පුලියන්කුලම බබාගේ අම්මා වෛද්‍ය සිසුවියක් ද?

‘ඔබට සියලු ම මිනිසුන් සමහර අවස්ථාවලදී රැවටිය හැකිය. සමහර මිනිසුන් සියලු ම අවස්ථාවලදී රැවටිය හැකිය. එහෙත් ඔබට සියලු ම මිනිසුන් සියලු ම අවස්ථාවල රැවටිය නොහැකිය.” මේ ප්‍රකට කියුම මහා කිවියර බර්නාඩ් ෂෝ රසවතාගේ ය. ‍‍

එවැනි සමහර දේ මාධ්‍ය අතර ද වරින්වර සිදුවෙයි. එහි ආචාර ධර්මයක් ද නැති තරම් ය. අඩුම තරමේ ප්‍රවෘත්තිමය විශේෂාංගයක් ලිවීමේදී එහි මූලාශ්‍රය ලැබුණේ කෙලෙසකදැයි සඳහන් කිරීම වටී.

අනුරාධපුර සාලියපුර පුලියන්කුලම ගමේ සායනයක් පිටුපස ලඳු කැලෑවක අත හැර දමා ගිය දින 12 ක බිලි‍ඳෙකු ඉකුත් දිනෙක සොයා ගැනිණ. එපුවත මුලින් ම රටට හෙළිකළේ ‘දිනමිණ’ ජාතික පුවත්පතය. ඒ සැප්තැම්බර් 26 වැනිදා ය. මෙසේ තම කුසේ කුලුඳුල්ව උපන් බිලිඳා අතැර පලා ගිය ඒ තරුණ මව අත්අඩංගුවට පත්වූයේ ද ඇගේ උපන්ගම වූ පොලොන්නරුවේදී ය. දෙවිසිහැවිරිදි මේ සැකකාරිය වෛද්‍ය සිසුවියක බව ඒ මාධ්‍ය හරහා ප්‍රකාශ කළ ද ඇය කිසිසේත් ම වෛද්‍ය ශිෂ්‍යාවක් නම් නොවේ. ඇය සරසවියට ඇතුළුවීමට බලාපොරොත්තුවෙන් සිටි අයදුම්කාරියක පමණය.

“දරු සෙනෙහස සම සිඳ මස්වලට වදියි. මස් සිඳ ඇටවලට වදියි. ඇට මත සිට ඇටමිදුලු මත වදියි. ඇටමිදුලු කකියවා සෙනෙහස උතුරවයි.” බුදුරදුන්ගේ මේ වදන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ‘සිංහබාහු’ නාට්‍යයට ද නැඟුවේය.

දරු සෙනෙහස ඉදිරියේ මිණිදැදිරිව විකසිත වන මවු සෙනෙහස කෙතරම් උතුම් ද? ඒ මවු සෙනෙහසට ම අවමන් කරන ඇතැම් දරුවන් වදන කාන්තාවන් මේ පාරිභෝගික සමාජ ක්‍රමයේ දැන් වැඩි වෙමින් පවතී. ඇය එවැනි තත්ත්වයට පත් කළේ කවුරුන්ද? ආර්ථික අඩු පාඩුවද? සදාචාර පිරිහීමද? නොඑසේ නම් මේ පුරුෂාධිපත්‍යයට යටවූ සමාජයේ කාන්තාවන්ගේ අසරණකම අමනකමට පෙරැළීමක්ද මෙය වඩාත් සමාජ මානව විද්‍යාත්මක පදනමකින් තෝරා බේරා ගත යුතු කාලය එලැඹ තිබේ.

අනුරාධපුර, පුලියන්කුම වැඩිහිටි නිවාසය අසල පිහිටි ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ පිටුපස පිහිටා ඇති වතුර ටැංකිය අසල සුදුරෙදි කඩකින් ඔතා දමා ගොස් සිටි මේ බිලිඳා හිස් අහසට අත්ඔසවා ජීවත්වන්නට සෙනෙහස ඉල්ලා හැඬීය. කුසගින්න හා පිපාසාව නැඟ ආවත් ඒ දෙඅත් පොඩි ලෝකයෙන් ඉල්ලා සිටියේ සෙනෙහසය.

ඉකුත් 12 වැනිදා උදෑසන ප්‍රාථමික වෛද්‍ය සත්කාරක ඒකකයේ සේවයට පැමිණි ජ්‍යෙෂ්ඨ කාර්ය සහායිකාවන් වන කාංචනා මධුෂානි හා රූපා ඉන්දුමතී යන මහත්මීන්ට මේ දරුවාගේ බෑඟිරිය ඇසිණි. ඔවුහු වටපිට බැලූහ. වතුර ටැංකිය අසල නොනවත්වා හඬන දැරිය ගැන පොලිසියට ආරංචිය ගියේ සැණෙකිනි.

මේ මව දරුවා ප්‍රසූත කැර තිබුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේදීය. ඇය එහිදී සිවිල් ඉංජිනේරුවරියක ලෙස සියල්ලන්ට ම ඇඟවීමට විශිෂ්ට රංගනයක් ද කළාය. එහෙත් පොලිස් ඇස ඉව අල්ලන ගිජු ලිහිණියකු මෙනි. එම පරීක්ෂණවලදි තව තවත් කරුණු හෙළිවිය. ඇය ප්‍රාථමික සත්කාර ඒකකය ඉදිරිපිට පිහිටි නිවසේ මාසයකට ආසන්න කාලයක් නවාතැන් ගෙන තිබිණි.

ඒ අසල නිවැසියන්ට හා ගෙදර අයිතිකරුවනට ඇය පවසා තිබුණේ තමන් කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවය. පොලිසිය විසින් ඇගේ ජංගම දුරකථනයට කෙතරම් ඇමතුම් ගත්තත් හොර බැළලියක මෙන් ඇය ඒ කිසිදු ඇමතුමකට පිළිතුරු නුදුන්නාය. පොලිස් පරීක්ෂණ දිගින් දිගට ම සූක්ෂ්මව ක්‍රියාත්මක විය.

ළදරුවා බිහිකර පලාගිය මව සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුලියන්කුලම පදිංචි අයි.ඩී. අයිරාංගනී මහත්මිය මෙසේ කීවාය.

“සැප්තැම්බර් පළමු වෙනිදා වැස්ස වෙලාවේ ප්‍රාථමික වෛද්‍ය ඒකකය ඉදිරිපිට නිවසේ පදිංචිව සිටි තරුණිය මහ වැස්සේ දරුවා හම්බවෙන්න යනවා කියලා උදවු කරන්න කිවුවා. මම එයාව ත්‍රීරෝද රථයක දාගෙන අනුරාධපුර රෝහලට රැගෙන ගියා. මට සැකයක් තිබ්බා මේ තරුණිය ගැන. එයාට හම්බවුණු දරුවා තමයි ඔය දාලා ගිහින් තියෙන්නේ. දරුවගේ දකුණු අතේ රෝම ගොඩක් තිබ්බා මට හොඳට මතකයි.”

පොලිසිය සිදුකළ විමර්ශන වලින් අනතුරුව උපත ලබා දින දහයක් වූ බිලිදෙකු කෘරත්වයට පත්කරමින් මහමඟ දමාගිය විශ්ව විද්‍යාල අධ්‍යාපන අපේක්ෂිත අවිවාහක තරුණ මව පොලොන්නරුව ජයන්ති විහාරයේ පැවති රජයේ විභාගයට සහභාගී වී ඉන්පිටතට පැමිණෙද්දී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් පසුගිය මස (23) දහවල් සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණි. සැකකාරිය දමා ගිය දින දහයක් වයසැති මේ ළදරුවා සොයාගත් දිනයේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ‍නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කරන ලෙස විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා නියෝග කළේය. එසේ ම ළදරුවා කෘරත්වයට පත්කළ සැකකාරිය කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියෝග කර තිබිණ. ඒ අනුව සැකකාරියගේ ජංගම දුරකථනයේ අංකයේ ලියාපදිංචි ලිපිනයට අනුව පොලිස් නිලධාරින් පොලොන්නරුව අරලගංවිල ප්‍රදේශයට ගොස් ඇති අතර එම ලිපිනයේ හිමිකරු සැකකාරියගේ පෙර පෙම්වතා බව එහිදී පොලිසිය විසින් අනාවරණය කරගනු ලැබිණ. එම පෙර පෙම්වතා ලබාදුන් තොරතුරු මත පොලොන්නරුව මැදිරිගිරියට ගිය‍ පොලිස් නිලධාරිහු සැකකාරියගේ නිවස වැටලූහ. ඇය ඒ වනවිට විභාගයක් සඳහා පොලොන්නරුව ජයන්ති විහාරයට ගිය බව ඇගේ මව පොලිසියට පවසා තිබුණාය. ඇය මේ ගැන කිසිත් නොදත් තැනැත්තියක වීම සුවිශේෂ්‍ය.

පොලිස් නිලධාරින් ඒ මවද කැටුව පොලොන්නරුවෙන් ජයන්ති විහාරයට ගොස් ඇති අතර සැකකාරිය විභාගය අවසන්වී ඉන් පිටතට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදුකැරිණ. පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඇය පොලිසියට පවසා තිබුණේ සිය පෙම්වතාට දාව කුලුදුලේ උපන් දරුවා ඔහුගේ නොවන බව පවසමින් විවාහවීම මඟහැරීම නිසා දෙමාපියන්ට හා ගමට මුහුණ දීමට නොහැකි නිසා දරුවා මහමඟ දමා ආ බවයි. සැකකාරිය විශ්ව විද්‍යාල අපේක්ෂිකාවක් බවත් ඇය දිලිඳු පවුලක තරුණියක බවත් මෙහිදී කරන ලද සියලු පරීක්ෂණවලින් හෙළිවිය. ඇය වෛද්‍ය ශිෂ්‍යාවක බවට සමාජය පුරා පැතිර ගිය ද පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණිය දිවයිනේ පිහිටි කිසිදු රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන්නියක් නොවන බව හොඳින් ම තහවුරු කැරිණි. සමාජය පුරා ලැව් ගින්නක් මෙන් සැකකාරිය වෛද්‍ය ශිෂ්‍යාවක් බව පැතිර යද්දී එය අසත්‍යක් බව මේ පිළිබඳව උනන්දු වූ වෛද්‍ය සිසුහු ද තහවුරු කළහ.

“අලුත උපන් බිලි‍ඳෙකු මහමඟ දමාගිය තරුණිය වෛද්‍ය ශිෂ්‍යාවක් බවත් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මුදා හැරිය බවත් පසුගිය සතියේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රචාරය වුණා. වෛද්‍ය ශිෂ්‍යයන් වන අප එම තරුණියගේ නම ගම ලිපිනය සොයාගෙන සියලුම වෛද්‍ය පීඨවලින් ඒ පිළිබඳව සෙවුවා. නමුත් එවැනි තරුණියක් කිසිම වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබන්නේ නෑ. අනුරාධපුර මූලස්ථාන පොලිසියෙන් අප ඒ සම්බන්ධයෙන් සොයා බැලුවා. ඇය වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වීම සඳහා අයදුම්පතක් යොමුකර තිබෙන බවක් දැනගන්න ලැබුණා. කිසියම් කෙනෙකු අයදුම් පතක් යොමු කළාම ඔහුට ආයතනයකින් කිසිදු තනතුරක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් නොවන බව තහවුරු” යැයි ඔවුහු පැවසූහ.

අත්අඩංගුවට පත් 21 හැවිරිදි අවිවාහක තරුණිය ළදරුවෙකු කෘරත්වයට පත්කිරීමේ චෝදනාව මත සැප්තැම්බර් මස (23) වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරිණ. දරුවා තරුණියගේම දරුවාද යන්න තහවුරු කර ගැනීමට දරුවා හා මව ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා කොළඹ පිහිටි ජින්ටෙක් ආයතනයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

අපේ අවිවාහක තරුණියන් මෙසේ තම කුස ඔත් දරුවන් මහමඟ දමා යන්නේ ඇයි? අද අවිවාහකව පාසල් යන වයසේ (අවු 14 – 15) මවුවරුන් බවට පත්වන දරුවෝ විශාල වශයෙන් සිටිති. කළුතර දිස්ත්‍රික්කයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ප්‍රමාණය ඉතා අධිකය. සෙසු දිසාවන්වල ද මේ තත්ත්වය ඉතා ඉහළ යමින් පවතී.

සමාජ වෙබ් අඩවි – යු ටියුබ් හා අන්තර්ජාල හා මුහුණු පොත හරහා දැන හඳුනාගන්නා ලෝකය ගැන කිසිත් නොදන්නා අහිංසක තරුණියෝ අනංග සල්ලාලයන්ගෙන් බොහෝ විට ගැබ් ගනිති. බොහෝ අය විවාහයට පෙර ඇති කරගන්නා අනියම් සම්බන්ධතා හා පෙම්වතාගෙන් මේ තත්ත්වයට පත්වීම කනගාටුදායකය. වැඩිහිටි ඥාතීනට හා මාපියනට මුහුණ දී ගත නොහැකිව අවසානයේ මේ කාන්තාවෝ මෙසේ දරුවන් වැසිකිළි වළවල හෝ වෙනත් මෙවැනි ක්‍රියාකාරකමකින් එක්කෝ මහමඟ දමා යති. නැත්නම් මරා දමති.

දූෂණය, ළමා අපචාරය ද රට පුරා ඉහළ යයි. ළඟ ම ඥාතීන්ගෙන්, සමහරවිට පියාගෙන් සහෝදරයාගෙන් මෙසේ ගැබ්ගන්නා තරුණියෝ මේ රටේ එමට සිටිති.

අපේ රටේ අනියමාකාරයෙන් දිනකට සිදුවන ගබ්සා ප්‍රමාණය 800 ඉක්මවයි. මේ ගබ්සාවට ලක්වන දරුවනට ජීවත්වීමට සෙනෙහසක් අවශ්‍යය. එසේ ම ඒ දරුවන් නඩත්තු කරන්නට මවුවරුනට යම්කිසි ආරක්ෂක ක්‍රමවේදයක් තිබිය යුතුය. එසේ ම සමූහ දූෂණවලට ලක්වන ළඟම ඥාතින්ගෙන් උපදින දරුවන් සිද්ධියෙන් මාසයක් ඇතුළත ගබ්සා කිරීමට යම් නීතියක් සකස් විය යුතුය. දිලිඳුකම නිසා දරුවන් මැරීම පාපයකි. දරුවන් යනු හෙට මේ රටේ පුරවැසියන්ය. හොඳම දේ ළමයින්ට බව එදා කීවද නරක ම දේ ළමයින්ට උදාකරන කාලකණ්ණි සදාචාරයක් නැති, ධර්මයක් නැති අමන දේවලින් රට මුදා ගැනීමට දැන් කාලය එලැඹ තිබේ.

සිළුමිණ පුවත්පත