අරුම පුදුම අත්භූත පිහිටීමක් ඇති ලකේගලට ගිය ගමනක්

රාවණා රජු නම් හෙළයේ මහා පුරුෂයා ලංකාද්වීපයේ බොහෝ ස්ථානවලට සබැඳිකම් දක්වයි. විටෙක ඇල්ල ප්‍රදේශය තුළ නිල් දිය පොකුණ ද විටෙක හාවා ගල කන්දේ සීතා ගුලි පිළිබඳව ද විටෙක හක්ගල කන්ද සහ සීතා එළියේ සීතා කෝවිල සම්බන්ධවද, විටෙක කොත්මලේ හා කොණ්ඩගල අබිරහස් රාවණා දොරටු සම්බන්ධව ද, සීතා දේවිය​ෙග් කඳුළු මාවත වන චැරියට් පාත් මතද සහ ලකේගල හා රිවස්ටන් පුරා ද රාවණා රජුගේ විස්මිත පෙළහර පිළිබඳ කථා පුවත් ජනප්‍රවාද බොහෝමයක් පවතියි. ඉන් ලකේගල යනු ලංකාවේ කඳු අතරින් සම්පූර්ණයෙන්ම වෙනස් පිහිටීමක් සහිත හා ඒ අවට වූ සෙසු පිහිටීම්වල යම් අබිරහසක් තවමත් සඟවා ගෙන සිටින බව ගැමියන්ගේ හා ජනප්‍රවාදවල යම් කරුණු මතින් නිශ්චය කළ හැක. එවන් උරුමයක අබිරහස් සොයා විශේෂ සටහනක් මෙලෙස දිග හරින්නෙමි. 

 

 

නකල්ස් නොහොත් දුම්බර රක්ෂිතය යනු හෙක්ටයාර් 21,000 ක පමණ වපසරියකින් යුත් මහා වන පියසකි. අතමිට මෙලෙවූ හැඩයකින් යුත් කඳු වැටිය නිසාවෙන් නකල්ස් ලෙසත් නිතරම මීදුමෙන් බර වූ වන පියසක් නිසා දුම්බර (දුමෙන් බර) ලෙසත් හඳුන්වන මෙහි වෙසෙන පක්ෂීන් වර්ග 128 කින් 17 ක් පමණ ලංකාවට ආවේණිකය. තවද දිවියා, අලියා, වල් උෟරා, මුවන්, උණහපුළු හා වඳුරු විශේෂ සේම සර්ප විශේෂ ගණනක් වාසය කරන නකල්ස් යනු 2010 දී ස්වාභාවික ලෝක උරුමයක් ලෙස නම් කරන ලද සංරක්ෂණ වනාන්තරයකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වන මධ්‍යම පළාතට අයත් නකල්ස් මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක දෙකටම උරුමකම් කියයි. සාම්ප්‍රදායික ගම්මාන පනහකට අධික සංඛ්‍යාවක ජනතාව නකල්ස් වන පෙතේ වාසය කරමින් හේන් කුඹුරු ගොවිතැනෙන් තම දිවිය සරිකර ගනිති. සවානා පතන් ඉළුක් හා තැනිතලා බිම් දහසක් පමණ ද කඳු 40 ක් පමණ ද පිහිටි වනපෙතේ දිය ඇළි 25 කට අධික සංඛ්‍යාවක් සමග ගුහා 5 ක් පමණ පිහිටා ඇත.

සංචාරයටම සේම ක්‍රියාදාම චාරිකාවනට ද නකල්ස් කදිම තෝතැන්නකි. විශේෂයෙන් වර්තමානය වන විට අධික ජනාකීර්ණ බවින් විනාශයට පවා යන මීමුරේ අාදි ගම් පියස් සංචාරයට ඉවක් බවක් නැතිව විවෘත වීමෙන් ‘යමන්’ කියූ සැණින් අවිධිමත් චාරිකා යන පිරිසක් හේතුවෙන් නකල්ස්හි ඓතිහාසික හා පාරිසරික වටිනාකම නැති වෙමින් පවතියි.
ල​ෙක්ගල නම් අද මුඛ්‍ය කථා පුවතට සම්බන්ධ කන්ද යනු බැලූ බැල්මට කෙනෙකුට එහි විශේෂත්ව කිහිපයක්ම දැකගත හැකි අසාමාන්‍ය පිහිටීමකින් යුත් කන්දකි. මීමුරේ ගමට මුහුණලා පිහිටි ලකේගල බොහෝ පිරිසගේ නෙත ගැටුණ ද මෙවැනිම හැඩයකින් පිහිටි තවත් කන්දක් ලකේගල පිටුපසින් වෙනමම තිබෙන බව බොහෝ දෙනෙක් නොදනිති.
මහනුවර දිස්ත්‍රික්කයට අයත් මීමුරේ ගමට පිටුපසින් පිහිටියේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් නාරංගමුවයි. එය ද නකල්ස්හි කොටසකි. පල්ලෙගම, රණමුරේ හරහා නාරංගමුවට පැමිණෙන විට ඔබට ලකේගල වැනිම තවත් කන්දක් දැකගත හැක. එය නාරංගමුවේ ලකේගල නොහොත් කොමලෑවේ ගල ලෙස හඳුන්වයි. තවද මීමුරේ ලකේගල සහ කොමලෑවේ ගල අතර පිහිටි තවත් කන්දක් වේ. එය මීරියගොල්ල ලෙස හඳුන්වන අතර සමස්තයක් ලෙස ලකේගල යනු ගල් තුනක පිහිටීමකි. මෙම ගල් තුනම දැවැන්ත කළු ගල් පාෂාණවලින් පමණක් සෑදී ඇති කිසිදු උස් ශාකයක් නොමැති පිහිටීමකි. ලකේගල හා රාම රාවණ කථා පුවතට මෙම මීමුරේ සහ නාරංගමුව අතර ප්‍රදේශය බලපාන අතර එම ඉසවුව වර්තමානය වන විට ඝන කැලයකින් වටවූ වනජීවී බහුල අවදානම් කලාපයකි.
ලකේගල අරුම පුදුම පිහිටීම ලංකාවේ වෙනත් කිසිදු කන්දක දැකිය නොහැකි අතර එම නිසාම තිබෙන ගුප්ත බවේ රහස් සොයා දුම්බර වනයේ මැදට පියමැන්නේ රාම රාවණ යුද පුවතට වඩා රාවණා නම් හෙළයේ නිරිදාණන් සතුව තිබූ බලමහිම​ෙය් නෂ්ටාවශේෂ සමග බැඳුණු සත්‍ය අසත්‍යතාව සොයා බැලීමටයි.

හුන්නස්ගිරියෙන් ලූල් වත්ත පාර දිගේ මීමුරේ දක්වා යන ගමනේදී දෝතුළුගල, දුම්බානාගල, අලියාවැටුණු ඇළ, ෆීනික්ස් ගල, නකල්ස් කඳු වැටිය සේම දකුණින් කෙහෙල්පොත්දෝරුවේගල සිට යහන්ගල, තෙළඹුගල දක්වා හරි අපූරුවට දැකගත හැක. ඒ සියලුම කඳු වක්‍රාකාරව වට වී සිටින්නේ ලකේගලට ආරක්ෂාව දෙන පරිද්දෙනි. උඩවන්නිමාන කන්දට අසල්වැසි කියන වමාරපු ගලට ඉදිරියෙන් පිහිටි ලකේගල මීමුරේ ගම් මැද්දට සමපාද ත්‍රිකෝණයක් ලෙස දැකගත හැක. මීට පෙර ආචාර්ය මිරැන්ඩෝගේ ලිපිවල සඳහන්ව තිබූ ගුහා දෙකක් ලකේගලේ මධ්‍යයේ ඇති බව අප ගනේෂ් මිතුරාගේ මාර්ගයෙන් දැනගත් අතර ඒවා නිශ්චිත වශයෙන් ඇත් දැයි සොයා බැලීමට අපට සහය ලබා දෙනු ලැබුවේ මීමුරේ හොඳම මඟ පෙන්වන්නා වන නවරත්න නොහොත් නවා මාමා විසිනි.

සමපාද ත්‍රිකෝණයක් බඳු ලකේගල හරි මැද ගුහා 2 ක් පිහිටා ඇති බවත් ඊට ළඟාවීම අතිශය දුෂ්කර බවත් එ් හා සබැඳි යම් ගුප්ත සිදුවීම් පෙළක් ද නවා මාමා අපට පැවසීය.
ලකේගල මධ්‍යයේ පිහිටි එක් ගුහාවක එක්තරා පොහොය දිනයකදී ගල් දොරක් විවෘත වන බවත් ඉන් පිටතට ගායන සහ වාදන හඬ ඇසෙන බවත් නමුත් එය ඇසෙන්නේ ගමේ යම්කිසි කිහිප දෙනෙකුට පමණක් බවත් නවා මාමා පැවසුවේ මීට දස වසරකට පමණ පෙර ඔහුට ද එවැනි සිද්ධියක් ඇසුණු හෙයිනි. කෙසේ හෝ ලකේගල මැද පිහිටි ගුහා දෙකෙන් ප්‍රථමයෙන් හමු වූ ගුහාව ලෙනක් වැනි වූ අතර එම පරිශ්‍රය පනහකට පමණ සිටිය හැකි ප්‍රදේශයකි. ලකේගල මධ්‍යයේ පිහිටි කුඩා වන රොද තුළ මෙම ගුහාව සැඟව ඇත. නමුත් අප එහි යන විටත් මීමුරේට පිටස්තරින් පැමිණ සංවේදී පරිසරයේ අනවසර කඳවුරු බඳින කණ්ඩායම එහිද පැමිණ යම් විනාශයන් සිදුකොට ඇති අයුරු දැක ගැනීමට ලැබුණි.
ප්‍රථම ගුහාවට ඉහළින් තවත් ගුහාවක් ඇති අතර ඊට ළඟාවීමට තිබූ නුග වෘක්ෂය මීට වසර කිහිපයකට පෙර කඩා වැටුණු බැවින් ඉහළින් පිහිටි ගුහාවට නැගීමට හැකියාවක් නොලැබුණි. එම ගුහාවට නැගීමට නම් විශාල ඉණිමඟක් හෝ යම් ක්‍රමානුකූල කඳු නැගීමේ උපකරණ තිබිය යුතු බව අපට වැටහුණි. ඇතැම් විට ආචාර්ය මිරැන්ඩෝ මහතා සඳහන් කළ ගුහාව නවා මාමා පවසන පරිදි එය විය හැක. නමුත් කාලයේ වැලි තලාවෙන් බොහෝමයක් යටව ගොසින් ඇත්තේ සොබාදහමේ බලපෑම් නිසාය.

 

 

කරුණුකාරනා එපරිද්දෙන් වුවද ලකේගල මධ්‍ය ලක්ෂයේ පිහිටි මෙම ගුහාවන් තුළ යම් ගුප්ත බවක් හෝ යම් රහසක් සැඟව නොතිබේ යැයි නිගමනය කළ නොහැක. මන්ද එම යම් ගුහාවක් මාර්ගයෙන් ලකේගල මුදුනට පිවිසුම් දොරක් හෝ වෙනත් ප්‍රදේශයකට යාමට උමඟක් සාදා තිබිය හැකි හෙයිනි. මන්දයත් නාරංගමුව ප්‍රදේශයේ පිහිටි උයන්ගොමුව තුළ ද මෙවැනිම ගුහාවක් තිබෙන බැවිනි. රාමගේ හී සර පහරින් කැඩී විසිරුණු ගස් සියල්ල ​ෙමම උයන්ගොමුවට වැටී පණ ගත් බවත් මෙම උයන්ගොමුව එකල යුද වැදුණු මර්මස්ථානයක් බවටත් පොත පතේ සඳහන්ය. උයන්ගොමුව මේ වන විට විශාල තැන්නක් ලෙස පිහිටුන ද ශාක වැටී සමස්ත ප්‍රදේශයම ගුවනට විවෘත සිදුරුවලින් පැතිර තිබේ. ගල් තලාවන් සමූහයක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර අස්වාභාවික ගල් මතින් සෑදුණු ගල් ගුහා හා ජල ගුහා ද පිහිටා තිබීම විශේෂයි. මන්ද නාරංගමුව ලකේගල නොහොත් කොමලෑමේ එක් අන්තයක් වන බැවින් පාෂාණ ස්ථර සහ ස්වභාවික ගල් පිහිටි ගුහා දක්නට ලැබුණි.

අධික වර්ෂා සමවලදී උයංගමුව මුළුමනින්ම පාහේ ජලයෙන් වැසෙන අතර, නමුත් එසේ දැකිය හැකි අවස්ථාව අතිශය දුර්ලභය. මන්ද දේශගුණික වශයෙන් නකල්ස් වන පෙත එක් පරිසරයක් වුවද දිස්ත්‍රික්ක දෙක තුළ පිහිටි වන පියස තුළ කාලගුණික තත්ත්ව දෙකක් දැකිය හැකි බව අප මීට පෙර තුන්හිස්ගල කඳු තරණයේදී අත් වින්​ෙඳමු.
එනම් ඉහළට එසවුණු විශාල මොල්ලියක් ලෙස ඇති තුන්හිස්ගල කන්දට බඹරැල්ලේ සිට කේ.එම්.පී. වාඩිය දක්වා වැසිබර තෙත් කාලගුණයක් තිබුණද ඉන් එහාට තුන්හිස්ගල රාගාන කෙටු පතන සිට දූවිලි ඇල්ල ඇටන්වල දක්වා අතිශය වියළි තෙතමනයක් රහිත පරිසරයක් තිබීමය. සමස්ත කඳු ගැටයම කුරු ශාකවලින් වැසුණු තුන්හිස්ගලට ලකේගල පර්වත ත්‍රිත්වය හරි අපූරුවට දැකගත හැක. කෙසේ හෝ උයංගමුව තුළ පිහිටි කපු අටුව පර්වතය යනු සීතා දේවිය හා සබැඳි ස්ථානයක් ලෙස රාවණා පුරාවතේ සඳහන්ය. එනම් කපු අටුව පර්වතය මැද පිහිටි කපු අටුව ලෙන නම් සීතා දේවිය සඟවා තැබූ ස්ථානය වීමයි. කපු අටුව ලෙන පොළොව මට්ටමේ සිට මීටර් 50 ක් පමණ ඉහළ ගලේ පිහිටා ඇති අතර යම් ආයාසයක් දැරීමෙන් ඒ වෙත ළඟා විය හැකිය. එම ලෙන විශාල විවෘත ඉසව්වක් වන අතර කොමලෑවේ ගල සහ ලකේගල වපසරිය හොඳින් දැකගත හැක.

 

 

ලකේගල පුරාවත අතර තවත් සබැඳියාවක් දක්වන ඉසව්ව වනුයේ රැහැස්ස නමින් හඳුන්වන ප්‍රදේශයයි. රාමගේ හීසර පහර කොමලෑව ගලට වැදී කුඩු වුණ පර්වත කැබලි වැටී සැදුණු මෙම රැහැස්ස ප්‍රදේශය යනු විශාල ගල් පර්වත පිහිටි ඉසව්වකි. එම ප්‍රදේශයේ ස්වභාවිකව සෑදුණු ගල් ගුහා සහ ලෙන් පිහිටා ඇති අතර රැහැස්ස යනු යම් පූජනීය ප්‍රදේශයක් බවට ඇතැම් පැරණි ගම්වාසීන් ගෞරවයෙන් සිහිපත් කරයි. රැහැස්සේ තිබෙන ගුහාවක් ලකේගල පිහිටි ගුහාවක් හා සම්බන්ධ විය හැකි බවත් යුද අවශ්‍යතාවලදී පලායාමේ උපක්‍රම ලෙස ඒවා යොදාගෙන ඇති බවට ජනප්‍රවාදවල පිහිටයි. තවද අප ඊළඟට කොමලෑවේ නම් අංශක 70 ක ආනතියකින් යුත් ගල් පර්වත තරණය කරන්නට වූයේ කොමලපතනේ සිටය.
කොමලෑවේ ගල මුදුනට යාමට නම් ප්‍රථමයෙන් මීරියගොල්ල හා කොමලෑවේ ගල් අතර පිහිටි ලබුලැස්ස පතනට යා යුතුය. අධික සුළං ප්‍රවාහය තුළ ලබුලැස්ස පතනට කොමලෑවේ ගල හරහා නැගීම ත්‍රාසජනක හා මරණයේ සුළු ගමනක් විය.

මන්ද නිරතුරුවම ගලට බරව අප සිටිය යුතු වීම සහ අනෙක් පස අඟලක පිටුපසට වීමට තැත් කිරීම මීටර් දෙතුන් සියයක හෙළකට වැටී මරණය නියත ගමනක් වූ හෙයිනි. ලබුලැස්ස පතනට පැමිණි අප මඳ විවේකයක් ගත්තේ ගිනි කාෂ්ටක අව්වේය. වැසි බිඳක් වත් නොලද ලබුලැස්සේ වූ මාන පඳුරු යාය මඩ පැහැව තිබුණි. ඉදිරියෙන් වමාරපු ගලත් (කටු කිතුලේ කන්ද), උඩවන්නිමාන සහ ඈතින් තුන්හිස්ගලත් පැහැදිලිව අපට දක්නට ලැබුණි. අනෙක් පසෙන් හසලක හා මහියංගණය සිට වස්ගමුව දක්වා පරිසරයත් මහවැලි ගඟ කිලෝමීටර් 50 කට වැඩි දුරක් තනි කෙළින් ගලා යන ආකාරයක් දැකිය හැකි ස්ථානය මෙම කඳු මුදුන් බව අපට පසක් වුණි.
පසුව කොමලෑවේ ගලටත් ඉන්පසු මීරියගොල්ලටත් නැගගත් අපට ලකේගල පිටුපස හොඳින් දැකගත හැකි වුණා. ඉතාමත් වෙනස් හැඩයක් ලකේගල පිටුපස පිහිටි අතර මීරියගොල්ල හා ලකේගල යාව තිබුණ ද ලකේගලට එතැනින් නැගීම කිසිසේත් කළ නොහැක්කක් වුණා. මන්ද එහි වූ අඩි පහක පමණ පළල් ගල් තලාවක් මීටර් 100 ක්‍ උස අංශක 90 ක ගලක් වූ හෙයිනි. ලකේගල මුදුණේ අක්කරයක පමණ ඉඩ ඇති බව බොහෝ දෙනෙක් නොදන්නවා විය හැක. මන්ද ලකේගල නැගීම පවා කඹ ආධාරයෙන් කළ යුතු මාරාන්තික ගමනක් වන බැවිනි. පඳුරු බොහෝමයකින් පිරී තිබුණද ලකේගල මුදුණේ කඳවුරු බැඳ සිටීම සිදු කළ හැක. ඉර උදාවත් හිරු අවරට යාමත් දුම්බර වනයේ සතර දික් භාගයත් හොඳින් දැකිය හැකි ලකේගල මුදුන තුළ දැඩි සුළං ප්‍රවාහයකින් යුක්ත විය.
ලකේගල අබිරහස් සොයා යන ගමනේදී නවා මාමා කියූ වැදගත් කරුණක් විය. එනම් අප රාවණා යනු ලංකාවේ රජ කෙනෙකු බවත් ඔහු පිළිබඳව සාධනීය ආකල්ප හිත් දැරිව මෙම ගමන් යන ලෙසත්ය. මන්ද අදටත් මීමුරේ හා අවට ගම් පියස් තුළ රාවණා පෙළහර සමග ලකේගල පුරාවෘත බැඳී ඇති හෙයිනි. ලොවක් පුදුම කළ ලකේගල පිහිටීම ඇතැම් විට රාවණාගේ නිර්මාණයක් විය හැකි බවටත් එය දඬු මොනරය ගොඩබැස්වීමට හැකි ලෙස යුද ශිල්ප ක්‍රම මඟින් පාලනය කළ බවටත් ජනප්‍රවාදවල තිබෙන හෙයිනි. මන්ද බැලූ බැල්මට ලකේගල මුදුනේ කිසිවෙකුටත් සිටිය නොහැකි ලෙස පෙනුණ ද හෙලිකොප්ටර් කිහිපයක් වුව ගොඩබැස්විය හැකි තරම් ඉඩක් ඇති ලකේගල එදා රාවණගේ හෙළ සටනට පිටිවහලක් වූ බව සිතිය හැකිය.

 

 

තවද රාවණ රජුගේ මියගිය දේහය මෙම ස්ථානයට මඳක් ඔබ්බෙන් පිහිටි යහන්ගල මැද තැන්පත් කර ඇති බවට ද ජනප්‍රවාද තුළ ඇත. මන්ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහන්ගල යනු නිදන ඇඳක් ලෙස පිහිටා ඇති විශාල කන්දකි. වෙලන්ගොල්ල පතන උඩ විරාජමානව නැගී ඇති යහන්ගල තුළ රාවණ රජුගේ දේහය ඇති බවටත් එය ගලේ බණ්ඩාර දෙවියන් බුහුමන් දැක් වූ ස්ථානයක් බවටත් කතා පුවත් රාවණා ඉතිහාසය තුළ පවතියි.
කෙසේ හෝ දුම්බර මිටියාවතේ ඇති කඳුවල පිහිටීමත් එ් හා සමානව ආරක්ෂාකාරීව ලකේගල පර්වත ත්‍රිත්වය හා රැහැස්සේ අබිරහස් තුළ සැඟවුණු කථා පුවතක් තවත් නොවිසඳුණු අබිරහස් ගොඩකට ඇඳ වැටුණි. සාම්ප්‍රදායික ගම් පියැසි තුළ තවමත් ජීවත් වන පැරැන්නෝ අදටත් ලකේගල ඔවුන්ගේ ගෞරව බුහුමනට ලක් කරන බව අපට පැවසීය. එසේම දුම්බර මිටියාවත අසංවිධිත පාරිසරික විනාශකාරී සංචාරක ඉසව්වලට ශීඝ්‍ර ලෙස පත්ව ඇති වීම දේශයේ ඉතිරි අබිරහස්වල විනාශය ළඟ බව කියාපාන්නකි. අනවසර කඳවුරු බැඳීම නිසා විනාශ වන ලකේගල ගුහා සහ කපු අටුව ලෙන ද කොමලෑව සහ රැහැස්ස ද ආරක්ෂා කළ යුතුය. රාම රාවණ යුද පිටිය වූ උයංගමුවේ තවමත් වැළලී ඇති ගුහාවල අබිරහස් සොයාගත යුතුය. ජල උද්‍යානයක් බදු උයංගමුව රාවණ ඉතිහාසයේ යුද ශිල්පයේ ප්‍රධාන ස්ථානයක් බව නොඅනුමානය

මුලාශය ඉරිදා ලංකාදීප රසවිත අතිරේකය