ඇස්පනාපිට සමුගත් ඩෝඩෝ

ඉන්දීය සාගරයේ පිහිටි මුරුසි දූපත 16 වැනි සියවසේ දී ලන්දේසි කොලනියක් විය. පළමු වරට මුරුසි දූපතට පය තැබූ ලන්දේසි නාවිකයන්ට අමුතු අපූරු මෙන්ම සිනහ උපදවන කුඩා කුරුල්ලෙක් දකින්න ලැබුණි.

මේ කුරුල්ලා මිනිසාට බියක් නොදැක්වීය. මේ සත්වයා කුරුල්ලෙකු වුණත් පියඹා යෑමට නොහැකි වුණු අහස අහිමි කුරුල්ලෙකු විය. විකාරරූපී පෙනුම සහ මිනිසාට බියක් නොදැක්වීම නිසා ලන්දේසි වැසියෝ ‘ඩෝඩෝ’ යන නමින් මේ කුරුල්ලා හැඳින්වූහ. ඩෝඩෝ යනු ලන්දේසි බසින් ‘මෝඩයා’ යන්නය.

මිනිසා සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇස් පනාපිට ලොවෙන් වදවුණු සත්වයකු ලෙස මුරුසි දූපතට පමණක් ආවේණික වූ ඩෝඩෝ සැලකිය හැකිය. පසුගිය දා ඩෝඩෝ කුරුල්ලන් ගැන නවතම තොරතුරු රැසක් කරළියට අනාවරණය විය. ඒ, ඩෝඩෝ කුරුල්ලන්ගේ ජීවන චක්‍රය කෙසේ සිදුවුණේ ද යන්න සම්බන්ධයෙනි.

අද ඩෝඩෝ කුරුල්ලන් දකින්න නැත. අද ඇත්තේ ඩෝඩෝ කුරුල්ලන්ගේ අස්ථි සහ පොසිල  කොටස් පමණි. ලන්දේසි නාවිකයන්ගේ සිතුවම් අනුව, ඩෝඩෝ අළු සහ සුදු පැහැති කුරුල්ලෙකි. කෙසේ නමුත් නවතම පරීක්ෂණ අනුව සත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඩෝඩෝ ලා අළු, නිල් පැහැයේ සිට අළු දුඹුරු පැහැය තෙක් වර්ණවත් වුණු කුරුල්ලකු කියාය.

ලොවෙන් වද වුණු ඩෝඩෝගේ සත්ව විද්‍යාත්මක නම රැපුස් කුකුලැටස් ය. අඩි 3 ක් උස, කිලෝ ග්‍රෑම් 17.5 ක් බරින් යුක්ත වූ ඩෝඩෝ අයත් වන්නේ පරෙවියන් සහ කොබෙයියන් අයත් වන රැපිනේ නමැති කුරුලු පවුලටය. ඩෝඩෝට වඩාත් සමීපතම කුරුල්ලා ලෙස සැලකෙන්නේ ‘නිකෝබාර් පරෙවියා’ය.

මුරුසි දූපතට යුරෝපීය ජාතිකයන් පැමිණියේ තනිවම නොවේ. දූපතේ පදිංචි වූ බොහෝ දෙනා බල්ලන් රැගෙන දූපතට ලෙන එන ලදී. බල්ලන් පමණක් නොව, බළලුන්, ඌරන් පමණක් නොව වදුරන් ද දූපතට හඳුන්වා දෙනු ලැබුණි. මිනිසාට පමණක් නොව, මිනිසා විසින් දූපතට හඳුන්වා දෙනු ලැබූ සතුන්ට ද බියක් නොදැක් වූ නිසා ඩෝඩෝ පහසු ගොදුරක් බවට පත්විය. පියඹා යෑමට නොහැකි වුණු නිසා ඩෝඩෝ අසරණ විය.

ලන්දේසි නාවිකයන්ට පළමු වරට ඩෝඩෝ කුරුල්ලකු දකින්න ලැබුණේ 1598 වසරේ දී යැයි ලන්දේසි සටහන්වල සහ සිතුවම්වල දැක්වෙයි. ඉන් වසර 64 ක් ගත වෙද්දී ඩෝඩෝ කුරුල්ලන් දූපතෙන් වද වී යන්න විය. අවසන් වරට ඩෝඩෝ කුරුල්ලකු දකින්න ලැබුණු බව පැවැසෙන්නේ 1662 වසරේදීය.

ඩෝඩෝ කුරුල්ලන් උගේ ජීවන චක්‍රය තුළ දී අවස්ථා කිහිපයකදී පිහාටු හලා දමා, වර්ණවත් පිහාටු වෙනස් කර ගත් බව නව පරීක්ෂණවලින් හෙළි වී ඇත. ලිංගික වශයෙන් පරිනත වෙද්දී පිහාටු වෙනස් කර ගන්නා කුරුල්ලන් එමටය. අහස අහිමි කුරුල්ලකු වන පැස්බරුන් එසේ පිහාටු වෙනස් කරන කුරුල්ලකු යැයි ද පැවැසෙයි.

ඩෝඩෝ කුරුල්ලන් ගැන නවතම පරීක්ෂණය සිදුකළේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර කේප්ටවුන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමකි. එම කණ්ඩායම මෙහෙය වූයේ ආචාර්ය ඩෙල්ෆීන් ඇන්ගස්ය.

නව තොරතුරු අනාවරණය වී ඇත්තේ, සොයා ගැනුනු ඩෝඩෝ කුරුල්ලන්ගේ විසි දෙදෙනකුගේ පොසිලකරණයට ලක්වුණු අස්ථි පරීක්ෂා කිරීමෙනි.

ලැබුණු තොරතුරු අනුව, ඩෝඩෝ කුරුල්ලන්ගේ වර්ධනය ඉතා වේගයෙන් සිදුවී ඇත. කුඩා කල වර්ධනය මෙසේ වේගයෙන් සිදුවී ඇත්තේ සිත්පිත් නැති දළදඬු කාලගුණයට ඔරොත්තු දීමට හැකි වන අයුරිනි.

මැඩගස්කරය යනු දකුණු අර්ධ ගෝලයේ සුළි කුණාටුවලින් බැට කන දූපත් රාජ්‍යයකි. ප්‍රචණ්ඩකාරී කාලගුණයෙන් ආරක්ෂිතව සිටීමට හැකි අයුරින් ඩෝඩෝගේ සිරුර වේගයෙන් වර්ධනය වීම සිදුවුණැයි පරීක්ෂණවලින් තහවුරු විය.

“වර්තමානයේ කුරුල්ලන් බොහෝ දෙනෙකු පිහාටු හැලීමක් සිදු කරනවා. පිහිටා හැලීමත් සමඟ අලුතින් වර්ණවත් පිහාටු ඇති වෙනවා. ඩෝඩෝ කුරුල්ලන් ද එසේ කළා ද යන්න සම්බන්ධයෙන් මීට පෙර වාද විවාද පැවැති නමුත් ඒ බව දැන් තහවුරු වෙලා තියෙනවා.” යැයි ආචාර්ය ඩෙල්ෆීන් ඇන්ගස් මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.

ප්‍රබන්ධ සාහිත්‍යයේ ද කැපී පෙනෙන ඩෝඩෝ කුරුල්ලකු සිටී. සාහිත්‍යයට එක්වුණු ඩෝඩෝ කුරුල්ලා හමුවන්නේ ‘ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඞ්’ (විශ්මලන්තයට ගිය ඇලිස්) කතාවෙනි. අද වදවී යෑමේ ආදීනව ලොවට කියා පෑමේ සංකේතය වන්නේ ද ඩෝඩෝ සැලකෙයි.

ඬේලිමේල් ඇසුරිනි