සිරිපා මළුවේ අවුරුදු හතළිහකට වැඩි කාලයක් කටයුතු කරපු සුමනතිස්ස නායක හාමුදුරුවන්ගේ අත්දැකීම්

සිරිපාදය කියන්නේ  බෙ!ද්ධ අපගේ පූජනීය වන්දනී්‍ය ස්ථානයක් . මහගිරි දඹය  පසුකොට සිරිපාව වෙත පියමන් කිරීමෙන් පසු සැවොම වන්දනා මාන සිදුකිරීම හා ගිමන් හැරීම සිදුකරයි.

මෙහිදි  බෙ!ද්ධ අපගේ විශ්වසය නම් කිසිදා සිරිපා මළුව තුළ කිසිදු අතුරු අන්තරාවක් සිදු  නොවන බවයි. මෙහිදි සිදුවුණ හරි අපුරුව වු නොඇසු කතා කිහිපයක්  සිරිපා මළුවේ අවුරුදු හතළිහකට වැඩි කාලයක් කටයුතු කරපු සුමනතිස්ස නායක හාමුදුරුවන්සේ මෙසේ අපවෙත දැක්වීය.

හැන්දෑ වරුවෙ ඉඳලම මළුව වහගෙන ආපු කෝඩය මහ වැස්සක් වෙද්දී අඳුරත් පාත්වෙලා.

මම නින්දට ගියේ දහවල් දානෙ වළඳලා රත්නපුරෙන් පිටත්වෙලත් ඇඳිරි වැටෙන්න කලියෙන් මළුවට එද්දි තිබුණ වෙනසක් නිසයි.

හිටි හැටියෙම මගේ නින්ද බිඳුණේ මගේ ළඟින්ම වගේ ඇහුණ අමුතුම මිමිනුම් හඬකටයි. මම හිතුවේ පහුවදා උදේ මළුවට එනවය කියපු බාස් උන්නැහැලා රාත්‍රියෙන්ම ඇවිදින් වෙන්ට ඇති කියලයි. මම නිදි ඉරියව්වෙන්ම කන්දීගෙන හිටියා. ඒ එක්කම අමුතුම සුවඳකින් මගේ නාස්පුඩු පිරිලා ගියා.

හීතල හුළඟ එන නිසා කුටිය කිටි කිටියට දොර අගුලු දමලා වහලයි තියෙන්නේ. හුළං මුවාවට තියෙන පුංචි බිත්ති ක‍පොලු පෙළක් තමයි යන්තමට වාතාශ්‍රය එන්නේ.

සමන් දේවාලයට ඉහළින් මළුව පැත්තෙන් අමුතුම ආලෝකයක් කුටිය දිහාට විහිදුණා වගේ දැක්ක නිසා මම නැගිටලා ඇඳේ වාඩිවෙලාම කුටියේ කවුළු පෙළ දිහා බැලුවා.

ඒ කාලෙ අතරෙම විදුලියත් නැහැ. කොඩේ නිසා හඳ එළියත් නැහැ. ඉර උදාවටත් තව හෝරා ගණනක් තියෙනවා. ඉතින් ඒ එළිය මොකක්ද කියලා මට හිතාගන්න බැරි වුණා.

එකපාරටම පරණ වවුල් සරනේරු අල්ලපු දොර චරස් ගාගෙන ඇරුණෙ බෙර සද්දෙකුත් එක්කයි. එකපාරටම අර මල් සුවඳ කලින්ටත් වඩා මගේ නාස්පුඩුවලට දැනුණා. ඔය මල් සුවඳ ගැන අරුම පුදුම ශබ්ද ගැන ඇතැම් රාත්‍රියක මළුවෙ දකින්නට ලැබෙන සුදු ඇඳගත් අපුරු උපාසක රූපයක් ගැන මළුවේ මුරකරු පේමෙ අයියා කීප වතාවක් කියලා තිබුණා. ඒත් මම ඒවා විශ්වාස කරලා තිබුණේ නැහැ.

මේ විදියට අප සමග කතාවට මුල පිරුවේ සිරිපා මළුවේ කෘත්‍යාධිකාරී විදියට අවුරුදු හතළිහකට වැඩි කාලයක් කටයුතු කරපු කෝප්පකන්දේ සුමනතිස්ස නායක හාමුදුරුවොයි.

දැනට පුරා වසර හතළිහක් විතරම සිරිපා මළුවේ රාජකාරි කටයුතු කරන සුමනතිස්ස නායක හාමුදුරුවන්ගේ නිත්‍ය වාසස්ථානය කොලොන්නා කෝරලයේ දකුණු පළාතට මායිමේ තියෙන දාපනේ ජයසුමනාරාමය.

මළුවේ ආගමික කටයුතු සිද්ධ වුණේ තුම්පනේ පේමරතන හාමුදුරුවන්ගේ අතින්. උන්වහන්සේ එදා සිරිපා මළුවේ කරපු පුද පූජාවල බලෙන් අදටත් සුවෙන් වැඩ හිටිනවා. දැනට උන්වහන්සේගේ වයස අවුරුදු 104ක්.

අපි ආයෙත් අර මුල් කතාව දිහාට හාමුදුරුවන්ගේ මතකය අරගෙන ගියා.
“ඒක සිද්ධ වුණේ නවසිය හැත්තෑ ගණන්වල. ඒ වෙද්දී මොරොන්තුඩුවේ නායක හාමුදුරුවෝ අපවත් වෙලා. බටුගෙදර යසස්සි නායක හාමුදුරුවො තමා නායක පදවියට පත්වෙලා තිබුණේ.

උන්වහන්සේ නායක පදවියට පත්වෙලා ටික කලකින්ම මළුවේ විතරක් ‍නෙවෙයි යන එන මග දෙපසත් ලොකු දියුණුවක් කළා. ශ්‍රීපාදස්ථානය ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් කළා. ජපන් සාම ෙචෙත්‍ය ඉදි වුණෙත් උන්වහන්සේගේ අවධියේ දී.

අර කියපු අත්දැකීම මට ලැබුණේ ඒ වගේ සංවර්ධන කටයුත්තකට මුල පුරන්න ගිහින් සිටිය දී.

ඒ වෙද්දී වන්දනා වාරය ‍නෙවෙයි අවාරය, ඒ කියන්නේ අගෝස්තු මාසය වගේ. මට ඔය මුලින් කියපු දෙය අත්විඳින්න ලැබුණෙත් ඔය වගේ අවාරෙ මළුවේ ගත කරන්න තිබුණ දවසක.

අපි කලින් දවසේ පැල්මඩුල්ල, ගල්‍පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයට ගිහින් බුදුන් වැඳලා, සමන් දේව කන්නලව්වත් එහෙම කරලයි පහුවදා මළුවේ සිද්ධ කරන අලුත් කර්මාන්තෙට මුල පුරන්න කටයුතු කළේ.

මළුවේ මුරකාරයා මගේ තනියට යන්න එනව කිව්වත් මළුවේ වැඩට උදව්වට තවත් දෙතුන් දෙනෙක් ගෙනියන්න තිබුණ නිසා එයා පහුවදා පාන්දරිම එනව කිව්ව නිසා මම මළුවට ගියේ තනියම.

මම මළුවේ තනිවම ඉන්න පළමු දවස එදා නිසා මට තනිකමක් දැනුණත් චකිතයක් නම් තිබුණේ නැහැ.

මම මළුවට සේන්දු වෙද්දී වටින් ගොඩින් අඳුර වැටිලා තිබුණා. වාරෙදි නම් මම පලාබද්දල ඉඳලා පැය දෙකෙන් දෙකහමාරෙන් මළුවට සේන්දු වෙනවා.

ඒත් එදා මට හිතෙන්නේ ඊට වඩා වෙලා ගියා මොකද ඒදඬු කැඩිලා, ගල් පෙරළිලා, ගස් වැටිලා පාර හොඳටම අවහිර වෙලයි තිබුණේ. ඒත් මට ලොකු අපහසුවක් දැනුණේ නැහැ. ඒ වගේමයි මළුව වටකරගෙන කෝඩේ තිබුණට මළුවට එනකම්ම වැස්ස කඩාවැටුණේ නැහැ. මට හිතුණෙ දේව ආරක්ෂාව ලැබුණා කියලයි.

මම මුලින්ම කළේ කුටිය ළඟම වතුර එකතුවෙන්න හදලා තිබුණ පුංචි ටැංකිය සුද්ධ පවිත්‍ර කරලා වතුර ටිකක් එකතු වෙන්න හදපු එකයි.

උණුහුම් බෝත‍ලේ ගෙනාපු වතුර ටිකකින් ගිලන්පස ටිකකුත් හදාගෙන කලින්ම සැතපුණේ මහ වරුසාවත් එක්ක වෙන කරන්න දෙයක් නොතිබුණ නිසයි. මගේ තනිවට හිටියේ කුටියෙ කොනක දැල්වුණු ලන්තෑරුමෙන් ගලාන ආපු පුංචි එළියක් විතරයි.

මට නොදැනුවත්ම නින්ද ගියත් හිටි හැටියේම අවදි වුණේ අර මුලින්ම කියපු අමුතු ශබ්දයත් එක්කයි. එළියට ගිය මට මළුව පුරාවටම පෙනුණේ අමුතු ආලෝකයක්. ඒ වගේමයි අර මුලින් දැනුණ අපූරු මල් සුවඳ. හරියටම සමන් මල් සුවඳක් වගෙයි. ඒත් මේ මළුවේ කොහොමද ඒ වගේ සුවඳක්. මට හිතාගන්න බැහැ.

මළුවේ ඉහළ සුගන්ධ කුටියේ තමා පත්ම වහන්සේ වැඩ හිටින්නේ. ඒ වෙද්දී දැන් වගේ දොරගුලු දමලා වහන පුරුද්දක් තිබුණේ නැහැ. අවාරයටත් කුටිය විවෘතයි.

මගේ කුටියෙන් පිටවෙන තැනම තියෙන පුංචි පඩිපෙළින් නැගලා එම පත්ම වහන්සේ වැඩ සිටින කුටිය දෙසට යන්න ගියත් මට යන්න බැහැ. මට දැනෙන්නෙ මොකක් හරි වැටක් වගේ දෙයක් මා ඉස්සරහ තියෙනව වගෙයි. ඒත් මං ඒ දිහාට යන්න ලැබුණේ නැහැ. නමුත් මට එක දෙයක් දැනුණා.

මට ඒ දිහාට යන ගමන වැළකුණේ මොකක් හරි බලයකින් කියලයි. මොකද එතන එහෙම බාධවක් නොතිබුණ බව මට පස්සෙ හොඳටම තේරුණා.

මම ආයෙමත් අනිත් පැත්තෙ ප්‍රධාන පඩිපෙළ දිගේ පත්ම වහන්සේ තියෙන දිහාට එන්න ආවා. නැගෙනහිර පැත්තේ දොරටුවෙන් පත්ම වහන්සේ වැඩහිටි කුටියට හඳ එළිය ගලාගෙන ඇවිත් සුදට සුදේ බැබළෙනවා.

අර මල් සුවඳ කලින්ටත් වැඩියෙන් දැනෙනවා. ඒත් කිසිම මලක් එතන පෙනෙන්න නැහැ. ආයෙම අනිත් පැත්තෙ පඩි පෙළ දිගේ කුටිය තිබෙන පැත්තට ගියා. අන්න එතකොට තමයි ඈත අහසේ රිදී ඉරක් වගේ අමුතුම අමුතු එළියක් පාවෙනවා දැක්කේ.

ඔබ වහන්සේ මළුවේ වැඩහිටි කාලය අවුරුදු හතළික් විතර වෙනවා. ඔය කියපු සිද්ධිය විතරද අමුතු දේවල් දැක්කෙ. අත්දැකීම් තියෙනවාද? අපි තවදුරටත් උන්වහන්සේගෙන් විමසුවෙමු.

මහත්තයා ඔය කියන්නේ සමන් දෙවි හාමුදුරුවො දැක්කද කියලනෙ. ඔව්.
මහත්තයෝ අපි හැමදාම මළුවේ හිටියේ බොහෝම වත්පිළිවෙත් ඇතිව. අපිට තිබුණ ලොකුම ආශීර්වාදය තමා ශ්‍රීපාද පත්මය උදේ හවා වැඳපුදාගත් පිනෙන් ලැබුණ ආශීර්වාදය.

ඒ වගේම අපි හැම වෙලාවෙම වැඳලා දෙවියන්ට පින් දුන්නේ නිකම්ම දෙවියන්ට පින්දෙන ගාථාව කියලා නොවෙයි. විශේෂයෙන්ම සමන් දෙවියන්ට පින්දෙන ගාථාව කියලා අනිත් නොදන්න පින්වතුන් ලවාත් ඒ ගාථාව කියලා. ඒකෙන් අපිට සමන් දෙවියන්ගේ ආරක්ෂාව නොඅඩුව ලැබුණා.

මම හිතන්නේ මට අර මුලින් කියපු අත්දැකීම ලැබුණෙත් අපිට අපේ කර්මාන්තය කරන්න දේවාරක්ෂාව ලැබෙන බවට පෙන්නපු ලකුණක්.

ඔය ලක්ෂපානෙ විදුලි යෝජනා ක්‍රමයේ පළමු විදුලිය ශ්‍රීපාදස්ථානයට පූජා කිරීම පිළිබඳවත් අපූරු සිදුවීමක් තියෙනවා. එදා ඉංජිනේරුවෝ මොනවා කළත් වැඩේ වෙලාවට අහවර කරගන්න බැරිවෙලා. මොකක් හරි බාධාවක්. අන්තිමට තමයි සමන් දෙවියන්ට බාරහාර වෙලා වැඩ සම්පූර්ණ කරගෙන තියෙන්නේ.

ඒ විතරක් ‍නෙවෙයි මළුවේ රාජකාරි කරපු කාලෙ පුරාවට තව අත්විඳපු දෙයක් තමයි රටට එහෙම නැත්නම් විශේෂයෙන්ම ශ්‍රීපාද මළුව අවට කිසියම් අස්වාභාවික යමක් වෙනවා නම් ඒ පිළිබඳ මොනයම් හරි ලකුණක් අපට පෙන්නුම් කරනවා.

නවසිය හැත්තෑ දෙකේ නැත්නම් තුනේ මට මතක හැටියට මළුවට පහළ හැරමිටිපාන හරියේ වන්දනා වාරෙම මහ ලොකු ගින්නක් ඇති වුණා. කඩ ගිනිගත්තා. කැ‍ලේම ගිනි ඇවිළුණා. සතා සිව්පාවො විනාශ වුණා.

ඒ වෙද්දි අද වගේ පහසුකම් තිබුණේ නැහැ. කාටවත් දැනුම් දෙන්නවත්. එකම දෙයයි කරන්න පුළුවන් දේව කන්නලව්ව විතරයි. අපි පද්ම පූජාව තියලා දෙවියන්ට පින්දීලා දේවාරක්ෂාව ඉල්ලා හිටියා. කිසිම වන්දනාකාරයකුට මයිල් ගහකට තරමේ කරදරයක් වුණේ නැහැ. ගින්න ඉබේම මර්දනය වුණා.

ඒත් පස්සේ තමයි දැනගන්න ලැබුණේ ගින්නට මුල් වෙච්චි කඩේ නොයෙක් දුෂ්චරිත පවත්වපු තැනක්, මස් මාංස පුලුස්සාපු තැනක් කියලා.

ඒ විතරක් නොවෙයි අපිරිසිදුකමින් වන්දනාවේ ආවත් මළුවට ගොඩවෙන්න ඉඩ තියන්නේ නැහැ. කොහොම හරි වළක්වනවා.

ඒ වගේ දෙයක් සිද්ධ වුණා මට මතක හැටියට අසූ ගණන්වල දී. කොළඹ පළාතේ නඩයක් ආවා. මොකද පෙබරවාරි මාර්තු මාසවල හරියට කොළඹ නඩ එනවා. ඔය දකුණේ ඇත්තො වගේ වත්පිළිවෙත් ගරු කරන්නෙ නැහැ, පේවෙන්නෙ නැහැ.
එක නඩයක දැරිවියක් ආවා වයස අවුරුදු දහය දොළහ විතර වෙච්ච.

අම්මා තාත්තා ඇතුළු පනහක හැටක නඩයක්. නඩේ අයට හොඳට මතකයි දැරිවි හැරමිටිපාන, ඉදිකටුපාන, මහගිරි දඹය පහුකරලා අහස්ගව්වට එනකම්ම ඇවිත්.

නඩේ මළුවට ඇවිත් කෝඩු වන්දවන්න ගියහමයි දැරිවි නැති බව දන්නේ.
මව්පියෝ විලාප දෙනවා. නඩේ කලබල වෙලා. ඒ අත මේ අත දුවනවා. ‍පොලිසියත් පණිවුඩ දිදී හොයනවා බලනවා.

ඔය අතරේ අපේ නායක කපු මහත්තයා තමා මට යෝජනා කළේ අපි පූජාව තියලා කන්නලව් කරමු කියලා. අපි එහෙම කළා.

මෙන්න පහුවදා උදේ දැරියගෙම අම්මා අඬ අඬා අන්තිමට දැරිය ගැන මතකය තිබුණ මහගිරි දඹයත් බැහැලා ටිකක් පහළට යද්දි භගවාලෙනට යන හරස් පාරේ දැරිය සිහිනැතිව වැටිලා ඉන්නවා හම්බ වුණා.

හොඳට හොයලා බලද්දි දැරිවි ගමනෙදි ලොකු ළමයෙක් වෙලා. එතන ලොකු කිල්ලක්නේ. මළුවට ගොඩවීම වැළැක්කුවා. හැබැයි දරුවට කිසිම කරදරයක් වෙලා නැහැ.

ධර්මප්‍රිය ලියනආරච්චි රිවිර වෙත ලියු ලිපියක් ඇසුරිණි

මේ වගේ වැදගත් අලුත් තොරතුරු දිනපතා ලබාගන්න අපගේ පේජ් එක ලයික් කරන්න