පිරමීඩ තියෙන්නේ ඊජිප්තුවේ විතරමද

පිරමීඩ කිව්ව සැණින් අපට මතකයට එන්නේ ඊජිප්තුවයි. අපි මේ ලිපියෙන් කතා කරන්නෙත් පිරමීඩ ගැන තමයි හැබැයි මේවා තියෙන්නේ නම් ඊජිප්තුවේ නොවේ.කියවලා බලලා ඔයාගේ දැනුමට එකතු කරගන්න.

කළු පාරාවන්ගේ පිරමීඩ යන නමින් හැඳින්වෙන්නේ අප්‍රිකා රාජ්‍යයක් වන සුඩානයේ කාන්තාරය මැද පිහිටි පුරාණ ‘මේරෝ’ නගරයේ දකින්න ලැබෙන පිරමීඩවලටය. ඉතා අනර්ඝව, ක්‍රමාණුකූලව ඉදි කළ මෙම පිරමීඩ ඊජිප්තුවේ ගීසාහි දකින්න ලැබෙන ලෝක ප්‍රකට පිරමීඩ හා සමානය. පුරාණ ඊජිප්තුවේ එසේත් නැතිනම් මිසරයේ යෝධ ගීසා පිරමීඩ මෙන් නොව කාන්තාරයේ පිහිටි කළු පාරාවන්ගේ කළු පිරමීඩ ලෝ පුරා ප්‍රසිද්ධියට පත් වී නැත. ඒවා හුදෙකලා වී පාළුවට ගොස් ඇත. සුඩානයේ කළු ජාතික රජවරුන් (පාරාවෝ යනු රජවරු යන අරුථය) මෙම පිරමීඩ ඉදි කළ හෙයින් මේවා කළු පිරමීඩ ලෙස හැඳින්වෙයි.

මේරෝ පුරාණ නගරය අද නටබුන් වී ඇති අතර, ඉතිරිව ඇත්තේ මෙම යෝධ පිරමීඩ කිහිපය පමණි. මේරෝ පිහිටා ඇත්තේ සුඩානයේ කාර්ටෝම් අගනුවර සිට කිලෝ මීටර් 125 ක් දුරිනි. ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව මෙම ස්ථානය නම් කළත්, එය සංචාරකයන්ගෙන් වසං වූවකි. ඊට හේතුව, සුඩානයේ ඔමාර් අල් බෂීර් ජනපතිගේ පාලනයයි. ඔමාර් අල් බෂීර් සුඩානයේ ජනාධිපති ධුරයේ කටයුතු කරන්නේ වසර ගණනාවක් තිස්සේය. එය රට අභ්‍යන්තරයේ සිවිල් ගැටුම් රැසකට හේතුවක් විය. රට සැම විටම නොසන්සුන් තත්ත්වයක පවතී. විදෙසවලින් ජනපතිවරයාට බලපෑම් එල්ල වෙයි. ඒ, රටේ ප්‍රජාතන්ත්‍රවාද ස්ථාපිත කරන ලෙසටය. ජනපති ඊට කන් නොදෙයි. එහෙයින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සුඩානයට සම්බාධක පනවා ඇත. එහි ප්‍රතිඵලයක් වී ඇත්තේ සුඩානයට සංචාරකයන් නොපැමිණීමය. එහෙයින්, සුඩානයේ සංචාරක කර්මාන්තය බිඳ වැටී ඇත.

මේරෝ පුරය, මේරෝ දූපත යනුවෙන් ද හැඳින්වෙයි. ඊට හේතුව අතීතයේ මේ පුරවරය වටා ගංගාවක් ගලා බැසීමය. මේරෝ පුරය කුෂ් රාජධානියේ ස්වරණමය නගරය වූයේ ද එම අවදියේය. එහෙත් අද එම ගංගාව සිඳී ගොස් ඇති අතර, නගරයේ නටබුන් වටා දකින්න ලැබෙන්නේ වැල්ලෙන් පිරුණු කර්කශක කාන්තාරයයි. මේරෝ පුරය වටේ ගලා බැස්සේ නයිල් ගංගාවට අයත් අතු ගංගාවකි. ඒ අනුව, නයිල් ගංගාව කෙන්ද්‍ර කොට ගනිමින් අතීතයේ බිහිවුණු කුෂ් අධිරාජ්‍යය, නයිල් ගංගාව ආශ්‍රිතව බිහිවූ පළමු ශිෂ්ටාචාර අතරට අයත් වෙයි.


මේරෝ කළු පාරාවන්ගේ පිරමීඩ අඩි 20 ක් සහ 100 ක් උසින් යුක්ත වෙයි. ඒවා ඉදි කළේ ක්‍රි.පූ. 720 සිට 300 තෙක් කාලයේය. මේවායේ පිවිසිමේ දොරටු ඉදි කර ඇත්තේ නැගෙනහිරට මුහුණලාය. ඒ, හිරු දෙවියන්ට ගරු සරු දක්වමින්ය. ‘මේවා ඊජිප්තුවේ පිරමීඩ මෙන් නොවෙයි. ඊජිප්තුවේ පිරමීඩවල පාරාවන්ගේ ඒකාධිකාරිත්වයක් දකින්න ලැබෙනවා. ඒත් මේ පිරමීඩවල එවැනි ඒකාධිකාරීත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ.’ යැයි එරික් ලැෆ්රෝගන් පවසයි. එරික් ලැෆ්රෝගන් යනු පිරමීඩ නැරැඹීමට සුඩානයට ගොස් යළි යහතින් පැමිණි ඡායාරූප ශිල්පියෙකි.

‘කුෂ් රාජධානියේ බලමහිමය පෙන්වීමට ඇති සාක්ෂියක් ලෙස මේරෝ කළු පාරාවන්ගේ පිරමීඩ සහ නටබුන් පෙන්වා දෙන්න පුළුවන්’ මෙසේ කියන්නේ යුනෙස්කෝ සංවිධානයයි. ඔවුන් මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කළේ ද එහෙයිනි. ක්‍රි.පූ. 8 සිට 4 තෙක් කාලයේ ප්‍රබල රාජ්‍යයක් බවය මේරෝ පුරය පැවැති බව පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති.

ජනාධිපති අල් බෂීර් බලයට පත් වූයේ 1989 වසරේ දීය. ඒ, ලෙයින් තෙත් වුණු ඉස්ලාමීය කුමන්ත්‍රණයකින් පසුවය. අල් බෂීර්ගේ රජයට සුඩානයේ පුරාවස්තූන් හෝ පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථාන ආරක්ෂා කිරීමට හැකියාව ලැබී නැත. සුඩානයේ පුරාවිද්‍යා කටයුතුවලට පමණක් නොව, කෞතුක වස්තූන් ආරක්ෂා කිරීමට ද අරාබි රාජ්‍යයක් වන කටාරයේ සහාය සුඩාන රජයට හිමිවෙයි. කටාරය සුඩානයට පසුගිය වසර තුනේදී ලබා දුන්  ආධාර මුදල් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 135 කි. ඔමාර් මහතා පවසන්නේ සුඩානයට තවමත් සංචාරකයන් පැමිණෙන බවය. සෑම වසරකම සංචාරකයන් 15,000 ක් පැමිණෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටී.
මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මේරෝ පුරය ආක්‍රමණය කිරීමට පැමිණියේය. ඒ, ක්‍රි.පූ. 322 දීය. ඒත් මේරෝ හමුදාවේ බල මහිමය හමුවේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා පසු බැස්සේය. මේරෝ සොල්ලාදුවෝ රෝම සොල්දාදුවන් පවා පරාජය තිරීමට සමත් වූහ. ඒ වනවිට ඊජිප්තුව පැවැතියේ රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක් ලෙසය. රෝමයේ ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ලෝකඩ පිළිමයක හිසක් මේරෝ නටබුන් අතරින් හමුවී ඇති බවත් එම පිළිම හිස මේ වනවිට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති බවත් පැවැසෙයි. මේරෝ පුරයේ බිඳ වැටීම සිදුවී ඇත්තේ ක්‍රිස්තියානු රජකු වන අක්සුම්ගේ ආක්‍රමණයෙන් පසුව බව ද පැවැසෙයි.

තවත් මේ වගේ අලුත් දේවල් ඔයාගේ දැනුමට එකතු කරගන්න දැන්ම අපේ පේජ් එක ලයික් කරන්න