ලංකාවේ උපන් පුලස්ති සෘෂිවරයා

හිමාලය දෙසින් හමා එන මද නල පවා සිතට මහත් අස්වැසිල්ලකි. වන අරණේ ගහ කොළ පිස හමන සුළඟ සිතත් සිරුරත් සනසයි. අවංක අව්‍යාජ සිතුවිලි සිත් මත මෝදු වන්නේ නිරායාසයෙනි. සැබැවින්ම ඔවුන්ගේ ජීවිතවල පදනම ද ඒ අවංකභාවය හා අව්‍යාජත්වයයි. සුළඟට ගසා ගෙන යන මල් පෙති සේ සැහැල්ලූ බවක් දරන ඒ ජීවිතවල සැඟවුණු රහස් සොයාගෙන යන මේ ගමනේ දී සිංහල ජාතික ඍෂිවරුන් දෙදෙනකු පිළිබඳ තොරතුරු ද අපට හමු විය.

රාවණ රජු දවස මහා කාල ඍෂිවරයා සිටි බවට

විශ්වාසයක් පවතී. රාවණ රජු කුඩා වියේ දී රණබා කුමාරයා නමින් හැඳින්විනි. රණබා කුමරයා වාසය කළේ බලංගොඩ ප‍්‍රදේශයේය. රණබා කුමාරයාට මහා කාල ඍෂිතුමාට නෑදෑකමක් ද තිබුණි.

රාවණ රජුගේ පියාද ඍෂිවරයෙකි. ඔහු විෂුල ඍෂිතුමාය. මහා කාල ඍෂිවරයා රාවණ කුමරුගේ සීයාය. සිරිපාදය මුල්කරගෙන ඒ කඳු අවට එකල ඍෂිවරුන් සිය දෙනෙක් සිටි බව කියැවේ.

තම මුනුපුරු දැඩි කායික ශක්තියකින් හෙබි දැඩි පෞරුෂත්වයක් සහිත අසමාන පුද්ගලයකු බව මේ ඍෂිතුමාට හැඟී ගියේය. එහෙයින් ඍෂිතුමා කුඩා වියේ පටන්ම ඔහු පුරුදු කිරීමේ කාර්යයෙහි නිතර වූයේය.

පුලස්ති මහා ඍෂිතුමා මරණයෙන් පසු නැවතත් මේ ලංකාද්වීපයේම උත්පත්තිය ලද බව සඳහන්ය. ඒ මහා කාල ඍෂිතුමා යන නමිනි. දඬු මොණර යන්ත‍්‍රය සදන්නට රාවණ රජුට තාක්‍ෂණය දුන්නේ මේ මහා ඍෂිතුමා යැයි විශ්වාස කෙරේ. රාවණා රජුගේ කීර්තිමත්ම යුගය මහා කාල ඍෂිතුමා ජීවත්ව සිටි කාලයයි.

මහා කාල ඍෂිතුමා විසින් මැනවින් ශාස්ත‍්‍රයෙහි පුහුණු කරන ලද තවත් ගෝලයෙක් සිටියේය. ඒ යෝගිතෙම හඳුන්වන ලද්දේ විකුම් යන නමිනි. විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයා ලෙස ඉපදුනේ විකුම් නම් යෝගි තෙමේය. දඬු මොණර යන්ත‍්‍රය සාදන ලද්දේ විකුම් නම් යෝගි තෙමේ විසින් බවට මත පවතී. මේ ඍෂිවරුන්ට ආධ්‍යාත්මක දේ පිළිබඳව පමණක් නොව භෞතික දේ පිළිබඳව ද අසීමිත ඥානයක් පැවැති බවට අතීත සාධක මෙලෙසින් දෙස් දෙයි

පුලස්ති මහා ඍෂිතුමා විසින් දන්වන්තරී, ව්‍යාස චරක ආදී ඍෂිවරුන් ප‍්‍රමුඛව හිමාලයේ ආයුර්වේදය සම්බන්ධව සභාවක් රැස් කරගෙන තිබේ. එම සභාවේ මූලාසනය හොබවා ඇත්තේ පුලස්ති මහා ඍෂිතුමා විසිනි. ලංකාවේ ඉපදුනු ජාතියෙන් සිංහලයකු වූ පුලස්ති මහා ඍෂිතුමාට එදා එම සභාවේ මූලාසනය හිමි වූයේ ඒ ඍෂිතුමා එම විෂයයන් පිළිබඳව දැක්වූ අති දක්‍ෂතාව සහ ඍෂිතුමා සතුවූ පෘථුල දැනුම් සම්භාරය හේතුවෙනි.

පරාක‍්‍රම සමුද්‍රය ඉදිරිපිට ඇති මහා පරාක‍්‍රමබාහු රජුගේ ප‍්‍රතිමාව ලෙස හඳුන්වන ප‍්‍රතිමාව මහා පරාක‍්‍රමබාහු රජුගේ ප‍්‍රතිමාව නොව පුලස්ති මහා ඍෂිතුමාගේ ප‍්‍රතිමාව යැයි විශ්වාසයක් පවතී. සැබැවින්ම ඒ විශ්වාසය සහේතුක විශ්වාසයකි.

ඇත්තටම ඒ ප‍්‍රතිමාව පරාක‍්‍රමබාහු රජුගේ ප‍්‍රතිමාව නොවෙයි. පුලස්ති මහා ඍෂිවරයාගේ ප‍්‍රතිමාව. ඉන්දියාවේ මිනිසුන් ඒ ඍෂිවරයාට කියන්නේ පුලස්තියාර් ඍෂිතුමා කියලයි. පුලස්ති මහා ඍෂිතුමා මරණයෙන් පසු මහා කාල ඍෂිතුමා ලෙස නැවත භවයක උත්පත්තිය ලද බවත්, මහා කාල  ඍෂිතුමා උපුුල්වන් දෙවියන් ලෙස නැවත උත්පත්තිය ලද බවත් සඳහන්ය. සත්‍යමුනි ඍෂිතුමා කියන්නෙත් ලංකාවේ ඉපදුන සිංහල ජාතික ඍෂිවරයෙක්.

රාවණ රජු පිළිබඳව සෙල්ලිපි පනස් ගණනක් අනුරාධපුර ප‍්‍රදේශයේ හුදෙකලා කන්දක තිබී සොයාගෙන තියෙනවා. ඒ ඇතැම් අතීත සාධක යුද්ධය නිසා වැනසී ගියා.

අගස්ති මහා ඍෂිතුමා නාඩි වාක්‍ය ලියා තියෙනවා. නාඩි වාක්‍ය ලියන්න කමල මුනි ඍෂිතුමන් සම්බන්ධව ඍෂිවරු හත් දෙනෙක් සම්බන්ධ වුණා කියලා කියනවා.  ඕම් කාරය නිර්මාණයේදීත් අගස්ති මහා ඍෂිවරයා සම්බන්ධ වුණු බව කියවෙනවා. පළමු වැනි යෝගියා වුණේ ශිව දෙවියන්ය. ඒ යෝගි තෙමේ හඳුන්වා ඇත්තේ මහා යෝගි යන නමිනි.

ඇත්තටම පැරැණි ඍෂි භාෂිතය අපේ රටේ නෑ. ඉන්දියාවේ වුණත් ඒ අය එය වැඩිය භාවිත කරන්නෙ නෑ.

පුලස්ති ඍෂිවරයාට ලෝකයේ  ඕනෑම තැනකට යන්න එන්න පුළුවන් හැකියාව තිබුණා.

බාබාජි මහා ඍෂිතුමා කියන්නෙත් මහා බලයක් තිබුණු ඍෂිවරයෙක්. එතුමා අවුරුදු දෙදෙහසකට ආසන්න කාලයක් ජීවත් වුණා කියල කියන්නේ. දැන් කලකට විතර පෙර බාබාජි මහා ඍෂිතුමා තමන්ගේ කය අත් හැරියා. ඒ මරණය අපි සම්මුති මරණය තුළ දක්න මරණයට වඩා වෙනස් (ඍෂිවරයකුගේ මරණය සිදු වන ආකාරය අපි වෙනම පරිච්ඡේදයක දී කතා කරමු).

ඍෂීන් වහන්සේලාට තමන්ගේ ආයු කාලය කෙළවර වෙන්න ළං වුණාම ඒ බව ඒ අයට දැනෙනවා. එතකොට උන්වහන්සේලා තමන්ට කරන්නට ඇති කාර්යභාරයන් කර අවසාන දැයි විමසා බලනවා. එසේ නැත්නම් සීග‍්‍රයෙන් තම කටයුතු අවසන් කරනවා. නොඑසේ නම් තවත් ආයු ලැබ මරණ මොහොත ඉක්මවමින් තවත් ජීවත් වීමට කාලය ලබා ගන්නවා.

යෝග කියලා අප කියන්නේ මේ මොහොතේ ජීවත් වීම හැර වෙනත් දෙයකට නොවෙයි. යමකුට මේ මොහොතේ ජීවත් වෙන්න බැරි නම් එතැන යෝගියෙක් නැහැ. යෝග වෙනවා කියන්නේ මිශ‍්‍ර වීමක් ගැනයි. කුමක් සමග ද අප මිශ‍්‍ර වෙන්නේ කියන දේ මෙහි දී වැදගත් වෙනවා. එනම් මේ මොහොතේ යථාර්ථය සමග මිශ‍්‍ර වීම යෝග යැයි හඳුන්වනවා.

නිවැරදිව යෝග ආසනවල යෙදෙන විට දහඩිය පිට වීමක් සිදු වන්නේ නැහැ. පිට්ටනියකට ගිහින් දුවනවා වගේ හති දැමීමක්, ඇඟ රත්වීමක් හෝ මහන්සියක් යෝගවල දකින්න ලැබෙන්නේ නැහැ. එහෙත් වර්තමානයේ ඇතැම් අවස්ථාවල යෝග වෙතින් මේ සංයමය ගිලිහී ඇති බව අපට පෙනෙන්නට තියෙනවා. මේ නිසා යෝග ආසනවල යෙදීමේ පුහුණු පිළිවෙත අප නිවැරදි කරගත යුතු වෙනවා.

යෝග කරන කෙනා ජීවිතය පිළිබඳ යථාර්ථය දකින පුද්ගලයකු හැටියට හඳුන්වන්න පුළුවන්. ඔහු දකින්නේ මනැසින් දකින රූපය නොවෙයි. ශරීරය විනිවිද ගොස් දැකීමේ හැකියාවක් ඔහුට ලැබෙනවා.

චිත්ත ඒකාග‍්‍රතාවෙන් එන සමාධි ආලෝකයත් සමග ලැබෙන මේ අවබෝධය නිසා ශරීරයේ ලේ, මස්, නහර, ඇට, ඇට මිදුළු විනිවිද දැකීමෙන් මමත්වයෙන් යම් මට්ටමකට මිදුණු ස්වභාවයක් ඇති වෙනවා. මනා හික්මීමෙන් යුතු ඔහුට සිතේ පාලන ශක්තියක් ඇති වෙනවා. ඔහු හැඟීම් පාලනයෙන් යුතු, අන් අයට ඊර්ෂයා නොකරන, කවර අවස්ථාවකදීවත් විප්ලව සඳහා නැගී නොසිටින පුද්ගලයකු බවට පත් වෙනවා. මන් ද යත් වැරැද්ද පවතින්නේ තවත් අයකු ළඟ නොව වරද ඇත්තේ තම සිතුවිලි රටාවේ බව ඔහු අවබෝධයෙන් දන්නවා. ඔහු උත්සාහයෙන් ජීවිතය ජයග‍්‍රහණය කරා ගෙන යන ආදර්ශමත් පුද්ගලයකු බවට පත් වෙනවා. හිංසාවෙන් මිදුනු අහිංසාවාදියකු බවට පත් වෙනවා. මෙවැනි තත්ත්වයක ලෝකය අදට වඩා සුන්දර තැනක් වීම පුදුමයට කරුණක් නෙවෙයි.

ඒ අර්ජුන වික‍්‍රමාරච්චි මහතාගේ හඬය.

එදා සිංහලයේ මහා රජකුව සිටි රාවණා රජු ද යෝග ශාස්ත‍්‍රය මැනවින් ප‍්‍රගුණ කළ ඒ ඔස්සේ දියුණු ආධ්‍යාත්මික ශක්තියක් ලබා සිටි මහා නිරිඳෙකි. පුලස්ති, සත්‍යමුනි වැනි ඉන්දියානුවන්ගේ අපමණ භක්ත්‍යාදරයට පත් ඍෂීන් වහන්සේලා මේ බිමේ ජන්ම ලාබය ලද්දා වූ සිංහලයන්ය.

සැබැවින්ම යෝග ශාස්ත‍්‍රය එදා පටන්ම අපට සබැඳියාවක් දැක්වූ ශාස්ත‍්‍රයකි. එහි අක්මුල් පුරා අපට උරුම හිමිකමක් පවතින්නේ එහෙයිනි.