ධර්මපාල චරිතයේ ප්‍රශස්ත ලක්ෂණ

“අලෝලන, වියවුල් බහුල වූ පෘථුලව පවත්නා කාලපරිච්ඡේද විසින් ශ්‍රේෂ්ඨතම චින්තකයන් පහළ කරන ලදී. අත්‍යන්තයෙන්ම පවිත්‍ර අගනා රත්රන් බිහිකරනු ලබන්නේ ගින්නෙන් දැඩි ලෙස රත්වූ කෝවවලිනි. අතිශයින්ම දීප්තිමත් විදුලි සැර නිකුත් කරනු ලබන්නේ මහා ඝන කළු වළාකුළු විසිනි.” 
කැලෙබ් කෝල්ටන් (1780-1832)
 බි්‍රතාන්‍ය ලේඛක රසඥයා

සමාජයේ තහවුරුව පිහිටා තිබෙන ජනප්‍රිය චාරිත්‍රයක් ඇත්තේය. ඒ ජන වතාවකට මුල්වන්නේ කෙනෙකුගේ උපන් දිනයයි. ඇතැම් උපන් දින සාද සරළය. චාම්ය. එහෙත් සමහර විටෙක එවැනි උපන් දින උත්සව අතිශයින් විභූතිමත්ය. ප්‍රභූවරුන් බොහොමයකගේ නායනයන් වැඩි දෙනෙකුගේ උපන් දින උත්සව පුරුද්දට වර්ෂයක් වර්ෂයක් පාසා කෙරෙන වතාවත් පමණි. ජන්ම දින සැමරීම බහුතරයක් එසේය.

අප බොහෝ විට අනගාරික ධර්මපාලතුමානන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් උත්සව, පින්කම් සම්මන්ත්‍රණ ආදිය පවත්වනු ලබන්නේ එසේ හුදෙක් පුරුද්දට සිදු කෙරෙන  “යාන්ත්‍රික” වතාවතක් වශයෙන් පමණි.

එහෙත් මෙවර 2017 සැප්තැම්බර් 17 වනදාට එළඹෙන 153 වන ධර්මපාල ජන්ම දිනය හුදෙක් පුරුද්දට කෙරෙන වතාවතක් වශයෙන් සැලකීම කිසිසේත් සුදුසු නොවන්නේය.

මක්නිසාද යත් අද අපගේ ශ්‍රී ලංකා සමාජයට එතුමන්ගේ ප්‍රබුද්ධ දර්ශනය හා එතුමන්ගේ සංකීර්ණ ප්‍රායෝගික ක්‍රියාදාමයන් ඉතාම බැරෑරුම් ලෙස අර්ථවත් ලෙස අවශ්‍ය වී තිබෙන හෙයිනි.

ධර්මපාල අධ්‍යාත්ම වීරයා සිය තුරුණු වියේදී එදා ශ්‍රී ලංකා සමාජයේ පරිහානිය ගැන අසීමිත ලෙස කම්පා වූයේය. දිවා රෑ නැතිව තැවුණේය.

ධර්මපාලතුමා එදා සිය උත්තරීතර ඥානයෙන් අනාගතය විනිවිද දුටුවේය. එතුමා මහා සංවේගයෙන් ඉන් අවබෝධ කොටගත්තේ ශ්‍රී ලංකාවේ අසහාය, මෛත්‍රී පූර්වක, ලෝවැඩකාමී සංස්කෘතිය, නපුරු අගාධයක් දෙසට සීග්‍රවේගයෙන් ඇදී යන්නේ යැයි කියාය.

ශත වර්ෂ විස්සකටත් අධික දිගු කාල පරාසයක් ඔස්සේ පැවැති අපගේ මානව හිතවාදී ගුණගරුක, ජනකාය සිතන්නට පවා බිය උපදවන සුළු අන්තරායකට මූණ පා සිටිනු එතුමාගේ ගැඹුරු ප්‍රඥාවට පාත්‍ර වූයේය. 

තමන් සතු සියල්ල අතැර මේ මානව සමුදාය බේරාගන්නට එතුමා අචලව දැඩි අධිටනින් කැපවූයේය.

එතුමන්ගේ මේ අසහාය සනාතනික කැපවීමේ ඇතුල් පැත්ත තරමක් හෝ ගැඹුරට අවබෝධ කොට ගන්නට මට වාසනාව පෑදුණේ එතුමන්ගේ 150 වන ජන්ම දිනය ඉන්දියාවේ පැවැත්වුණු අවස්ථාවේයි. ඒ අවස්ථාවේදී ඉන්දීය මහාබෝධි සමාගම විසින් බුද්ධගයා මධ්‍යස්ථානයේ පවත්වන ලද 150 වන ධර්මපාල ජන්ම උළෙලේ ප්‍රධාන දේශනය පවත්වන්නට මට ඇරයුම් ලැබුණු බව මා මෙහිලා නිහතමානීව පවසන්නේ ඒ වටිනා සිද්ධිය මේ ලිපියේ ප්‍රස්තුතයට අදාළ වන හෙයිනි. උත්සවය පැවැත්වුණේ 2014 සැප්තැම්බර් 17 වනදායි.

ඉන්දියාවේ මගධ දේශයේ කොමිෂනර් තැන්පත් ආර්.එච්. ඛන්ඩෙල්වාලා මහතාත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ එම්.ආර්.ඒ. ලෙනගල මහතාත් සහභාගී වූ ඒ 150 වන ජන්ම ජයන්ති උත්සවයේ මුලසුන හොබවන ලද්දේ ඉන්දීය මහාබෝධී සමාගමේ සභාපති ප්‍රසන්න ජයසූරිය මහතා විසිනි. මගේ ගමන් බිමන් සඳහා අනුග්‍රහය දක්වන ලද්දේ ආචාර්ය වින්ස්ටන් ද සිල්වා බැතිමතාණන් විසිනි.

මුඛ්‍ය දේශනය පවත්වමින් මා පැවැසුවේ ධර්මපාල හිමියන් අශෝක අධිරාජයාගේ පුනර්ජන්මයක් විය හැකිය කියායි. මෙසේ පවසන්නට හේතු කාරක වූ ඓතිහාසික සිද්ධිය නම් අශෝක අධිරාජයාගෙන් පසුව දඹදිව බෞද්ධ සිද්ධස්ථාන රැක බලා ගැනීම සඳහා ජීවිතය කැප කළ එකම සාමයික වීරයා අනගාරික ධර්මපාලතුමන් වීමයි.

ඒ එක්කම මම තවත් කරුණක් ඉදිරිපත් කළෙමි. එහිදී මා ප්‍රකාශ කළේ ඉන්දියාවේ වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාණන්ගේ උපන් දිනයත්, ධර්මපාල හිමියන්ගේ මෙන්ම සැප්තැම්බර් 17 වැනිදා බවයි. එහෙත් අගමැති මෝදි මහතා උපත ලැබුවේ 1950 සැප්තැම්බර් 17 වනදායි. (ධර්මපාල තුමා 1864 සැප්තැම්බර් 17).

මගේ මතය මෙසේ විය. අපගේ ධර්මපාල හිමියන්ගේ අශෝක අධිරාජයාගේ පුනර්ජන්මය නම් ධර්මපාල හිමියන්ට අවුරුදු දහ හතකට පසුව 1950 සැප්තැම්බර් 17 වන දින මෙලෝ එළිය දුටු නරේන්ද්‍ර මෝදි මහතා ධර්මපාල හිමියන්ගේ පුනර්ජන්මයක් විය හැකිය.

ඒ මුඛ්‍ය දේශනයේදී මා එවැනි ප්‍රකාශයක් කළේ ධර්මපාල හිමියන්ගේ ශාසනික හා ලෞකික මහා මෙහෙයෙහි අගය, ඉතා උසස් ජගත් මට්ටමකට අයත්වන බව පෙන්වා දෙනු පිණිසයි.

මෙහි තවත් විශ්මය දනවන පක්ෂයක් වෙයි. 150 වන ජන්ම දිනයෙන් වසරකට පසුව ඉන්දියා අගමැති මෝදි මහතා බුද්ධගයාවට ගියේය. එහි වැඳුම් පිදුම්වල යෙදුණු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඒ සිද්ධස්ථානයේ සිට ලොව අමතා මෙසේ පැවැසුවේය. “බුද්ධගයාව, ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනුවර වශයෙන් සංවර්ධනය කෙරෙන්නේය.”

මගේ ඒකාන්ත විශ්වාසය නම් ධර්මපාල හිමියන් ශ්‍රී ලංකාවේ සාමයික හා ලෞකික සංස්කෘතිය විනාශ මුඛයෙන් ගලවා ගැනීම සඳහා කළ දිව්‍යමය ප්‍රයත්නයේ උත්තරීතර මහිමය තාමත් දෝංකාර දෙමින් රැව් පිළිරැව් දෙමින් විහිද විසර යන බවයි.

අනගාරික ධර්මපාල – ශ්‍රී දේවමිත්ත ධර්මපාල හිමියන නම්වලින් ජීවතුන් අතර සිටි ඒ සාම වීරයා උපත ලැබුවේ වානිජ ව්‍යාපාරික කරෝලිස් හේවාවිතාරණ මහතාගේ හා ඉසුරුමත් පවුලකට අයත් මල්ලිකා ධර්ම ගුණවර්ධන මහත්මියගේත් වැඩිමහල් පුත්‍රරත්නය වශයෙනි. හේවා විතාරණ පවුල ඉහළ ධනවත් පෙළන්තියකට අයත් වුයේය. ඔවුන්ගේ වාසස්ථානය වූයේ කොටහේනේ හේවා විතාරණ වලව්වයි.

ලොව බොහෝ සමාජයන්හි සංස්කෘතික හා ආධ්‍යාත්මික විප්ලවයන්ට පුරෝගාමීන් වන්නේ සිය පරිසරය සතු සම්මත දිවිපෙවෙත පිළිබඳවත් මානව ඉරණම ගැනත් ප්‍රශ්න නඟන්නට සැරසෙන ප්‍රභූ ගවේෂක ප්‍රබුද්ධයෝයි.

සිදුහත් කුමරු සිය අධි සුඛෝපභෝගී කුමාර ජීවිතය හා මිනිසාගේ යථාතත්ත්වය ගැනත් ප්‍රශ්න විමසුවේය. ඔහු හීනෙන් ඇවිදින්නකු නොවී සිය ජන්ම උරුමය වන කුමාර ජීවින ලීලාව දෙස විචාර පූර්වකව බැලුවේය.

ධර්මපාල තරුණයාද සම්මත සමාජයේ ඇතැම් සුපුරුදු වතාවත් පිළිගන්නට සූදානම් නොවීය. සම්ප්‍රදායික උදාර දේශීය ජීවන රටාවට නුහුරු විශ්වාස හා නම් ගම් ආදිය ගැන ඔහු තියුණු ලෙස විචාර පූර්වක විය.

සිය දැනුමෙන් ලද රජයේ රැකියා අතැර ඔහු ඕල්කොට් තුමා ඇතුළු නව මානව දර්ශනවාද දරන පිරිසට එකතු වූයේය.
ඔහු බෞද්ධ දර්ශනයේ විමුක්ති ආලෝකයෙන් පැහැදුණෝය. “ලයිට් ඔෆ් ඒෂියා” (ආසියා ආලෝකය) නම් ඉංගිරිසි මහා කාව්‍යය ලියූ සර් එඞ්වින් ආනල්ඞ් විසිනි. දඹදිව බෞද්ධ නටඹුන්වල තොරතුරු පැවසූ විට අනගාරික ධර්මපාල තරුණයා සිය ජීවිතයේ ඒකායන දූත මෙහෙය අවබෝධ කොට ගත්තේය.

1891 ජනවාරි 22 වනදා ධර්මපාල තරුණයා ප්‍රථමවරට බුද්ධගයා පුදබිමට එළඹ සිය නළල් තලය බුදු හිමියන්ගේ අපරාජිත පර්යඬ්කය මත තැබුවේය. ඒ ආධ්‍යාත්මික ස්පර්ශයෙන් තරුණ ධර්මපාල සිරුර ජනනය වූ භක්තිවේග රැල්ලෙන් කිළිපොළාගොස් සිය ජීවිතය මේ බුද්ධගයාව උදෙසා කැප කරන්නට ඔහු වහා සැරසී ගත්තේය.

ධර්මපාල චරිතයේ ප්‍රශස්ත ලක්ෂණය වූයේ අසීමිත භක්තියේත් ගැඹුරු ප්‍රඥා සම්පන්න ධර්මාවබෝධයේත් විචිත්‍ර සංකලනයකින් එය විභූතිමත් වීමයි.

ධර්මපාල හිමියන්ගේ බෞද්ධ ප්‍රඥාව ලෝකයා හමුවේ විහිද ගියේ ඇමරිකාවේ චිකාගෝ නගරයේ කලම්බස් ශාලාවේ පැවැති ජගත් දෘෂ්ටි සම්මේලනයේදීය. 1893 සැප්තැම්බර් 11 වනදා සිට සැප්තැම්බර් 27 වනදා දක්වා පැවැති ඒ සම්මේලනයේදී සැප්තැම්බර් 26 වන දින ධර්මපාලතුමන් විසින් කරන ලද මහාර්ග සාමයික දේශනයෙන් දස දහස් සංඛ්‍යාවක් ගැඹුරු අවබෝධයක් භුක්ති වින්ද බව සමකාලීන වාර්තාවලින් ප්‍රකාශ වේ. 

එතැන් පටන් ධර්මපාල නාමය එදා ලෝකයේ සාමයික සාකච්ඡා ඉතිහාසයෙහි උච්ච ස්ථානයක් ලද්දේය.

එතුමන්ගේ ජීවිතයෙහි එක්තරා වටිනා පක්ෂයක් අද ශ්‍රී ලංකාවේ සමාජයට අතිශයින් වටනේය.

එතුමන් ඉතා තුරුණු වියේදී ඕල්කොට් ප්‍රභූවරයා වැන්නවුන් හා සමගත් මේ දේශයේ විවිධ පැතිවල සැරිසරද්දී අපගේ එදා දේශීය සංස්කෘතියේ ඇතැම් කම්පාදායි තැන් දැක දැඩි සන්තාපයට පත්වූයේය.

දේශජ සංස්කෘතියට නොගැළපෙන පුද්ගල නාම එතුමා තුළ දැඩි ආවේගය දැන වුයේය.

විදේශයන්ගෙන් එන චාරිත්‍ර වාරිත්‍ර අවිචාරීව වැළඳගෙන දෙලොවටම නැති ජීවන ශෛලීන් අනුගමනය කරන්නට පුරුදු වී සිටින දේශීය ජන කොට්ඨාස දැක ධර්මපාලතුමා අධි සංවේගයට පත්වූයේය. ඔවුන්ගේ මුලාව දුරුකරනු පිණිස එතුමාට ඇතැම් විටෙක රළු, කර්කශ වචන පවා භාවිත කරන්නට සිදු විනැයි සමකාලීන වාර්තාවලින් පැවසේ.

එතුමන්ගේ සංවේගී ආත්මයට දුක් දුන් එක් ප්‍රවනතාවයක් වූයේ ඇතැම් පිරිසිදු චාරිත්‍ර වාරිත්‍රවල එල්බී ඉන් උච්ච ආවේගයක් ලබා අධි සන්තුෂ්ටියට එළැඹෙන ඇතැම් පුද්ගලයන්ගේ හැසිරීම් රටාවයි.

එවැනි ඇතැමුන් මෙසේ කියන්නට පුරුදු වී සිටි බවද ප්‍රකාශ කෙරෙන්නේය. “අපිට හොඳ බටහිර ගති තමයි. ඒවාට අප ගරු කරනවා. අපේ ගෙදර බල්ලා බුරන්නේත් ඉගිරිසියෙන් පූසා ඤාව් කියන්නේත් ඉංගිරිසියෙන්”.

මෙවැනි තැන් නිසා උදහස් වූ ධර්මපාල සමාජ ප්‍රතිසංස්කාරකයාණන් අයහපත් වචනත් භාවිත කළ බවක් කියැවේ.
මෙහි මනෝවිද්‍යාත්මක උචිත බවක් තිබේ යැයි සමහර විචාරකයෝ කියති. ඔවුන්ගේ මතය මෙසේය. “ඔබ යහළුවෙකු හා සමග ගමනක් යනවා. ඉදිරියෙන් යන යාළුවාට දෂ්ට කරන්නට සර්පයෙක් සූදානම්. එවැනි තැනකදී යාළුවා බේරා ගන්නට තැන්පත්ව “අනේ යාළුවා ඔයා දෂ්ට කරන්නට සර්පයෙක් ඔතන ඉන්නවා. හනික ඉවත් වෙන්න” කියා කරුණාවෙන් කිවහැකිද? බැරිය. ඔහුට අන්තරාය දනවන වචනවලින් කරුණු පැහැදිලි කළ යුතුය. “යකෝ හනික පැනපං. සර්පයෙක්. සර්පයෙක්” 
එදා එසේය.

අදත් අපගේ වර්තමාන සමාජයටද ධර්මපාලවරු එක් කෙනෙකු නොව විශාල සංඛ්‍යාවක් අවශ්‍ය යැයි බොහෝ දෙනාට සිතෙන්නේය.

එයට හේතුව නම් අපගේ සමාජයේ අහිංසක යාළුවන් බොහෝ දෙනකු නොපෙනෙන මහා අදෘශ්‍යමාන කුමන්ත්‍රණයකට ගොදුරු වී සිටින සේ පෙනෙන හෙයිනි.

අපගේ අද තරුණ පිරිස සිය වගකීම් පිළිබඳ අවබෝධයකින් ක්‍රියා කිරීම වළක්වමින් ඔවුන් ඉතා භයානක අගාධයක හෙලමින් මේ රටේ අනාගතයත් ඒ අහිංසක දරුවන්ගේ වරප්‍රසාද විරහිත දෙමාපියන්ගේ සුබසෙතත් ඒ තරුණ පරපුරේ විභූතිමත් බලාපොරොත්තුත් විනාශ කිරීමේ අමානුෂික අභිප්‍රායයෙන් යම් කිසි අදෘශ්‍යමාන කුමන්ත්‍රණයක් අවි අමෝරා සිටිත්ද? මේ ගැන සොයා බලන්නට පටු අදහස් උදහස් නැති හුදු මානව භක්ති පූර්වක නව ධර්මාපල පරපුරක් උදාවේවායි මානවහිතවාදී හැමදෙනා විසින්ම මේ ධර්මාපල හිමියන්ගේ උත්තම ජන්ම දිනයේදී සාමුහිකව පැතුමක යෙදිය යුතුවේ.

අද අප දේශයේ බාල වැඩිහිටි මහලු හැම දෙනෙකු විසින්ම මේ ධර්මපාල මානව මෛත්‍රී පූර්වක ආද්‍යාත්මික වීරයාගේ චරිතය ඉතා හොඳින් අධ්‍යයනය කළ යුතුවේ.

ඒ සඳහා අද බොහෝ අගයැති පත පොත ලියැවෙයි.

සරත් අමුණුගම ඇමැතිවරයාණන් විසින් උච්ච ශාස්ත්‍රීය මට්ටමේ ධර්මපාල අපදානයක් ඉංගිරිසියෙන් සකස් කොට ඇත්තේය.

විස්මය දනවන ආකාරයේ පර්යේෂණ ව්‍යාපාර පද්ධතියක් සඳහා සිය ශ්‍රමය හා කාලය කැපකොට රනවීර ඒ. චන්ද්‍රසේන ප්‍රවීණ ලේඛක ඉතිහාසය ග්‍රන්ථ කාරක, ප්‍රවීණයා විසින් නව බැල්මක ධර්මපාල කථාවක් සිංහල පාඨක ලෝකයට ප්‍රදානය කෙරේ. පොතේ නම “මම ධර්මපාල” 

ධර්මපාලතුමන්ගේ 153 වන ජන්ම දිනයේදී ජාති ආගම් ගෝත්‍රාදිය නොතකා දේශපාලන වාද බැහැර කොට කාවිසිනුත් ඒ මහා ආධ්‍යාත්මික වීරයා සිහි කරමින් එදා එතුමන්ගේ සමයේදී මෙන්ම අද දිනයේදීත් අපගේ ජාතික පරිහානියට මං පාදන යම් කිසි හානිදායි අදෘශ්‍යමාන බලවේග ඇත්දැයි සොයා බලන්නට ධර්මපාලවරුන් කිහිප දෙනෙකු පහළවේවායි ප්‍රාර්ථනා කළ යුතුවේ.