විජය ඝාතකයා පොලීසියේදී සියල්ල වැමැරූ හැටි

සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවෙන් සිනමාවට පිවිසි, සිනමාව දිග්විජය කළ සුවහසක් සිනමා රසික රසිකාවියන්ගේ සිහින කුමරා වූ විජය කුමාරතුංග කියන අසහාය නළුවා ආදරණීය සොඳුරු මිනිසා සාහසිකයකුගේ රුදුරු වෙඩි උණ්ඩවලට ගොදුරුව මිය ගියේ රටක්ම හඬවමිනි.

විජය කුමාරතුංග කියන සොඳුරු මිනිසාට මෙසේ සිය ජීවිතයෙන් අකාලයේ සමුගැනීමට සිදුවී තිබුණේද ඔහු මානව හිතවාදී දේශපාලනයක නිරතවීමේ වරදටය.

ගිනියම් වූ වෙඩි උණ්ඩවලට ගොදුරුව විජය කියන ඒ සොඳුරු මිනිසා අසහාය නළුවා මිය යනවිට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයාව සිටියේය.

විජය ඝාතනය වූයේ ඔහු ගමනක් යාමට පොල්හේන්ගොඩ නිවසේ සිට එළියට බසිනවාත් සමගය.

කොළඹ ජාතික රෝහලට ගෙන යනවිටත් විජය කියන ඒ සොඳුරු මිනිසාගේ මානව හිතවාදියාගේ හදවතේ ගැස්ම නතර වී හමාරය.
විජයගේ රියැදුරාව සිටි දයාරත්න මහතා ගෙවත්තේ නතර කර තිබූ ඩබල් කැබ් රථයට නැග්ගේ ඝාතකයන් ලුහුබැඳ යාමේ අදහසින් වුවත් ඝාතකයන් ඔහු දෙසට ගිනි අවිය එල්ල කර වෙඩි තැබීමට සූදානම් වූ නිසා ඔහුට ඒ අදහස වෙනස් කිරීමට සිදුවී ඇත.
නිවෙස තුළට දිව ගිය දයාරත්න, ලලිත් සමග ඇවිත් ඩබල් කැබ් රථයට නැග ගත්තේ ගිනි අවියක් ද රැගෙනය.

ගිනි අවිය තිබුණේ ලලිත්ගේ අතේය. කැබ් එක විදුලි වේගයෙන් පදවාගෙන ගියේ දයාරත්නය. ඝාතකයන් පොල්හේන්ගොඩ පාර ඔස්සේ කිරුළපන දෙසට පලා යන අන්දම දයාරත්න සහ ලලිත් දුටු අතර ඝාතකයන් පලා යමින් සිටියේ සීඩී 200 වර්ගයේ යතුරුපැදියකිනි.

ලලිත් විජයගේ ආරක්ෂකයෙක් විය.

පොල්හේන්ගොඩ පාර සීබල් ඇව්නිව් ඔස්සේ ඝාතකයන් ලුහුබැඳ යද්දී කිරුළපන සුසාන භූමිය හරියේදී දයාරත්නට සහ ලලිත්ට ඔවුන්ව මග හැරී ගොස් තිබිණි.

එනිසා ඔවුන් දෙදෙනා කැබ් රථය හරවාගෙන පැමිණ ඇත්තේ කිරුළපන පොලිස් ස්ථානය වෙතය.

කිරුළපන පොලීසියට මේ ගැන පැමිණිලි කළ මොහොතේම විජයගේ ඝාතකයන් ගැන පරීක්ෂණ ආරම්භ කෙරුණේ එවකට එම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක නන්දන විජේරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

පොලිස් පරීක්ෂක විජේරත්න මහතා විජය පදිංචිව සිටි පොල්හේන්ගොඩ පිහිටි නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කළේ පොලිස් කණ්ඩායමක් ද සමග ගොස්ය.

ඝාතකයන්ගේ හැඩරුව සොයා ගැනීම පොලිස් කණ්ඩායමට තිබූ ලොකුම අභියෝගය වී තිබිණි.

විජයගේ ඝාතකයන්ගේ හැඩරුව සොයා ගත්තොත් ඔවුන්ව අල්ලා ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවන බව පොලීසියේ විශ්වාසය විය.

විජයගේ රියැදුරුගෙන්, ආරක්ෂක නිලධාරියාගෙන් පමණක් නොව විජයට වෙඩි තබන අවස්ථාවේ ඒ අවට සිටි කිහිප දෙනෙකුගෙන්ම දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඝාතකයන්ගේ හැඩරුව ගැන පොලීසිය විමසා සිටියේය.

ඔවුන්ගෙන් ලබාගත් ඒ තොරතුරු ඔස්සේ පොලිස් කණ්ඩායමක් ඝාතකයාගේ හැඩරුවට සමාන රුවක් ඇන්ද අතර පළමු වතාවට ඝාතකයකුගේ රුවක් සිතුවම් කළ අවස්ථාව ලෙස ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයට එක්වී ඇත.

විජයගේ ඝාතකයා බවට සැකකෙරෙන හැඩරුවට සමානව සිතුවම් කරගත් රුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථානවලට යැවීමට ද පොලීසිය විසින් පියවර ගනු ලැබුවේ මේ පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමේ අපේක්ෂාවෙනි.

විජයගේ ඝාතකයා ගැන පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පැවැති අතරවාරයේ පොලිස් පරීක්ෂක නන්දන විජේරත්න මහතාට ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබී ඇත.

පොලිස් කණ්ඩායම ඔහු සොයාගොස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සජිත් නමැති අයෙක් ගැන තොරතුරු අනාවරණය විය.
සජිත් නමැත්තා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තවත් අයෙක් ගැන තොරතුරු හෙළි විය.

ඔහු අන් කවරෙක්වත් නොව ලයනල් නමැත්තෙකි.

මේ සියලු දෙනාම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකාරීන්ය.

විජයගේ ඝාතකයා ලෙස හඳුනාගත් ලයනල්ගේ ඡායාරූපයක් ජාතික රහස් තොරතුරු කාර්යාංශය සතුව තිබුණේය.

හොරණ පොලිස් වසමේ සිදුවූ කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් ලයනල් පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලීසිය ඔහුගේ ඡායාරූපයක් ගෙන තිබූ අතර එම ඡායාරූපයේ පිටපතක් ජාතික රහස් තොරතුරු කාර්යාංශයට භාරදී තිබිණි.

ජාතික රහස් තොරතුරු කාර්යාංශය සතුව තිබූ ලයනල්ගේ ඡායාරූපය හා පොලීසිය සිතුවම් කර තිබූ ඡායාරූපය සමාන විය.
ඒ වනවිටත් ලයනල් මිනීමැරුම් ගණනාවකටම අවශ්‍යව සිට අයෙකි.

දවසක් ලයනල් කොටුවන්නේ පොලිස් සැරයන් බැසිල් මහතාටය.

සැරයන් බැසිල් මහතා මීට පෙර කිසිම දවසක ලයනල් සැබැවින් දැක තිබුණේ නැත.

සැරයන්වරයා සතුව ද ලයනල්ගේ සේයාරුවක් තිබූ අතර ඔහු ලයනල් හඳුනා ගත්තේ ඒ අනුවය.

පොලිස් සැරයන් බැසිල් මහතාට ලයනල් හමුවන්නේ අහම්බෙනි.

 

අත්අඩංගුවට ගත් ලයනල් වැඩිදුර පරීක්ෂණ සඳහා බාරදෙන්නේ රහස් පොලිස් මූලස්ථානය වෙතය.

රහස් පොලීසියේ හතරවැනි තට්ටුවට රැගෙන යන ලයනල්ගෙන් ප්‍රශ්න කරන්නේ එහි එවකට අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍ර ජයවර්ධන මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේය.

විජය කියන සොඳුරු මිනිසාගේ ලස්සන මුහුණට වෙඩි තබා ඝාතනය කළ හිත්පිත් නැති වෙඩික්කරුවා වෙන කවුරුවත් නොව ලයනල් නමැත්තා බව රහස් පොලීසිය කළ විමර්ශනවලින් තහවුරු වී ඇත.

විජය ඝාතනයට යතුරුපැදිය පදවාගෙන ගොස් තිබුණේ ටාසන් යනුවෙන් හැඳින්වෙන අයෙකි.

රහස් පොලිසියට ටාසන් ගැන කිව්වේ ලයනල්ය.

ටාසන් රහස් පොලිසියට කොටුවන්නේ ඒ අනුවය.

ලයනල් හා ටාසන් අතින් භීෂණ සමයේ ඝාතනය වූ ජීවිත සංඛ්‍යාව 50කට ආසන්න බව රහස් පොලීසිය හෙළි කරගත්තෙ ඔවුන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලිනි.

ඔවුන් දෙදෙනා අතින් නැසුණු බව කියන ජීවිත අතර විජය කියා සොඳුරු මිනිසා ද විය.

විජය මහත්තයා මරා දැමීමේ නියෝගය මට ලැබුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ඉහළ නායකත්වය ගත් තීරණයකට අනුවයි. විජය මහත්තයා ඉන්දියාව හා ලංකාව අතර අත්සන් කෙරුණු සාම ගිවිසුමට පක්ෂපාතීව වැඩ කරන නිසාත් පළාත් සභා ක්‍රමයට පක්ෂ නිසාත් අපේ ව්‍යාපාරය දැඩි ලෙස විවේචනය කරන නිසාත් තමා ඉහළ නායකත්වය ඔහු මරා දැමීමට තීරණ කරලා ඒ වගකීම මට පැවරුවේ. ඉහළ නායකත්වය ලබාදෙන නියෝග පිළිපදින්න අපි බැඳී සිටිනවා. ඒ ගැන ප්‍රශ්න කරන්න අයිතියක් අපිට නැහැ.
විජය මරා දමන්න කලින් අපි විජයගේ නිවස අවට ගැවසෙමින් කිහිප දවසක් ඔත්තු බැලුවා. මේ වැඬේට විජයගේ ගේ ළඟින් පොඩි කඩයක් ද කුලී පදනම මත සල්ලිවලට ගත්තා. ඒ කඬේ අරගත්තේ අපේ ව්‍යාපාරය මඟින්.

මම ටී 56 වෙපන් එක අතට ගත්තා. ග්‍රෙනේඞ් එකක් ද බෑගයේ දමාගෙන ටාසන් එක්ක කිරුළපනේ අපි අරගත්තු කඩයට ආවා. අපි දෙන්නා කඩය ළඟටම වෙලා විජය ගෙදරින් එළියට එනකම් බලාගෙන සිටියා. විජය ගෙදරින් එළියට එනවා මම දැක්කා. නිවස ඉදිරිපිට හිටිය කෙනෙක් එක්ක විජය කතා කරනවා දැක්කා. ඊට පස්සේ මම වෙපන් එක අතට ගත්තා. ටාසන් එක්ක විජයගේ නිවස ළඟට ගියා. විජය ගේට්ටුව ළඟට වෙලා හිටියා. මම මෝටර් බයිසිකලයේ පිටුපස ආසනයේ වාඩිවෙලා ඉන්න ගමන්ම වෙඩි තිබ්බා.

එතකොට විජය හිටියේ මට පිටුපාලා. වෙඩි පහර කෑ විජය බිම ඇදගෙන වැටුණා. මම මෝටර් බයිසිකලයෙන් බැහැලා ගිහින් විජයගේ ඔළුවට වෙඩි තිබ්බා. එහෙම කළේ පළමු වෙඩි ප්‍රහාරවලින් විජය මිය නොයයි කියා හිතාගෙනයි.

ඒ විජයගේ ඝාතකයා ලෙස සැලකෙන ලයනල් රහස් පොලීසියට කළ පාපොච්චාරණයෙන් කොටසකි.

ලයනල් මේ පාපොච්චාරණය රහස් පොලීසියට කර තිබුණේ 1989 වසරේ මාර්තු මස 24 වැනිදාය.

රහස් පොලීසියට ලයනල් කළ ඒ පාපොච්චාරණය පිටු 179කින් සමන්විතය.