පෙරභවයේ පියා සොයන දැරියක්

පුනරුප්පත්ති සම්බන්ධ කතා අපිට ඇහෙන අවස්ථා  තිබෙනවා. බොහොමයක් එවායිහිදි පොඩි කාලේ එහෙමත් නැත්නම් කුඩා  අවධියේදී මේ දේවල් ගැන කතා කරත් පසුව වයසත් සමග මේවා අමතක වෙනවා. මේ ඉරිදා ලංකාදීප පත්තරේ තිබුණු දර්ශනී දියණියගේ කතාවයි  මේ.

හතරලියද්ද පොලිස් බල ප‍්‍රදේශයේ, පොල්වත්ත ග‍්‍රාමනිලධාරි වසමේ ඇලෝටුව ශ්‍රී විජයාරාම විහාරස්ථානය අසල නිවසක වෙසෙන විශ‍්‍රාමික හමුදා සැරයන් ඩබ්ලිව්.එම්. වීරකෝන් මහතාගේ සහ සේපාලිකා ආරියවසම් යන මව්පියන්ගේ තෙවන දරුවා දර්ශනී නවන්දනා වීරකෝන්ය.

ඇය ඉපදී වසර තුන වන විට හොඳින් කතාකිරීමට හැකියාව තිබුණු අතර පෙරභවය ගැන අනාවරණය කිරීමටත් ඇයගේ හැසිරීම් රටාවද වෙනස් මුහුණවරක් ගැනීමටත් සමත්විය.

ඇයගේ ප‍්‍රථම වදන වුයේ ‘‘තාත්තා” යනුවෙන් ඇමතීම හා හමුවන සියල්ලන්ගෙන්ම ‘‘මගේ තාත්තා සොයා දෙන්න’’ යනුවෙන් ඉල්ලීමය. වැඩිමල් දරුවන් තම පියාට ”අප්පච්චී” නමින් ඇමතීම හැර තාත්තා යනුවෙන් භාවිතවීමක් හෝ ශ‍්‍රවණය වීමක් මේ දරුවාට සිදුවී නැත.

කෑමට බීමට ගියත්, ඇඳුම් පැලඳුම් ගැනීමට ගියත් ඉස්තරම් අයුරින් අවශ්‍ය කෙරෙන හෙයින් මේ දියණිය පෙර ආත්මයක් පිළිබඳව තොරතුරු හෙළි කරන්නේද යන්න දෙමව්පියන්ට පැනයක් වන්නට විය.


එහෙත් ඒ පිළිබඳව ඇයගෙන් විමසීමක් නොකිරීමටත් තොරතුරු හෙළි නොකිරීමටත් දෙමව්පියන් වගබලා ගත්තේ සුරතල් දියණිය ඔවුනට අහිමි වේ යැයි යන අස්ථාන බිය නිසාය.

අසල්වැසි සමවයසේ දරුවන් කෙළිදෙලෙන් පසු වෙද්දී මිදුලේ සෙල්ලම් බත් උයද්දී ඔවුනගේ ඇසුර ප‍්‍රිය නොකරන මේ සිඟිත්තිය, හුදකලාවී කොළ කැබැලි කුරුටුගාමින් ‘‘මගේ තාත්තා සොයා දෙන්න” යනුවෙන් නොකඩවාම කරන ප‍්‍රකාශ නිසා මව්පියන්ටද ඇය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකිරීමට සිදුවිය.

මිදුලට පරෙවියන් වැනි කුරුල්ලන් පැමිණිවිට ‘‘අනේ කුරුල්ලෝ මම දුප්පත් තැනක ඉන්නවා. මගේ තාත්තාට මාව ගෙනියන්න කියන්න. නැතිනම් තටු අස්සේ සඟවාගෙන මගේ තාත්තා ඉන්න තැනට මාව ගෙනියන්න බැරිද?’’ යනුවෙන් ඇසීමටත් අහස දෙස බලාගෙන ‘‘අනේ මගේ තාත්තා ලැබේවා” කියමින් හඬන්නටත් වූවාය.

මේ අයුරින් පෙර ජීවිතයේ තොරතුරු හෙළි කරන බවට ලත් තොරතුරක් මත ඉකුත් වප් පුරපසළොස්වක් පොහෝදිනයේදී ඔවුන් වෙසෙන නිවහනට ගියෙමු.

සුදෝසුදුවතින් මනා ලෙස සැරසී විහාරස්ථානයට ගොස් පැමිණි ඇය අප දුටු ගමන් සැණින් පැමිණ දණ නමස්කාර කර වැඳ, ‘‘අනේ මාමේ මගේ තාත්තා සොයාදෙන්න’’යි ඇවිටිලි කළාය.

‘‘තාත්තා කවුද? ඉන්නේ කොහේද? මොනවාද කරන්නේ” යැයි අප ඇසූ ප‍්‍රශ්නවලට ඇගේ දඟකාර මෙන්ම සුරතල් කටහඬ අවදි කළේ මෙසේය.

‘‘මගේ තාත්තාගේ නම වික‍්‍රමනායක. හමුදාවේ ඉඳලා එයින් අස්වෙලා ඇවිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගැන්නුවා. මට අක්කලා තුන්දෙනයි අයියලා හතරදෙනයි. අපි අම්මත් සමඟ පේරාදෙණිය මල්වත්ත ළඟ තට්ටු දෙකේ ගෙදර නැවතී සිටියා. තාත්තාට තිබුණ කළුපාට කාරෙකින් අපි නුවර හේමමාලී බාලිකාවට ගියා.

ගේ වටේටම බැමි බැඳලා, නිල් පාට ගාලා හරිම ලස්සනයි. අපි උඩතට්ටුවට වෙලා මහවැලි ගඟ දිහා බලා ඉන්නවා. කළුපාට ගේට්ටුවක් දමා තිබුණා. කළුම කළු පාට පොලිස් බල්ලෙකුත් සිටියා.

අපේ ගෙදර උයන්න, දර පලන්න, පොල් කඩන්න මිනිස්සු හිටියා. කාර් එළවන ඩ‍්‍රයිවරුත් හිටියා. මගේ අම්මයි, ලොකු අක්කයි දෙන්නාම හේමමාලී විදුහලේ ඉගැන්නුවා. දෙවන අක්කා නර්ස් කෙනෙක්.

අයියලා ධර්මරාජ සහ සිල්වෙස්ටර් විදුහල්වලට ගියා. මම හේමමාලී විදුහලේදී විභාගෙ පාස්වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. මම දොස්තර කෙනෙක් කරන්න මගේ තාත්තා බොහොම මහන්සි වුණා.

ඒ නිසා මමත් මහන්සිවෙලා හොඳින් ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාලයේදී මිනී කපා පරීක්ෂා කළා. ගෙම්බෝ කැපූ හැටි මතක්වෙන විටත් අප‍්‍රියයි.

අවසානයේ මම විභාග සමත්වෙලා දොස්තර කෙනකු වී මහනුවර මහ රෝහලේ වැඩ කළා. එහිදී යහළුවන් ගොඩක් සිටියා. නමුත් දැන් ඒ අයගේ නම් කියන්න අමතකයි. මම වැඩට යනවිට සාරි, සායවල්, කලිසම් ඇඳගෙන ගියේ. පඩිය ලැබුණ පසු අම්මා සමඟ නුවර ගොස් ඇඳුම් තෝරගන්නවා. අයියලා අක්කලාටත් ඇඳුම් අරන් දුන්නා.

එක දවසක් අපි සියල්ලෝම රඹුක්කන පින්නවල අලි බලන්න ගියා. එහිදී ඕස්​ෙට්‍ර්ලියාවෙන් පැමිණි සුදු මහත්මයෙක් මා දිහා බල බලා ඉඳලා මගේ තාත්තා ළගට පැමිණ බොහෝ වේලාවක් කථා කර කර සිටියා. මාව දිහා බල බලා කථාකළ නිසා මට ප‍්‍රශ්නයක් වුණා.
එදා රාත‍්‍රි ගෙදර පැමිණි පසු තාත්තා කීවා චූටි දුව බඳින්න අර සුදු මහත්තයා කැමැත්තෙන් ඉන්නවා. දුව කැමැතිවෙයිද දන්නැහැ කියලා. ලස්සන සුදු මහත්තයෙක් නිසාත් ඕස්​ෙට්‍ර්ලියාවට යන්න හැකි නිසාත් මමත් ඉහළින්ම කැමැති වුණා.

ඊට පසුව මහනුවර හෝටලයක මඟුල් උත්සවයක් පවත්වලා අපි විවාහ වුණා. එයා මාසෙකට වරක් ඇවිත් අපේ ගෙදර නවතිනවා. පසුව ඔහුත් සමඟ රට ගොස් දවස් 7-8 එහෙ ඉඳලා එනවා. එයාගේ අම්මා තාත්තා මට හරි ආදරෙයි. ලස්සන ඇඳුම් එහෙමත් අරන්දුන්නා. ඒ වගේම ඒ රටත් හරිම ලස්සනයි.

කාලයක් ගියාට පසු මට පුතෙක් ලැබුණා. ඔහුට ‘‘අංජු’’ කියලා නම තැබුවා. මගේ අම්මා විශ‍්‍රාම අරන් චූටිපුතා බලාගන්නවා. මම රෝහලේ වැඩට යනවා.

2003 දවසක මම රතු පාට කැබ් එකේ පේරාදෙණිය සිටින පුංචිලාගේ ගෙදර යන්න පිටත් වුණා. රියැදුරු එළවාගෙන යන වාහනේ මම ඉදිරිපිට අසුනේ වාඩිවී සිටියා.

 

පේරාදෙණිය මල්වත්ත පහුවන විටම ඉදිරියෙන් එන වතුර බවුසරයක අපේ වාහනය හැපුණා. දඩාස් ගා ශබ්දයක් ඇසෙන විටම මගේ හිසට කවුදෝ ගහනවා වගේ දැනුණා. මට මතක එච්චරයි’’.

‘‘අනේ! මාමේ මට මෙම දුප්පත් ගෙදර ඉන්න බැහැ. මට මේ අප්පච්චිත් අම්මාත් ආදරෙයි. මට මගේ තාත්තා සොයා දෙන්න. නැතිනම් මගේ තාත්තා ළඟට මාව එක්ක යන්න’’. ඇය හැඟුම්බරව පැවසුවාය.

ඇයගේ වත්මන් පියාවන විශ‍්‍රාමික හමුදා සැරයන් වීරකෝන් මහතාගෙන් කළ විමසුමකදී මෙසේ පැවසීය.

‘‘මේ දුව බහතෝරන වියේ සිටම විවිධ දේවල් කියන්න පටන්ගත්තා. ඇතැම් දිනවල රාත‍්‍රි 12.00ට පමණ නින්දෙන් අවදී වී මගේ තාත්තා සොයාදෙන්න. අංජු පුතා ගෙනැවිත් දෙන්න කියා අඬනවා. ඒ වෙලාවට ලොකු වෑයමක් දරා නළවා නැවත නිදිකරනවා. ඇගේ හැසිරීම, කථාබහ අමුතුයි.

කිසියම් අවස්ථාවක තරවටු කළොත් හෙම මෙයා හොඳ නැහැ. මගේ තාත්තා නම් මට හරිම ආදරෙයි. කවදාවත් මට සැරකරන්නේ නැහැ කියමින් අඬනවා. ඒ වගේම මට සරොම්, ටී ෂර්ට්, අත්කොට කමිසයක්වත් අඳින්න දෙන්නේ නැහැ. මගේ තාත්තා අත්දිග කමිස, දිග කලිසම්, කළු සපත්තු පලඳින්නේ කියනවා.

එයාට කෑම බීම දෙන්නෙත් ඒ වගේමයි. නිතරම ඉල්ලන්නේ මස්, මාළු, ෆ්‍රයිඩ්රයිස්, බුරියානි වැනි දේවල්. කෑමෙන් පසු පලතුරු, යෝගට්, අයිස්ක‍්‍රීම්, ෆෘට්සැලඩ් දෙන්න ඕනෑ.

ඒවගේම එයා නිසාම වැසිකිළියත් ‘‘කොමඩ්’’ යොදා නවීකරණය කරන්න සිදුවුණා. නාන්න ළිඳ ළඟට ගිය විට ළිඳට වැටී මැරෙන්න වෙයි. බාත්රූම් එකට යනවා කියා ආපසු දුවගෙන එනවා. කිසියම් අඩුපාඩුවක් වුණොත් මට මේ දුප්පත් ගෙදර ඉන්න බැහැ, තාත්තා ළඟට කැඳවාගෙන යන්න කියනවා.

දිනක් මම බෝංචි, කැරට්, අමුමිරිස්, බිත්තර ෂොපින් බෑගයක දමාගෙන එනවිට බෑගය අරන් බලා ‘‘චී මේවා කන්න පුළුවන්ද? මෙහෙම එල්ලාගෙන එන්න ලැජ්ජ නැද්ද?’’ කියමින් උදුරාගෙන බෑගය පිටින්ම වත්ත පහළට වීසි කළා.

‘‘අපි වාහනයෙන් සුපර් මාකට් ගිහිල්ලා බඩු ගෙන එන්නේ. ගෙදර ෆ්‍රිජ් දෙකක් තිබුණා. ඒවායේ කෑම බීම පුරවලා තිබුණා’’ යැයි කියනවා.

ඇයගේ බේරුමක් නැති නිසාම දවසක් ඇයගේ තොරතුරු අනුව පේරාදෙණිය ප‍්‍රදේශයට ගොස් සොයා බැලුවා. ගැටඹේ රාජෝපවනාරාමය වෙත ගොස් මල් පහන් පුදා එන විට ඇය තාත්තා සමඟ මේ විහාරයට පැමිණි බවත්, ඇතැම් දිනවල සවසට පැමිණ හාමුදුරුවන් සමඟ කථාකරමින් සිටි බවත් පැවසුවා.

 

 

ඒ අනුව එහි විහාරාධිපතීන් වහන්සේ හමුවී විස්තර පැවසූ නමුත් පලක් වුණේ නෑ. ‘‘අනේ මගේ තාත්තා හමුවුණේ නෑ’’ යයි කියමින් හඬ හඬා ආපසු ආවා.

ඇයගේ ඉල්ලීම් කෙරෙහි අපි වැඩි අවධානයක් යොමු කරන්නේ නැත්තේ ඇතැම්විට ඒ අය හමුවුවහොත් අප හැරදා ඔවුන් සමඟ යාවි යන බියට. හතරලියද්ද ප‍්‍රාථමික විදුහලට ඇතුළත් කිරීම සඳහා අයඳුම්පත පුරවන අවස්ථාවේදීත් ‘‘මට දුප්පත් පාසල්වලට යන්න බැහැ. නුවර හේමාමාලී එකට යන්න ඕනෑ’’යි කියමින් ඉල්ලුම්පත‍්‍රය විනාශකර දැම්මා.

මේ අයුරින් පෙර ජීවිතයේ තොරතුරු හෙළිකරන දුවගේ තොරතුරු අනාවරණය කරගැනීමට කිසියම් සාක්ෂියක් දන්නා කෙනෙකු සිටී නම් ඔහුගේ ජංගම දුරකථන අංකයට (0755435730) අමතන ලෙසද ඉල්ලා සිටියි.

මෙම දැරියගේ මෑණියන් වන සේපාලිකා මහත්මිය ප‍්‍රකාශ කළේ මෙබඳු දෙයකි.

‘‘දුවගේ හැසිරීම් රටාව, කථාබහ වෙනස් නිසා අපි ඇය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. බහ තෝරන වියේදී ‘‘තාත්තා” යන වචනය නිතරම ප‍්‍රකාශ කළ අතර අනෙක් දරු දෙදෙනා ‘‘අප්පච්චී’’ යනුවෙන් භාවිත කරන අතර ‘‘තාත්තා’’ යන්න අසන්නටවත් ලැබී තිබුණේ නෑ. නොකඩවාම දිගින් දිගටම කරන මෙම ප‍්‍රකාශ නිසා සිය දුවණිය පෙර ආත්මයේ තොරතුරු හෙළිකරන්නේ යැයි වටහාගෙන දුව අපට අහිමි වේ යැයි වූ බය නිසාම මෙය රහසක් ලෙස තබාගත්තා’’.

නිරතුරුවම ඇය පෙර භව ජීවිතය ගැන හෙළිකළේ මේ ලෙසයි.

‘‘නිවස ඉදිරිපිට මාර්ගයේ කිසිවෙකු යනවා දුටුවහොත් නුවරද යන්නේ? මමත් එන්නද? මගේ තාත්තාට එන්න කියනවාද කියා අහනවා. පාසලට, විහාරස්ථානයට ලොකු ආසාවකින් යන්නේ. සෑම පසළොස්වක දිනයකම සිල් සමාදන්වීමට යන්න ඕනෑ. වැඩිපුරම හුදකලාව සිටීමට කැමැතියි. ඇතැම් අවස්ථාවලදී අහස දෙස බලාගෙන ‘‘අනේ මගේ තාත්තා ලැබේවා’’ කියමින් හඬනවා.

සියලුම දේවල් ඉස්තරම් විදියට ඕනෑ. කෑම බීම පවා එහෙමයි. අඩුපාඩුවක් වූ විට ‘‘මට මේ දුප්පත් ගෙදර ඉන්න බැහැ. මට නුවර තාත්තා ළඟට යන්න ඕනෑ’’ කියලාමයි කියන්නේ. අම්මා සාරි අඳිනවා. හේමමාලි විදුහලේ උගන්වනවා කියලා කියනවා.

අසනීපයකට වෛද්‍යවරයකු ළඟට ගියවිටදීත්, දොස්තර නළාව රැගෙන කරේ දාගන්නවා. නෑදෑ ගෙදරක ගිය විටදිත් බඩු භාණ්ඩ අදිනවා. පෙරළනවා. පිරිසිදුව ඉන්න ඕනෑ නැත්නම් ලෙඩ හැදෙනවා කියමින් අනිත් අයට උපදෙස් දෙනවා.

ඇතැම් අවස්ථාවලදී හිස් පොතක් අසුවුවහොත් කොළ ගණන් කුරුටු ගානවා. ඒවා අකුරුත් නෙමෙයි. කොළ කැබැලි ඉරාදමා බෙහෙත් තුණ්ඩු ලියන බව පවසනවා.

සමහර අවස්ථාවල මගේ මහත්තයා (සුදු මහතා) බොක්සින් ගැහුවේ මෙහෙමයි කියලා ළමයින්ගේ බඩට ගහනවා. ඒ නිසාම නිරතුරුවම ඇය සමගමයි සිටින්නේ.

පියා ලබන පඩියෙන් වැඩි කොටසක්ම වියදම් වන්නේ මෙයා වෙනුවෙන්. සියලුදේම ඉස්තරම් විදියට ඕනෑ. නැත්නම් අඬනවා. ගුවන් යානයක් යන හඬ ඇසුණු විට මිදුලට දුවගොස් ‘‘මාවත් ඕස්​ෙට්‍ර්ලියාවට එක්ක යන්න” කියමින් කෑගසනවා.

මේ ආදී වශයෙන් ඇයගේ ගතිපැවතුම්, කතාබහ, ජීවන රටාව වෙනස් කිරීමට විශාල වෙහෙසක් දැරුවා. ඇයගේ තාත්තා සොයාගෙන යනවා කියන නිසා අපි ඇය පිළිබඳව දැඩි අවධානයකින් සිටින්නේ’’ යැයි ඇය පැවසුවාය.

තිස්ස ජයවර්ධන ඉරිදා ලංකාදීපයට ලියන “පෙර භවයේ ප‍්‍රබල සාක්ෂි’ ලිපි මාලාව ඇසුරිණි

Save