ඉපදිලා ඉන්න ඒ දුවගෙත් එක ඇහැක ඒ විදියටම සුදු ලපයක් දක්නට ලැබුණා

පුනරුප්පත්ති සම්බන්ධ කතා අපිට ඇහෙන අවස්ථා තිබෙනවා. මේ ඉරිදා ලංකාදීප පත්තරේ තිබුණු තිස්ස ජයවර්ධන ලියපු  ඉරේෂාගේ කතාවයි මේ

ගඩොල් කර්මාන්තය ජීවන වෘත්තිය කරගත් බර්නාඩ් සහ ඔහුගේ බිරිය දරුවන් සමග පදිංචිව සිටියේ දන්කොටුවට නුදුරුවය. ඔවුන්ගේ ගඩොල් පෝරණුවද නිවසට ආසන්නව පිහිටා තිබිණි. තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණිය ඉරේෂාය. පියා සමග ගඩොල් පෝරණුවේ වැඩ කිරීමට දරුවන් මෙන්ම බිරියද සහාය වීම සිරිතය. බාල දියණිය වූ ඉරේෂාද පෝරණුවට යෑමට දැඩි ආශාවක් දැක්වීය. ඒ වන විට ඇය අධ්‍යාපනය ලබමින් සිටියේ සිව්වන ශ්‍රේණියේය.

එදා 1989 මැයි මස තුන්වැනිදාය. ඉරේෂා පාසල් ගොස් සිටි අතර වැඩිමහල් පුත්‍රයා සමග පියා පෝරණුවේ වැඩට ගොස් සිටියේය. එදා ඔවුන්ට නියමතිව තිබුණේ පෝරණුවේ ගල් බෑමය. ඉරේෂා පාසල් අවසන් වී නිවෙසට පැමිණියාය. දහවල් ආහාර ගැනීමෙන් පසු ඇයද මව සමග පෝරණුව වෙත ගියේ, පෝරණුවේ ගල් බාන අයුරු දැකීමට ඇයද ආශාවක් දැක්වීම නිසාය. පියා ඇතුළු සොහොයුරා මව සමග එක්ව ගල් බාන ස්ථානයේ රැඳී සිටි ඇයට දිය පිපාසයක් දැනුණි.

“අම්මේ මට වතුර බොන්න ඕනෑ.” යයි අසල සිටි මවට ඇය කීවාය. ජලය පිරවූ බැරලයක් පෝරණුවේ පසෙක විය. ඒ වන විට පෝරණුවේ ගල්වලින් දැඩි උෂ්ණත්වයක්ද නිකුත් විය. එක් පැත්තකින් ගැලවී තිබූ පෝරණුවේ ආරක්ෂාවට මුක්කුවක් සවිකර තිබිණ. නැගණියට ජලය ලබා දෙන ලෙස පෝරණුවේ වැඩ කරමින් සිටි පුත්‍රයාට මව පැවසුවාය. නැගණිය සමග ජල බැරලය වෙත ගිය ඉරේෂාගේ සොහොයුරා ඇයට ජලය ලබා දී ඉන් ඉවත් විය. ජලය පානය කළ දැරිය නැවත මව සිටි ස්ථානයට ඒමට දුව ගියාය. හදිසියේම ඇගේ කකුලක් පෝරණුවේ සවිකර තිබූ මුක්කුවේ වැදුණි. මුක්කුව ගැලවීමත් සමග උණු ගල්ගොඩක් ඇය මතට පතිත විය.

උණු ගල් අතර සිරවී සිටි දියණිය බේරා ගැනීමට පැමිණි මවගේ දෙපාද පිළිස්සීමට ලක්විය. දැරිය වහා රෝහල් ගත කෙරිණි. හදිසි ශල්‍යකර්මයකට ඇය භාජනය කරනු ලැබුවද ජීවිතය බේරා ගැනීමට නොහැකිව ඇය අවසන් හුස්ම හෙලුවාය. ඒ වන විට වයස අවුරුදු හය හමාරක්ව සිටි දියණියගේ අකල් මරණය මාපියන්ට දැඩි වේඳනාවක් විය. ඇගේ ඇඳුම් පැළඳුම් සහ ඇය සතුව තිබූ ඇගේ සියලු භාණ්ඩ අසරණ දරුවන්ට පරිත්‍යාග කිරීමට මාපියෝ කටයුතු කළහ. තම දියණියට අකාලයේ සිදුවූ මරණය පිළිබඳව මාපියෝ දැඩි ලෙස ශෝක වන්නට වූහ. දියණිය මියගොස් වසර එකහමාරක් පමණ ගත විය.

මොරටුව ප්‍රදේශ​ෙය් පදිංචිව සිටි දෙදරු මවක වූ චන්ද්‍රානි 1990 අගෝස්තු මාසයේදී සිය දෙවැනි දියණිය මෙලොවට බිහිකළාය. නිරෝගි දැරියක් වූ ඇයට වසර දෙකක් පමණ ගතවන විට ඇය හොඳින් කතා කළාය. දිනක් මව අසලට පැමිණි දැරිය.

“මාව පිච්චුනා” යයි කීවාය. එය ඇසූ සැණින් මව කලබල වූවාය.

“කොහොමද පිච්චුනේ” යි මව ඇගෙන් විමසීමක් කළේ දියණිය පිලිස්සීමේ කිසියම් අනතුරකට පත්ව ඇතැයි සිතාය. එහෙත් පිලිස්සුණු තැනක් නොපෙන්වූ ඇය කිසිදු වේදනාවක් නොදක්වන බවක්ද මවට දක්නට ලැබිණි. නැවතත් දියණිය ඇමතූ මව “කොහොමද පිච්චුණේ?” යි ඇසුවාය. මොහොතක් කල්පනාවේ යෙදී සිටි දියණිය.

“මාව පිච්චුනේ ගල්වලට” යැයි කීවාය. පිලිස්සීමකට ලක්වීමට කිසිදු ගල් වැනි දෙයක් නිවෙස නොතිබූ බව මවට විශ්වාසය. ඒ පිළිබඳව නැවතත් දියණියගෙන් ප්‍රශ්න කළ ඇය,

“මොන ගල්වලටද?” යැයි විමසා සිටියාය. එයට පිළිතුරු දුන් දියණිය

“පෝරණුවේ ගල්වලට” යි ප්‍රකාශ කළාය. නිවෙසේ පෝරණුවක් නොතිබුණු බැවින් දියණිය කරන ප්‍රකාශය මවට මහත් ගැටලුවක් විය.

නිවෙසේදී එවැන්නක් සිදුවීමට කිසිසේත් අවස්ථාවක් නොමැති බව මවට පැහැදිලිය. එසේ නම් දියණිය විසින් පෝරණු ගල්වලට පිලිස්සීම ගැන කරන ප්‍රකාශය කුමක්ද? එවැන්නක් සිදුවූයේ කෙසේද මව විමසිලිමත් වූවාය. දියණිය විසින් හෙළි කරනු ලබන පිලිස්සීම පිළිබඳව ඇගෙන් තවදුරටත් විමසීමට මව උනන්දු වූවාය.

“ඔයාව පිච්චුණේ කොහේදීද?”

“එහෙදි”

“ගල්වලට පිච්චුණේ කොහොමද?”

“ගල්වැටිල”

“ගල්‍ වැටුණේ කොහෙන්ද?

“පෝරණුවෙන්”

“මොන පෝරණුවෙන්ද?”

“ගඩොල් පෝරණුවෙන්”

දියණියගේ මෙම ප්‍රකාශ වලින් ඇය කිසියම් පෙර භවයක තොරතුරු හෙළි කරන්නේද යන්න මවට සැකසිතුණි.

එතැන් සිට දියණිය හෙළිකරන පෙරභව තොරතුරු තව තවත් විමසීමට මවට අවශ්‍ය විය. ඔවුන් පදිංචි සිටි ප්‍රදේශයේ කිසිදු ගඩොල් පෝරණුවක් නොමැති වීමත් දියණිය ඒ වන විට කිසිවිටෙකක් එවැන්නක් දැක නොතිබීමත් නිසා ඇය හෙළිකරන ප්‍රදේශය ගැන මව විමසා සිටියාය. ඒ පිළිබඳව දැන ගන්නා අදහසින් මව දියණිය ඇමැතුවාය.

“ඔයාව ගඩොල්වලට පිච්චුණේ කොහේදිද? යයි විමසීමක් කළාය.

“එදා මම ඉස්කෝලෙ ඇරිලා ඇවිත් තාත්තගේ ගඩොල් පෝරණුවට ගියා. අම්මලා, ග​ෙඩාල් බාන කොට ග​ෙඩාල් ගොඩක් මගේ ඇඟට වැටුණා. ඒ ගල්වලට මාව පිච්චුණා” යි ඇය පැවසුවාය. තවදුරටත් පෙර භව තොරතුරු හෙළි කළ දැරිය “අයියයි අක්කයි අම්මයි තාත්තයි ගල් පෝරණුවෙ හිටියා.” යනුවෙන් ප්‍රකාශ කරන්නට වූවාය. ගඩොල්වලට පිලිස්සුනු හැටි හෙළිකළ පෝරණුව තිබූ ප්‍රදේශය හැටියට ඇය ප්‍රකාශ කළ තැනක් වූයේ මෝලවත්ත යනුවෙනි.

“එහෙදි මම ඉස්කෝලෙ ගියේ පල්ලියේ ඉස්කෝලෙට. අපේ ගෙදරට යන පාරේ කණුවල කොක්කු දෙන්නෙක් හදලා තිබුණා යයිද ඇය පැහැදිලිව ප්‍රකාශ කළාය.”

දියණිය හෙළිකරන මෙම තොරතුරු සොයා බැලීමට පියා තීරණය කළේය. දියණිය ප්‍රකාශ කළ පරිදි ගඩොල් පෝරණුවකදී පිලිස්සීමකට ලක්වූ දැරියක් පිළිබඳව ඔහු විමසන්නට විය. ඒ අනුව දංකොටුවට නුදුරු ප්‍රදේශයකදී එවැන්නක් සිදුවී බැව් පියාට ආරංචියක් ලැබිණි. ඔහුට ලැබුණු තොරතුරු අනුව දියණිය එම ප්‍රදේශයට කැඳවාගෙන යාමට පියා උනන්දු විය. ඔවුන් සොයාගිය නිවෙසට යන අතර ඇය පෙර භවයේදී ඉගෙනීම ලැබූ පාසල නිවැරැදිව පෙන්වා දීමටද එදා මෙම ​දැරියට හැකියාව ලැබිණි. අනතුරුව නිවෙසට ගිය විටදී සොහොයුරා හඳුනා ගැනීමට ද ඇයට හැකිවිය.

මෙම දැරියගේ පුනර්භව පර්යේෂණය සඳහා අපට පෙර භවයේ මාපියන් හමුවීමටද අවස්ථාව ලැබිණ. එහිදී පෙර භවයේ මව ඒ පිළිබඳව අනාවරණය කළේ මෙසේය.

“එදා ඒ ළමයා අපේ ගෙදරට එන තුරු අපි දැනගෙන හිටියේ නැහැ. එය ඇත්තද කියලා බලන්න අපිටත් අවශ්‍ය වෙලා තිබුණා. ඒ ආපු වෙලාවෙ අපිව අඳුන ගත්තා” යැයි පෙර භවයේ මව ප්‍රකාශ කළාය.

“කාවද අඳුන ගත්තේ? එය විමසූ විට ඇය කියා සිටියේ

“අම්මා, තාත්තා කියලා අපිට පෙන්නලා අඳුන ගත්තා. ගෙදර එන පාරේ තිබුණු කණු දෙකක් ගැනත් ඒ දරුවා කියලා තිබුණා. එදා එයා මැරුණු හැටිත් කියලා තිබුණෙ පුදුම විදියට. එදා පෝරණුවෙ ගල්වලට පිච්චුණේ ඉස්කෝලෙ ඉඳලා ඇවිත් පෝරණුවට ගිය වෙලාවෙ තමයි. එයා ඉගෙන ගන්න ඉස්කෝලෙත් එයා පෙන්නුවා. අපේ පල්ලිය ගැනත් ඒ ළමයි මතකයෙන් කියලා තිබුණේ පුදුම විදියට. ඒ විතරක් නෙවෙයි තවත් පුදුම දෙයක් තිබුණා. මගේ මැරුණ දුවගේ එක ඇහැක සුදු ලපයක් තිබුණා. ඉපදිලා ඉන්න ඒ දුවගෙත් එක ඇහැක ඒ විදියටම සුදු ලපයක් දක්නට ලැබුණා. අපේ ගෙදරට ඒ දරුව එදා ඇවිත් හැසුරුණ විදියටත් අපේ ගෙදර තොරතුරු හෙළිකරලා තිබුණු විදියක් බැලුවම අපේ දරුව නැවත ඉපදීලා කියල අපි විශ්වාස කරනවා.” යයි මව අප සමග කීවාය.

“ඉරේෂාගේ මරණය සිදුවූ අවස්ථාවේ ඇයව බේරා ගැනීමට ගිය මවද පිලිස්සීමකට ලක්වූ හැටි ඇය පවසා තිබිණි. එම සිදුවීම පිළිබඳවද අපි පෙරභවයේ මවගෙන් විමසුවෙමි.

“ඉරේෂා දුව් පිලිස්සීමට ලක්වූ වෙලවෙ සිදුවීම මතකද?

“ඔව්”

එය සිදුවුණේ කොහොමද?

පෝරණුවේ වැඩකරමින් සිටියදී එයාට බොන්න වතුර ඉල්ලුවා. වතුර තිබුණ තැන පෝරණුවට ගහපු මුක්කුවක් තිබුණා. පුතා ගිහින් එයාට වතුර දිලා ආවාම එයා ඒක බීලා එතැනින් පැනල දුවගෙන එන විට මුක්කුවේ වැදිලා මුක්කුව ගැලවුණා. පිලිස්සී තිබුණු ගල්ගොඩක් පෙරලුණා. දරුවගේ ඇඟට උණුගල් වැටිලා තිබුණා. මම ඒ ගල්ගොඩට පැනලා දරුව බේරාගන්න කොට මගේ කකුල් දෙකක් පිච්චුණා. ඒ බව එයාගෙ අම්මත් එක්ක ඒ දරුව හරියටම කියා තිබුණා. යයිද පෙර භවයේ මව හෙළි කළාය.

පෙර භවයේ නිවෙසේ සෑදූ කෑම වර්ගයක් පිළිබඳව යළි උපත ලද දැරිය පැහැදිලිව හෙළිකර තිබිණි. “අපේ ගෙදරදී අම්මා දොදොල් හදනවා” යන්න එම කෑම වර්ගය විය. ඒ පිළිබඳව විමසීමේදී පෙරභවයේ මව කියා සිටියේ ඇතැම් දිනවලදී ඇය නිවෙසේදී දොදොල් වර්ග සාදන බවය.

මෙම පුනර්භව සාධකයේ දැරිය ප්‍රකාශ කළ පෙර භව තොරතුරුවලින් සත්‍ය තහවුරු කිරීම අපහසු වූයේ ඇය අනාවරණය කරන ලදැයි හෙළිවූ පුද්ගල නමක් පමණි. දිලිනි යනුවෙන් හැඳින් වූ මිතුරියන් ගැන ඇය ප්‍රකාශ කර තිබුණේ

“මගේ යාළුවා තිළිණි” යනුවෙනි. ඒ හැරුණු විට ඇය හෙළිකළ තොරතුරු වලින් සනාථ වූ කරුණු පර්යේෂණයේදී සටහන් වී ඇත්තේ මෙසේය.

ගල්වලට පිච්චුණා.
අම්මගේ කකුල් පිච්චුණා.
තාත්තට ගඩොල් පෝරණුවක් තිබුණා.

පෝරණුව වැඩට අයියයි අම්මයි ගියා
පෝරණුවේ ගල් ඇද්දා
ඉස්කෝලෙට ගියා

ගෙදරට යන පාරේ කණු දෙකක කොක්කු හිටියා.
ඉස්කෝලෙ ළඟ පල්ලිය තිබුණා.
දිලිණි යාළුවා

අම්මා දොදොල් හැදුවා
ගල්ගොඩ උඩ වැටුණාම අම්මා ඇවිත් ඔසවා ගත්තා

අයියා මට වතුර දුන්නා යනුවෙනි.

ඉරේෂා මියගිය ප්‍ර​ෙද්ශයත් පෙර භවය හෙළි කළ දැරියගේ උපත සිදුවූ ප්‍රදේශයත් අතර දුර ප්‍රමාණය සැතපුම් හැටක් පමණ විය. මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කියක් වූයේ යළි උපන් දැරියගේ ඇසක පිහිටා තිබූ උපන් ලපයකි. එම උපන් ලපයට සමාන කැළලක් පෙර භවයේ දැරියගේ ඇසක ද දක්නට ලැබුණු බැව් දෙමාපියෝ පැවැසූහ. 1982 ඔක්තෝබර් 9 වැනිදා මීගමුව රෝහලේදී උපත ලද ඉරේෂා, 1989 මැයි 3 වැනිදා මරණයට පත්වූයේද මීගමුව රෝහලේදීය.