සඟ සතු දේ තමන්ගේ දේ මෙන් භුක්ති විඳීමේ පල විපාක ( සත්‍ය සිදුවීමක් )

   මෙය දැනට වසර හතළිහකට පමණ පෙර බස්නාහිර පළාතේ ගම් ප්‍රදේශයක. එක්තරා පන්සලක් හා සම්බන්ධව වාර්තා වු කතා ප්‍රවෘත්තියකි.

එදා එම ගම්මානයේ පිහිටි මෙම පංසල මෙන්ම ගම ද ඉතා නොදියුණු තත්ත්වයක පැවතුණු අතර අද එම තත්ත්වය තරමක් දුරට දුරස් වී ග්‍රාමීය මට්ටමෙන් තරමක් සතුටු දායක තත්ත්වයක පවතින බව කිව යුතුව ඇත. එදා එම පන්සලේ විහාරාධිපති වශයෙන් වැඩ වාසය කළ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද අපවත්ව ඇති අතර ප්‍රදේශවාසී දායක දායිකාවන්ගේ උද්​යෝගය හා ශ්‍රම ශක්තියෙන් පන්සල එසේ තරමක් දියුණු තත්ත්වයකට පත්ව ඇත.

එදා මෙම පන්සල් ඉඩමට යාබදව ගම්වාසීන්ට අවශ්‍ය වන සීනි, තේකොළ, කුළු බඩු ආදී දේ සුළුවෙන් හෝ මිලදී ගැනීම සඳහා පොඩි සිල්ලර කඩයක් තිබුණු අතර එම කඩයෙහි මුදලාලි වශයෙන් කටයුතු කරනු ලැබුවේ තරමක් වයසක පුද්ගලයෙකි. අපි ඔහු සර්පීනු මුදලාලි යනුවෙන් හඳුන්වමු. එවකට රුපියල් වලට වඩා සත වශයෙන් ගනුදෙනු පැවතුණු අතර සත පහට දහයට තමන් කඩයට ගෙනා බඩුව ගම්වාසීන්ට විකුණනු ලැබුවේ සත තිහක්, හතළිහක් තරම මිලකටයි. එසේ අන්තිම අසාධාරණ වෙළෙඳාමක් කළ මොහු ඉතාමත්ම අයුතු අන්දමින් අනුන් ගැන නොසිතා තම මඩිය තර කර ගැනීමට මාන බැලුවකු බව කිවමනාය.

මේ සිල්ලර කඩය මුවාවෙන් පන්සලට ද කිට්ටු කළ මොහු තමන්ගේ කපටි නුවණින් පන්සලේ හාමුදුරුවන්ද මුලා කර තම වසගයට ගැනීමට සමතෙක් විය. විහාරාධිපති හාමුදුරුවන් ද එතරම් සමාජීය දැනුමක් නොලද හාමුදුරු නමක් වීම ඔහුගේ අදහස් ඉටු කර ගැනීමට බොහෝ ඉවහල් වී ඇත.

උදේ වරුව පැයක් දෙකක් කඩයෙහි වෙළෙඳාමෙහි නිරත වන මොහු ඉන්පසු මධ්‍යාහ්නය වනතුරු කල් ගෙවුයේ පංසලේ හමුදුරුවන්ගේ අල්ලාප සල්ලාපයෙනි. මෙසේ දහවල් එකොලහට පමණ පන්සලට ගම්මුන් විසින් සපයනු ලබන දහවල් දානයෙන්ද වැඩි කොටසක් තම කුසට පුරවා ගැනීමට මැලි නොවු මොහු දිනක් දෙකක් නොව වසර හත අටක් පුරා මේ සිරිත අත් නොහැර දිගටම පවත්වාගෙන යෑම ගම්වාසීන්ට ද රහසක් නොවීය. මෙසේ දාන වේලෙන් තම කුස පුරවා ගැනීමේ සිරිතට අමතරව පිංකම් අවස්ථා වල ගම්මුන් විසින් පංසලට පූජා කරනු ලබන වටිනා පිංකම් භාණ්ඩ හා පංසලේ ඇති සග සතු වටිනා භාණ්ඩ ද හොර රහසේ පංසලෙන් පිට මං කිරීමද ඉතා සූක්ෂම අන්දමින් කෙරීමට මොහු පෙළඹුණි.

ගම්වාසීන්ගෙන් සමහර දෙනා, ඔහුගේ මෙම කටයුතු පිළිබඳව අවබෝධයකින් පසු වුවත් ඔහුගේ ඒවා හාරා අවුස්සා බැලීමට කිසිවෙකු ඉදිරිපත් නොවුයේ පංසලේ සිදුවන දේට ඇඟිලි ගැසීමට යාම නිෂ්ඵල කාර්යයක් යයි සිතූ නිසා විය හැකිය. නමුත් කවදා හරි මැරෙන මොහො​ෙත් වත් ඔය මනුස්සයාට ඕවා පළදේවියයි. සිල් අම්මලා කී කතාවක් මගේ කනට ඇසුණු වාර අනන්තය.

මේ අන්දමින් දන්වේලෙන් පුජා භාණ්ඩයෙන් ඇරඹුණු මොහුගේ පංසලේ ගැරිල්ල උච්ඡ තත්ත්වයකට පත්වුයේ මොහුට මුලා වු හාමුදුරුවන්ගේද අනු දැනුමෙන් යුතුව බව නොකිවමනාය.

මෙසේ පන්සලේ පූජා භාණ්ඩ හා වටිනා කියන දේ විකුණා මුදලක් මඩියට තරකරගත් මොහු ඉන් පසුව පටන් ගත් තවත් වටිනා ජාවාරමක් වෙයි. ඒ පංසල් වත්තේ වටිනා ගස් කොළන් කපා ඉරා ලී විකුණා මුදල් ගැරීමේ ජාවාරමයි. පංසලට තුට්ටුවක ආදායමක් නොමැතිව මොහු විසින් පටන් ගත් මේ ලී ජාවාරම ද පංසලේ නොව ඔහුගේම ශුභ සිද්ධියට හේතු විය. දරුවන්ට මහල් ගෙවල් තැනීමට මෙන්ම තම ජීවිතය මුදලාලි මට්ටමින් ගෙන යාමට ද මෙම ලී ජාවාරම ඔහුට මහෝපකාරී වු බව ගම්මුන් අතර අදත් කතාවට ලක් වෙන්නකි.

​ෙමසේ සඟ සතු දේ අයුතු අන්දමින් පරිහරණ්‍ය කෙරෙමින් එම වකවානුවේ හැටියට ගමේ පොහොසතෙකු වශයෙන් සුඛෝපභෝගීව ගත කළ සර්පීනු මුදලාලිගේ ජීවිතයේ අවසානය උදා වන අවසන් ලකුණු පහළ වන්නට වුයේ ඉතාමත් අවාසනාවන්ත අන්දමටයි.

පන්සලට යාවී වසර දහයක් පමණ ගත වී යද්දී මොහු හිටි හැටියේ රෝගාතුර වී ලෙඩ ඇඳට වැටුණේ ගමේ හෝ පවුලෙ කිසිවෙකු සිතා නොසිටි අවස්ථාවකයි. දිනක් සැන්දා යාමේ මගේ ඇඟ ගැහෙනවා. මොකද දන්නෑ කියමින් ඇඳට වැටුණු මොහුට සාමාන්‍ය ප්‍රතිකාරයක් වශයෙන් වෙනිවැල් ගැට තම්බා ඔහුගේ බිරිය විසින් දෙනු ලැබ ඇතත් රෑ දෙගොඩ හරි යාමේ සතෙකු මෙන් නිදි ඇදේ එහා මෙහා පෙරළෙමින් නොයෙකුත් විකාර කරමින් දෙඩ විමට පටන් ගත් මොහුගේ රෝගී තත්ත්වය පසු දා උදෑසන වන විට උත්සන්න තත්ත්වයට පත් වී තිබුණි. ගමේ වෙඳුන් ගෙන්වා නොයෙකුත් ප්‍රතිකාර කළ නමුත් සුවයක් නොලද හෙයින් ඇඳෙන් නැගිට ගැනිමට පවා නොහැකි මොහුට දොස්තර මහතෙකු ගෙදරට ගෙන්වා අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නත් එන්න එන්නම ඉතා බරපතළ අන්දමින් රෝගය උත්සන්න වී මොහුගේ ශරිරය නිය​ෙඟට අසුවුනු කුඹුරක් මෙන් ඉරි තලා පනුවන් මතු වන්නට විය. එසේ මතුවන සිය දහස් ගණන් පනුවන්ගේ කෑමෙන් ඇති වන දරුණු වේදනාවෙන් තිරිසන් සතකු මෙන් ගොර හැඩි අන්දමින් කෑ ගසමින් විලාප දෙමින් සතියක් පමණ​ නොවිඳිනා දුක් විදිමින් ගත කළ මේ සර්පීනු මුදලාලිගෙ මළ ගමට පවා ගම්වාසී වැඩි දෙනෙකු සහභාගී නොවු​ෙය් මොහුගේ මළ මිනියෙන් පැතිරෙන දුර්ගන්ධය ඉවසා සිටිය නොහැකි හෙයිනි.

මොහුගේ අවසානය මේ හැටියට සිදු වුයේ සඟ සතු දේ තමන්ගේ භූක්තියට සවි වුවක් මෙන් පරිහරණය කිරීමේ පාප කර්මය නිසා යයි. පාංශු කූලයට වැඩම කළ ස්වාමීන් වහන්සේ නමක් පැවසු බව ගමේ වැඩිහිටියන් පවසන්නේ අදත් මේ අන්දමින් තම වාසියට තකා කටයුතු කරනන් සමාජයේ දක්නට අති හෙයිනි.

 

පෑලිස්ගේ ගමනක අවසානය   

මෙයට දසක හතරකට පමණ පෙර බස්නාහිර පළාතේ පිටිසර ගම් පළාතක වු සිද්ධියකි.

නමින් පෑලිස් නම් මොහුගේ ජීවිකාව වුයේ මසට උෘරන් ඇති කිරීමය. මොහු එම උෘරන් මරා නගරයේ සති පොළට ගෙන ගොස් විකුණා මුදල් ලබා ගනියි. මොහු උෟරන් පොලු වලින් ගසා මස් සඳහා මරන විට මුළු පළාතම ඌරන්ගේ මරණ අඳෝනාවෙන් දෝන් කාර දෙයි.

පෑලිස්ට සෑම ආහාර වේලකටම මස් හෝ මාළු අවශ්‍යය. ඔහු විසින් මරන ලද ඌරන්ගෙන් මස් ඔහු ඔහුගේ කෑම සඳහා මස් මුලක් ඔහුගේ බිරියට ලබා දෙයි. මොහු සුරාවට ගිජු පුද්ගලයෙකි. ගමේ තිබෙන හොර සුරා පොළට ගොස් සුරා පානය කර බිරිය උයා තබන ලද මස් රස කර බුදියි.

ගමේ පන්සලේ නායක හාමාදුරුවන් විසින් පෑලිස්ට මෙම ඌරන් මස් සඳහා මරණයට පත් කර විකිණීම නතර කර වෙනත් ගොවිතැනක් කර ජීවත් වන ලෙස කොතෙකුත් අවවාද කරනු ලැබුවත් ඔහු ඒවා ගනනකට නොගත්තේය.
මාළු කෑමටත් ආසාවක් දැක් වු අයකු වු මොහු සවසට බිලිපිත්තක් ඇමට කටුවේ ඇමිනීම සඳහා මරණ ලද ඌරන්ගේ බඩ බොකුත් රැගෙන තම නිවෙස ළඟට ඇති ඔයට යයි. එසේ ගොස් බිලි කටුවට ඌරු බොකු අමුණා නුලට දමා මාළුන් ඌරුබොකු කෑමට ආ විට බිලී කොක්කෙ මාළුවන්ගේ උගුරේ හිර වී දඟලමින් සිටින විට ගොඩට ගෙන තම මල්ලෙ දමා ගනියි.

​ෙමසේ රැගෙන එන මාළුන් මොහු අලු දමා පනපිටින්ම කපා සුද්ද කර ලිප තැබීම සඳහා බිරිඳට බාර දෙයි. ඉන් පසුව පෑලිස්ගේ බිරිද එම මාලුත් ඔහුට කෑම සඳහා සකස් කර දෙන්නීය.

මොහු පෝය දිනකට වත් ගමේ පන්සලට නොගිය පුද්ගලයෙකි. මෙසේ මොහුගේ දින චරියාව ගෙවි යන අතර හදිසියේ මොහුට උගුරෙන් පහළට කැම ගිලී​ෙම් අපහසුතාවන් ඇති විය.

ඉන් පසුව මොහුව රජයේ රෝහල වෙත රැගෙන ගිය අතර එහිදී මොහු පරීක්ෂා කළ රෝහලේ වෛද්‍යවරු මොහු කොළඹ මහ රෝහල වෙත මාරු කර යැවු අතර එහිදී පරීක්ෂා කළ වෛද්‍යවරු මොහු මහරගම පිළිකා රෝහල වෙත යවන ලදි. එහිදී ඔහු පරීක්ෂා කර බැලු විට ​හෙළි වුයේ මොහුගේ උගුරේ පිළිකාවක් සැදී ඇති බවයි.

ටික කලක් රෝහලේ ගත කළ පෑලිස් ඉන් පසුව රෝහලෙන් ගෙදර ගෙන ආහ. මෙසේ ගෙදර ගෙනැවිත් දින ගණනාවක් උරෙකු මරණ බයෙන් හා වේදනාවෙන් කෑ ගසනවාසේ  දින ගණනාවක් මරලතෝනි දී එක් රාත්‍රියකදී පෑලිස්ගේ ප්‍රාණය නිරුද්ධ විය. ඉන් පසු ඔහුගේ අවසන් කටයුතු දින පන්සලේ නායක හාමුදුරුවන් පාන්සකූල බන දේශනා කරමින් තමන් කළ පව් පිං මෙලොවදී ද පළ දෙන බවත් පෑලිස්ටත් ඒ දේ එලෙසම සිදු වු බවත් අනිකුත් ඇත්තොත් ඒ දේ සිහි තබා ගෙන කටයුතු කළ යුතු බවත් උන්වහන්සේගේ පාන්සකුල ධර්ම දේශනයේදී පැහැදිලි කල සේක. අවමංගල කටයුතු අවසන් විමෙන් පසුව තම නිවෙස් වලට ගිය වැඩිහිටි අය පැවසුවේ උෘරන් මැරීමේ පාප කර්මය හා මාළුන් බිලි කොකු දමා අල්ලා අනුභව කිරීමේ පළ විපාක ඔහුටද මෙලොවදීම පඩිසන් දුන් බවයි.

ගවයකු මෙන් හඬ තලා මියයයි  

ඈත ගමක ජීවත් වූ ‘හැරිසන්’ දන්නා කියන කාලයේ සිට කළේ අහිංසක සතුන් ඝාතනය කිරීමය. පූරුවේ කළ අකුසල කර්මය අනුව ඔහුට මේ ආත්මයේදීත් රැකියාව ලෙස උරුම වූයේ ගව ඝාතකාගාරයක ගවයන් මැරීමය. හැරිසන් ගවයන් මැරුවේ අමුතුම ආකාරයකටය. ඒ කකුල් හතරට කඹ දමා කණු හතරක හිර වනසේ ගැට ගසා බදින ලද ගවයාගේ ගෙලට පොරෝ පහරවල් ගසමිනි. ‘හැරිසන්’ එසේ කරන්නේ මියැදුණු විට ගවයාගේ මස් හා මස් වල බර වැඩිවන බව කියමිනි. කෙසඟ සිරුරක් බියකරු මුහුණක් ඇති මොහු මත් පැන් බී රාත‍්‍රී කාලයට කාන්තාවන් සොයා යයි. කරන සෙල්ලම් කෙසේ කළත් ඔහුගේ බිරිඳ හෝ එකම පිරිමි ළමයා හෝ නොදනී. ගවයා මැරූ පසු මස් කරන්නේ ඔහු වුවද ගවයාගේ හිස කොටස කිසිම අයෙකුට නොදෙන්නේ ඔහුට රාත‍්‍රියට අවශ්‍ය නිසාය. වසර 57ක් පමණ වන විට ‘හැරිසන්ට’ අත පය වාරු නැති විය. මස් කඩ හිමිකරුද ඔහු අවලංගු කාසියක් සේ සැලකිය. නැති බැරි වෙලාවට කීයක්වත් අතට නොදෙන්නේ මින් ඉදිරියට වැඩක් ගැනීමට නොහැකි බව මස් කඩ හිමියා දන්නා නිසාය. නන්නත්තාර වූ ‘හැරිසන්ගේ’ නිවසේ අඩුපාඩු වලින් පිරි පැවතුණි. කුඩා දරුවකු සිටි පුතාද තරුණයකු වි පිට පළාතක රැකියාවකට ගොස් හොර රහසේ එම ගම් පෙදෙසෙන් විවාහ විය. නිවෙසේ අඩුපාඩු මව්පියන් වූ මොවුන් ‘පුතාට’ කීවද ඔහු ගම් පළාතක පස් පැගීමට නොඑන බව කීවේය.

දිනක් කිසිවක් කර කියා ගැනීමට නොහැකිව සිටි හැරිසන් ඉතා අමාරුවෙන් නිවෙසින් එළියට බැස්සේ කුමක් සඳහා දැයි දන්නේ ඔහු පමණි. එහෙත් වූයේ අපූරු සිදුවීමකි. ඔහු සේවය කළ මස් මඩුව දෙස බලාගෙන ගවයෙකු මෙන් තණකොළ කමින් කට දෙපසින් සෙම දමමින් දෙඅත් දෙපා දෙපසට විහිදුවා බිම වැතිරී මහ හඩින් කෙදිරි ගෑමයි. කෙදිරියට බිරිද හා අසල්වැසියන් පැමිණ මොහුව නැගිටවීමට උත්සාහ කළද එය ව්‍යාර්ථ වූයේ ගවයකු මෙන් දැඟලීම නිසාය. පැයක් පමණ දැගලූ මොහු මියැදුණේ ද ගවයෙකුගේ ආකාරයටය. ගවයන් අමුතුම ආකාරයට ඝාතනය කළ මොහුට මෙළොවදීම පඩිසන් දුන්නේ එසේය.

මුලාශය ලංකාදීප