ත්‍රිමාවිතාන සොයුරා පිළිබඳව අවසන් මොහොතේ නැවති සිටි නිවසෙන් පළවී තිබුණු හෘදයංගම සටහනක්

අන්තර්ජාලයේ බ්ලොක් අඩවිය ත්‍රිමාවිතාන සොයුරා පිළිබඳව පළවී තිබුණු හෘදයංගම සටහනක් මෙලෙස උපුටා දක්වමු.

ඒ අසූ අට වසරේ මැද භාගයයි. උසස් පෙළ ලිවීමට බලාපොරොත්තු වූ වාරයයි. දිනපතා පන්ති යන්නට පාසල් යන්නට බලා සිටියද, කැලෑ ඇදිරි නීතිය නිසා ඒවා එකක් වත් කර ගත නොහැකි විය.

පන්ති ගොස් එද්දී ගෝනි බිල්ලන්ට කොටුවේ. ඒ අනෙක් විදියේ ප්‍රශ්නයකි. රෑට පාඩම් කරන්නට ලාම්පුවක් දැල්විය නොහැකියි. යන්තම් කළුවර වැටෙද්දී උයාගත් යමක් බඩට දාගන්නේ ඒ නිසායි. රාත්‍රියට දොට්ට පිලට හෝ යාමට දොරක් අරින්නේ කලාතුරකිනි. අයියා මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ විශේෂ උපාධිය හදාරන සිසුවෙකි.

නිතරම විශ්වවිද්‍යාලය වසා තැබීම නිසා ඒවා විවෘත කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරන ලද අතර, ඒ සඳහා තැබූ රැස්වීම්වල මුල් තැන ගත්තේ අයියායි. ඊට අමතරව නිවසේ නංගී සහ මේ ලියන මා ද සිටියේය. සාමාන්‍යයෙන් රාත්‍රී අට හමාරට ගමට එන අවසාන බස් රථය අපේ ගේ ළඟ නවත්වන්නේ අපේ ගෙදරට එන කවුරුන් හෝ සිටියොත් පමණි. ඒ දින බස් රථය නැවැත් වූ අතර, අපි නිශ්ශබ්දව ගේ තුළ සිටියෙමු. ටික වේලාවකින් ගෙයි ඉදිරි දොර ශබ්ද වන හඬ ඇසුණු අතර අයියාගේ නම කියා අමතනු ඇසුණි.

තාත්තා එවෙලේ පන්සිල් ගනිමින් සිටින අතර, අයියාටඑ ඉදිරි දොර තහනම් කර තිබුණේු පැවැති අයහපත් වාතාවරණය නිසාය. මා ක්ෂයකින් ඉදිරි දොර  වෙත ගොස් එය විවෘත කරන ලදී. යම් පැහැදිලි කිරීමක් කරන ලද අතර මා අයියාගෙන් ගෙට ගොස් ඒ පිළිබඳව විමසීමි. අයියා ඉදිරියට පැමිණ ඔහුට ගෙට එන්නට ආරාධනා කළේය.

ප්‍රමාණයෙන් ඉතා කුඩා කළු පැහැපත් සමකින් යුතු තීක්ෂණ දෙනෙතකින් හෙබි මේ පුද්ගලයා අපේ ගෙදර සාලයේ තබා තිබූ රතුපාට කුඩා කුෂන් පුටුවක වාඩි ගත්තේය. හේ නමින් පද්මසිරි ත්‍රිමාවිතාන නම් විය. ඉන්පසු එළැඹියේ තාත්තාගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමේ වාරයයි. නොයෙකුත් ප්‍රශ්න රාශියක් තාත්තා විසින් අසල ලද අතර ඉතා සංයමයෙන් ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙන ලදී.

ඉන් පසු අයියා සමග ටැංකිය ළඟට ගොස් නා ෂර්ට් එක සෝදා ගෙයිම වැනූ ඔහු රාත්‍රී ආහාර ගෙන නින්දට වැටුනේය. පාන්දරින් අවදි වී යන්නට සැරසෙද්දී තාත්තා ඔහු අත මුදලක් තැබූ බව මට මතකයේ ඇත. ඒ විතරක්ද නොවෙයි දවල්ට කන්නේ නැති බව පැවසීම නිසා දවල් ආහාරයට බත් මුලක්ද බැඳ දුන්නා මට මතකයි.

ඉන්පසු හැමදාමත් මේ විදියට රාත්‍රිද ඔහුගේ නවාතැන් පොල වූයේ මගේ නිවසයි. මගේ අම්මා නිතරම අසනීපයෙන් පසුවූ නිසා ගේදොර ඉවුම් පිහුම් කටයුතු කෙරුණේ මා අතිනි. මා උයන විට කුස්සියට පැමිණ මා කතාවට අල්ලා ගන්නා ඔහු හැම විටම හොඳින් ඉගෙන ගන්නා ලෙස පැවසීය.

විටෙක මා පිසින කරවල කෑල්ල විශාල වැඩි බව පවසන ඔහු තවත් වේලකට එය පිරිමසා ගත හැකි බව පවසයි. හැමදාමත් දවාලට බත් මුලක් බැඳ දුන් අතර රාත්‍රියේ පැමිණි පසු ලොකු නංගියෙ අද බත් එක නම් රසයි කියා පවසයි.

දිනක් අපේ ගෙදරට තවත් වෛද්‍ය සිසුවෙක් පැමිණි අතර ඔහු තාත්තා සමග ත්‍රිමාවිතාන ගැන යමක් පවසන ලදී. ඉන්පසු තාත්තා අයියාව ගෙදරින් පිටත් කර හරිනු ලැබීය. රාත්‍රියේ ගෙදරට එන ත්‍රිමාවිතාන මේ බවක් දැන ගත්තද ඔහුට යන්නට වෙත තැනක් නැත. ඔහු දිගටම අපේ ගෙදර ආවේය. දිනක් තාත්තා ඔහුට ගෙදරට එන්නට එපා කියන්නට සැරසෙද්දී මම තාත්තා සමග බහින්බස් වූයෙමි.

තාත්තා පැවසූයේ අම්මාගෙ අසනීපය නිසා උයන්නට කෙනෙකු නොමැති බවකි. එහෙත් එය මට කළ හැකි බවක් ඔහුට තවදුරටත් නිවසේ නතර වීමට ඉඩදෙන ලෙසත් මා පියාගෙන් ඉල්ලූ අතර, ඒ සඳහා අවසරය ලැබුණි. ඔය විදියට සෑහෙන කාලයක් අපේ ගෙදර නවාතැන් ගත් මේ සොයුරා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් බව දැන ගන්නට ලැබුණා.

රාත්‍රියට විශාල ප්‍රමාණයේ පෝස්ටර් අඳින ඔහු එක කොළයක් හෝ අපතේ නොයවයි. අපි ඒ දෙස බලා සිටින්නේ පුදුමයෙනි. එක අකුරක් ප්‍රමාණයෙන් අපිට සමානය. අපි කොළයක් ඉල්ලුවොත් කියන්නේ නාස්ති කරන්න කොළ දෙන්න බෑ කියලයි.

එක් දිනක් අපේ තාත්තා ඔහුට කලිසමක් මසා ගන්නට කලිසම් රෙද්දක් දුන්නේය. එදින ඔහු අපේ තාත්තාගේ දෙපතුල් අල්ලා වැඳ සමුගත්තේය. කලිසමේ සාක්කුවේ අඩිය හොඳටම හිල්වී ඇති නිසා මේස් එකක සල්ලි දමාගෙන යයි.

කාලය ගෙවී ගිය අතර රටේ තත්ත්වය ඉතාම බිහිසුණු විය. ඒත් ඔහුට අපේ නිවස ආරක්ෂිත විය. එක් දිනක් ගෙදර පැමිණි ඔහු උදෑසන බසය එනවා ඇසුණු විට සෙරෙප්පු පයලා දුවන්නට සැරසුණි. කකුල් දෙක මාරුවී සපත්තු දෙක දමා ගත්විට නංගිත් මමත් හිනා වුණේ අනේ දොස්තර මහත්තයට කකුල වැරදිලා කියලයි.

ඒ වේලාවේ ඔහු අපි දෙදෙනා දිහා බලාගෙන අහිංසකව සිනාසුණේය. ඒ ඔහුගේ අප දැකි අවසන් සිනාවයි. ඉන් දිනකට පසු සාහසිකයින් විසින් පද්මසිරි ත්‍රිමාවිතාන සොයුරා ඝාතනය කරන ලදී. නිකම්ම නොවේ සාහසික ලෙස ඝාතනය කරන ලදී.

පද්මසිරි ත්‍රිමාවිතාන නම් වෛද්‍ය සිසුවා ඝාතනය විය. එදින අප නිවසේ කෑම පිසුවේ නැත. කිසිවකුට බඩගින්නක් පැමිණියේද නැත. අම්මා රත්කර තිබු යමක් කෑමට වෙනදා රණ්ඩු වෙන අපි එදින ගොළුවන් සේ කාමර තුළටම වි කල් ගෙවීමු. හදිසියේම ගේ ඉදිරිපස සුදු කොඩියක් දැමිය යුතු වුවත් තාත්තාගෙන් ඒ ගැන විමසීමට සිත් නොදේ. නංගිීත් මමත් බොහෝම අමාරුවෙන් වචන සිර කරගෙන සිටියෙමු.

එහෙත් එක් වරම තාත්තා අපිට කතා කළේය. ලොකු දුවේ අපි ත්‍රිමාව බලන්න යමුද කියා ඇසුවේය. අපි එකවරම හා කියා කීවෙමු.

ඊට පසු දින අපි කොළඹ වෛද්‍ය පීඨයට යාම සඳහා රත්නපුර නගරයට ගියෙමු. රත්නපුර සිට කොළඹ බලා එකම බස් රථයක් හෝ ගමන් නොකරන බව අපිට බස් නැවතුම් පොළෙන් දැනුම් දෙන ලදී. තාත්තා ආපසු යාවි යැයි සිතක් මට ඇති විය. එහෙත් තාත්තා මට වඩා කල්පනා කාරි විය. ටික වේලාවක් කල්පනා කළ තාත්තා පානදුර බසය වෙත ගමන් කර දුවේ අපි හොරණට ගිහිං කොළඹට යං යයි පැවසීය. අපි පානදුර බසයේ නැග හොරණට ළඟාවීමු. හොරණින් කොළඹ බසයට ගොඩවී අපි වෛද්‍යය පීඨයට ළඟාවිමු.

මහා ජනකායක් පෝලිම් දිගේ ඇදෙමින් පැවතුණි. ඒ අතර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විශාල බීම බාල්දියක් උස්සාගෙන ආ ආකාරය මට අද මෙන්ම මතකයේ ඇත. ඔහු එවෙලේ ටීෂර්ට් එකකින් සහ කලිසමකින් සැරසී සිටියේය. එහෙත් ඔහු සමග දොඩවන්නට මෙය අවස්ථාවක් නොවේ. පෝලිම දිගේ අපිද වේගයෙන් ඉදිරියට ඇදුණේ ත්‍රිමාගේ දේහය දැක බලාගන්නට පැමිණියද ඉතා කුඩා වීදුරු පෙට්ටියක නොපෙනෙන සේ වසා තිබු සේහය දුටුවිට මට මහා හයියෙන් ඇඩුණේ සිටිය තැනද අමතක වෙමිනි.

වෛද්‍ය සිසුන් පැමිණ අපේ තාත්තාගෙන් බොහෝ දේ විමසන ලදි. ඒ අතර අපිව හොඳින් දන්නා අය බොහෝ සිටි අතර ගමේ අහවලාගේ නංගිලනේ කියමින් ඔවුන් අපිව ඇතුළට කැඳවාගෙන යන ලදි.

අපි ආපහු ගෙදර එන්නට පිටත් වුණේ බොහෝ දුකින් හා කලකිරිමෙනි. බස් ලයේ කවුළුවෙන් ඉවත බලා ගෙන සිටියද හිත තිබුණෙ ඔහුගේ දේහය වෙතයි. අපි ඇස්වල කඳුළු පිරුණේ නොදැනුවත්වමයි.

රත්නපුරයට පැමිණි පසු ගමට එන බසය නොතිබුණෙන් තාත්තාත් නංගීත් මමත් කිලෝ මිටර අටක පමණ දුර පයින්ම ගමන් කළෙමු. ගමන ගැන විස්තර අසා සිටි අම්මාද ඇඩුවාය. ඔහු වෙන තැනක මිය ගියානම් දුකක් නැත. ඔහු මිය ගියේ රත්නපුරයේ වීම මට මහත් දුකක් ගෙන දුනී.

අදටත් මගේ දෑස් පියාගත් විට රාත්‍රියේ ගෙට ගොඩවන ත්‍රිමාන පෙනේ. පද්මසිරි ත්‍රිමාවිතාන මා ඉතාමත් ගරු කළ, ඉතාමත් ආදරය කළ පුද්ගලයෙක් විය. අදින් අවුරුදු විසි ගණනකට පෙරාතුව වුවද එය එදා මෙන්ම අදටත් එසේමය.

එහෙත් ආදරය යනු වරදවා වටහා නොගන්නා මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි. මා එසේ කීවේ වැරදීමකින් හෝ එවැනි සිතුවිල්ලක් කෙනෙකු තුළ ඉපදීමට ඉඩ දීම ඔහුට කරන අගෞරවයක් ලෙසට මා සිතනා බැවිනි.

ඔහු ඉතාම අවිවේකි කාර්ය බහුල ජිවිතයක් ගත කළ අයෙකි. එමෙන්ම හරියට කන්නට බොන්නට හෝ නින්දට පවා ඔහු හට අවස්ථාවක් නොමැති විය. එහෙත් අපේ ගෙදරට පැමිණි සෑම දිනකටම උඩ තියෙන ටැංකියෙන් නා ගත් ඔහු අප හා දොඩමලුවෙයි. එහෙත් වචනයක් හෝ අපතේ නොහරී. මා එසේ කියන්නේ ඔහු කියන කිසිදු වැකියක් අපතේ හරින්නට හැකියාවත් නැති නිසාය.

හැමවිටම අපිට පොතපත පාඩම් කරන්නට උපදෙස් දෙයි. මම උසස් පෙළ පන්තියේදී විද්‍යා විෂයයන් හැදෑරුවෙමි. මට බොහෝ පාඩම් පිළිබඳව උපදෙස් ලබා දුන්නේ ඔහුයි. නිවැරදිව පාඩම් කරන්නට කියාදුන්නේ ඔහුයි. මට අයියෙක් සිටියද ඔහු කිසිම දිනක අපේ අධ්‍යාපනය ගැන ඇඟිලි ගැසුවේ නැත.

පන්තියේ ඉදිරි දහ දෙනා අතර සිටියද ඉන් ඔබ්බට ඒමට පාර තනා දුන්නේ ත්‍රිමාය. රෑ නිදිමරාගෙන පාඩම් කළ අයුරු අපිට කියන්නේ ඇතැම් විට අපව සිනහ ගන්වමිනි. මම කලින් ලිපියක කිව්වා ත්‍රිමා පෝස්ටර් ඇඳපු බවක්, එය ඔබට මතක ඇතැයි සිතමි. පෑන් බටයක පුළුන් කැබැල්ලක් ගසා එය තීන්ත බාල්දියේ පොඟවා අඳින අකුරු කියන්නට බැරි තරම් හැඩය. පොඞ්ඩක් හෝ එහා මෙහා වෙන්නේ නැත. හැඩය වෙනස් වන්නේද නැත.

එක කොළයක් හෝ වැරදීමකින් ඉවත් නොකරයි. අකුරක් ප්‍රමාණයෙන් ඉතා විශාලය. ලස්සන අකුරුවලින් ඔහු පෝස්ටර් සිය ගණනක් අඳින්නට ඇත. අපේ දුම්ගෙයට සාමාන්‍යයෙන් ගින්දර දමන්නේ දවාලටයි. රාත්‍රිය වන විට එය කෙමෙන් නිවී යයි. එහෙත් ත්‍රිමා පැමිණි පසු හැම දිනකම පාහේ දුම් ගෙයට රාත්‍රියේද ගින්දර දැමුණි.

ඒ ඇයි දැයි කියා අපි එකල පියාගෙන් නොවිමසුවෙමි. එහෙත් ත්‍රිමාගේ මරණයෙනුත් බොහෝ කලකට පසු තාත්තා කියූ දෙයින් අපි පුදුමයට පත් වීමු.

ඔයගොල්ලො දන්නෑ ලොකු දුවේ මම ඒ කාලේ හිටියෙ පුදුම බයකින්. ත්‍රිමා ගෙදර ඉද්දී හමුදාවෙන් ආවොත් මම මොනවා කරන්නද. මට ත්‍රිමාව පාවල දෙන්නත් බෑ. ඔය ගොල්ලන්ව දෙන්නත් බෑ. මම හැම රෑකම දුම්ගෙයට ගින්දර දැම්මෙ ඇයි කියල ඔය ගොල්ලො දන්නෙ නෑ. හදිසියෙ හමුදාවෙන් ආවොත් ඔය අඳින පෝස්ටර් ටික දුම් ගෙයට දාන්නයි මම එහමෙ කළේ කියලා තාත්තා කිව්වා.

ඇත්තටම තරමක් නිහඬ පුද්ගලයෙකු වූ මගේ පියා නගරයේ විදුහලක විදුහල්පතිවරයෙක්. ඔහු සිතා ඇති දුර ගැන සිතන විට දිනක් ත්‍රිමා වෙනුවෙන් තාත්තා සමඟ බහින්බස් වූ ආකාරය සිහිවී මටම ලජ්ජා සිතුනි. තිබුණෙ එකම එක සුදු අත්කොට කමිසයක් පමණි. සෑම දිනකම රාත්‍රියේ එය සෝදා වේළන්නට දමයි. උදේට එය සිතනතරම් වේළී නැති නිසාදෝ හැම දිනකම ස්ත්‍රික්කයට පොල් කටු දමා රත් කර දීමට මට සිදුවිය. එහෙත් මා එම කාර්යය කළේ ඇත්තටම හිතේ ඇති වූ කැමැත්තෙනි.

එහෙත් මා කැමති වූයේ ඔහුගේ දේශපාලන ස්ථාවරයට නොවේ. මා ගරු කළේ ආදරය කළේද එයට නොවේ. ඔහුගේ ඇති මහත්මා ගතිගුණවලටයි. ඇත්තටම ඔහු තුළ සැඟවී ගත් උදාර මනුෂ්‍ය ගුණය අතිමහත්ය.

එය එසේ නොවන්නට අයියාද ගෙදර නැති විටක අපේ ගෙදරට පිරිමියෙකු වද්දාගන්නට මා නොපෙලඹෙනු ඇත. ඔහු අප නිවසට පැමිණි දෙවැනි දිනය මගේ මතකයෙන් කිසිදා අමතක නොවේ.

අපේ ගෙය පහු කර බස් රථය නවත්වන ස්ථානය දක්වාම ඔහු ගමන් කර ඇත්තේ වැරදීමකිනි. එතැන් සිට ඔහු පාගමනින්ම අපේ ගෙදරට එන්නට ආපසු පිටත් වී ඇත. කළුවරේ තනියම පයින් එන අයෙකු දැක අපේ මාමා කෙනෙකු කොහේ යනවා දැයි විමසා ඇත.

අපේ ගෙදරට බව පැවසූ පසු ඔහු කාරයෙන් අපේ ගෙදරට කැඳවාගෙන විත් ඇත. ඇත්තටම එවැනි අවස්ථාවක ඔහු පොලිසියට හෝ හමුදාවට කොටු වූයේ නම්…..

ඉස්සර පාසල් ශිෂ්‍යයෝ නිතරම පන්ති වර්ජනය කළෝය. අපිත් එසේ පන්ති වර්ජනය කිරීමට එකතු වුණෙමු. ටොකු ගහ යට සිට පන්ති වර්ජනයේ යෙදෙන අතර සුපුරුදු මුහුණක් දැක මම ඔහු හඳුනා ගතිමි. ඒ ත්‍රිමාය. අසල කඩයක ඉදිරිපසට වී අප දෙස බලා සිටියේ ඔහුය. එහෙත් ඔහු අප දන්නා බවක් හෝ නොපෙන්වීය.

මෙය හුදෙක් උපුටනයක් පමණි. සයිටම් වැනි ජාතික ගැටළුවකට මුහුණ දී සිටින සමයක එකළ සිටි මොවුන්ගේ සාමාන්‍ය නොවු අනිකා වෙනුවෙන් වෙහෙසුණු ජීවිතය දැක්වීම මෙහි සමාජජාලා ගත කිරීමේ අරමුණ වෙයි.  අන්තර්ගතයේ ඇති සත්‍ය අසත්‍යතාව විමසා බැලීම ඔබට භාරයි.
ලංකාදීප දියත අතිරේකය