මේ ආත්මේ අක්කගේ පුතෙක් වුණ ගිය ආත්මේ නංගි

දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණිය වූයේ ලලිතාය. ඇගේ අක්කා වූ කාන්ති ඇයට වඩා වැඩිමහල් වූයේ වසර තුනකිනි. දැඩි ආදරයකින් බැඳි සිටි මෙම සොයුරියෝ ඉගෙනීම ලැබුවේ ද එකම පාසලේය. තම දියණියන් දෙ​ෙදනාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට දෙමාපියෝ දැඩි මහන්සියකින් කටයුතු කළහ. වැඩිමහල් සොයුරිය වූ කාන්ති ගුරුවරිය ලෙස පත්වීමක් ලැබුවාය. ඒ වන විට ලලිතා උසස් පෙළ හදාරමින් සිටියාය. ඇගේ ප්‍රියතම විෂය වී තිබුණේ ඉංග්‍රීසි ලඝු ලේඛනය විය.

ලඝු ලේඛිකාව ලෙස රැකියාවකට යෑම ඇගේ බලවත් ආශාව වී තිබිණි. එම විෂය ප්‍රගුණ කිරීම සඳහා ඇය විසින්ම තෝරාගත් පෞද්ගලික පන්තිවලට යෑමට ද ඇය පුරුදුව සිටියාය. දැඩි උනන්දුවකින් ලඝු ලේඛනය හැදැරූ ඇය සමග මිතුරියන් කීප දෙනෙක්ද එම විෂය හැදෑරීමේ යෙදී සිටියහ. ඇගේ හොඳම මිතුරිය වූයේ සීතාය. බොහෝ දිනවල සීතා ඇගේ නිවසට පැමිණීම ද සිරිතය. ලලිතා සිය දෙමාපියන් සමග මහ ගෙදර සිටි අතර කාන්ති විවාහයෙන් පසු වෙනත් නිවසක පදිංචිවී සිටියාය.

තම අධ්‍යාපනයට පියා මගින් මුදල් වියදම් කරවීමට ඇය අකමැත්තක් දැක්වූවාය. ඇගේ එකම අපේක්ෂාව වූයේ ඉක්මනින්ම රැකියාවක් සොයා ගැනීමටය.

මට හැමදාම තාත්තගෙන් සල්ලි වියදම් කරවන්න බැහැ. ඉක්මනට රස්සාවක් සොයා ගන්නවා. යි ඇය නිතර මව සමග කීවාය. ඒ අයුරින් රැකියාවක් සොයමින් සිටි ඇයට 1981 වසරේදී රැකියාවකට යෑමට අවස්ථාව ලැබිණි. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි ලඝු ලේඛිකා තනතුරක් සඳහා ඇය පත්වූවාය. ඒ වන විට විසි දෙහැවිරිදි වියේ පසුවු ඇගේ ප්‍රථම රැකියාව එය විය.


එම තනතුරේ වැඩබාර ගැනීම සිදුවූයේ 1981 ජූලි 15 වැනිදාය. ඉමහත් සතුටින් නිවසේ සිට රැකියාවට ගිය ඇගේ ගමන් මාර්ගය වූයේ කොටිකාවත්තේ සිට කොළඹ නගර සභාව දක්වා ධාවනය වන බස් මාර්ග විය.

දිනපතා නිවසේ සිට රැකියාවට ගිය ඇය සවස හයවනවිට නගරසභාව අසලින් බස් රියට නැගීම සිරිතය. ඇගේ ප්‍රථම වැටුප ලබාගත් ඇය එම මුදල්වලින් පිරිකරක් මිලදී ගෙන පන්සලට පූජා කළාය. ඉමහත් බලාපොරොත්තු ඇතිව ජීවිතය ආරම්භ කළ ඇයට ඒ අයුරින් ජීවත් වීමට හැකිවූයේ මාස තුනක පමණ කෙටි කාලයකි.

එදා 1981 නොවැම්බර් 25 වැනිදාය සිරිත් පරිදි එදින රැකියාවට පැමිණි ඇය වැඩ අවසන් වී නිවස බලා ඒමට මහ මගට පිවිසියාය. සිරිත් පරිදි ඇය කොළඹ නගර සභාව අසල බස් නැවතුම්පලට යෑමට පාර හරහා ගමන් කළාය.

එහෙත් ඇයට ගමන් කළ හැකි වූයේ අඩි කීපයක් පමණි. අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රියක් ඇය අසලට පැමිණියේය. ඉන් ඉවත් වීමට ඇයට නොහැකි විය. බස් රියේ වැදුණු ඇය අඩි කීපයක් දුරට විසිවී ගොස් බිම වැටුණි. සිහිසුන්වූ අැය අවට සිටි මගී ජනතාව විසින් කොළඹ මහ රෝහලට ඇතුළත් කෙරිණි.

සිරිත් පරිදි දියණිය නිවසට එනු ඇතැයි දෙමාපියෝ ඇය එනතුරු මග බලමින් සිටියහ. රාත්‍රි දහය පමණ වන තුරුත් ඇය නිවසට නොපැමිණි නිසා දෙමාපියෝ කලබල වූහ. කිසිවක් කරකියාගත නොහැකිවූ ඔවුහු පොලිස් ස්ථානයට ගොස් දියණිය නොපැමිණි බැව් කියා සිටියහ.

ඒ වන විට පොලිසියට ලැබී තිබු පොලිස් පණිවුඩයක් අනුව කාන්තාවක් කොළඹ නගර සභාව අසල දී බස් රථයක හැපීම නිසා අනතුරට පත්ව මහ රෝහලට ඇතුළත් කර ඇති බැව් පොලිසිය මගින් දෙමාපියන්ට දැන්වීය.

තම දියණියට එවැනි අනතුරක් නොවේවායි පතමින් දෙමාපියෝ වහා මහ රෝහලට පැමිණියහ. එහිදී ඔවුන්ට දැන ගැනීමට ලැබුණේ එම කාන්තාව මරණයට පත්වී ඇති බවය. ඒ අනුව ඔවුන් විසින් ලලිතාගේ දේහය හඳුනා ගත්හ.

එම අනතුර ඇසින් දුටු සාක්කිකරුවකු මරණ පරීක්ෂණයේ දී සාක්කි දෙනු ලැබීය. එය මරණ පරීක්ෂකවරයා විසින් සටහනක් තබා ඇත්තේ මෙසේය.

කොළඹ ටවුන් හෝල් එක ළඟදී ගැනු ළමයෙක් පාර හරහා ගමන් කළා. ඒ අවස්ථාවේ පුද්ගලික බස් රියක් වේගයෙන් එනු දුටුවා. පාරේ ගමන් කරමින් සිටි ඇය පාරේ ඉර ළඟටම ගමන් කරමින් සිටියා.

වේගයෙන් පැමිණි බස් රිය පාරේ වම් පැත්තේ නවතා තිබු ලංගම බස්රියට දකුණෙන් ඉස්සර කරමින් පාරේ ගමන් ගත් එම කාන්තාවගේ ඇගේ හැපුණා. ඇය අඩි 15 ක් පමණ ඈතට විසිවී ගොස් වැටුණයි එම ප්‍රකාශය විය.

ඇගේ මරණයට හේතුව ලෙස මරණ පරීක්ෂණයේදී සඳහන් වී ඇත්තේ මාරක බස් අනතුරකින් මොළය තැලීම නිසා මරණය සිදුවී ඇති බවයි.

ලලිතාගේ අකල් මරණය පිළිබඳව දෙමාපියෝ සහ ඇගේ එකම සොහොයුරිය ද කම්පාවට පත්ව සිටියහ. ඇගේ මිතුරියන්ද දැඩි ශෝකයට පත්ව අවසන් ගෞරව දැක්වීමට නිවසට පැමිණියහ. ඇගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු ඇයට පින් පතා පින්දහම් කිරීම ද නොඅඩුව සිදු කැරිණි. මේ වන විට දෙමාපියෝ නිවසේ තනිවීම නිසා ලලිතාගේ සොහොයුරිය වූ කාන්ති නැවත මහගෙදරට පදිංචියට පැමිණියහ.

තම බාල දියණියගේ වියෝවීම විඳ දරා ගැනීමට නොහැකිව කම්පනයට පත්ව සිටි පියා ද රෝගී විය. ලලිතා මිය ගොස් ඉතා කෙටි කාලයකින් පියාද ජීවිතයෙන් සමුගත්තේය. පියාගේ ඡායාරූපයක් නිවසේ සාලයේ එල්ලා තැබිණි.

වසර පහක් ගතවිණි. කාන්ති සිය දෙවන දරුවා බිහි කළාය. පිරිමි දරුවකු වූ ඔහු උපත ලැබුවේ 1986 ජනවාරි 12 වැනිදාය. එම දරුවාට සුමුදු යනුවෙන් නම් තැබිණි. දරුවාට අවුරුදු එකහමාරක් පමණ වනවිට දිනක් කාන්ති ඔහු වඩාගෙන සිටියාය.

මිය ගිය කාන්තිගේ පියාගේ ඡායාරූපය තබා ඇති තැනින් යන විට පුංචි සුමුදු එය අතින් ඇල්ලීමට උත්සාහ කරන බවක් දක්නට ලැබිණි. තම දරුවා එය පෙරළා දමනු ඇතැයි සිතු බව එයින් ඉවතට ගනු ලැබීය.


එහෙත් එම ඡායාරූප දකින සෑම විටම එදෙසට අත දිගු කරමින් යමක් ප්‍රකාශ කිරීමට දරුවා උත්සාහ ගන්නා බවක් මවට අවබෝධ විය. ඔහු පෙරභවයක් පිළිබඳව කිසියම් ප්‍රකාශයක් කිරීමට උත්සාහ ගන්නා බවක් මව නොදැන සිටියාය.

මේ අතර සුමුදු තුළින් දක්නට ලැබු තවත් විශේෂත්වයක් වූයේ මවට අක්කා යනුවෙන් ඇමතීමය. ඒ වන විට කාන්තිට අක්කා යයි ඇමතීමට කිසිවෙක් නොසිටියහ. ඔහු අම්මා යනුවෙන් පැවසූවේ ලලිතාගේ අම්මාටය. එය නිවැරදි කරවමින් කාන්තිව මව ලෙස හැඳින්වීමට කොතෙක් උත්සාහ ගත්තද සුමුදු අම්මා යයි පැවසුවේ ලලිතාගේ මවටය.

තවත් සති කීපයක් ගතවිය. පියාගේ ඡායාරූපය දෙස නිතර බලමින් සිටි දරුවා දිනක් මව ඇමතීය.

මේ තියෙන්නෙ තාත්තගේ පොටෝ එක.

මෙම ප්‍රකාශය තම පුත්‍රයා කෙරෙහි දැඩි අවදානයක් යොමු කරවන්නක් විය. තම සොහොයුරියගේ ජීවිත ​ෙතාරතුරු හෙළි කිරීමක් සිදුවන්නේද ? යන්න මවට සැක සිතුණි. ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමට ඇය උනන්දු වූවාය. මේ අතර සුමුදු පුද්ගල නම් කීපයක් ද වරින් වර අනාවරණය කළේය.

වැඩි වශයෙන්ම හෙළි කළ නම් අතර ලලිතාගේ මිතුරියකගේ නමක් ද ඇතුළත් විය. දිනක් මව ඇමතූ දරුවා අම්මේ අපි සීතලාගේ ගෙදර යමු යැයි කීවේය. කවුද සීතා කියන්නේ යැයි මව පුංචි විමසීමක් කළාය.

ඇයි අම්මට මතක නැද්ද? එයා මගේ හොඳම යාළුවා. එයා මාත් එක්ක පන්තිත් ගියා. ගෙදරත් එනවා. යි පිළිතුරු දුන් ඔහු නැවත මව ඇමතීය.

‘‘මම එදා වැඩට ගිහින් එනකොට බස් එකේ හැපුණා. මාව ඉස්පිරිතාලේ අරන් ගියාම මැරුණා. මගේ මිනිය ගෙනත් තිබු​ෙණ් මෙතන යයි’’ ලලිතාගේ මළ සිරුර නිවසේ තිබු ස්ථානය පෙන්වා දුන්නේය. කාන්තිට ඇදහිය නොහැකි ප්‍රකාශයක් වූ එම වදන ඇසු සැණින් ඇගේ දෙනෙතින් කඳුළු කඩා හැළෙන්නට විය.

තම පුත්‍රයා සිය නැගණියගේ යළි ඉපදීම ලෙස පිළිගත යුතු බවට තවත් ප්‍රබල සාක්කි කීපයක්ම කාන්තිට දක්නට ලැබිණි. ඉන් ප්‍රධානතම කරුණක් වූයේ සුමුදු විසින් ලලිතාගේ මිතුරියන් කීප දෙනකුම නිවැරදිව හඳුනා ගැනීමය.

තවත් දිනෙක නිවසේ ඇති ලලිතාගේ අල්මාරිය වෙත පැමිණි සුමුදු එය විවාත කර දෙන ලෙස මවගෙන් ඉල්ලා සිටියේය. මව විසින් එය විවෘත කළ පසු ලලිතා භාවිත කළ ඇගේ බෑගය ගත් ඔහු එය විවෘත කළේය. අනතුරුව එය පරීක්ෂා කිරීමෙන් පසු
‘‘කෝ මගේ බෑග් එකේ තිබුණු දේවල් නෑ. මගේ ෂෝට් හෑන්ඩ් ලියපු පොත කෝ’’ යයි ප්‍රශ්න කළේය. ඒ වන විට එහි තිබූ එම පොත ඉන් ඉවතට ගෙන තිබිණි. තම පුත්‍රයාගේ එම ප්‍රකාශ ඇසීමෙන් එදින ද කාන්තිගේ දෙනෙතට කදුළු ගලා එන්නට විය.

මේ අතර සුමුදු අනාවරණය කළ තවත් ප්‍රකාශයක් පවු​ෙල් අයට ඇදහිය නොහැකි විය. එනම් ලලිතාගේ මළ සිරුර නිවසේ සිටිය දී ඔහු එ​් අවට සිටි බැව් කීමය.

මගේ මිනිය ගෙදර තියෙන වෙලාවේ හැමෝම අඬනවා. මම ඉන්නවා කියලා මම කියන්න හැදුවා. ඒත් ඒ අයට මාව පෙනෙන්නෙ නැති බැව් මට දැනුණා” යන ප්‍රකාශය විය. මෙම දරුවාගේ පුණර්භව පර්​ෙ‌ය්ෂණය සඳහා ගිය අපට ද ඔහු විසින් කළ ප්‍රකාශයෙන් අතිශය පුදුම උපදවන සුළු විය.

මම එක දවසක් ඔසරියක් ඇන්දා. එදා ඒක බලලා අම්මා කිව්වා. ඔයා ඔසරිය අඳින්න එපා සාරිය අඳින්න කියලා. සුමුදු කළ බැව් කී මෙම ප්‍රකාශයේ සත්‍යතාව ගැන ලලිතාගේ මවගෙන් විමසීමට ද අවස්ථාව ලැබිණි.


එහිදී මම ප්‍රකාශ කළේ වරක් ලලිතා ඔසරිය ඇන්ද දිනෙක මව විසින් එවැන්නක් කී බවය. මවගේ ප්‍රකාශයෙන් සුමුදු හෙළිකළ පුව​ෙත් සත්‍යය තහවුරුවිය.

කුඩා කල සිට ඔහු තුළින් දක්නට ලැබුණු විශේෂ හැසිරීම් රටාවක් ද අනාවරණය විය. එනම් යන්තම් අකුරු ලිවීමට හැකි වූ දා සිට ලිවීමට හැකි කොළ සොයමින් පැන්සලෙන් හෝ පෑනක් ගෙන එකම අයුරින් ඉරි කැබලි ඇඳීමය. නිතර නිතර එම ක්‍රියාව සිදු කරන ඔහුගේ නම ලියන විලාශයෙන් දක්නට ලැබිණි. ලඝු ලේඛක අකුරු ලිවීමට දරුවා උත්සාහ ගන්නා බවකි.

‘පුතා ලියන්නේ මොනවාදැයි’ වරක් මව විසින් විමසීමක් කළාය. එයට පිළිතුරු දුන් දරුවා මම ෂෝට්හෑන් ලියනවා ඉස්සර මම එහෙම තමයි අකුරු ලිව්වේ. යැයි ප්‍රකාශ කිරී​ෙමන් පසුව නිවසේ තිබු ලලිතාගේ ලඝුලේඛන පොත් හඳුනා ගැනීමක් මෙම පුනර්භව සාධකයේ ඇති ප්‍රබල සාක්කි විය.

සුමුදු විසින් හඳුනාගත් බැව් ප්‍රකාශ වූ ලලිතාගේ මිතුරියක් හමුවීමට ද අපට අවස්ථාව ලැබිණ. ඒ පිළිබඳව ඇය අනාවරණය කළේ මෙසේය. සුමුදු පෙර භවය ගැන කියන ආරංචිය ලැබිලා මම දවසක් ලලිතලාගෙ ගෙදරට ගියා. එදා එයා මාව අඳුන ගත්තා. අපි පන්ති ගියා කියලා කීවා යැයි ලලිතාගේ මිතුරියක් අප සමග හෙළි කළාය. නිවසේ තිබූ ලලිතාගේ අත්ඔරලෝසුවක් දුටු සුමුදු එය හඳුනාගත් බව ද කාන්ති පැවසුවාය. එය සිදු වූයේ කෙසේදැයි අප විමසීමක් කළෙමු.

දවසක් ගෙදර ලාච්චුවක තිබුණු ඔරලෝසුවක් දරුවා දැක්කා. දැකපු ගමන් මේ තියෙන්නේ මගේ ඔරලෝසුව. ඒක ගෙනත් දුන්නේ තාත්තා. යයි කීවා. ඒ ඔරලෝසුව එයා මුලින්ම රස්සාවට යන විට තාත්තා ගෙනත් දීපු ඔරලෝසුව යයි ද  කාන්ති පැවසුවාය.

ලලිතාගේ තොරතුරු හෙළි කළ සුමුදුගේ පුනර්භවය ඇතුළත්වන්නේ එකම පවුලේ සිදුවූ පුනර්භවයක් ලෙසටය. එවැනි සිදුවීම් ( SAME FAMILY CASES) යනුවෙන් පර්​ෙ‌ය්ෂණවල දී දී හඳුන්වනු ලැබේ. ශ්‍රී ලංකාවෙන් සහ විදේශ වලින්ද එවැනි සිදුවීම් රැසක්ම අනාවරණය වී ඇත.