ලාංකික ඔබ දැනගතයුතුම විල්පත්තුවේ වත්මන් තත්වය (VIDEOS)

විල්පත්තුව ජාතික වනෝද්‍යානය වටා ආරක්ෂාවට පිහිටා ඇති පරිවාර රක්ෂිත වනාන්තර පද්ධතිය නැවතත් විනාශ කිරීම අරඹා තිබේ.

විල්පත්තුව ජාතික වනාන්තරයට කිලෝමිටර් 10 ක දුරින් පිහිටි මාවිල්ලුව වන රක්ෂිතයට උතුරින් පිහිටා ඇති අක්කර 5425 ක විශාලත්වයකින් යුත් අතර විලත්තිකුලම් රක්ෂිතයේ අක්කර 750 ක භූමියක් මෙසේ වන සංහාරයට නැවතත් ගොදුරුවී තිබේ.

ඒ පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මන්නාරම දිස්ත්‍රික් කාර්යාලයෙන් කළ විමසීමේදී කිසිවක් පැවසීම ඉදිරිපත් නොවුනද එක හෙළා පවසා සිටියේ 2014 හෝ 2015 වසර වලදී එකදු බිම් අඟලක් ලබාදී නැති නමුත් 2012 සහ 2013 වසර වලද යම් ඉඩම් ප්‍රමාණයක් ලබාදී ඇති බවය.

එම ප්‍රමාණයද සඳහන් කිරීමට ඉදිරිපත් නොවූ අතර සියලු විස්තර වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසන ලෙසට දැන්වුවද අධ්‍යක්ෂවරයා කිසිදු ලෙසකින් සම්බන්ධ කිරීමට නොහැකි විය.

විල්පත්තුව වෙනුවෙන් පෙනී සිටින පරිසර සංවිධාන එකමුතුව පවසා සිටින්නේ මෙම රක්ෂිත වනාන්තර කිසිදු ආකාරයකින් පවරාදීමක් සිදුව නැති බවත් එසේ නම් එය ගැසට් කිරීමක් සිදුවිය යුතු බවයි.

මෙම විලත්තිකුලම් වන රක්ෂිතය විල්ලු රැසකින් පිරී ඇති බවත් අලි ඇතුන් හා වන සතුන්ගෙන් පිරි වන රක්ෂිතයක් වන අතර එවැන් පරිසරයක් වැනසීම තුළින් විල්පත්තුවට සිදුවන හානිය සුළු පටු නැති බවද පරිසර සංවිධාන එකමුතුව පවසයි.

මෙය ජාතිවාදී ගැටළුවක් නොවේ. මෙය වර්ගවාදී ගැටළුවක් නොවේ. එකෙකු පරයා තවෙකුකට නැඟිටීම උදෙසා ලබාදෙන උත්තේජයක්ද නොවේ. මෙය ලංකාවේ ඇති ජෛව විවිධත්වය බහුල, ස්වභාවික සම්පතක් අරඹයා පැණනැගුණ ගැටලුවකි.විල්පත්තුව යනු ශ්‍රී ලංකාවේ තවත් එක් ජීවනාලියකි. ඉන්න හිටින්නට පැලක් නැතුව , වනාන්තරයක් තිබී කුමකටදැයි මේ දෙස වපරැසින් බළන යමෙකුට පෙන්නනට පුළුවන. මුස්ලිම්වරුන්ටද මේ රටේ ජීවත් වීමට අයිතියක් ඇතැයි තවකෙකු මේ දෙස බළා කියන්නට පුළුවන.නමුත් සැබෑ ගැටලුව එය නොවේ.

ස්වභාවධර්මයට ආදරය කරන්නා, ස්වභාවධර්මයෙන්ම රකිනු ලබයි යන්න ජීවමාන සාක්ෂි සහිතවම සමාජ නිදර්ශක වලින් ඔබ දන්නවා ඇත. අප වෙහෙස මහන්සිවන්නේ ඔන වෙනුවෙන් අපේ උරුමය රැකගැනීමට විනා එතුලින් ජාතිවාදය ඇවිලවීමට නොවේ.

හෙක්ටයාර 131693 ක පුළුල් ප්‍රදේශයක පැතිර පවතින විල්පත්තුව වන උද්‍යානය 1947 නොවැම්බර් මාසයේදී අභය භුමියක් ලෙස ප්‍රකාශ කෙරුණ අතර විල්පත්තුව උතුරු අභය භුමියේ ප්‍රමාණය අක්කර 4640 ක් වන අතර මෙහි මේ වන විට සිදුකරන අනවසර ඉදිකිරීම් විල්පත්තුව වන උද්‍යානයටද තදින්ම බලපා තිබේ. මෙම අනවසර එළිකිරීම් නිසා මේ වන විට දිය උල්පත් සිඳී ගොසිනි. දුර්ලභ වන සතුන් බොහෝමයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. අලි, කොටි, වලස්සු බහුලවම දක්නට ලැබුණු උද්‍යානයක් වූ විල්පත්තුව අනාගතයේ කාන්තාරයක්ම වනු ඇති බව මෙය සියැසින් දුටුවිට ඔබටද වැටහෙනු නොඅනුමානය. තත්වය එතරම්ම ඛේදනීයය. එසේනම්, මතු පරපුරට විල්පත්තුවේ සුවඳ, පණනළ විඳින්නට තහනම්ද..?

බළධරයිනි..මේ ඔබේ අවධානයට !!

විල්පත්තුවේ විලත්තකුලම් රක්ෂිත වනාන්තරය ඇතුළත දර්ශන.