යකුන්ගෙනුත් වැඩගත් කොත්මලේ ගණිතයා

සෙංකඩගල කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782) හා රාජාධිරාජසිංහ (1782-1798) යන රජවරුන් කල විසු පොන්න නැකැත්තා හෙවත් කොත්මලේ ගණිතයා රටේ නම ගිය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා නක්ෂත්‍ර දැනුම ඇත්තෙකු විය. මේ පරපුර ගැන ඇති පැරණිම ජනප්‍රවාදය අනුව දුටුගැමුණු කුමරු ගුත්තා නමින් වෙස්වළාගෙන කොත්මලේ කොටගේපිටියේ විසුරු ගෙදර අවුරුදු දොළහක් ගොවිතැන් බත් කරමින් සිටින විට ගමරාලගේ දූ වූ රන්මැණිකා ගුත්ත හා ආදරයෙන් බැඳෙයි. කොත්මලා ඔය අද්දර මාස්වෙල ගම කෙළවර කුඹුරු වැඩ කරමින් සිටි ගුත්තාට රන් මැණිකා දහවල් ඇඹුල ගෙන යයි. ඇඹුල ගෙන පුසුල්පිටිය විහාරය පිහිටි ගල්තලාවේ මඳක් ඇල වී සිටි ගුත්තාට තම බඩවැල් තම මුවින් පිටත එනු සිහිනෙන් දැක තිගැස්සී අවදි වෙයි. මේ සිහිනය රජකම ලැබීමේ පෙර නිමිත්තක් බව පොන්න නැකැත්තා තේරුම් කර දුන් බව කොත්මලේ පුරවෘත්ත ග්‍රන්ථය දක්වයි. පොන්න නැකැත්තා ගැන ​කොත්මලේ ඇති එකම ජනප්‍රවාදය මෙයයි. දුටුගැමුණු කුමරු ගැන සහ පොන්න නැකැත්තා විසූ බව කියන ජනකතාව සෙන්කඩගල යුගයේ දී ඒ පරපුරේ අය විසින්ම තම කීර්තිය සඳහා ලංකාවට ඇති අතීත උරුමය කියා පෑමට එමෙන්ම තම කුලයේ විදේශික බව සැඟවීමට ගෙතූ ප්‍රබන්ධ කතාවක් බව පෙනී යයි.

​ෙපාන්න නැකැත්තා ගැමුණු කුමරු කාලයේ වාසය කළ බවට ඇති ජනප්‍රවාදයේ හරයක් ඇත්නම් පොන්න යනු මේ පරපුරේ පෞද්ගලික නාමය නොව පරපුරේ පොදු නාමය විය යුතුය. එක් අයෙකු මියගිය විට ඔහුගේ අනුප්‍රාප්තිකයා පොන්න යන පොදු නක්ෂත්‍ර පරපුරේ නාමයෙන් පෙනී සිටි බව පෙනෙයි. පොන්න යන නාමය ලංකාවට නුහුරුය. එ් නිසා මේ පරපුර දකුණු ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වූ කාර්මික නවන්දන්නා කුල ආචාරී පවුලක් බව පෙනෙයි. බොහෝ විට ගම්පළ යුගයේ ඉදි වූ පුසුල්පිටිය විහාරයේ වැඩට දකුණු ඉන්දියාවෙන් ආ ආචාරී කුල ශීල්පී පවුලක් බව සිතීම සාධාරණය. කාර්මික හැකියාවට අමතරව නක්ෂත්‍ර දැනුම නිසා පසු කලෙක යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලටම නැඹුරු වුණු බව සිතිය හැක. එදා කොත්මලේ නවන්ගම මාවෙල මෙවැනි ආචාරී කුල ශිල්පී පවුල් බහුල වූහ. නවංගම කාර්මික ශිල්පීන් එළාරට විරුද්ධව ගැමුණු කුමරුගේ සටනට ආයුධ නිපද වූ බව කියවෙයි. නවංගම අද්දර පිහිටි කොත්තුනුගොඩ කන්දේ බහුල ලෙස එදා යබොර තිබුණි. කොත්තුනුගොඩට යබොර ලැබුණේ ගිනි කන්දක් පිපිරී යාමෙන් බව කොත්මලේ ජනප්‍රවාදවල එයි. යබොර උණු කිරීමට නවංගම ශිල්පීන් යොදා ගත්තේ කොත්තුනුගොඩ අසලම පිහිටි දුම්මල ගස් තලාව කැලෑවේ පිහිටි අධික තාපය සහිත දුම්මල ගස්වල දරයි. පුසුල්පිටිය විහාරයේ ඉදිකිරීම්වලට පැමිණි පොන්න නැකැත් පරපුර තම විදේශික බව සැඟවීමට කුලයේ කීර්තිය පැතිරවීමට ගැමුණු කුමරු කාලයේ පොන්න නැකැත්තා සිටි බව ජනප්‍රවාදයේ පතුරුවා ඇත. පසු කල වන විට සෙංකඩගල පොන්න නැකැත් පරපුර පොන්න යන පොදු පරම්පරා නාමයෙන් පෙනී සිටි අතර ​ෙසංකඩගල රාජ වාසළට කොත්මලේ මාවෙල ගමේ සිට රාජ සේවයට ගිය බැවින් ප්‍රදේශයේ නාමයෙන් ඔහු ​කොත්මලේ ගණිතයා ලෙස ප්‍රකට විය. මාවෙල උලපනේ ගම්පල හරහා රජ වාසල සේවයට යාම ඔහුගේ සිරිත විය.

පොන්න නැකැත්තා හෙවත් කොත්මලේ ගණිතයා ගැන ඇති ජනප්‍රවාද රාශියකි. සන්නස්ගල සිංහල සාහිත්‍ය වංශයේදී ඔහු කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ (1747-1782) රාජ සභාව මැද දී දිගු රිටක් දිගු කොට රිට්ටා ඇති තැන පෙන්නු විට ඒ ස්ථානය ඉබේ ගිනිගත් බව සඳහන් කරයි. මේ ජනප්‍රවාදය මාතර කල විසූ බරණ ගණිතයා වටා ද ඇත.

කොත්මලේ මාවෙල ගමේ සිට සුබ නැකැත් බලා ​කොත්මලා ඔයෙන් එගොඩ මෙගොඩ වීමට ඔය හරහා මැතුරූ ගල් කුළු දමා ඒ පාදිය ගල් කුළුවලින් එගොඩ වී මැතිරූ තල අත්ත කිහිලි ගන්නාගෙන රාජ සභාවට යන විට කොටියෙකුගේ වෙස් ගත් යකෙකු ඔරුව පැද්දේය. කොත්මලේ ගණිතයා මැතුරූ තල අත්තෙන් කොටියෙකු ලෙස වෙස් ගත් යක්ෂයා අල්ලා කඩදොර බුදුන්හිටිලෙන අසල තිබූ යෝධ ඇටඹ ගහ මුලදී උගේ හිසට ඇණ ගසා ගෙදර ගෙනවුත් මෙහෙකාරකමට යොදා ගනී. ගණිතයා යකා දමනය කළ ඇටඹ ගහ මේ නිසා යකඹ ගහ ලෙස ප්‍රසිද්ධ විය. කොත්මලේ බැම්ම බැඳීමේදී මේ යෝධ ඉපැරණි ඇටඹ ගහ ගළවා දමන ලදි. දිනක් ගණිතයා ගෙදර නැති විට යකා දර මිටියක් හිස මත ගෙන එයි. කොත්මලේ ගණිතයාට සිටියේ අවිවාහක තරුණ දුවරුම හත්දෙනෙකි. බිරිඳ යළි ගැබිනියක්ව සිටියාය. මෙහෙකරු කටුවක් ඇනුණු බව කියා හිස අතගායි. මෙහෙකරු යකෙකු බව නොදත් බිරිඳ උගේ හිසේ ගසා තිබූ මැතිරූ කටුව ඇද දමයි. බිහිසුණු වෙස් ගත් යක්ෂයා ගණිතයාගේ බිරිඳ හා තරුණ දූවරුන් හත් දෙනා ලේ විලක් මැද මරා දමා ශ්‍රීපාද අඩවියට පැන ගොස් සැඟවෙයි. සවස ගෙදර ආ කොත්මලේ ගණිතයා ක්‍රෝධයෙන් සැලී සැලී කරුංකා ගෙඩියක් මතුරා පිල්ලියක් යවයි. පිල්ලිය දිගේ යකා ඇදී එයි. කෝපය ඉහවහ ගිය ඔහු යකා ඇටඹ ගහට තබා කඩුවකින් කැබලි වලට කපා දමයි. උගේ කැබලි ​ෙහප්පුවක ලා මුහුදට දමයි.

ග්‍රහ තරුවක චලනය දිගු කලක් නිරීක්ෂණය කළ කොත්මලේ ගණිතයා කොත්මලා ඔය දෙපස පිහිටි කඩ දොර හා තිස්පනේ යන කඳු දෙක මතු අනාගතයේ එක් වන බව හා කොත්මලා ඔය උතුරට ගලන බව අනාවැකියක් කියා ඇත. ගණිතයාගේ මෙම අනාවැකිය සනාථ කරමින් ​කොත්මලේ බැම්ම බැඳ ජලාශය ඉදිවීමෙන් ජලාශය දෙපස පිහිටි කඩදොර හා තිස්පනේ යන කඳු දෙක ජලාශය නිසා එකතු විය.

දිනක් ඔහු මාවෙල සිට රාජසේවයට යද්දී අතරමඟදී බලගතු සුබ නැකැතක් උදා විය. ඔහු අසල වූ කුඹුරෙන් වී කරල් මිටක් කඩා කුඹුර අයිති ගොවියාට දුන්නේය. කුඹුරෙන් නිමාවක් නැතිව වී ඉතිරෙන්නට විය. නිමාවක් නැතුව වී උතුරා ගිය ස්ථානය වී වතුර නම් විය. අද මී වතුර ලෙස ප්‍රසිද්ධව ඇත්තේ මේ වී වතුර බව 1972 සාහිත්‍ය සඟරාවේ ගම්පළ විශේෂ කලාපයේ දැක්වෙයි.

කොත්මලා ගණිතයා දිනක් ගමනක් යන විට වෙහෙසට පත්ව ගිමන් නිවා ගැනීමට පාර අද්දර වූ අම්බලමකට ගොඩ විය. ඔහුගේ නක්ෂත්‍ර දැනුම මැන බැලීමට සිකුරු ග්‍රහයා මිනිස් වෙසක් මවාගෙන අම්බලමට ගොඩ වී ඔහු හා කතාවට වැටුණේය. දැන් සිකුරු කොහිද? අමුත්තා ගණිතයාගෙන් විමසයි. ඔහු කීප වරක් ගැන බැලුවත් සිකුරු හසු නොවෙයි සිකුරු උඹවත්ද? ගණිතයා අමුත්තාගෙන් අතින් අල්ලා ගනියි. ඉගෙන ගත්තේ එච්චරයි කියූ සිකුරු ඇඟිල්ලෙන් ගණිතයාගේ දෑස් වලට ඇන, ඔහුගේ ඇස් අන්ධ කර ආපසු යෑමට නැගිටියි. ගණිතයා සිකුරුගේ දෑත් තදින් අල්ලා ගෙන ඇවිටිලි කරයි. නැවත පෙනුම ලබා දෙන සිකුරු කොත්මලේ ගණිතයාට රන් පොතක් තෑගි කරයි. සිකුරුගෙන් රන්පොත ලැබුණු කොත්මලේ ගණිතයා සිකුරාධිපති යන නමින් ප්‍රසිද්ධ වෙයි. මේ අනුව පොන්න නැකැත්තාගේ කොත්මලේ ගණිතයාගේ ජනප්‍රවාදයේ හරය කොත්මලේ ගණිතයා සෙංකඩගල කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් සිකුරාධිපති යන ගෞරව පට බැඳි නාමය ලැබූ බවයි.

බුධ සිකුරු ග්‍රහ යුද්ධයක් ඇති වී සිකුරු පැරදී සිකුරුගේ කුණ්ඩලාභරණය බිමට වැටෙන බව කලින් නක්ෂත්‍ර දැනුමෙන් දුටු ඉන්දියාවේ බමුණෙක් ඒ කුණ්ඩලාභරණය වැටෙන ස්ථානය සොයා රජුගෙන් අවසර ගෙන මහවැලි ගඟ අද්දර ගුරුදෙණිය ගමේ පැළක් අටවා ගනී. ග්‍රහචාරය ගැන සිකුරුගේ කුණ්ඩලාභරණය වැටෙන ස්ථානය කොත්මලේ ගණිතයා ද දැන ගනියි. ඉන්දියාවෙන් ආ බමුණා ඉදි කළ පැල්පත අද්දරම ගණිතයා තල් අතු පැලක් අටවා ගනියි. නියමිත දින ග්‍රහ යුද්ධය ඇති වී බමුණාගේ පැලේ තල් අත්ත මතට වැටෙන සිකුරු කුණ්ඩලාභරණය ඉන් ලිස්සා විසි වී ගොස් කොත්මලේ ගණිතයා සතු වෙයි. සිකුරු කුණ්ඩලාභරණයට ගණිතයා හා බමුණා අතර ඇති වූ ආරවුල දිග් ගැසෙයි.

රජු දෙදෙනාගෙන්ම තොරතුරු විමසා සිකුරු කුණ්ඩලාභරණයෙන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව දළදා මැඳුරේ දළදා හිමි වැඩ සිටීමට ඉන් නෙළුම් මලක් නිර්මාණය කරයි. මේ කතා පුවත “ඓතිහාසික ජන කතා” ග්‍රන්ථයේ හා තාවුල්ලේ ධම්මානන්ද හිමිගේ “මධ්‍යම ලංකා පුරාවෘත්ත” ග්‍රන්ථයේ එයි. විහාර වගවිත්ති ග්‍රන්ථයේ මේ සිද්ධිය පළමු විමලධර්මසූරිය රජු කල (1592-1604) සිදු වූ බව කීවත් ඒ වැරදිය. ඩී.පී. වික්‍රමසිංහගේ “මඟ දිගට ජන කතා” ග්‍රන්ථය අනුව සිකුරු කුණ්ඩලාභරණය ගැනීමට ආ බමුණා සිත් තැවුලෙන් මහවැලි ගඟට පැන මියගිය අතර අද දුම්බර පුද ලබන පිටියේ දෙවියන් ලෙස ඉපිද ඇත්තේ එම බමුණා බව කියවෙයි. එමෙන්ම සිකුරු කුණ්ඩලාභරණය වැටුණු ස්ථානය අද කුණ්ඩසාලේ නමින් ප්‍රසිද්ධව ඇත.

රාජාධිරාජසිංහ රජුට (1782-1798) දිනක් විශාල ලබු ගෙඩියක් තෑගි ලැබුණේය. රාජ සභාවේ දැනුම පිරික්සීමට සිතූ රජු එහි ඇති ඇට ගණන රාජ සභාවෙන් විමසයි. එකිනෙකා විවිධ පිළිතුරු දෙති. හොඳ ඇට එකක් හා බොල් ඇට දෙකකි. ගණිතයා රජුගෙන් වරප්‍රසාද ලබයි. කොත්මලේ වටද්දර කළු ගල් පතන කලකට පෙර තිබූ ගාඩි ගම්මානයේ විසු කළු ගල් පතනේ ගාඩි නායක නේරියා කියන පරිදි එදා කළු ගල් පතන ගමේ විසු දක්ෂ ගාඩි මන්ත්‍රකරුවෙකු වූ කණ්වැලා නැකැත්තා බහිරවයා ලවා මන්ත්‍ර බලයෙන් ලබු ගෙඩියේ තිබූ ඉතිරි ඇට අතුරුදන් කර වූ බව කියයි. (කොත්මලේ ව්‍යාපාරය නිසා කළු ගල් පතන ගාඩි ගම උලපනේ නුදුරු අටබාගේට ඉවත් කරන ලදි) “අස්ගිරි තල්පත” අනුව ප්‍රසිද්ධ නක්ෂත්‍රකරුවකු වූ අස්ගිරි විහාර නායක පදවියද දැරූ ගොලහැන්වත්තේ ධම්මදස්සී නායකහිමි නරේන්ද්‍රසිංහ රජු කල (1707-1739) රාජ සභාවේදී මෙසේ ලබු ගෙඩියක ඇති ඇට ගණන නිවැරදි ව කියා තෑගි ලබා ඇත.

ලබු ගෙඩියේ ඇට ගණන ඉතාම නිවැරදිව කිවූ කොත්මලේ ගණිතයාගේ නක්ෂත්‍ර දැනුම ගැන යටි හිතින් ඊර්ෂ්‍යා කළ රාජධිරාජසිංහ රජු ඔහු වගේ බලගතු නක්ෂත්‍රකරුවෙක් සිටීම තමාට තර්ජනයක් බැවින් ගණිතයාගේ හිස ගසා දැමීමට තීරණය කර ඇත. මෙහිදී කොත්මලේ ගණිතයා තම ග්‍රහචාරය ගැන බලන්නට විය. රජු තමා කෙරෙහි සැකයෙන් හිස ගසා දැමීමට නියම කර ඇති බව ඔහුට අවබෝධ විය. තමන්ගේ ග්‍රහචාරය අනුව තමාට තව ජීවත් වීමට ඇත්තේ කෙටි කාලයක් බව ඔහුට පෙනුණි. ඒ නිසා තම හිස ගසා දැමීම තුන් පැයකට ප්‍රමාද කරන ​ෙලස ඔහු බැගෑපත්ව රජුගෙන් කවියකින් මෙසේ ඉල්ලුවේය. කවිය ගැන පැහැදුණු රාජාධිරාජසිංහ රජු ඔහුගේ හිස ගසා දැමීම තුන් පැයකට ප්‍රමාද කර ඇත.

හත් අවුරුද්දක් වහිනා වැස්සේ බිංදු ගණන්
කරලා දෙඤ්ඤං
සත් අවුරුද්දක් ගිය කන්කුංඩගෙ කකුල් ගණන්
කරලා දෙඤ්ඤං
අබ තුන් පෑලක් මැනලා දුන්නොත් පියලි ගණන්
කරලා දෙඤ්ඤං
තව තුන් පැයකට නොමරා හිටියොත් මෙතුන් පදේ
තෝරාලා දෙඤ්ඤං   

කෙහෙල්ගමුවේ ලිවූ කොත්මලේ පුරාවෘත්ත ග්‍රන්ථයේ හා පුංචි බණ්ඩාර සන්නස්ගලගේ සිංහල සාහිත්‍ය වංශය මේ කවිය දක්වා ඇත. තුන් පැය අවසානය ගෙවීයත්ම කොත්මලේ ගණිතයාගේ ආයුෂ කෙළවර වී ඉබේම මරණයට පත් විය. එහෙත් ඔහුගේ මරණයෙන් රජුගේ සිත තදින් කම්පාවට පත් විය.

​ෙම් ඉහත දැක්වූ විස්තර අනුව අපට නිගමන කිහිපයකට පැමිණිය හැක. මේ පරපුර දුටුගැමුණු කුමරු තෙක් අතීතයට ගෙන යමින් ​පොන්න නැකැත්තා ගැන කතාව ගොතා ඇත. දකුණු ඉන්දියාවෙන් ආ මෙවැනි ශිල්පී පවුල් අතීත උරුමය මවා පෑමට මෙබඳු කතා නිර්මාණය කර ඇත. පොන්න නැකැත් පරපුරේ පරම්පරා නාමයයි. කොත්මලේ ගණිතයා යනු කොත්මලේ මාවෙල පදිංචිව සිටි රාජ සේවයට යාම නිසා පදිංචි ප්‍රදේශ අනුව ලැබුණු නාමයයි.

සිකුරාධිපති යනු ඔහුට රජුගෙන් ලැබුණු ගෞරව නාමයක් බව පෙනෙයි. ඔහුගේ පාරම්පරික උපන් ගම කොත්මලේ මාවෙලයි. ඔහුගේ බිරිඳගේ ගම් ප්‍රදේශය උඩු නුවරයි. ඔහුගේ දූන් හත් දෙනාම අවිවාහකව තරුණ වියේදීම මැරුම් කෑ අතර ගැබිනි බිරිඳ ද යකු අතින් මරණයට පත් විය.

 

ග්‍රහ තරුවක චලනය දිගු කලක් නිරීක්ෂණය කළ කොත්මලේ ගණිතයා කොත්මලා ඔය දෙපස පිහිටි කඩ දොර හා තිස්පනේ යන කඳු දෙක මතු අනාගතයේ එක් වන බව හා කොත්මලා ඔය උතුරට ගලන බව අනාවැකියක් කියා ඇත. ගණිතයාගේ මෙම අනාවැකිය සනාථ කරමින් ​කොත්මලේ බැම්ම බැඳ ජලාශය ඉදිවීමෙන් ජලාශය දෙපස පිහිටි කඩදොර හා තිස්පනේ යන කඳු දෙක ජලාශය නිසා එකතු විය.

 

සාමාන්‍ය ව්‍යවහාරයේදී “පොන්න” යන්නෙන් “මෝඩ” අර්ථය දෙයි. එහෙත් පොන්න යනු දකුණු ඉන්දියාවේ දී ප්‍රභූ නාමයක් ලෙස භාවිත වී ඇත. “සිංහල සාහිත්‍ය වංශය” සන්නස්ගල පරිදි දකුණු ඉන්දියාවේ කණ්ණඩි රට තුන්වන ක්‍රිෂ්ණ රජු “පොන්න” නම් කවියාට “උභය කවි චක්‍රවර්තී” නම් සාහිත්‍ය උපාධිය දී ඇත. මේ සම්මානය ලැබූ කවියා “පොන්න” යන නම තිබූ අයෙකි. මදුරාසියේ මුද්‍රිත “ද ලිට්ල් ප්ලවර්” සමාගම මුද්‍රණය කළ “ද ග්‍රේට් ලිප්කෝ” දෙමළ ශබ්ද කෝෂය අනුව “පොන්” යනු රත්තරන් යන අර්ථය ඇති දෙමළ වදනකි. ප්රැන්සිස් කටුකොලිගගේ “සිංහල දෙමළ ශබ්ද කෝෂය” අනුව “පොන්න” යන දෙමළ වදනට සිංහල අර්ථ හතරක් දෙයි. ඒවා නම් රත්තරං ශ්‍රියාකාන්තාව අලංකාරය හා ලෝහ ජාති වෙයි. මේ අනුව රන් රිදි ලෝහ වැඩ රැකියාව ලෙස කළ පරපුරක නාමය ලෙස “පොන්න” යන්න ගත හැක. එහි සිංහල අර්ථය ලෙස රත්තරන් දැක්විය හැක. ඉන් ඔහුගේ පරපුර මෙන්ම රැකියාවද නිරූපණය වෙයි. ඔහුගේ බිරිඳ හා අවිවාහක දුන් හත් දෙනා තරුණ කලම මියගියෙන් කොත්මලේ ගණිතයා මිය යෑම සමග ඔහුගේ පරපුර නිමාවට පත් වෙයි. ඔහුගෙන් පැවත එන කිසිවකු ඒ පරපුරේ ඉතිරිව නැත.

කොත්මලේ, මාවෙල ග​ෙම් මා කළ සමීක්ෂණයකදී ​ෙකාත්මලේ ගණිතයා ලියූ පුස්කොළ පොත් දෙකක අත් පිටපත් දෙකක් පළමුවරට සොයා ගත හැකි විය. ඉන් පළමු පොත වූ මහා ගණිතය තෙළිඟු බසින් ලිවූ පත්තිරු එකසිය පනහක නක්ෂත්‍ර ග්‍රන්ථයකි. පත්තිරුවක දිග අඟල් හයක් වෙයි. පළල අඟල් තුනක් වන අතර පත්තිරුව දෙපැත්තේම ලියා ඇත. මහා ගණිතය තෙළිඟු නක්ෂත්‍ර ග්‍රන්ථය කම්බා බැඳ ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු කල බුද්ධ වර්ෂ 2301 හෙවත් ක්‍රි.ව. 1751 මේ පොත ලියා ඇත. මහා ගණිතය අග අවසාන පිටුවේ මේ පාඨය එයි. ස්වස්ති සිද්ධම් බුද්ධ වර්ෂ 2301 සිකුරාධිපති මහා ගණිතයා ඔහුගේ නක්ෂත්‍ර දැනුම හෙළි කරන අතර මේ තෙළිඟු බසින් ලිවීමෙන් ඔහුගේ දකුණු ඉන්දීය සම්භවය පෙනී යයි.

ඔහුගේ දෙවැනි ග්‍රන්ථය පත්ඉරු 150 යුතු සාරංග මාලය කවි පොතයි. කොත්මලේ ඔය අද්දර මොරපේ කතරගම් දේවාලයේ පෙරහැර නිමවී දිය කපන විට එන එදා හාල් වැලිතොට නම් වැලිතලාවේදී ශබ්ද රසයෙන් ඉහළ සාරංග මාලයේ කවි කියමින් මොරපේ කතරගම දෙවියන්ට පූජා පවත්වා ඇත.

කොත්මලේ ගණිතයා නැකැත් ගැනීමට භාවිත කළ ගල් පුවරුව ඔහු භාවිතා කළ ලෝහ පන්හිඳ ඒ පරපුරේ අය සතුව තවම ඇත. කොත්මලේ හරංගල මහා විද්‍යාලයේ පැවති සාහිත්‍ය උත්සවයකදී ඔහු ලියූ මහා ගණිතයා හා සාරංග මාලයේ පුස්කොළ අත් පිටපත් ද ඔහු භාවිත කළ පන්හිඳ ද මහජන ප්‍රදර්ශනයට තබන ලදි. ඔහුගේ මරණයට පසු අද ඇති පරපුර ​ෙකත්මලේ ගණිතයාගේ බාල සොහොයුරු කුඩා නැකැත්තාගෙන් පැවත එයි. පසු කල ඒ පරපුරේ කුඩා නැකැත්තා හා සිරියා නැකැත්තා ජීවත්ව ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල (1798-1815) මුතුවා හෙවත් රාජ මුතු නැකැත්තා ජීවත් විය.

ඉරිදා ලංකාදීප රසවිත අතිරේකය  වෙනුවෙන් 

වත්තේගම  හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන