන්සේ අතර පැවති සම්බන්ධය

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමත් සමඟ බෞද්ධ රාජ්‍යයක් බවට පත් විය. පසුව රජකම ලබා ගැනීමට එක් සුදුසුකමක් වූයේ දළදා වහන්සේගේ අයිතිය ලබා ගැනීමයි. එහිදී ඔහු ධාර්මික රජෙකු වශයෙන් ජනතාව පිළිගනිති.
දසරාජ ධර්මයෙන් රට පාලනය කරමින් දළඳා වහන්සේ තම භාරයේ තබා ගැනීමෙන් කලට වේලාවට වැසි ලැබීමත් ඒ හේතුවෙන් ගොවිතැන් කටයුතු සරු සාර වීමත් සිදුවේ.

නිසි කාලයේදී වැසි නොලැබුණහොත් නියඟය ඇති වී කෙත්වතු පාළුවට යයි. එපමණක් නොව සතා සිවුපාවන් පවා මැරී යනු ඇත. දසරාජ ධර්මයෙන් පාලනය කරන රජකෙනෙකුට පවා එවන් ස්වභාවික විපත්වලින් රටවැසියන් බේරා ගැනීමට හැකියාවක් පවතින්නේ නැහැ. එවන් අවස්ථාවල දෙවි දේවතාවන් සතුටු කර වැසි ලබා ගැනීමට හැකි දළඳා වහන්සේ සතුව ඇති රජකෙනකු පත් කර ගත යුතුයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පැවතුණි.

එවන් විශ්වාසයක් පැවතීමට හේතු වූයේ විසාලා මහ නුවරට පැමිණි දුර්භික්ෂයේදී බොහෝ දෙනෙක් මිය ගිය අතර ලෙඩ රෝග ව්‍යාප්ත විය. බුදුන් වහන්සේගේ වැඩමවීමත් සමඟම මහා වර්ෂාවක් ඇදහැලී මළකඳන් ආදිය ගසා ගෙන ගොස් මුළු ජනපදයම පිරිසිදු වී නැවතත් සමෘද්ධිමත් ජීවිතයක් ගත කිරීමට ජනතාවට හැකි විය.

බුදුන් වහන්සේට වැසි වස්සන්ට පුළුවන් නම් දළදා වහන්සේටත් වැසි වස්සන්ට පුළුවන් කියන විශ්වාසය ජනතාව අතර පැතිරී ගියේ ඒ ආකාරයෙන්. දළදා වහන්සේ අත්පත් කරගන්නේ කවුරුන්ද ඔහු රජු වශයෙන් පිළිගත්තේ එම නිසාය. මෙවන් කරුණු  නිසා රජකුට දළදා වහන්සේ තරම් වටිනා උතුම් වස්තුවක් තිබුණේ නැත.

පසුව දළදා වහන්සේ රාජ්‍ය ලාංඡුනය බවට පත් විය. වත්මන් රාජ්‍ය නායකයන් පවා තම පත්වීම ලැබ ගැනීමෙන් පසු පළමුවෙන්ම දළදා වහන්සේ බැහැ දැකීමට යන්නේ ඒ නිසයි. එපමණක්ද නොවේ සමහර රාජ්‍ය නායකයන් ප‍්‍රථම වතාවට ජනතාව අමතන්න තෝරා ගන්නේද දළදා වහන්සේගේ සෙවණෙහි පිහිටි පත්තිරිප්පුවේ සිටය.

ලංකාදීපය ඇසුරිණි