අරණායක නාය ගිය පසුව කඳවුරු හතකට ගියත් ඉහළින්ම ශිෂ්‍යත්වය සමත් වූ සේමිණි

අරණායක සාමසර ඇතුළු කඳු පන්තියක් එකම දිනයේ නාය යෑමට ගොදුරු වීම නිසා අවතැන් වී වසරකට වැඩි කාලයක් කඳවුරු හතක දැඩි දුෂ්කරතා මධ්‍යයේ අභියෝග රැසකට මුහුණ දෙමින් මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 185ක් ලබා ගනිමින් උසස් ලෙස ශිෂ්‍යත්ව විභාගය සමත්වීමට උස්සාපිටිය ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දැරියක් සමත් වී ඇත.

මෙලෙස සිය දිවිගමනේ මුල්ම අභියෝගය ජය ගනිමින් පහේ ශිෂ්‍යත්ව හපනියක වී ඇත්තේ අරණායක දෙයියන්වල වසමේ බෙරවිල ජනපදයේ අති දුෂ්කර දිවියක් ගෙවමින් සිටි පවුලක දෙවැනි දරුවා වූ ඩබ්ලිව්. ඒ. සේමිණි උදාන ධවනි විජේසූරිය නමැති නව හැවිරිදි දියණියයි.

2016 මැයි මස 17 හෝ ඊට ආසන්න වකවානුව තුළ කඳු නාය යෑමෙන් සිදු වූ මහා ව්‍යසනයෙන් පසුව අරණායක කොට්ඨාසය පුරා පිහිටුවූ අවතැන් කඳවුරු හතක මාරුවෙන් මාරුවට ලැගුම් ගනිමින් ජීවත් වූ සේමිණි උදාන ධවනි විජේසූරිය දියණියගේ පවුලට ස්ථීර නිවහනක් ඉදිකෙරමින් පවතින තල්ගස්පිටිය පණපුරේ වත්ත නමැති ගම්මානයේ ඇගේ නිවෙස සොයා ඊයේ (5දා) පෙරවරුවේ අපි මාධ්‍ය කණ්ඩායම එහි ගියෙමු. 

ඇයගේ ජයග්‍රහණය පිළිබඳව තොරතුරු විමසා බැලීමට පණපුරේ ගම්මානය වෙත යෑමට දිප්පිටිය නගරය වෙත අප පැමිණෙද්දී සේමිණි දැරිය සිය ඉදිරි ගමනට අත හිත දුන් පන්තිභාර ගුරුතුමිය හමුවීම සඳහා යෑමට පැමිණෙද්දී ඇයගේ මව සමඟ අපට හමුවූවාය. අප මුණගැසුණු පසු ඔවුන් ආපසු හැරී රුපියල් තුන්සියයක් වැනි මුදලක් වැය කරමින් ඔවුන්ගේ නිවහන වෙත කැඳවාගෙන ගියේ තමන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහායි.

සිය දියණිය ශිෂ්‍යත්ව කඩඉම පසුකොට ලැබූ ජයග්‍රහණය පිළිබඳ දැඩි ලෙස සතුටු වන සේමිණිගේ මව වන තල්ගස්පිටිය පණපුරේ වත්තේ පදිංචි ඩී.පී. ස්වර්ණා පත්මකුමාරි (44) මහත්මිය මෙසේ පැවැසුවාය.

අපට දූවරු තුන්දෙනෙක් ඉන්නවා. මෙවර ශිෂ්‍යත්වයෙන් සමත් වී සිටින්නේ මගේ දෙවැනි දුවයි. මගේ ලොකු දුවත් 2011 වසරේ පහේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 159ක් ලබාගෙන සමත් වුණා. ඇය ශිෂ්‍යත්වයෙන් සමත් වුණේ දිප්පිටිය රාජගිරි ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබද්දී. දැනට ඒ දුව රාජගිරි මහ විදුහලේම වැඩිදුර අධ්‍යාපනය ලබනවා. සේමිණි දුව ඉගෙන ගන්නේ උස්සාපිටිය ශ්‍රී සුමංගල විදුහලේ. එයා ශිෂ්‍යත්වයට මුහුණ දෙන කොට අපි නායට අහුවෙලා ක¼දවුරු ගාණේ දුක් විඳ විඳ ජීවත් වුණේ. සමහර දවස්වල දුවට පාඩම් කරන්න ලයිට් එළියක්වත් තිබුණේ නෑ. ලන්තෑරුම් එළියෙන් තමයි එයා කූඩාරමේ පාඩම් කළේ. ක¼දවුරුවලදී අපි ගොඩක් දුක් වින්දා. මානසික වශයෙන් බින්දුවටම බැහැලයි හිටියේ. දුවට මේ ජයග්‍රහණය ලබල දෙන්න දුවගේ තාත්තත් මමත් ලොකු කැප වීමක් කළා. ඒ වාගේම සුමංගල විදුහලේ විදුහල්පති ජයසිංහ මහත්තයත් පන්ති භාර ගුරුතුමි සුජාතා මාවෙල මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලයත් දුවට ගොඩාක් උදවු කළා. විශේෂයෙන්ම කියන්න ඕනෑ මාවෙල මැඩම් අපෙන් සතයක්වත් ගන්නේ නැතිව අපේ දුවට එයාගේ මුදල් වියදම කරලා උගන්වන්න ගොඩාක් කැපවීම් කළා. 

අපට ඒක කවදාවත් අමතක කරන්න බෑ. නාය ගියාට පස්සේ අපි ගොඩක් අසරණ වෙලා හිටියේ. අපේ අතේ සතේ නැතිව හිටියේ. නමුත් අපිට මොන අගහිඟකම් තිබුණත් අපේ දරුවන්ට උගන්වන්න අපි මුල් තැන දුන්නා. දරුවොත් අද ඒ අපේ කැපවීම්වලට ප්‍රතිඵලය අපට අරන් දීලා.

සිය දියණියගේ ජයග්‍රහණය සතුටු කඳුළු වගුරවමින් වැඩි දුරටත් අදහස් දැක්වූ ස්වර්ණා මහත්මිය ඔවුන් කඳවුරුවලදී විඳි දුක්ගැහැට සිහිපත් කරද්දී ඇගේ ඇස්වලින් කඳුළු රූරා වැටෙද්දී කතාවේ ඉතිරි කොටස මෙසේ පැවැසුවාය.

මගේ දුව ශිෂ්‍යත්වය ලියල ඇවිල්ලා කීවේ මේ සැරේ ලකුණු 195ක් ලබාගෙන සමත් වෙනවා කියලයි. නමුත් ඊට ලකුණු 10ක් අඩුවෙන් ලබාගෙන වුණත් මේ ලබාගත්ත ජයග්‍රහණය අපිට මහමෙරක් වගේ අපි වින්ද දුක්ගැහැටවල හැටියට. මේ ජයග්‍රහණය ලබාගත්තේ ආර්ථික වගේම ගමනාගමන දුෂ්කරතාවලටද මුහුණ දෙමිනුයි. අපිට හරිහමන් ආදායමක් නොතිබුණත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දවසකට දෙසිය පනහක් තුන්සියයක් අතර මුදලක් වැය කරන්න සිදු වුණා. දුව ශිෂ්‍යත්වෙන් පාස් වුණත් එක්කම මොන අමාරුකම් තිබුණත් මෙයාට හොඳ ඉස්කෝලයක් හොයල දෙන්න අපිට සිද්ධ වෙනවා. දුව මුල ඉඳලම කීවේ කොහොම හරි ශිෂ්‍යත්වයෙන් පාස්වෙලා මහනුවර මහාමායා විදුහලට යනවමයි කියලා. එයා ගොඩක් වෙලාවට එයාගේ පොත්වල ලියල තියෙනවා මම මහාමායා එකට යනවමයි කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි දුවගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්නේ කොහොමද කියන එක. මම හිතන්නේ කවුරුහරි දානපතියෙක් ඉදිරිපත් වෙලා මගේ අහිංසක දරුවාගේ ඒ සිහිනය සැබෑ කරාවි කියලා.


සේමිණිගේ පියා වන ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. විජේසූරිය (51) මහතා මෙසේ පැවැසීය.

මම රස්සාව වශයෙන් කෙරුවේ පින්තාරු වැඩ. ඒ රස්සාවෙන් ජීවිකාව කරගෙන යද්දී තමයි අපිට උන් හිටිතැන් දාලා කඳවුරු ගාණක ලගින්න වුණේ. අපි ගමේ ඉන්න කොට සමෘද්ධියවත් ලැබුණේ නෑ. අඩු වශයෙන් 2011 වසරේ ශිෂ්‍යත්වයෙන් පාස්වෙච්චි මගේ ලොකු දුවටත් ශිෂ්‍යාධාර ලැබුණේ නෑ. අද ඒ දරුවා රාජගිරි විද්‍යාලයේ ඉගෙනුම ලබමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වෙනවා. අපිට ඒ දවස්වල සමෘද්ධිය ලබාගන්න කොච්චර උත්සාහ කළත් රුපියල් 250ක් විතරයි ලැබුණේ. නමුත් මොන දුක හරි විඳලා අපි අපේ දරුවන්ට හොඳට උගන්වන්න කැපවීම් කෙරුවා. අද අපට එහි ප්‍රතිඵල ලැබී තිබෙනවා.

අපි මුලින්ම කඳවුරකට ගෙනැවිත් දාපු වෙලාවේ අපිට ගෙදර තිබුණ කිසි දෙයක් ගේන්න ලැබුණේ නෑ. එදා තිබුණු අවදානම නිසා අපිට ගෙවල් පැත්තේ යන්න එපා කියලා නිලධාරීන් තහංචි දමලයි තිබුණේ. ඒත් මම මගේ ජීවිතය ගැනවත් හිතන් නැතිව වෙන ගමනක් යනව කියලා ක¼දවුරෙන් පිටවෙලා අපි හිටපු ගෙදරට ගිහිල්ලා අනෙක් සේරටම ඉස්සර වෙලා දුවලා දෙන්නාගේ පොත් පත් ටික අරන් ආවා. ඒ වෙලාවෙත් නාය යන අවදානම තිබුණා. අපේ දරුවන්ට ටී.වී. එකේ කාටුන්, ටෙලිනාට්‍ය, බලන්න දුන්නේ නෑ. බලන්න දුන්න එකම ටෙලිනාට්‍ය තමයි ධර්මාශෝක. සේමිණි දුව පෙර පාසල් ගියේ ගැවිලිපිටිය සිතාරා පෙර පාසලට. ඒ ගුරුතුමිය පෞද්ගලිකව මැදිහත් වෙලා තමයි දුවව සුමංගල විදුහලට ඇතුළත් කරලා දුන්නේ. මේ වෙලාවේ එතුමිය කරපු උදව්ත් ආදරයෙන් සිහිපත් කරනවා.

ශිෂ්‍යත්ව ජයග්‍රහණයේ සතුටට පත්ව සිටින සේමිණි දැරිය මෙසේ පැවැසුවා
මට මේ විභාගේ පාස් වෙන්න මගේ අම්මයි තාත්තයි හුඟාක් මහන්සි වුණා. රෑ දවල් බලන්නේ නැතිව මට මේ ගමන එන්න ඒ දෙන්නා ගොඩාක් දේවල් කළා. සමහර දවස්වල අම්මයි තාත්තයි බඩගින්නේ ඉඳලා අපිට ඉගැන්නුවා. ඉස්කෝලේ ලොකු සරුයි පන්ති භාර මාවෙල ටීචයි අනෙක් ටීචර්ලයි ගොඩාක් උදවු කළා. මගේ එකම බලාපොරොත්තුව මහනුවර මහමායා ඉස්කෝලෙට ගිහිල්ලා හොඳට ඉගෙන ගෙන ටීචර් කෙනෙක් වෙන්නයි.

උස්සාපිටිය ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති ටී.ඩබ්ලිව්. ඒ.කේ. ජයසිංහ මහතා මෙසේ පැවැසීය.


මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් 26 දෙනෙක් සමත්වී සිටිනවා. හැම වසරකම අරණායකින් හොඳම ශිෂ්‍යත්ව හපනුන් බිහිකරන්නේ අපේ විදුහලින්. 2015 වසරේ ලංකාවේ ශිෂ්‍යත්ව හපනා බිහිකළේ අපි. මේ ජයග්‍රහණය මා ලැබූ තනි ජයග්‍රහණයක් නොවේ. ගුරු මණ්ඩලයේ කැප කිරීම වාගේම මවුපියන්ගේ උනන්දුව මේ සඳහා දායක වුණා.