කච්චතිව් ඔව් ඒ අපේ උරුමයයි

කච්චතිව් කියන නම ඇහිලා තිබුණට, ඔව් ඒක ඉන්දියාවට නෙවෙයි අපිට අයිති කියලා කිව්වට. ඔයා ඇත්තටම දූපත ගැන දන්නෙ නැත්නම් මේ ලිපිය අවසාන වන විට දූපතට ගියා වගේ දැනෙවී ඔයාට.

ගත දවන චණ්‌ඩ හිරු රැස්‌ දහරා වැටෙන මධ්‍යාහ්නයේදී අපි කච්චතිව් දූපතට ගොඩ බැස්‌සෙමු. අප ගමන්ගත් වේග යාත්‍රාව දූපතේ වෙරළටම යාත්‍රා කිරීම අපට දූපතට සංක්‍රමණය වීමට මහත් පහසුවක්‌ විය. හනි හනිකට වේග යාත්‍රාවෙන් වෙරළට පැනගත් අපි, මීළඟට “කච්චතිව්” දූපතේ අසිරිය බලන්නට ඒ මේ අත විසිර ගියෙමු. අප ගොඩබැස්‌සේ දූපතේ ඇති, පැරණි කතෝලික දේවස්‌ථානය ආසන්නයටම බැවින්, අප පළමුව කිසිවකුත් නැති කච්චතිව් දූපතේ, කිසිවකුත් නැති දේවස්‌ථානය තුළට පිළිපන්නෙමු.

මෙහි ඇත්තේ ශාන්ත අන්තෝනි මුනිවරයා නමින් තැනූ කතෝලික දේවස්‌ථානයකි. කුඩා දේවස්‌ථාන ගොඩනැඟිල්ලට පිටින් ශාන්ත අන්තෝනි මුනිවරයාගේ පිළිරුවක්‌ද පිහිටුවා තිබේ. මුහුද දෙස (ශ්‍රී ලංකා ගොඩබිම දෙස) බලා හිඳින ආකාරයෙන් නිමැවුණු එය, ඈත මුහුදේ සිට කච්චතිව් දෙසට පැමිණෙන විට ඉතා හොඳින් දර්ශනය වන්නකි. මෙම ප්‍රතිමාව ආසන්නයේ පමණක්‌ මුහුදු වෙරළ ඉතා ගැඹුරුය. කුඩා මුහුදු බොක්‌කක්‌ මෙන් පිහිටි මේ දක්‌වා වේග යාත්‍රා (බේබි ඩෝව්රා නොහොත් වෝටර් ජෙට්‌ පැමිණ වෙරළේ නැවතිය හැකි වූවත්, දූපතේ වෙනත් තැනකට මෙසේ වේග යාත්‍රා ළඟාවිය නොහැක්‌කේ ගල්වලින් පිරුණු වෙරළ ඊට බාධකයක්‌ වන නිසාය.

ඉන්පසු අප කුඩා දේවස්‌ථාන ගොඩනැඟිල්ලට ඇතුලු වූයේ කවුරුත් නැති කච්චතිව් දූපතේ, කාගේත්වත් අවසරද ගත යුතුව නොතිබූ නිසා මෙන්ම, දේවස්‌ථානයේ දොර ඇතුළු ලාද නොතිබු නිසාය. එහි ඇති තනි ගොඩනැඟිල්ලේ යාච්ඥා කරන්නට හැදූ ඉඩකඩක්‌ මෙන්ම, දේව ප්‍රතිමා සහිත අල්තාරයකි. (මෙහි ඡායාරූප පසුගිය සතියේ ඉරිදා පළ විය.)

දේවස්‌ථානය නිරීක්‍ෂණයෙන් අනතුරුව අප දූපතේ අසිරිය සොයා පියමං, කළෙමු. ඒ අතර ඇතැමෙක්‌ “කච්චතිව්” දූපතෙන් “සමරු” සොයනු දක්‌නා ලැබිණි. එනම්, වෙරළේ තැන තැන එකතුවුණු මුහුදු බෙල්ලන් වර්ගවල කවමවලින් කච්චතිව් දූපත් වෙරළ අසිරිමත්ව නිර්මාණය වී ඇත. එසේම ඒ අතර තැන තැන තරමක්‌ ලොකු බෙල්ලන්ගේ කවචද ඇත. අපේ සගයන් එවැනි බෙලිකටු එකතු කළේ “කච්චතිව්” දූපතේ සමරු ලෙස රැගෙන යන්නටය. ඒ අතර, මම දූපතේ ශාක හා සත්ත්වයින් ගැන උනන්දු වුයෙමි. මෙහි හඳුනාගත හැකි කිසිදු ක්‍ෂීරපායි, උරග, උභයජීවී සත්ත්වයකු මට මුණ නොගැසිනි. එහෙත්, විටින් විට විවිධ මුහුqදු ළිහිණියන් දූපතේ සැරිසරනු දක්‌නා ලදී. එසේම, මට්‌ටි වැනි බෙල්ලන්ට අමතරව කකුළු විශේෂ තාපස කකුළුවන් වැනි මුහුදු ආශ්‍රීත ජීවීන් හැරෙන්නට එහි වෙනත් සත්ත්වයින් කිසිවකුත් මාගේ ඇස ගැටුනේ නැත. අපට එහි රැඳී සිටින්නට තිබුණේ ඉතා සීමිත කාලයක්‌ පමණි. එනිසා දීර්ඝව ජෛව විවිධත්වය අධ්‍යනයට කළ හැකි තත්ත්වයක්‌ නොතිබූ නමුත්, එහි ඇති ශාක විවිධත්වය හඳුනාගන්නට අපි උත්සාහ දැරීමු.

අප මීට පෙර සංචාරය කළ මන්නාරම් කලාපයේ වැලිපර දූපත් මෙන් නොව, ඉතා හොඳ ශාක ගහනයක්‌ කච්චතිව් දූපත තුළ ඇත. වැලිපර දූපත්වල තිබුණේ උපරිම අඩි 2-3 ක්‌ උසට වැඩුණු පඳුරු, අඩි 5-6 ක්‌ උස ගිය කඩොලාන ශාක වැනි සීමිත ශාක විවිධත්වයකි. ඇතැම් දූපත්වල එක ශාකයක්‌වත් ඇස නොගැටුණු තරම්ය.

එහෙත්, කච්චතිව් දූපත තුළ තල්ගස්‌ බහුලවත්, ඒ අතරින් පහර ඉඳිගස්‌ මෙන් වැඩුණු ශාක විශේෂයක්‌ද දක්‌නට ලැබිණි. ඒ හැරෙන්නට යටිරෝපණය සම්පූර්ණයෙන්ම පඳුරු ශාකවලින් වැඩී ඇත. ඒ අතර විවිධ වර්ගයේ වනමල්ද පිපී තිබෙනු දුටිමි. දූපත මධ්‍යයේ තැන තැන කඳුගැට ආකාරයේ පිහිටීම් හැරුණු කොට, සමස්‌ථයක්‌ ලෙස “කච්චතිව්” තැනිතලා දූපතකි. ප්‍රමාණය දළ වශයෙන් වර්ග කිලෝමීටර් එකක්‌ පමණය. කච්චතිව් සිට ආසන්නම දූපත ලෙස ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් “ඩෙල්µaට්‌” දූපතය. නමුත් ඒ හා සමාන දුරකින් ඉන්දියාවේ රාමේෂ්වරම්ද පිහිටා ඇති බැව් “ගූගල් සිතියම්” අනුසාරයෙන් දැක ගත හැකිය. එහෙත් ඉන්දියානු ශ්‍රී ලංකා මුහුදු සීමාව දිවෙන්නේ කච්චතිව් ශ්‍රී ලංකා දේශ සීමාවට අයත්වන අයුරිනි. කච්චතිව් සිට ඉන්දියානු ගොඩබිමේ සලකුණු යාන්තමින් නිරීක්‍ෂණය කළ හැකිය. ඒ දුරකථන සම්ප්‍රේෂණ කුළුණු යනාදියය. නාවික හමුදාව කියන්නේ ඉන්දියානු ගොඩබිමේ විදුලි පහන් එළි රාත්‍රියේදී නිරීක්‍ෂණය වන බවකි.

කෙසේ හෝ, අප මෙතෙක්‌ සංචාරය කළ දූපත් අතරින් කච්චතිව් යනු මිනිස්‌වාසයට ඉතා සුදුසු පරිසරයක්‌ සහිත දූපතකි. එහෙත් අතීතයේදී මෙහි ජනාවාස හෝ මුරපළ වැනි දෑ පිහිටා තිබූ බවට සාධක නැත. මෙහි පවතින දේවස්‌ථානය හෝ එවන් ආගමික ස්‌ථානයක්‌ වසර සියයක පමණ කාලයක සිට පැවැති බව විශ්වාස කරයි. ඒ බ්‍රිතාන්‍ය පාලනය සමයේ සිටය. එකල ශ්‍රී ලංකාව හා ඉන්දියාව බ්‍රිතාන්‍යය යටත් විජිත ලෙස පැවැති අතර, බ්‍රිතාන්‍යයින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවේ සිටද වරෙක ඉන්දියාවේ සිටිද පාලනය කළ බවට සාධක ඇත.

එහෙත්, එකල පවා බ්‍රිතාන්‍ය පාලනය පිළිගෙන ඇත්තේ මෙම දූපත භාවිත කිරීමේදී කොළඹ පිහිටි යටත් විජිත ලේකම් කාර්යාලයේ අවසරය ලබාගත යුතු බවකි. ඉන්දියානු ධීවරයින්ට දැල් වේලා ගැනීම ඇතුලු ඉන්දීය නාවික අංශවල ප්‍රයෝජනය සඳහා භාවිත කළ හැකි වූවද, ඒ සඳහා කොළඹින් අවසර ලබාගත යුතුව තිබිණි.

කලක පටන් කච්චතිව් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කතාබහට ලක්‌ වූ දූපතකි. ඒ එහි අයිතිය සම්බන්ධයෙනි. එහෙත්, ඒ සෑම අවස්‌ථාවකදීම පාහේ දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට වාසි වන අයුරින් තීන්දු වු අතර, 1973-74 වසරවලදී ඇති කරගත් සිරිමා – ඉන්දිරා ගිවිසුම අනුව කච්චතිව් දූපත සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට පවරා දීමට එකඟතාව ඇති කෙරිණි. එහෙත්, ඉන්දීය ධීවරයින්ගේ දැල් වේලා ගැනීම සඳහා ඉඩක්‌ මෙම ගිවිසුමෙන් ලබා දී තිබිණි.

එනමුත්, ඉන්පසුව එම ඉඩ කඩද අහුරාලමින් ඉන්දීය ධීවරයින්ට කච්චතිව් වෙත ගොඩබැසීම නොකළ යුතු වූ තැනක්‌ හැටියට කච්චතිව් පත්වීමත් පූර්ණ අයිතිය හා භාවිතය ශ්‍රී ලංකාවට හිමිවීමත් සිදු වූ බව නාවික හමුදා ආරංචි මාර්ග කියයි. ඒ අනුව, අනවසරයෙන් කච්චතිව් වෙත පැමිණෙන ඕනෑම ඉන්දියානුවෙක්‌ අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා වෙත බලය පැවරී ඇත.

එනමුත් දකුණු ඉන්දීය දේශපාලනඥයින්, විශේෂයෙන්ම මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් කච්චතිව් ආපසු ඉන්දියාවට ලබාගැනීමේ නොනිමි සටනක නිරතවන්නීය. කරුණානිධි වැන්නවුන්ද එම උත්සාහයේ යෙදී සිටී. ඔවුන් කියන්නේ එය දකුණු ඉන්දීය ජනයාගේ උරුමයක්‌ බවය. එහෙයින් එය යළිත් ඉන්දියාවට අවශ්‍ය බවකි. එහෙයින්, ඔවුන් මේ සඳහා අධිකරණයටද කිහිපවරක්‌ ගිය නමුත්, ඒ සෑම අවස්‌ථාවකදීම අධිකරණය ශ්‍රී ලංකාවේ භුක්‌තිය පිළිගන්නා ලදී. එනමුත් අනාගතයේදී කුමක්‌ විය හැකි දැයි අපට කිව නොහැකිය. තවමත් ශ්‍රී ලංකා මාතාවගේ දියණියක බඳු මේ සුකොමළියගේ ඇකයේ හිඳගෙන මා කල්පනා කළේ එම භුක්‌තිය අපට ලැබීම කෙතරම් අගනේද යන්නය. තෘෂ්ණාවෙන් පිරුණු හදවතක්‌ නැතත්, කච්චතිව් නම් රූබරිය තව දුරටත් ශ්‍රී ලංකාවට අයිතිව තිබෙනු දැකීම අපේ බලාපොරොත්තුවයි. එවන් සිතුවිලි මැදින් අප ඇයට සමුදුන්නේ කලක පටන් මාගේ හිත් කොණක ඇතිව තිබූ දොළ සංසිදුවන්නට මේ ගමන වටිනා අවස්‌ථාවක්‌ද වූ බව කල්පනා කරමිනි.

හිරු අවරට හැරෙන මධ්‍යාන්තයේදී අප කච්චතිව් දූපතෙන් සමුගෙන යළිත් වේග යාත්‍රාවට ගොඩවැදුණේ තවත් මෙවන් අසිරිමත් දූපත් කිහිපයක්‌ ගවේෂණය කිරීමේ අදිටනෙනි.
සටහන හා ඡායාරූප- ජගත් කණහැරආරච්චි

මේ වගේ වැදගත් දේවල් දිනපතා බලන්න දැන්ම අපේ පේජ් එක ලයික් කරන්න.