විශ්වවිද්‍යාල ඉගෙනීමෙන් ලද දැනුම මෙන්ම අත්දැකීම් ද මගින් “ගමට වැවක් හැදූ ගමේ පුතා”

ඇඹිලිපිටිය සංඛපාල ගම්මානය අවට ජීවත් වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය හේන් ගොවිතැනයි. මේ ජනතාව අතීතයේ පටන්ම අපරිමිත දුක් පීඩා සමඟයි ජීවත් වෙන‍්නේ. මට ඕනෑ වුණේ ගමට දියවර සැපයීම මගින් ගමේ ජනතාවට වගා කරන්න ජලය ලබා දීමටයි. වැව හදන්න මං මගේ විශ්වවිද්‍යාල ඉගෙනීමෙන් ලද දැනුම මෙන්ම අත්දැකීම් ද උපයෝගී කර ගත්තා.

අද මේ වැව තමයි අපේ ජීවය බවට පත් වෙලා තියෙන්නේ. අපිට එදා හේන් හරියාකාරයෙන් වගා කරන්න බැරි වුණා. නමුත් අද මේ ප්‍රදේශයේ කොතරම් වියළි කාලගුණයක් පැවැතියත් මේ වැව නිසා අපේ වගා කටයුතු නිසි ආකාරයෙන් කර ගෙන යන්න පුළුවන්. දැන් අපි එකතු වෙලා මේ වැව විශාල කිරීමට උත්සාහ ගන්නවා. අපි හැමදාම මේ සඳහා සහයෝගය ලබා දුන්නා. අපේ ජීවිත රැක දෙන්නේ මේ වැවයි.

කු වේණි පරපුරේ සිටි යක්ෂ ගෝත්‍රිකයන් පවා වාපී ඥානයෙන් පිරිපුන් පිරිසක් බවට සාධක අතීත සාධක හෙළි කරයි. ඈත අතීතයේ පටන්ම අපේ‍ රටේ කෘෂිකාර්මික රටාවත් ශ්‍රී ලාංකික ජන සමාජයත් සමඟ බැඳුණු දියුණු වාපී කර්මාන්තයක් විය. වැව ජනතාවගේ ජීවනාලිය බඳුවිය. එහෙත් අද වනවිට එදා පැවැති වැව හා බැඳුණු ජන ජීවිතය බිඳ වැටී වැව් යටතේ ගොවිතැන් කළ ජනතාවගේ සිතුම් පැතුම්ද බොඳව යමින් පවතී. මෑතකදී රජය මගින් පුරාණ වැව් පිළිසකර කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත්තේ අපේ රට පෙර මෙන් ගොවිතැනින් ස්වයං පෝෂණය කිරීම සඳහාය. එහෙත් රජය හෝ ආයතනයක් මගින් ගමට වැවක් තනා දෙනතුරු බලා නොසිට ගමට වැවක් තැනූ තරුණයකු ගැන අපට තොරතුරක් වාර්තා වූයේ ඇඹිලිපිටිය ප්‍රදේශයෙනි.

ජන ජීවිතය සමඟ බැඳුණු වැව් සංස්කෘතිය යළි නඟා සිටුවීම සිය ගමෙන් ආරම්භ කරමින් ප්‍රසාද් හරේන්ද්‍ර කුමාර නමැති මේ පරිසරවේදියා විශ්ව විද්‍යාලයෙන් ලබාගත් සිය දැනුම ද සමඟින් ගමට වැවක් සෑදීම ආරම්භ කළේය. රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ලබා වසර අටක පමණ කාලයක් රැකියාවක් නොමැතිව කල් ගත කළත් ප්‍රසාද් කිසි දිනෙක අඳුරට සාප නොකළේය. රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා අතට ලැබෙනතුරු බලා නොසිටි ඔහු අක්කර 30 ක් පමණවූ සිය හේන වගා කිරීම අධිෂ්ඨානය කර ගත්තේය. එහෙත් වැඩට බසිද්දී ඔහු මුහුණ දුන් ප්‍රධානම ගැටලුව වූයේ ජලය නොමැතිකමය.

ජල ගැටලුව ඔහුට පමණක් සීමා වූවක් නොවීය. ගමේ බොහෝ දෙනෙක් ඒ වෙද්දී ජල ගැටලුවට මුහුණ දී සිටියහ. ඔහුගේ අභිප්‍රාය වූයේ ගමට වැවක් නිර්මාණය කර ගමේ ජනතාවගේ ජන ජීවිතය නඟා සිටුවනු වස් වගාව සඳහා ජලය ලබා දීමය.

“ඇඹිලිපිටිය සංඛපාල ගම්මානය අවට ජීවත්වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය හේන් ගොවිතැනයි. මේ ජනතාව අතීතයේ පටන්ම අපරිමිත දුක් පීඩා සමඟයි ජීවත් වෙන‍්නේ. මට ඕනෑ වුණේ ගමට දියවර සැපයීම මගින් ගමේ ජනතාවට වගා කරන්න ජලය ලබා දීමටයි. වැව හදන්න මං මගේ විශ්වවිද්‍යාල ඉගෙනීමෙන් ලද දැනුම මෙන්ම අත්දැකීම් ද උපයෝගී කර ගත්තා.” ප්‍රසාද් පවසයි.

ඔහු සිය වගා බිමේ අක්කර දෙකක පමණ වැවක් නිර්මාණය කිරීම ආරම්භ කළේ 2012 වසරේදීය. ඔහු මුලින්ම කළේ රටේ විවිධ ප්‍රදේශ ප්‍රදේශවලට ගොස් වැව් නිර්මාණය කළ ආකාරය අධ්‍යයනය කිරීමය. වැවේ සැලැස්ම තමන්ම නිර්මාණය කිරීමට පෙර ඔහු විවිධ පර්යේෂණ කරමින් ශ්‍රී ලංකාවේ වැව් සංස්කෘතිය සම්බන්ධයෙන් ලියැවුණු පොතපත නිරන්තරයෙන් පරිශීලනය කරමින් අධ්‍යයනය කළේය.

ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොතයන්ගේ වැව හා සංස්කෘතිය නමැති ග්‍රන්ථයේ අපේ රටේ අතීත වැව් පිළිබඳ විස්තර කෙරේ. මලුතිස රජුගේ මිහින්තලා සෙල් ලිපියේ සඳහන් කරුණු අනුව මහවවි, දනවවි සහ ගමිකවවි වශයෙන් වැව් වර්ග තුනක් ඒ මහතා සඳහන් කරයි. මහවවි යනු රාජ්‍ය අනුග්‍රහය යටතේ ඉදිකරන විශාල වැව්ය. දනවවි යනු ඇළ මාර්ග හා දිය පාර මගින් ‍පෝෂණය ලබන වැවිය. ගමිකවවි යනු ගම්මානවල වැසියන් විසින් නිර්මාණය කරන වැව් ලෙස එම ග්‍රන්ථයේ සඳහන්ය. ඒ අනුව මේ තරුණයා විසින් නිර්මාණය කරනු ලැබුයේ ගමිකවැවකි.

ප්‍රසාද් තැනවූ මේ අපූරු වැවේ නියං කාලයටවත් ජලය නො සිඳේ. පරිසරවේදියකු ද වන ප්‍රසාද් මෙම වැව නිර්මාණය කිරීමේ මූලික අදහසක් වුයේ පරිසර පද්ධතිය සුරක්ෂිත කරමින් ප්‍රදේශය වඩාත් පරිසර හිතකාමී ස්ථානයක් බවට පත් කිරීමය. ප්‍රදේශයේ පවතින ශාක පද්ධතිය සහ සතුන් සුරක්ෂිත කර ස්වයංපෝෂිත ගම්මානයක් ඇති කිරීමෙන් ජන සමාජය දියුණුවන බව ප්‍රසාද්ගේ අදහසය.

“මේ ප්‍රදේශය වසරේ බොහෝ කාලයක් වියළි දේශගුණික තත්ත්වයක් සහිත ප්‍රදේශයක්. එනිසා වැවක් හැදීම සුබ ලකුණක් වශයෙනුයි මා දකින්නේ. මං මේ වෙනුවෙන් රුපියල් ලක්ෂ 15කට වැඩි මුදලක් යෙදෙව්වා. වගා කටයුතුවලින් මං උපයා ගත් සියලු මුදල් මං යෙදෙව්වේ මේ වැව හදන්නයි.
මේ වැව මගේ ජීවිතයේ තිබූ ලොකුම සිහිනයයි. ඒ අදහස මගේ හිතට ආවේ මම සරසවි සිසුවකු ලෙස ඉන්න අවදියේයි. ඒත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු රැකියාවක් නැතිව සිටියදී තමයි එයට අත ගැහුවේ. මේ වැව තැනීමට මට ගමේ අයත් හැකි අයුරින් උදව් කළා. වැවේ වැඩ බොහෝ දුරට අවසන් වුවත් තව නිම කිරීමට වැඩ ගොඩක් තිබෙනවා. දැනට මේ වැව යටතේ මං කෝලිකුට්ටු කෙසෙල් පැළ 4800 ක් පමණ ද ඉතාමත් සරුවට වගා කරලා තියෙනවා. බොහෝ එළවළු වර්ග සහ විවිධ දේවල් මේ වෙනකොට වවලා තියෙනවා. ඒ බෝග ඉතාමත් සාරවත්ව වැවී තියෙනවා. වැව නිර්මාණයට පෙර නියඟය නිසා පොල් වගාව සම්පූර්ණයෙන්ම වගේ හානිදායක තත්ත්වයකයි තිබුණේ. නමුත් දැන් එහෙම නැහැ. ඒ වගේම වට්ටක්කා වගාවේ ඵලදාව ගැනීමට ජලය සපයා ගන්න මට විශාල ලෙස මුදල් වැයවුණා. නමුත් අද වන විට මං මේ වගා ඉතාමත් සාර්ථකව කරගෙන යනවා.

මගේ ඉඩම පමණක් නොවෙයි අවට හේන්වල ජනතාවගේ පැණි කොමඩු මිරිස් හා බටු බණ්ඩක්කා මෑකරල් වැනි වගාත් ඉතාමත් සාර්ථකව කෙරෙනවා. මේ වැව හදන්න පෙර මේ ප්‍රදේශවල බොහෝ හේන් වගා විනාශ වුණා. නමුත් අද මේ වැව නිසා ඒ අයගේ වගා සරුවෙලා. ඔවුන් හොඳ අස්වැන්නක් වගේම ඔවුන්ගේ ආර්ථික තත්ත්වයත් ඉතා ඉහළ මට්ටමකට පැමිණිලා.”
ප්‍රසාද් පුරුද්දක් ලෙස සෑම සැන්දෑවකම සිය වගා බිමේ පැයක් දෙකක් ගත කරන්නේය. ස්වාභාවික පරිසරයට ආදරය කරන ඔහු ඉන් සැබෑ ආස්වාදයක් විඳින බව ඔහු පවසයි. වගාව කරගෙන යන අතරතුරදී සිය උසස් අධ්‍යාපන කටයුතුවල නියැළීම ද ඔහු අතපසු නොකරන්නේය. පරිසරයට ආදරය කරන ඔහු ඒ සම්බන්ධයෙන් හදාරමින් අධ්‍යයන කටයුතු ද කරයි. ගමට වැවක් තැනූ මේ තරුණයා පිළිබඳ කොළඹගෙආර මහා විද්‍යාලාධිපති විදුහල්පති හා සංඛපාල රජමහා විහාරාධිකාරී ශාස්ත්‍රවේදී කොළඹගෙආරේ ආනන්ද හිමි අප හා කතා කළේය.

“මේ තරුණයා කළ සත්කාර්ය බොහෝ වියළි කාලගුණයක් තියෙන අපේ ගම්මානයේ ජනතාවට විශාල උදව්වක්. නමුත් මේ ගැන කිසිදු පුද්ගලයෙකු ගේ අවධානයක් යොමු වෙලා තිබුණේ නෑ. නමුත් අපි මේ තරුණයාගේ ක්‍රියාව අගය කරනවා. මේ වැව නිසා අද ප්‍රදේශයේ හේන් වගාවට විශාල අත්වැලක් ලැබී තියෙනවා. මේ වැව බලන්න මමත් ගියා. මට මතක් වුණේ සිංහල රජ කාලේ රජවරු කරපු වැව්. අනුරාධපුර පොලොන්නරුව රාජධානි තමයි මගේ මතකයට පැමිණියේ. මේ වැව නිසා අවට ගොවි ජනතාවට මහත් සෙතක් උදා වෙලා තියෙන්නේ. වැවක් හදනවා කියන්නේ මහත් ඵල මහා ආනිසංස ලැබෙන පිංකමක්. වැව නිසා ප්‍රදේශයේ ජනතාව අද ඔවුන්ගේ වගා කටයුතු ඉතාම හොඳින් කර ගෙන යනවා” යැයි උන්වහන්සේ පැවැසූහ.
එස් .සුමනරත්න මහතා ගමේ ගොවි මහතෙකි.

“අද මේ වැව තමයි අපේ ජිවය බවට පත් වෙලා තියෙන්නේ. අපිට එදා හේන් හරියාකාරයෙන් වගා කරන්න බැරි වුණා. නමුත් අද මේ ප්‍රදේශයේ කොතරම් වියළි කාලගුණයක් පැවැතියත් මේ වැව නිසා අපේ වගා කටයුතු නිසි ආකාරයෙන් කර ගෙන යන්න පුළුවන්. දැන් අපි එකතු වෙලා මේ වැව විශාල කිරීමට උත්සාහ ගන්නවා. අපි හැමදාම මේ සඳහා සහයෝගය ලබා දුන්නා. අපේ ජිවිත රැක දෙන්නේ මේ වැවයි. මං විශාල ලෙස කරන වගා ගැන දැන් මට බයක් නෑ.”

ඩබ්ලිව්. රංජිත් මහතා වසර ගණනක සිට පළාතේ හේන් ගොවිතැන් කරන්නෙකි. “රටක් වටින වැඩක් ලෙසයි අපි මේ වැව හැදීම ගැන හිතන්නේ. මේ පැත්තේ අපට තිබුණු ප්‍රධාන ගැටලුව තමයි ජලය නැතිකම. අපි ගොඩාක් කාලයක් මේ නිසා පීඩාවට පත් වුණා. ප්‍රසාද් මහත්තයා මේ වැව හැදුවට පස්සේ අපි දැන් යහමින් ජලය ඇතිව හොඳින් වගා කටයුතු කරනවා. දැන් අපට අපි පාඩුවේ හේනක් කර ගෙන ජීවත් වෙනවා. ඒ වාගේම මේ පැත්ත අද සුන්දරයි. ගස් කොළන් වැවෙනවා. කුරුල්ලෝ එනවා. දැන් මේ පළාත හරිම සුන්දරයි. හරි සැහැල්ලුවක් දැනේනේ. අපේ ආර්ථීකයට පමණක් නොවෙයි මනසටත් සුන්දරත්වයක් දැනෙනවා. අප ජීවත් වෙනවා කියා දැනෙන්නේ දැනුයි.”