තත්පර 10 කින් පිළිකාව හදුනාගත හැකි උපකරණයක්

”මාස්‌ස්‌පෙක්‌ පෙන්” නමැති අතින් ක්‍රියාත්මක කළ හැකි උපාංගයක්‌ හරහා පිළිකා පටකයක්‌ තත්ත්පර 10 ක්‌ වැනි සුළු කාලයකින් වඩා නිවැරදිව හඳුනාගත හැකි බව ඇමරිකා එක්‌සත් ජනපදයේ ටෙක්‌සාස්‌ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්‌ අනාවරණය කර තිබේ.

මෙම උපාංගය හේතුවෙන් සැත්කමක්‌ හරහා පිළිකා පටකයක්‌ වේගවත්ව හා පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව ලැබෙන බව එම විද්‍යාඥයෝ කියා සිටිති. ඔවුනට අනුව මෙම උපාංගය තාක්‌ෂණික වශයෙන් සියයට 96 ක්‌ පමණ නිවැරදිය.

”පිළිකාවක්‌ නිවැරදිව හඳුනාගත හැකි මෙම මාස්‌ස්‌පෙක්‌ පෙන් උපාංගය සම්බන්ධව ”සයන්ස්‌ ට්‍රාන්සිෂනල් මෙඩිසින්” සඟරාවෙහි පළකර ඇති වාර්තාවකට අනුව මෙම උපාංගය පිළිකාවක්‌ ඇති බවට සැක කෙරෙන ස්‌ථානයක්‌ ස්‌පර්ශ කර කුඩා වතුර බිංදුවක්‌ එම ස්‌ථානය මත පතිත කරවන අතර එහිදී සජීවී සෛලවල පවතින රසායන ද්‍රව්‍යයන් එම වතුර බිංදුව වෙත පැමිණේ. එසේ ඇඳී එන සෛල රසායන ද්‍රව්‍යයන් උපාංගය තුළට විශ්ලේෂණය සඳහා ඇද ගැනේ.

මෙම පෙන් උපාංගය අනතුරුව ස්‌පෙක්‌ට්‍රොමීටරයක්‌ බවට පරිවර්තනය වන අතර සෑම තත්පරයකට වරක්‌ සෛලවල අන්තර්ගත වන රසායන ද්‍රව්‍ය 1000 සමඟ දහස්‌ ගණනක්‌ මැන බලන බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති. එම උපාංගයෙහි රසායනික සලකුණක්‌ තැබීමෙන් වෛද්‍යවරයා පරීක්‌ෂා කරනුයේ නිරෝගිS පටකයක්‌ ද නැතහොත් පිළිකා සෛලයක්‌ ද යන්න වෛද්‍යවරයාට අවබෝධ කර ගත හැකිවේ.

මෙම උපාංගයෙන් පරීක්‌ෂා කිරීමෙන් කිසිදු පිළිකා පටකයක්‌ මඟහැරෙන්නේ නැතිව සොයා ගත හැකි වීම විශේෂත්වයයි.

මෙහිදී පිළිකා පටකයක්‌ ඉවත් කිරීමේදී ඉවත් වන පිළිකා පටකවලට අමතරව තවත් පිළිකා පටක ඉතිරි වී ඇතිනම් එය තවත් පිළිකාවක්‌ ලෙස වර්ධනය විය හැකි අතර ඒ හරහා මොළය ඇතුළු ඉන්ද්‍රියයන්ට හානි පැමිණ විය හැකිය.

මෙම පෙන් උපාංගය පිළිබඳව අදහස්‌ දක්‌වන ටෙක්‌සාස්‌ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ සහායක මහාචාර්ය ලිවියා එබර්ලින්ට අනුව මෙම පෙන් උපාංගයට ඉතා සාර්ථක ලෙස පිළිකාවක්‌ හඳුනාගෙන එය සායන මට්‌ටම කරා යොමු කරවීමේ හැකියාව පවතී. මෙම උපාංගය හුරුබුහුටි, සරල ශල්‍ය වෛද්‍යවරයකුගේ අත කෙටි වෙලාවක්‌ රඳවා ගත හැකි ප්‍රතිඵල දායක එකක්‌” බව ඇය පවසන්නීය.

මෙම උපාංගය පිළිබඳව කරන ලද අධ්‍යයනයේදී සාම්පල 253 ක්‌ පරික්‌ෂා කර ඇති අතර තවත් අධ්‍යයනයන් සිදු කිරීමෙන් පසු එම උපාංගය ලබන වසරේදී වෛද්‍යවරුන් අතට පත්වීමට නියමිතය. මේ වන විට මිලි මීටර් 0.6 සිට මිලි මීටර් 1.5 දක්‌වා වූ ප්‍රමාණයකින් පටකයක ඇති සැකකටයුතු ස්‌ථානයක්‌ විශ්ලේෂණය කිරීමේ හැකියාව මෙම උපාංගය සතුව පවතින බව හෙළි වී තිබේ.

මෙම උපාංගය පිළිබඳ අධ්‍යයනයට සහභාගි වූ පර්යේෂකයකු වන වෛද්‍ය ඡේම්ස්‌ සුලිබර්ත්ට අනුව මෙම උපාංගය හරහා පිළිකාව නිර්ණය කිරීමෙන් අනතුරුව රෝගියාට කඩිනම්, ඵලදායී ආරක්‌ෂිත සැත්කමක්‌ කර දීමට හැකියාව ලැබෙනු ඇත. උපාංගය හරහා පිළිකා පටක ඉවත් කිරීමේ සැත්කම නිවැරදිව කිරීමට හැකි වන බවද ඔහු කියයි.

මේ අතර ලන්ඩනයේ ඉම්පිරියල් විදුහලේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් පිළිකා පටකයක්‌ කැපීමේදී එය සැබැවින්ම පිළිකා පටකයක්‌ දැයි ඉව දැන ගත හැකි විශේෂිත පිහියක්‌ නිපදවා ඇති අතර හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්‌ මොළයේ පිළිකාවක්‌ කොපමණ ප්‍රමාණයකින් ඉවත් කර හැකිදැයි විශ්ලේෂණය කළ හැකි ලේසර් තාක්‍ෂණයක්‌ හඳුන්වා දී තිබේ.