කායවර්ධන ශූරියක් වූ 83 හැවිරිදි අත්තම්මා

ඔබට කිසිවක් කරන්නට වුවමනා නම් එය හෙටට කල් දමන්නට එපා යැයි ඉංග‍්‍රීසි කියමනක් තිබෙනවා. ඒ වගේම ජීවිතය සතුටු කරවන යමක් කරන්නට වුවමනා නම් මේ ඊට කාලය නොවේ යැයි කියා කල් දැමීමත් අනුවණ ක‍්‍රියාවක් හැටියට සැලකෙනවා.

ලොව වයස්ගතම කායවර්ධන ශිල්පිනිය හැටියට ගීනස් පොතේ නම ලියවා ගන්නේ අර්න්ස්ටයින් ශෙපර්ඞ් නමැති කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 81 ක් වන නමුත් ඉතාම ශක්තිමත් තරුණයෙක් මෙන් ජවසම්පන්න සිරුරක් ඇය සතුව තිබෙනවා.

1936 වසරේ ඇමෙරිකාවේදි උපත ලබා ඇති මේ කාන්තාව වයස අවුරුදු 56 ක් වන තුරුම කිසිම ක‍්‍රීඩාවක නිරත වී සිට නැහැ. නමුත් වයසත් සමග ගත දුර්වල වෙන්නට යන බව අවබෝධ වීමත් සමග ඇය ව්‍යායාම කරන්නට පටන් ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම සාප්පු සවාරි යන විට දකින ලස්සන ලස්සන ඇඳුම් විලාසිතා අඳින්නට බැරි වීම ගැන ඇති වුණු සිත් තැවුලක් හේතු කරගෙන ඇය මුලින්ම ජිම් එකක් වෙත ගිය බව ඇය පවසා තිබෙනවා. ශරීරය නම්‍යශීලී කරගැනීම, මනා හැඩයෙන් පවත්වා ගැනීම මෙන්ම වයස සමග ඇතිවන කායික දුර්වලතා මගහැර ගැනීමට ඇය ව්‍යායාම පටන් ගෙන තිබෙනවා.

ඒ ව්‍යායාම කිරීම ඇය කෙතරම් උනන්දුවෙන් සිදු කර තිබෙනවාද යත් අද ලෝකයේ වයස්ගතම කායවර්ධන ශිල්පිනිය හැටියට ඇගේ හිස සරසන කිරුළ ඒ උනන්දුවට ලද තිළිණයක් වගෙයි.

අර්න්ස්ටයින් ශෙපර්ඞ්ගේ සාමාන්‍ය දවසක් ඇරඹෙන්නේ අලූයම තුනටයි. ඒ වේලාවට නිවසේ සිට සැතපුම් දහයක් දුර පයින් ඇවිදින ඇය උදේ 7 වන විට යළි නිවසට පැමිණෙනවා. උදෑසන ආහාරය ලබාගෙන නැවත ව්‍යායාම කිරීම සඳහා ජිම් එක වෙත යනවා. ඒ ව්‍යායාම සැසිය අවසාන වෙන්නේ උදේ 11ටයි. ඇගේ වැඩුණු මස්පිඩු සාක්ෂි සපයන්නේ ඇයට ඉතාම ශක්තිමත් සිරුරක් ඇති බවටයි.

අර්න්ස්ටයින් ශෙපර්ඞ් මේ වන විට කායවර්ධන උපදේශකවරියක මෙන්ම ක‍්‍රීඩා නිරූපිකාවක ද වනවා. කායවර්ධනයට කැමති ලෝ වටා පිරිස් වෙත දැනුම බෙදාදෙන ඇගේ වෙබ් අඩවියට ඉහළම ප‍්‍රතිචාර තිබෙනවා.

තමාගේ ආහාර ක‍්‍රමය ගැන පවසන්නටත් ඇය මැලිවන්නේ නැහැ. ශරීරයට ශක්තිය ලැබෙන්නේ ආහාර මගිනුයි. කායවර්ධන ශිල්පිනියකට වුවමනා ශක්තිය ඇය ලබා ගන්නේ පෝෂණමය ආහාරම පමණක් අනුභව කිරීම තුළිනුයි. සෑම කෑමක්ම කන්නට පෙර එහි අඩංගුවන කැලරි ප‍්‍රමාණය ගැන තමන් උනන්දුවන බව ඇය පවසනවා. ඒ අනුව කෑම මගින් ඇය දිනකට කැලරි 1700 ක අවශ්‍යතාවක් පූරණක කරගන්නා බව ඇය පවසනවා. වයස අවුරුදු 83ක සාමාන්‍ය කාන්තාවකට එය අධි ශක්ති ප‍්‍රමාණයක් වුණත් අර්න්ස්ටයින් වැනි කායවර්ධන ශිල්පිනියකට එය ප‍්‍රමාණවත් පෝෂණයක්.. ප‍්‍රධාන ආහාර වේල් සඳහා සම්පූර්ණ තිරි`ගු පිටි පාන්, බත්, අල, කුකුළු මස්, ටූනා මාළු, බිත්තර, තැම්බූ එළවළු සහ අතුරුපසට පලතුරු ලබාගන්නා ඇය දවස පුරාවට අමතර කෙටි කෑම වේල් 5ක් ලබාගන්නා බව පැවසෙනවා.

අමතර වේල්වලදී අනුභව කරන්නේ  ඕට්ස්, කෙසෙල් ගෙඩි, රටකජු, ධාන්‍ය, අන්නාසි පෙති කිහිපයක් වැනි යමක් සමග සීනි නොදැමූ පලතුරු යුෂ වීදුරුවකුයි.

නින්ද ගැන ඇය පවසන්නේ මෙවැන්නක්.÷÷÷÷ දවස පුරා කාර්යබහුලව වැඩ කරලා රාත‍්‍රීයේ 10 වෙනකොට නිදාගන්නවා. මම හිතන්නේ එය ප‍්‍රමාණවත් නින්දක් කියලයි…

ඇය විශේෂිත කායවර්ධන ශූරියක් නිසාම බොහෝ උත්සව සභාවල කතා පැවැත්වීමට ඇයට සිද්ධ වෙනවා… කායවර්ධනය කතා පැවැත්වීම වඩා පහසුයි. ඇත්තටම නිවැරදිව අදහස් සන්නිවේදනය ගැන මම මීට වඩා හදාරන්න  ඕන. එවිට මගේ දැනුම තව කෙනෙකුට නිවැරදිවම සන්නිවේදනය කරන්න මට පුළුවන් වෙනවා.. ඇය පවසනවා.
අර්නස්ට් දෙවියන් ගැන දැඩි විශ්වාසය ඇති කෙනෙක්. තමාට ශක්තිය ලබාදෙන්නේ දෙවියන් ගැන ඇති විශ්වාසය බව ඇය පවසනවා. ඒ වගේම නීරෝගීතාව වෙනුවෙන් ඇය දෙවියන්ට ස්තූති කරනවා.

ක‍්‍රීඩාව තුළින් මිනිසුන්ගේ ධනාත්මක චින්තන ධාරා අවදි කෙරෙන බවත් ඇය පවසා තිබෙනවා. ශක්තිය නිසාම කිසි විටෙකත් මනසින් නොවැටී සිටීමට ඇයට හැකිවී තිබෙනවා.

මේ සියලූ ප‍්‍රතිලාභ ගෙන දෙන ව්‍යායාම වෙත මිනිසුන් පොළඹවා ගැනීමට අර්නස්ට් කැපවී සිටිනවා. පළමු දිනයේ සැතපුම් 10ක් දුර ඇවිද්දේ නැතත් කොතැනින් හෝ ව්‍යායාම කරන්නට පටන් ගත යුතු බව ඇය මතක් කරනවා.
උපදෙස්  ඕනෑකරන  ඕනෑම අයෙකුට ඇගේ වෙබ් අඩවිය හරහා ඇයට ලියන්නට පුළුවන්කම තිබෙනවා..

ඇය විවාහ වී සිටින්නේ තමාට වඩා වයසින් අවුරුදු 20ක් බාල තැනැත්තෙකු සමගයි. එනම් ඇගේ සැමියා තවම වයස අවුරුදු 60 පසුකළ අයෙකුයි. ඔවුන්ට එකම එක පුතෙකුත් සිටිනවා. පුතු තවම කුඩා නිසා තමාට ජීවිතය ගැන ආසාව වැඩි බව ඇය පවසා තිබුණා.

ඉදිරියට ඇති ජීවිතය කෙතරම් කෙටි වුණත් කම් නැත යනුවෙන් ඇය සිය වෙබ් අඩවියේ ලියා තිබෙන්නේ ඇය මනසින් සහ ගතින් ශක්තිමත්ව නිරෝගීව සතුටින් ජීවිතයේ හැම දවසක්ම ගත කරන නිසයි.