හැමෝම දැනුවත් කරමු

ප‍්‍රදේශ කිහිපයකට ඊයේ (18) ඇසී ඇති ආගන්තුක ශබ්දය සහ දැක ඇති ආගන්තුක එළිය පිළිබඳ කලබල නොවන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඊයේ රාත‍්‍රී 8.40 ත් 9.15 ත් අතර කාලයේදී මෙම ආගන්තුක ශබ්දය සහ එළිය දර්ශනය වූ බවයි දැනට ලැබී ඇති වාර්තාවල දැක්වෙන්නේ.

මේ පිළිබඳ අදාළ තාක්‍ෂණික ආයතන තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

ගාල්ලට සහ මාතරට අමතරව හම්බන්තොට, කළුතර සහ කොළඹ යන දිස්ති‍්‍රක්කවල ඇතැම් ප‍්‍රදේශවලට මෙම ශබ්දය අසන්නට සහ එළිය දර්ශනය වූ බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ඇසී ඇති ශබ්දය සහ නිරීක්‍ෂණය වූ එළිය කුමක් දැයි යන්න පිළිබඳව ජනතාව තවමත් කුතුහලයෙන් සිටින බවයි

මේ පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්‍ෂ, මහාචාර්ය චන්දන ජයරත්නගෙන් විමසීමක් කළා.

ඔහු පැවසුවේ මෙවැනි සිද්ධීන් ඉකුත් දිනවල වෙනත් රටවලින්ද වාර්තා වී ඇති බවයි. මේවා ගිනිබෝල වර්ගයේ උල්කාශ්ම විය හැකි බවත් මේ වන විට හැලී ගේ දුමකේතුවේ කක්ෂය හරහා පෘතුවිය ගමන් කිරීම සිදුවන නිසා එමගින් උල්කාපාත වර්ෂාවක් ඇතිවීමටද නියමිත බවත් සමහර විට එම සිද්දිය නිසා ඇතිවූ තත්ත්වයක්දැයි සැක කල හැකි බවයි.

කඩා වැටුණු කිසියම් ආකාශ වස්තුවක් බවට සැක කෙරෙන දෙයක් හමු වුවහොත් ඒ පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයට දැනුම් දෙන්නැයි මෙහිදි ඉල්ලීමක් කෙරුණා.

ඉකුත් 2011 වසරේ අගෝස්තු මාසයේදී අනුරාධපුර ඇතුළු ප‍්‍රදේශ කිහිපයකටද ආගන්තුක ශබ්දයක් ශ‍්‍රවණය වී ආගන්තුක එළියක් නිරීක්‍ෂණය වුණා. එහෙත් එම ශබ්දය හෝ එළිය කුමක් දැයි මේ දක්වාත් තහවුරු වී නැහැ.