පේරාදෙණිය සරසවියේ උපකුලපති තනතුර දැරූ අපූරු සිවිල් සේවකයා

මාපටුනගේ ජේම්ස් පෙරේරා හෙවත් එම්.ජේ. පෙරේරා මෙරට මෑත අතීතයේ සිටි කීර්තිමත් සිවිල් නිලධාරියෙකි. උපදිසාපතිකමේ සිට අමාත්‍යංශ ලේකම් දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුරු, සංස්ථා මණ්ඩල සභාපතිකම් පමණක් නොව පේරාදෙණිය සරසවියේ උපකුලපති තනතුරද දැරූ එම්.ජේ. අපූරු සිවිල් සේවකයෙකි. ඔහු දේශපාලන භවතුන් ඉදිරියේ යටහත් පහත් වූයේ නැත. ආණ්ඩුවක දැඩි දේශපාලන තීරණයකට අවනත වීමේදී පවා හෙතෙම තමාට ඉහළින් නීතිය ඇති බව සිතා කටයුතු කළේය.

1965-1970 ඩඩ්ලි සේනානායක ආණ්ඩු කාලයේ පේරාදෙණි සරසවියේ ඇතිවූ ආරවුල් සමථයකට පත්කිරීම පිණිස සිවිල් සේවකයකු උපකුලපති පදවියට පත්කළ යුතු යැයි එවකට අධ්‍යාපන ඇමැති අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල රජයට නිර්දේශ කළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අයත් පදවියක් වූ උපකුලපති පදවියද සිවිල් සේවකයන්ට පවරන්නට ගත් තීරණය සරසවි ඇදුරන්ගේ දැඩි විවේචනයට ලක්වූහ. ඊරියගොල්ල අධ්‍යාපන ඇමැති මෙන්ම ඩඩ්ලි ආණ්ඩුවද සරසවි ඇදුරන්ගේ නොසතුටට හේතුවිය.

කවදත් අභියෝග බාරගන්නට කැමැත්තක් තිබූ සිවිල් සේවක එම්.ජේ. පෙරේරා පේරාදෙණි සරසවියේ උපකුලපති ධුරය බාරගන්නට තීරණය කළේ දෙකට දෙවාරණයේය. එහෙත් ඔහුට එක් සැනසිල්ලක් තිබුණි. ඒ තමන් සමඟ සරසවියේ එක පන්තියේම උගත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එකල පේරාදෙණිය සරසවියේ ජනප්‍රියම ආචාර්යවරයා වීමයි. අන් කවුරු නැතත් තමන්ගේ පන්ති මිතුරා තමන්ට සහාය දෙනු ඇතැයි ඔහු අපේක්ෂා කළේය.

කෙසේ හෝ එම්.ජේ. පෙරේරා පේරාදෙණි සරසවි උප කුලපති ලෙස පත්කෙරෙන බව නිවේදනය කළ වහාම සතර අතින් විරෝධතා නැග එන්නට විය. සරසවි ඇදුරෝ ආණ්ඩුවේ තීරණය ගැන කුපිතව සිටියෝය. එම්.ජේ. පෙරේරාට පේරාදෙණියට එන්නට නොදෙන බවට සපථ කළ බවද සඳහන් විය. එහෙත් ඔහු ආණ්ඩුව බාරදුන් වගකීම පිළිගෙන පේරාදෙණියේ වැඩබාර ගැනීමට පිටත් විය. ගුරු සිසු විරෝධතා මධ්‍යයේ සරසවි භූමියට පිවිසි උපකුලපතිවරයාට මුලින්ම ලැබුණේ හූ වරුසාවකි. පෙළපාලි යෑම්, උද්ඝෝෂණය කිරීම්, ගල් ප්‍රහාර පමණක් නොව සුළු සුළු ප්‍රචණ්ඩ ක්‍රියාද සරසවි භූමියේ තැනින් තැන හටගත් බව වාර්තා විය. මෙහි වඩාත්ම සිත්ගන්නා සුළු කරුණ වූයේ එම්.ජේ. පෙරේරා තමන්ට උදව් කරනු ඇතැයි විශ්වාස කළ මහාචාර්ය සරච්චන්ද්‍ර තම පන්ති මිතුරාට එරෙහිව ගෙනගිය සටනේ පෙරමුණේ රාළ කෙනෙක් වීමයි. එහෙත් එම්.ජේ. ඔහුගෙන් ඒ ගැන අසන්නට ගියේ නැත. විරෝධතා මැද ආරක්ෂක රැකවල් සහිතව රාජකාරියද කෙරිණි.

මෙසේ තිබියදී මහනුවර පවත්වන්නට නියමිත වූ නිදහස් උත්සවයේ ආචාර පෙළපාළිවලට පැමිණි හමුදා සාමාජිකයන් පිරිසක් සඳහා පේරාදෙණි සරසවි නේවාසිකාගාර තුළ නවාතැන් සැපයීමට රජය අමනෝඥ තීන්දුවක් ගත්තේය. උපකුලපතිවරයාගෙන් හෝ සරසවි සිසු සංගම්වලින් විමසීමක් නොකර හිතුමතේ ගත් මෙම තීරණය බෙහෙවින් අර්බුදකාරී විය. හමුදාව සරසවි භූමියට පිවිසුනහොත් ඔවුන් පන්නා දමන බවට ශිෂ්‍යයෝ දිවුරන්නට වූහ. උපකුලපතිවරයා මේ ගැන රජයට වාර්තා කළද ආණ්ඩුව ඒ ගැන තැකීමක් කළේ නැත. නියමිත පරිදි හමුදාව අදාළ දිනයේ සරසවියේ ලැගුම් ගැනීමට පැමිණියහ. ඔවුන්ට සැලසුම්කර තිබූ පරිදි නේවාසිකාගාර ලබාදීමට සරසවි පාලන අධිකාරියට සිදුවිය. 

සරසවි උපකුලපතිවරයා හතර අතින්ම පීඩාවට පත්ව සිටියේය. ගින්දර හා පුළුන් එක ළඟ තැබීමෙන් කොයි මොහොතේ හෝ ගින්නක් පත්තු වේ යැයි ඔහුට ඉවෙන් මෙන් දැනුණි. අවසානයේ සියල්ල අනුමාන කළ පරිදිම සිදුවිය. සරසවි සිසු සිසුවියන් හා හමුදාව අතර ගැටුමක් හටගැනිණි. දේපල විනාශ වූ අතර තුවාල ලැබූ සෙබළුන් මෙන්ම සරසවි සිසු පිරිස්ද ගණනින් සෑහෙන පමණ වූහ. අර්බුදය උත්සන්න වෙද්දී ආණ්ඩුව කරකියාගත හැකි දෙයක් නොමැතිව හමුදාව සරසවියෙන් පිටතට ගත්තේය. එහෙත් සිදුවූ ව්‍යසනය ගැන රටපුරා මහත් ආන්දෝලනයක් හට ගැනිණි. උපකුලපතිවරයාගෙන් නොවිමසා හමුදාව සරසවි භූමියේ ගාල් කිරීමේ පාපකර්මය අධ්‍යාපන අමැතිවරයා  හෝ ආණ්ඩුවේ වෙනත් ලොක්කකු බාර ගත්තේ නැත. ඒ ගැන විමර්ශනයට පරීක්ෂණ කොමිසමක්ද පත්කෙරිණි.

මේ වනවිට උපකුලපති ධුරය දැරූ එම්.ජේ. පෙරේරා මහතා ප්‍රශ්නයේදී ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය ගැන දැඩි ලෙස කම්පාවට පත්ව සිටියේය. විවිධ විරෝධතා මැද ඔහුට මෙම අභියෝගය බාරගන්නට ආරාධනය කළ අධ්‍යාපන ඇමැතිවරයා හෝ අගමැතිවරයා හෝ වෙනත් කිසිවකු උපකුලපතිවරයා වෙනුවෙන් කතා කළේ නැත. එම්.ජේ. හොඳටම කලකිරුණේය. අවසානයේ මේ කෘතහස්ත සිවිල් සේවකයා සරසවි උපකුලපති ධුරයට ආයුබෝවන් කියා තනතුරින් ඉල්ලා අස්විය. එහෙත් දේශපාලකයෝ මෙම සිද්ධයෙන් එක් පාඩමක් උගත්හ. සරසවි තුළ ආරක්ෂක අංශ රැඳවීමෙන් අයහපතක් මිස යහපතක් සිදු නොවන බව ඔවුන් ඒත්තු ගත්තේ මෙම සිදුවීමෙන් පසුවය.

මව්බිම පුවත්පත