ඉන්දියන් සාගරෙන් හමුවූ සැඟවුණු මහද්වීපය

ඉන්දීය සාගරයට අයත් මුරුසි දූපත් රාජ්‍යය වඩාත් ප්‍රචලිත සුන්දර වෙරළ තීරයකින්, නිල්වන් සැපැහැදිලි අහසකින් සුසැදි නිසාය.

කොලර්පර සහ කලපු පිරි මුහුදු තීරය සංචාරක ආකර්ශණයකි. මුරුසි දූපත අප්‍රිකා මහද්වීපයට ආසන්නව පිහිටයි. මුරුසි දූපත නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් ලෙස ද සැලකෙයි. මුරුසු දූපතේ අගනුවර ලෙස සැලකෙන්නේ පෝට් ලුවිස් ය.

මුදල් ඒකකය ලෙස භාවිතා කෙරෙන්නේ මුරුසි රුපියල්ය. 2013 ලෝක බැංකු සංගනනයන්ට අනුව, මුරුසි දූපතේ ජනගහණය මිලියන 1.296 කි. අද සුන්දර දූපතක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් මෙම දූපත අතීතයේ එසේ සුන්දර ස්ථානයක් නොවන්න ඇති බවත්, අතීතයේ, එනම් අවුරුදු බිලියන තුනකට පෙර අද මුරුසි දූපත පිහිටා ඇති ස්ථානය වසාගෙන මහද්වීපයක් පිහිටා තිබුණු බවත් නවතම අධ්‍යනයකින් හෙළි වී ඇත.

බිලියන තුනක් ඈත අතීතයේ පිහිටා තිබුණු එම මහද්වීපය ගැන සාක්ෂි අනාවරණය වී ඇත්තේ, මුරුසි දූපත අවට ලාවා තට්ටු අතරේ ඇති පළිඟු පරීක්ෂා කළ අවස්ථාවේදී යැයි පර්යේෂකයෝ පැහැදිලි කරති. ලොවෙන් සැඟවී ගිය මෙම මහද්පීවය ගැන ගවේෂණයේ යෙදෙන්නේ ජොහැන්නස්බර්ග් නුවර ‘විට්ස්’ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලුවිස් ඈෂ්වෝල් ප්‍රමුඛ කණ්ඩායමය. ඔවුන්ට හමුවුණු ‘සිරෝකෝනියන්’ පළිඟු මුරුසි දූපතට වඩා පැරැණි බව පැවැසෙයි. ඒවා අවුරුදු බිලියන 2.5 ත් 3 ත් අතර කාලයේ පිහිටි භූමියක ශේෂවුණු කොටස් යැයි මහාචාර්ය  ලුවිස් ඈෂ්වෝල් පැහැදිලි කරයි. ගිනි කඳු පිපිරෙද්දී ලාවා සමඟ මෙම පාෂාණමය කොටස් මුහුදු පතුළේ සිට ඉහළට එසවෙන්න ඇති බවත්, පළිඟු වශයෙන් එම කොටස් පසුව සොයා ගැනීමට හැකිවුණු බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පැහැදිලි කර සිටී. පළිඟු කොතරම් පැරැණිදැයි නිර්ණය කරගෙන ඇත්තේ ඒවා වර්ණාවලී පරීක්ෂණවලට යොදා ගැනීමෙනි.

වර්තමානයේ මැඩගස්කරය, ඉන්දියාව අයත් භූමි ප්‍රදේශය අතීතයේ අයත්ව තිබෙන්න ඇත්තේ මුරුසි දිවයිනට යටින් පිහිටින පාෂාණ ස්ථරවලට අයත් මහද්වීපයට යැයි විද්‍යාඥයෝ අනුමාන කරති. එම මහද්වීපය කැඩී වෙන්වී යද්දී ඉන්දියාව ද මැඩගස්කරය ද වෙන්වී ගියේ යැයි පැවැසෙයි. මුරුසි දූපත පසුව නිර්මාණය වී ඇතැයි පැවැසෙයි. මෙම මහද්වීපය ‘මුරුසියා මහද්වීපය’ යනුවෙන් විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබ ඇත. මහාචාර්ය ලුවිස් ඈෂ්වෝල් ඔහු විසින් කළ එම සොයා ගැනීම් ඇතුළත් කරමින් සැකැසූ වාර්තාවක් ‘නේචර් කොමියුනිකේෂන්’ සඟරාවේ ද පළවී ඇත.

පෘථිවි අභ්‍යන්තරය කාලයාගේ ඇවෑමෙන් විවිධාකාරයේ භූ කාරක බලවේගයන්ට ගොදුරු වී පැලීම්වලට ලක්වී කැඩී වෙන් වී පා වී ගොස් අද තිබෙන තත්ත්වයට පෘථිවි ගෝලය නිර්මාණය වී තිබේ. මෙම පැලීම්වලින් නිර්මාණය වූ කලාප භූ තැටි යනුවෙන් හැඳින්වේ. මහාද්වීප හා සාගර වශයෙන් ප්‍රධාන භූ තැටි 7 ක් සහ කුඩා භූ තැටි 3 ක් හඳුනාගෙන තිබේ. මෙම සිතියම් සිතුවමට නඟා ඇත්තේ පරිගණකය මගින් කළ ගණනය කිරීම්වලිනි. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ඉතා ඈත අතීතයේ යෝධ භූමි ප්‍රදේශයක් ව තිබී පසුව වර්තමාන තත්ත්වයට ගොඩබිම සකස්වුණු අයුරුයි. මෙහි යෝධ ගොඩබිමේ කොටස් එකිනෙකින් ඈත්වෙමින් ගිය අයුරු දැක්වේ. මෙය ‘මහාද්වීප ප්ලාවිත න්‍යාය’ (මහාද්වීප පාවෙමින් පවතී) ලෙසින් හැඳින්වෙයි. මෙය ද පෘථිවියේ වෙනස්වීම් ඇති කළ එක් සාධකයකි.

පෘථිවියේ භෞතික ක්‍රියාවලීන් සඳහා පදනම් වන කොටස් හතරකි. ඒවා එකිනෙකට සම්බන්ධව ක්‍රියා කිරීම නිසා එමගින් පරිසරයේ විවිධ ලක්ෂණ ඇති වේ. පෘථිවි අභ්‍යන්තරයේ ඇති ගෝලය පැහැදිලි ව පෙනෙන ස්තර කිහිපයකට බෙදේ. විද්‍යාඥයෝ පෘථිවියේ අභ්‍යන්තරය කෙබඳුදැයි දැනගෙන ඇත්තේ සිදුවන භූමිකම්පා හා අභ්‍යන්තරයේ සිදු වන පිපිරීම් අධ්‍යයනය කිරීමෙනි. පෘථිවි මතුපිට සිට අභ්‍යන්තරයට කෙමෙන් යද්දී උෂ්ණත්වය හා ඝනත්වය කෙමෙන් වැඩිවේ.

මුලාශය ලංකාදීප