සැතපුම් 375 ක වටා ප්‍රමාණයක මහ වැවක්

වසර 15ක පමණ කාලයක් මුළුල්ලේ වනාන්තර පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන පරිසර විද්‍යාඥයකු වන අනුරාධ බණ්ඩාර මැදවත්ත මහතා වෘත්තියෙන් හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සහකාර පර්යේෂණ නිලධරයෙකි. මේ දිනවල ඔහු සිය ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවල නිරතව සිටින අතර නකල්ස් කඳුකරයේ පිහිටි “මොරැල්ල” වැසි වනාන්තරය පිළිබඳව ලෝකයට අනාවරණය කරන ලද්දේ ඔහු විසිනි. හෝර්ටන් තැන්න පිළිබඳව මැදවත්ත මහතා කළ පර්යේෂණයක් අළලා ඔහු සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.

මුහුදු මට්ටමින් මීටර් 2000කට වඩා ඉහළින් පිහිටා තිබෙන හෝටන් තැන්න ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සුප්‍රසිද්ධ වනෝද්‍යානයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් බඳු හෝර්ටන් තැන්න පුරාණ කාලයේ “මහ එළිය”, “මහඑළි තැන්න” සහ “මැණික් පොකුණ” යන නම්වලින් හඳුන්වා තිබේ. 1836 වසරේ දී හෝර්ටන් ආණ්ඩුකාරයා මෙහි කළ සංචාරයකින් පසුව හෝටර්න් තැන්න යනුවෙන් නම් කරනු ලැබ ඇත. පුරාණයේ මෙය “මැණික් පොකුණ”, “මහ එළිය” යන නම්වලින් හඳුන්වා ඇත්තේ සුවිශේෂ හේතුවක් නිසා බවට සාධක තිබේ. එය හෝර්ටන් තැන්න පිළිබඳව මෙතෙක් හෙළිදරවු නොවූ කරුණකි.

හෝර්ටන් තැන්න පුරාණ වැවක් බව අනුමාන කළ හැක ඓතිහාසික හා භූවිද්‍යාත්මක සාධක ගණනාවක් ඇති අතර මේ වැවෙන් මහවැලි ගඟට සහ වලවේ ගඟට උපත ලබාදුන් බව අනුමාන කළ හැකිය. ඒ සඳහා ඓතිහාසික සාක්ෂ්‍යයක් 1 වැනි ශත වර්ෂයේ විසූ ප්ලිනි [Pliny the Elder, (Gaius Plinius Secundus, AD 23 – August 25, AD 79)] නමැති රෝම ලේඛකයාගේ “The Natural History” (Latin: Naturalis Historia) කෘතියේ “තැප්‍රොබේන්” නමැති 24 (22) වැනි පරිච්ඡේදයේ ඇතුළත්ය.

අනුරාධ බණ්ඩාර මැදවත්ත
අනුරාධ බණ්ඩාර මැදවත්ත

“in Taprobane there are five hundred towns, and that there is a harbour that lies facing the south, and adjoining the city of Palesimundus, the most famous city in the isle, the king’s place of residence, and containing a population of two hundred thousand. They also informed us that in the interior there is a lake (Stagnum) called Megisba, three hundred and seventy-five miles in circumference, and containing islands which are fertile, though for pasturage only. In this lake they informed us two rivers take their rise, one of which, called Palesimundus, flows into the harbour near the city of that name, by three channels, the narrowest of which is five stadia in width, the largest fifteen; while the other, Cydara by name, takes a direction northward, towards the Indian coast.”

එහි සඳහන් පරිදි තැප්‍රොබේන් දූපත අභ්‍යන්තරයේ “මෙගිස්බා” (Megisba) නම් වැවක් තිබේ. සැතපුම් 375ක පමණ වටප්‍රමාණයකින් යුතු ඒ මැද තණකොළ ගහන සාරවත් දූපත් තිබේ. එහි සිට ප්‍රධාන ගංගාවන් දෙකක් ගලයි. ඉන් එක් ගඟක් උතුරු දෙසට ගලන අතර අනෙක දකුණු දෙසට ගලයි. පලෙසිමුන්ඩුස් නමැති ගඟ පලෙසිමුන්ඩුස් නගරය අසලින් ශාඛා 3කට බෙදී මුහුදට වැටෙයි. තප්‍රොබේනයේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති පලෙසිමුන්ඩුස් නගරයේ රජමාලිගය පිහිටා ඇති අතර එය රටේ ප්‍රසිද්ධම නගරයද වෙයි. එම නගරයේ ලක්ෂ දෙකක පමණ ජනකායක් වෙසෙති. “මෙගිස්බා“ වැවෙන් ඇරඹෙන “සිදර” (Cydara) නමැති අනෙක් ගංගාව රටේ උතුරු දෙසට ගලා බසී. (ඉංග්‍රීසි පරිවර්තනයෙහි වැවේ වටප්‍රමාණය සැතපුම් 375ක් යැයි සඳහන් වුවද ලතින් පිටපතෙහි සඳහන් වන්නේ වටප්‍රමාණය රෝම සැතපුම් 275ක් බවයි. අද වන විට දකින්නට ඇති වටප්‍රමාණය කි.මී. 60ක් පමණ වේ. පරිවර්තන දෝෂ, ඒ ඒ යුගවල භාවිත මිණුම් ක්‍රම අතර විෂමතා මෙන්ම වසර දෙදහසකට අධික කාලයක් මුළුල්ලේ වටප්‍රමාණයේ සිදුවූ වෙනස්කම් මේ සංඛ්‍යාත්මක වෙනස්කම්වලට හේතු විය හැකිය.)

“පලෙසිමුන්ඩුස්” යනු වර්තමාන වලවේ ගඟ බවත් එය මුහුදට වැටුණු ස්ථානය වර්තමාන ගොඩවාය බවත් අනාවරණය කෙරෙන සාක්ෂ්‍ය තිබේ. එම්. ඩොම්රෝස් සහ එච්. රොත් දෙදෙනාගේ සංස්කරණයෙන් 1998 වසරේ දී ප්‍රකාශිත Sri Lanka past and present Archaeology, Geography, Economics නමැති කෘතියෙහි සඳහන් පරිදි 1990 දශකයේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මානු පුරාවිද්‍යා ආයතනය මගින්, වලවේ ගඟ මුහුදට වැටෙන අම්බලන්තොට ගොඩවාය ආසන්නයේ කරන ලද කැණීම්වලදී ඉපැරණි වරායක නටබුන් හමු වී තිබේ. මේ වරාය ආශ්‍රිත ප්‍රදේශයේ ඉතිහාසය ක්‍රි.ව. 1 වැනි ශත වර්ෂය තරම් අතීතයකට හිමිකම් කියන බව තහවුරු වී ඇත. ප්ලිනිගේ කෘතියේ සඳහන් ශාඛා 3කට බෙදී මුහුදට වැටුණු පලෙසිමුන්ඩුස් ගංගාව වර්තමාන වලවේ ගඟ විය යුතු යැයිද මේ කෘතියේ සඳහන් වේ.

ඒ අනුව ප්ලිනි පවසන රාජධානිය මාගම රාජධානිය යැයිද අතර වරාය නූතන ගොඩවාය යැයිද සිතිය හැකිය.
ප්ලිනි සඳහන් කරන උතුරු දෙසට ගැලූ “සිදර” යනු මහවැලි ගඟ විය යුතුය. ප්ලිනි, “සිදර” :ක්‍හා්ර්* යනුවෙන් යොදා ඇති නිසා අතීතයේ මහවැලි ගඟ (Cydara) යනුවෙන් හඳුන්වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

ඇතැම් පුරාවෘතවලට අනුව අතීතයේ මේ රට “දෙලංකාව” යනුවෙන්ද හැඳුනුම් ලැබ තිබේ. රටේ රාජධානි දෙකක් තිබුණු බවත් එම රාජධානි ගංගා දෙකකින් වෙන්වී තිබුණු බවත් එම පුරාවෘත්තවලින් පැවසේ. මේ තොරතුරු ප්ලිනිගේ වාර්තාව සමග සැසඳූ විට පලෙසිමුන්ඩුස් හෙවත් වලවේ ගං මෝය අසල පිහිටි රාජ්‍යය “මාගම” යැයි සිතිය හැකිය. ඒ අනුව ගංගාවකින් වෙන්ව තිබුණු අනෙක් රාජධානිය, මහවැලි ගඟෙන් වෙන්වී තිබුණු අනුරාධපුරය යැයි සැලකිය හැකිය.

ප්ලිනි සඳහන් කරන “මෙගිස්බා” වචනය පිළිබඳවද අපගේ අවධානය යොමු කිරීම වටී. එය “මේඝබා” යන වචනය ඇසුරින් නිපැයුණු එකක් යැයි සිතීමට සාක්ෂ්‍ය තිබේ. හෝර්ටන් තැන්න පුරාණයේ “මහ එළිය” නමින් හැඳුනුම් ලැබ ඇතැයි පෙර සඳහන් කෙරිණි. “මේඝ” යන්නෙහි වැහි වලාකුළ යන අරුත මෙන්ම මහා යන අරුත ද තිබේ. “බා” යනු ආලෝකය හෙවත් එළියයි. එහෙයින් “මේඝබා” යන්නෙන් “මහා එළිය” යන වචනය බිහිවුණු බවත් ප්ලිනි, “මේඝබා” යන වදන “මෙගිස්බා” යැයි භාවිත කර ඇති බවත් සිතිය හැකිය. “මහ එළිය” යන නම සම්බන්ධ පුරාවෘතයක්ද තිබේ. එය රාවණා යුගයට සම්බන්ධය. එකල මේ බිම රාවණාගේ අහස් යානා නැවතුම්පොළක් වශයෙන් භාවිත වූ බවත් ඒ යානාවලින් නැගුණු මහා ආලෝකය නිසා “මහ එළිය” යන නම යෙදුණු බවත් එයින් පැවසේ.

හෝර්ටන් තැන්නට පුරාණයේ යෙදුණු අනෙක් නම වන “මැණික් පොකුණ”ද මෙහි වැවක් තිබුණු බවට සාක්කියක් ලෙස පෙන්විය හැකිය. පොකුණ යන්නෙන් ජලාශයක් බව එක එල්ලේම පැවසෙයි. අතීතයේදී මේ බිමේ මැණික් බහුල වූ නිසා, ‘මැණික් ඇති පොකුණ’ යන අරුතින් “මැණික් පොකුණ” යනුවෙන් යෙදුණු බව ජනප්‍රවාද පවසයි. එසේම මේ වැවේ වටිනාකම සලකා මැණික් පොකුණ යනුවෙන් ව්‍යවහාර කළ බවටද අනුමාන කළ හැකිය.

හොරේෂියෝ ජෝන් සක්ලින් (Horatio John Suckling)   ක්‍රි.ව. 1876 දී පළ කළ Ceylon: A General Description of the Island, Historical, Physical, Statistical කෘතියෙහිද මේ සම්බන්ධ තොරතුරක් තිබේ. Travels of a Fakir in Ceylon (Asia, Res. vol. v) කෘතියෙහි සිරිපා අඩවිය සමීපයෙහි පිහිටි “රාවණා වැව” නමැති ජලාශයක් පිළිබඳව සඳහන් වේ යැයි සක්ලින් පවසයි. හෝටන් තැන්න පිහිටා ඇත්තේ සිරිපා අඩවිය ආසන්නයේ බැවින් හෝර්ටන් තැන්න පුරාණයේ වැවක්ය යන මතය තහවුරු කිරීමට මේ තොරතුරද සාක්ෂ්‍ය සපයයි.

හෝටර්ටන් තැන්න සූක්ෂ්මව පරීක්ෂා කිරීමේදී, එහි පෙර තිබූ වැවෙන්, දිශාවන් දෙකක් ඔස්සේ ජලය පිටාර ගලාගිය ස්ථාන හඳුනා ගත හැකිය. දකුණු දිශාවට බෙලිහුල් ඔයද උතුරට අග්‍ර ඔයද ගලා යයි. බෙලිහුල් ඔය වලවේ ගඟේ ප්‍රධාන පෝෂක ගංගාව වන අතර අග්‍ර ඔය මහවැලි ගඟේ ප්‍රධාන පෝෂකයයි.Horten-Place-3

හෝර්ටන් තැන්න ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූප, ගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය (G.I.S -Geographic Information System) මගින් නිරීක්ෂණය කිරීමේදී ද මෙහි වැවක් තිබූ බවට සාධක හමුවේග හෝර්ටන් තැන්නේ වනාන්තර මායිම් හා 2120ප සමෝච්ච රේඛාවන් එක මත එක තබා (අතිපිහිත කර) පරීක්ෂා කළ විට ඒවා බොහෝ දුරට එක මට්ටමක සමාන්තර පිහිටි රේඛා බව ඉතා පැහැදිලිව දැකිය හැකිය. එම රේඛා පෙර මෙහි තිබූ වැවෙහි ඉහළ ජල මට්ටම් සීමාව යැයි අනුමාන කළ හැකිය. (ඡායාරූප සැසඳුම් බලන්න) වැවෙහි විශාලත්වය වර්ග කි.මී. 10ක් පමණ වේ. විවිධ කාලවලදී විවිධ ජල මට්ටම්වලට අනුව ලකුණු වන සමෝච්ච රේඛාවන්ද හෝර්ටන් තැන්නේදී පැහැදිලිව දැකිය හැකිය. සාමාන්‍ය පිළිගැනීම වන්නේ, 1960 දශකයේ මෙහි අර්තාපල් වගාකිරීම නිසා මේ සමෝච්ච රේඛා සලකුණු වී ඇති බවයි. එය පිළිගැනීමට අසීරු මතයකි. හෝර්ටන් තැන්න පුරාම, එක් මට්ටමක සමෝච්ච රේඛා සලකුණු වන පරිදි, එකම මට්ටමකින් අර්තාපල් වගා කළේ යැයි සිතීම අසීරුය. මේ සමෝච්ච රේඛා වැව් ජල මට්ටම අනුව සලකුණු වී ඇතැයි සිතීම වඩාත් සාධාරණය. ජලය එක් මට්ටමක පිහිටීම සාමාන්‍ය සිද්ධියකි. මෙය හෝර්ටන් තැන්න පුරාණ වැවක් යැයි සැලකීමට ඉවහල් කරගත හැකි ප්‍රබල සාක්ෂ්‍යයකි.

හෝර්ටන් තැන්නේ පාංශු පැතිකඩ පරීක්ෂා කරන විට අඩි 2ක් පමණ උස කළුපැහැති පස් තට්ටුවක් ඇති බව හඳුනාගත හැකිය. පෙර පැවති වැවේ රොන්මඩ එකතුවී මේ පස් තට්ටුව නිර්මාණය වී ඇතැයි අනුමාන කළ හැකි අතර වැව් බැම්ම පිහිටියේ යැයි උපකල්පනය කළ හැකි ස්ථානයක්ද හෝර්ටන් තැන්නේ දැකිය හැකිය.

මේ සියලු සාක්කි සියුම්ව විමර්ශනය කළ විට, මේ වැව ස්වාභාවික ජලාශයක් නොව කෘත්‍රිමව තනා නිම කළ වැවක් බව පැහැදිලි වේ. හෝර්ටන් තැන්න ක්‍රියාකාරී වලාකුළු වනාන්තරයකි. එනම්, මෙහි දී පහත් බිම්වල සිට ඉහළ නගින ජල වාෂ්ප ඝනීභවනය වී සෑදෙන වලාකුළු ඉතා උස් කඳු මුදුන් වසා පැතිරෙයි. එම වලාකුළු පාසි හා ලයිකන සහිත ශාක හා පැළැටිවල ගැටී ජල බිඳු බවට පත්ව පහළට වෑස්සෙයි. මෙසේ ඉතා විශාල ජල බිඳු ප්‍රමාණයක් වෑහෙන අතර එම ජලය පොළොවට එකතු වී ගංගා නිර්මාණයට දායක වේ. මෙසේ ස්වාභාවිකව එකතු වන අතිවිශාල ජලකඳ රටේ කඳුකරයේ ඉහළම කොටසේ වැවක ගබඩාකර එයින් නිර්මාණය වන ගංගා මගින් ජනාවාස පෝෂණය කිරීමට තරම් දියුණු වාරි හා වාපි තාක්ෂණයක් අතීත හෙළයන්ට තිබුණු බවටද මෙය හොඳ නිදසුනකි. එසේම එයින් වසර දෙදහසකට පසුව අද පවා රට පෝෂණය කරමින් ගලා බසින ගංගා 4 ක මූලාශ්‍ර ජල පෝෂක හෝර්ටන් නැත්නෙන් සැපයීම මගින් මෙය තවදුරටත් සනාථ වේ.

වාපී තාක්ෂණය පිළිබඳ සිංහලයන්ගේ කීර්තිමත් ඉතිහාසය සැලකිල්ලට ගත් විට හෝර්ටන් තැන්න පුරාණ වැවක් වීය යන මතය බැහැර කළ නොහැක්කකි. ඉතිහාසයේ නවමං විවර කෙරෙන මේ මතය සනාථ කිරීමට විධිමත් පර්යේෂණ සිදු කෙරෙමින් පවතී.

ඒ සඳහා රජයේ වගකිව යුතු නිලධරයන්ගේ සහාය අවශ්‍ය වන්නේ මේ සොයාගැනීම මගින් කාලයේ වැලිතලාවෙන් සැඟව ඇති හෙළයන්ගේ විහිෂ්ට නිර්මාණයක් සහ ඒ වටා ගොඩනැගුණු ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක හෙළිදරව් කරගැනීමේ හැකියාව ඇති බැවිනි.
සංවාද සටහන –  නාරද කරුණාතිලක

 මේ වගේ අලුත් වැදගත් ලිපි දිනපතා ලබාගන්න දැන්ම අපේ  පේජ් එකට ලයික් කරන්න