ශ්‍රී ලංකාවේ පළමු උපාධිධාරීන් දෙදෙනා – ඔබ කියවිය යුතුම කතාවක්

ශී‍්‍ර ලාංකිකයන් බුද්ධිමතුන් සහ උගතුන් විය යුතුයැයි පවසමින් තම ගම් ප‍්‍රදේශයේ පාසල් ගොඩනගමින් තම දේපල පවා අහිමිකරගත් සුවිශේෂී බුද්ධිමතෙකි සන්තියාගු තෝමස් ද සිල්වා මහතා. අම්බලන්ගොඩ විලේගොඩ ග‍්‍රාමයේ උපතලද හෙතෙම සුවිශේෂී වන්නේ මෙරට බිහිවී ප‍්‍රථම උපාධිධාරීන් දෙදෙනාගෙන් අයකු වීමෙනි. දෙවැන්නා ශ්‍රීමත් ඞී. බී. ජයතිලක මහතාය.

1868 පෙබරවාරි මස 27 වැනි දින දරුවන් අට දෙනකුගේ පවුලක පස්වැනි දරුවා ලෙස උපත ලද ඔහුගේ මව පටබැඳිමුල්ලේ මනිමෙල්වඩු පුංචි බබා මහත්මියයි. පියා සන්තියාගොඩ එන්දෝරිස් ද සිල්වා මහතාය. සුදු පාලකයන් විසින් වතු වගාව ව්‍යාප්ත කරමින් සිටියදී වතු යායන්හි ඉදිවූ බංගලා සහ කර්මාන්තශාලා ඉදිකිරීමට අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ බොහෝ තරුණයෝ සහභාගී වූහ. තෝමස්ගේ පියා එන්දෝරිස් ද එලෙස වතු කර්මාන්ත ශාලා ගොඩනැගීමට ගොස් හරිහම්බකැරගත් වඩු කාර්මිකයෙකි. තමන් යටතේ තවත් සේවකයන් තබා ගනිමින් කොන්ත‍්‍රාත් ක‍්‍රමයට ඉදිකිරීම් ආරම්භ කළ එන්දෝරිස් වැඩිකළක් නොගොස් අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ යමක් කමක් ඇති දානපතියකු වූවේය.

තමන් උපයන මුදලින් සම්බුද්ධ ශාසනයට ද යමක් කළ යුතුයැයි සිතූ එන්දෝරිස් තම නිවස ආසන්නයේම ඉඩම් කොටසක විලේගොඩධම්ම යුත්තිකාරාමය ඉදිකරන්නට මූළිකත්වය ගත්තේය. ඉන් නොනැවතුණු හෙතෙම තම වැඩිමහලූ දරුවා ශාසනයට පූජා කළේය. අම්බලන්ගොඩ ධීරානන්ද නමින් පැවිදි වූ උන්වහන්සේ පසු කළෙක එම විහාරස්ථානයේම අධිපති පදවියට ද පත්වූහ. තම අයියා පැවිදි වෙද්දී කුඩා තෝමස් ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ රන්දොඹේ පිහිටා තිබූ වෙස්ලියන් මිෂනාරී ඉංගී‍්‍රසි පාසලෙහිය. ඉගෙනුමට උපන් හපන්කම් දැක්වූ තෝමස් ගාල්ලේ රිච්මන්ඞ් විද්‍යාලයට ඇතුල් කළ යුතුයැයි පාසලේ අධිකාරීවරු තීරණය කළහ.


1886 දී රිච්මන්ඞ් විද්‍යාලයීය විද්‍යා අංශයේ දක්ෂතම ශිෂ්‍යයා වූ තෝමස් 1887 වර්ෂයේදී තම විද්‍යාලයේම ගුරුවරයකු ලෙස සේවයට එක්වූයේ අධ්‍යාපනය අවසන් කිරීමටත් පෙරාතුවය. අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත් වූ හෙතෙම 1889 වර්ෂයේදී ඉංගී‍්‍රසි ගෞරව සහිතව බී.ඒ.කල්කටා පරීක්ෂණයෙන් සමත්වූයේ පසුකළෙක නයිට් පදවියකින් පිදුම් ලැබූ ශී‍්‍රමත් ඞී.බී.ජයතිලක මහතා ද සමගිනි. ජයතිලක මහතා බී.ඒ.කල්කටා සමත්ව ඇත්තේ ඉංගී‍්‍රසි හා ලතින් ගෞරව සහිතවය.

අධ්‍යාපනය හමාරකළ තෝමස් තම රැකියාව ආරම්භ කරන්නේ කලූතර නියෝජ්‍ය පිස්කල් වරයා වශයෙනි. කලූතර ආණ්ඩුවේ ඒජන්තවරයා ද, දිස්ති‍්‍රක් විනිසුරුවරයා ද එකම පුද්ගලයකු වූ අතර ඒ ඉංගී‍්‍රසි ජාතිකයෙකි. ඒ නිසාම උසාවි කටයුතු වලදී තෝල්ක මුදලිවරයකුගේ කාර්යය කිරීමට තරුණ තෝමස්ට සිදුවූයෙන් ඔහු මුදලි තෝමස් ද සිල්වා ලෙස හැඳින්වීමට වූවේය.

තම සේවය සියල්ලටම වඩා උසස් කොට සැළකූ තරුණ තෝමස් විවාහය ද දිනෙන් දිනම කල් දැමුවේය. වයස අවුරුදු 37 දී හෙතෙම විවාහ වූයේ සිරිලක මහා දානපතියකු වූ පානදුරේ ආතර් වී  දියස් මහතාගේ නැගනිය වූ ජෙරමියස් දියස් මෙනවිය සමගිනි. ඒ 1905 සැප්තැම්බර් මස 14 වැනි දිනදීය. මේ විවාහයෙන් ස්ටීවන් සහ ඔස්මන්ඞ් නමැති පුතුන් දෙදෙනකු ලැබූ පසු තෝමස් ද සිල්වා මහතා තම රැකියාවට සමුදී බිරිඳට අයත් වතු කිහිපයක වැවිළි කටයුතු ආරම්භ කළේය. ඔහු තම රබර් වගාව කෙතරම් දුරට ව්‍යාප්ත කළේ ද යන්න ඒවා විහිදී තිබූ ප‍්‍රදේශ අනුව සිතාගැනීමේ හැකියාව තිබේ. 1913 පමණ වනවිට මේ පවුල සතු වතු යාය කලූතර සිට රත්නපුරය දක්වා ද ගාල්ල සිට මාතර දක්වා ද විහිදී තිබිණි.

මහා දානපතියකු වූ තෝමස්  ද සිල්වා මහතා 1913 දිනක් අම්බලන්ගොඩ ගමට පැමිණි අවස්ථාවකදී තමන් විසින් එහි දරුවන්ට යමක් කළ යුතුයැයි අදිටන් කරගත්තේය. එහි ප‍්‍රතිඵලය වූයේ අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය අසළ රංජනී හෝටලය පිහිටා තිබූ ගොඩනැගිල්ලේ නව පාඨශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කළේය.

අම්බලන්ගොඩ ගමේ ගෙයින් ගෙට ගොස් පාසල් නොයන දරුවන් ගැන සොයා බලා ඔවුන් එක්රැස් කළ තෝමස් ද සිල්වා මහතා අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ නව පාඨශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කළේය. ඒ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයි. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ වත්මන් විදුහල්පති එම්.ජී. ඕ.පී.පණ්ඩිතරත්න මහතා මෙසේ කීවේය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නිර්මාතෘවරයා සහ පළමු විදුහල්පතිවරයා වුණේ මුදලි තෝමස් ද සිල්වා මහතා. එතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් තමයි ගොඩනැගිලි ඉදිකරලා තිබෙන්නේ. ඒ වගේම එකළ රජයෙන් ගුරුවරුන්ට වැටුප් නොගෙවූ නිසා මෙතුමා තමන්ගේ ධනයෙන් ගුරුවරුන්ට වැටුප් පවා ගෙවා තිබෙනවා. ඒ වගේම අධ්‍යාපනයට දැඩි අවධානයක් යොමු කළ තෝමස් සිල්වා මහතා අම්බලන්ගොඩ සිසුන් උපාධි ලබාගැනීමට විශාල වශයෙන් යොමු කොට තිබෙනවා.

එයට සාක්ෂි සපයන්නේ මාධ්‍යවේදියකු ලෙස සේවය කළ එස්.පියසේන මහතා (90) යි . එතුමා පවසන්නේ 1920-1940 පමණ කාලයේදී කොළඹ නගරය හැරුණු විට වැඩිම උපාධිධාරීන් සංඛ්‍යාවක් සිටි නගරය වූයේ අම්බලන්ගොඩ නගරය බවයි. විදුහලේ විදුහල්පති ධූරයෙන් ඉවත්ව යළිත් තම වැවිළි කටයුතු සඳහා තෝමස් ද සිල්වා මහතා යොමු වුව ද අම්බලන්ගොඩ ගම් වැසියෝ ඔහුට විදුහලෙන් ඉවත්ව යන්නට ඉඩ දුන්නේ නැත. දිගටම ධර්මාශෝක විද්‍යාලයේ කළමණාකාරධූරය ඔහුට පැවරුණෙන් තමන් උපයන ධනයෙන් වැඩි කොටසක් පාසල වෙනුවෙන් වැයකරන්නට ඔහුට සිදුවූවේය.

වර්තමානයේ අම්බලන්ගොඩ දේවානන්ද භූමිය ඇති ඉඩමේ පිහිටි සුවිසල් නිවසක හෙතෙම පදිංචිව සිටියේය. සිදුවූයේ නොසිතූවකි. ලෝකයේ රබර් මිල අසාමාන්‍ය ලෙස පහළ බැස්සේය. ප‍්‍රතිඵලය වූයේ රබර් වතු නඩත්තු කළ නොහැකි වීමයි. තමන් උපයන ලද ධනය පාසල් කටයුතු වෙනුවෙන් වැය කළ තෝමස්ට ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යා නොහැකි වී තිබිණි.

ටිකෙන් ටික වෙනත් පුද්ලයන්ට ණය වී සිටි තෝමස් ට අවසානයේ ඉඩකඩම් විකුණා දමමින් ණය ගෙවන්නට සිදුවූවේය. ඔහුගේ නිවසේ තිබූ බඩු පවා ප‍්‍රසිද්දියේ වෙන්දේසි කැරිණි. අවසානයේ දුගියකු බවට පත්වූ තෝමස් ද සිල්වා මහතා වසර 61 ක් ආයු වළඳා 1929 අපේ‍්‍රල් මස 10 වැනි දින අවසන් හුස්ම හෙලූවේය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේම අධ්‍යාපනය ලැබූ තෝමස් සිල්වාගේ බාල පුතු ඔස්මන්ඞ් උපාධිය හදාරා සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස ශී‍්‍ර ලංකා පොලිස් සේවයට එක්වූවේය.

ඔස්මන්ඞ්ගේ ඉරණම තීන්දුවන්නේ පොලිස් සේවය සඳහා කෑගල්ලට යන්නට වූ ගමනෙනි. කෑගල්ලේ සහකාර පොලිස් අධිකාරී වරයා ලෙස හෙතෙම සේවය කරද්දී එම දිස්ති‍්‍රක්කයේ උප දිසාපතිවරයා වූයේ රිචඞ් අලූවිහාරේ මහතාය. විවිධ අවස්ථාවලදී එකිනෙක හමුවී කතා බහ කළ මේ දෙදෙනා අතර මිතු දමක් ගොඩනැගෙන්නට වැඩි කළක් ගියේ නැත. එහි ප‍්‍රතිඵලය වූයේ අලූවිහාරේ මහතාගේ දියණිය ඊනා තරුණ ඔස්මන්ඞ්ගේ නෙත ගැටීමයි.

අසුන් පිට යාම පුහුණු වීමේ ආශාවෙන් පසුවූ ඇයට එය පුහුණු වීමට උදව් කරන ලෙස රිචඞ් අලූවිහාරේ උප දිසාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ප‍්‍රතිඵලය වූයේ ඔස්මන්ඞ් සහ ඊශා අතර පෙම් සබධතාවක් ගොඩනැගීමයි. එහෙත් මේ සම්බන්ධයට අලූවිහාරේ මහතා කැමැත්තක් දැක්වූයේ නැත. උඩරට වලව්වකින් පැවතඑන ඔහු තම දියණිය පහතරට වැසියෙකුට විවාහකැර දීමට කිසිදු අයුරකින් කැමැත්තක් නොදක්වද්දී ඔස්මන්ඞ් සහකාර පොලිස් අධිකාරී වරයා කාටත් හොරෙන් තම පෙම්වතිය සමග විවාහ වූවේය. අලූවිහාරේ මහතාට කරන්නට කිසිවක් තිබුණේ නැත. සහකාර පොලිස් අධිකාරී බෑණා ප‍්‍රතික්ෂේප කැර තිබිණි. ඔහුගේ අනෙක් දියණිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සොහොයුරු පැටි‍්‍රක් රත්වත්තේ සමග විවාහ වූවාය.

ඔස්මන්ඞ්ගේ බිරිඳ තම පරපුරම කොතෙක් විරුද්ධ වුව ද ඊනා ද සිල්වා අලූවිහාරේ කුමාරිහාමි ලෙස නාමය භාවිතා කරමින් දිගින් දිගටම සිය සැමියා සමග එක්ව සමාජ සේවා කටයුතු වල නිරතවූවාය. ඉංගී‍්‍රසීන් මෙරටට නිදහස ලබාදීමෙන් පසු පොලිස්පති වරයා ලෙස සිවිල් නිලධාරීවරයකු පත්කිරීමේ සම්ප‍්‍රදාය අනුව රිචඞ් අලූවිහාරේ මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට ඞී.එස්.සේනානායක අගමැතිවරයා කටයුතු කළේය. ඒ අනුව පොලිස්පති මාමණ්ඩි යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඔස්මන්ඞ් ද සිල්වා බෑණාට කටයුතු කරන්නට සිදුවිය.

පොලිස්පති ධූරයෙන් සමුගත් රිචඞ් අලූවිහාරේට නයිට් පදවියක් හිමිවූ අතර අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී.බණ්ඩාරනායක මහතා විසින් හෙතෙම ඉන්දියාවේ මහකොමසාරිස් වරයා ලෙස පත්කැර යැවුණි. ඔස්මන්ඞ් ද සිල්වා මහතා ද පසුව ශී‍්‍ර ලංකාවේ පොලිස්පති ධූරයට පත්වූවේය. අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුත්තිකාරාමයේ විහාරාධිපති අවිස්සාවේල්ලේ විමලසිද්ධි හිමියන් පවසන්නේ තෝමස් ද සිල්වා මහතා සහ ඔහුගේ දරුවන්ගෙන් අම්බලන්ගොඩ ප‍්‍රදේශයට සුවිශේෂී මෙහෙයක් සිදුව ඇති බවයි. උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ ද කීහ.

අද සිටින ඇතැම් දානපතියන් වගේ නොවෙයි මේ මහත්වරු බෝසත් ගුණයෙන් යුක්තයි. ඔවුන් තමන්ගේ සෑම දේපලක්ම පාසලට, පන්සලට, දුප්පත් මිනිස්සුන්ට පරිත්‍යාග කළා. සැබැවින්ම මේ ආදර්ශවත් චරිත අපි ඉදහිට හෝ සිහිපත් කළ යුතුයි. තෝමස් ද සිල්වා මහතා නිසා තමයි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ගොඩනැගුණේ. එතුමා නොසිටින්නට මේ ප‍්‍රදේශයේ මේ තරම් අධ්‍යාපනික නවෝදයක් ඇතිවන්නේ නැහැ. අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය ගොඩනගන්නත් එතුමා මූළිකව කටයුතු කැර තිබෙනවා.

ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ පළමු උපාධිධාරීන් දෙදෙනාගෙන් එක් අයකු වූ තෝමස් ද සිල්වා මහතා අධ්‍යාපනයට මුල්තැන දෙමින් ගොඩනැගූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය තම සියවස සැමරීමට සූදානම් වෙමින් තිබේ. ඒ වනවිට තෝමස් ද සිල්වා මහතා ගොඩනැගූ නිවස හෝ දක්නට නැත. ඔහුගේ දරු පරපුරේ ඇත්තෝ කිසිවෙකුත් අම්බලන්ගොඩ පදිංචිව නැත. තෝමස් ද සිල්වා උපත ලැබූ නිවස පමණක් තවමත් විලේගොඩ විහාරස්ථානයට යාබද ඉඩමේ ඉතුරුව තිබේ. වෙනත් පරපුරකට එය හිමිව තිබේ.

තෝමස් ද සිල්වා වැනි උගත්, බුද්ධිමත් අධ්‍යාපනඥයකු මෙන්ම දානපතියකු සමාජයට කළ මෙහෙවර ඔහු ගොඩනැගූ විදුහල් පවතිනාතාක් සදාකාලික සිහිවටනයක් වනු ඇත. ඔහුගේ දර්ශනය ඒ පාසල්හි ආදි සිසු සිසුවියන් විසින් අනාගතයට ගෙන යනු ඇත. අහිමිව ඇත්තේ මුදලි තෝමස් ද සිල්වා මහතාගේ දේපල හා වස්තුව පමණි. ඔහුගේ අධ්‍යාත්මික ගුණ සුවද සදාකාලිකය.

මුලාශ්‍රය – ලංකාදීප පුවත්පත